ළපෙති මල් -16

“ඔයා ලෙක්චර්ස් පාඩු කරගන්නෙ ඇයි බබා?”

දින කිහිපයක් තිස්සේ සරසවිය පළාතේ නොගොස් හිඳින මන්දාරාගෙන් සිරිමා මහත්මිය ඇසුවේ ප්‍රවේසම් හඬකිනි. මන්දාරා බලමින් සිටි කොරියන් මාලා නාට්‍යයෙන් හිස ඔසවා මිත්තණිය දෙස බැලුවා ය.

“මට හිතක් නෑ ආච්චම්මා..”

ඇය කියන්නේ පහත් හඬිනි.සිරිමා යහන මත හිඳ ගත්තේ මන්දාරාගේ හිස අත ගාගෙන ය.

“හිමංගි එන නිසාද?”

මන්දාරා හිස වනා මොහොතක් සිටියා ය.

“ළමයි වුණත් හිනා වෙයි කියල හිතෙනව..”

මන්දාරා කියන්නේ පරිගණක තිරයේ හිඳින කොරියන් නළුවාට නෙත අලවාගෙන ය.සිරිමා බලා සිටියේ මන්දාරාගේ මුහුණ දෙස ය.

“මං දන්න හැටියට පුතේ, තාත්තා ගිහින් ලෙක්චර්ස් කරනවා.හිමංගිත් ලෙක්චර්ස් වලට යනවා..”

මන්දාරා නිහඬව ඉවත බලා ගත්තා ය.අම්මා ද රූපලාවණ්‍යගාරයේ සහ නිමි ඇඳුම්හලේ වැඩ නවතා නැත.මල්ලි සංගීත කණ්ඩායම හා ක්‍රියාකාරී ය.තේජන ද නොකඩවා දේශන වෙත යයි.එකතැනක නතරව හිඳින්නේ තමන් ය.

“ඔයා ඔහොම ඉන්නේ තාත්තට පනිෂ් කරන්නද පුතා?”

සිරිමා මිණිබිරියගෙන් ඇසුවේ සිනාබරිතව ය. මන්දාරා වදනකුදු නොදොඩා හුන්නා ය.

“එහෙමම නෑ ආච්චම්මා..”

නමුත් ඒ සත්‍යය නොවන බව සිරිමා දනියි.ඈ මන්දාරාගේ පිට පිරිමදිමින් මොහොතක් හුන්නා ය.මන්දාරා හිස මිත්තණියගේ උකුල මතින් තබා ගත්තේ හැඬෙන්නට ආ නිසා ය.

“ඔයා ඔය ඉන්නේ අනිත් අයට පාඩම් උගන්නන්න නම් දරුවො,රිදෙන්නෙ ඔයාටමයි.එයාලා තමන්ගෙ ගමන තමන්ගෙ පාඩුවෙ යනවා.ඔයා එක තැන නැවතිලා..ඔයාටම රිද්දා ගන්නවා..”

එය අසත්‍යයක් නොවන බව මන්දාරාට සිතුණේ ආච්චම්මාගේ වචන දිග සිතද්දී ය.

“ඔයාලගෙ බැච් එකේ නේද අර රණබාහු ඇමතිගෙ දුව?”

සිරිමා ඇසුවා ය.මන්දාරා හිස වැනී ය.

“ඒ මනුස්සයාගෙයි සෙකට්‍රිගෙයි මොකක්ද වීඩියෝ එකක් එළියට ඇවිල්ල තිබ්බලු නේද? ඉතින් ඒ ගෑනු ළමයා කැම්පස් නැවැත්තුවද?”

මන්දාරා රශී රණබාහු ගැන සිහි කළා ය.ඒ වීඩියෝවේ වූයේ ඇගේ පියාගේ අනියම් ඇසුරක රංගනයකි.නමුත් ඈ ඉන් කම්පා වූයේ නැත.කොල්ලන් ඒ ගැන යම් සරදමක් කරද්දී පවා “උඹලට වඩා නම් අපේ ඩැඩා තාම කොල්ලා” යැයි ඈ කීවේ සැහැල්ලුවෙනි.තාත්තා එවැනි ක්‍රියාවක් කර නැත.ඔහු නීත්‍යානුකූලව විවාහ වූවා පමණි.ඔහුට නින්දා කරන්නට කිසිවෙකුට අයිතියක් නැති බව මන්දාරාට ඉන් අනතුරුව කල්පනා විණ.ඔහු හිමංගි රවටමින් ඈ කෙලි බඩුවක් කරගෙන නැතිවා මෙන්ම හිමංගිට අසාධාරණයක් ද සිදුව නැත.තමන් මෙතැන සැබෑ වින්දිතයා නොවේදැයි සිතද්දී මන්දාරාගේ හිස පුපුරු ගසන තරමට රිදුම් දේ.

“මේ වෙන දේවල් නිසා මිනිස්සුන්ට උදව් කරන්නයි ළං වෙන්නයි බය හිතෙනව ආච්චම්මා..”

මන්දාරා මිත්තණියට පැවසුවේ දවස් ගණනක් පුරා හදවතේ රිදුම් දුන් හේතුව ය.සිරිමා හේතු නොවිමසන තැන මන්දාරා දිගින් දිගටම කියවන්නට ගත්තා ය.

“ස්කොල් එකක් ලැබිලා ඉගෙන ගත්තට හිමංගි හරිම දුප්පත් කියල මමයි තේජනයි දැනගත්තු දවසෙ ඉඳන් අපි එයාට හරියට අනුකම්පා කරා ආච්චම්මේ. මං එයාට මොනතරම් දේවල් කරාද? මං මගේ සහෝදරියකට වගේ එයාට සැලකුවේ.එයාට අඩුවක් නොකර. ඔය අම්මි ගාව ජොබ් එකට යනවට වුණත් මගෙ කැමැත්තක් තිබ්බේ නෑ.එයාමනෙ බලෙන් ගියේ..”

හිමංගිට තමන් මොනතරම් සමීප වී හුන්නාදැයි මන්දාරා සිහි කළේ පවා ශෝකයෙනි.අක්කා නගෝ යැයි අන්අය වරදවා වටහා ගන්නා තරමට එකිනෙකාට සමීප

“ඔයා වෙනුවෙන් හිමංගි මොකුත් කරලා නැද්ද? එයා ඔයාගෙ යාලුකම වෙනුවෙන් එයාට පුලුවන් දේවල් කරල නැද්ද?”

සිරිමා එසේ ඇසීය.මන්දාරා ඇය දැඩිව රෝගාතුර වී සිටි දිනයක් සිහි කළා ය.එදින සිනමා තාරකාවකගේ විවාහයක හැඩ ගැන්වීම් වූ නිසා ලංකා දියණියට කාලය නුදුන්නා ය.රහල්ගේ දැනුම්දීම මත තේජන ඇයව පෞද්ගලික රෝහලකට ගෙන් ගිය පසු සිරිමා එනතුරුම මන්දාරා බලා ගත්තේ හිමංගි ය.ඒ කාලයේ ඇය තමා හා බැඳී හුන්නේ අප්‍රමාණ සහෝදර ස්නේහයකින් බව මන්දාරා සිහි කළා ය.

“ඔයා අම්මෙක් වගේ.මට අම්මගෙ ආදරේ හරියට ලැබිලා නෑ.අම්මෙක් ආදරේ කරන්නෙ මෙහෙම වෙන්න ඇති හිතුණා..”

ගෑස්ට්‍රයිටිස් වැඩි වී පීඩා විඳිමින් සිටි මන්දාරා හිමංගිට පැවසුවේ කඳුළු අතරිනි.ඇය නොනවත්වාම වමනය දමමින් හිදියදී පවා හිමංගි වෙනසක් නොපෙන්වා ඇප උපස්ථාන කළා ය.

“මම අම්මගෙ ආදරේ දන්නෙම නෑනෙ.ඒ හින්දා මම මේ සලකන්නෙ අම්මෙක් වගේද කියල මං දන් නෑ..”

හිමංගි එසේ කියා හිනැහුණා ය.

“ඔහොම තමයි අම්මලා.”

එදා තමන් මිතුරියට බොහෝ ආදරය කළ අන්දමත් හිමංගි මවක මෙන් තමන්‍ රැක බලා ගන්නා බව විශ්වාස කළ අන්දමත් මන්දාරාට සිහි විය.

දැන් එය සත්‍යයක් වී ඇත.හිමංගි දැන් තමන්ගේ සුළු මව ය.

“ඔයා තාත්තා මැරි කරනවට කවදාවත් අකමැති වුණු දරුවෙක් නෙවෙයිනෙ පුතේ.තාත්තගෙ වයිෆ් ඔයාට කිට්ටු වයසක කියලා කේන්ති නොගෙන ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න.අම්මා වගේ හැම දේකම තරහ යන කොටස හොයා ගන්න එපා..”

මන්දාරා මිත්තණියගේ උකුලෙන් හිස එසවූයේ කෝපයෙනි.

“ඕවට එන්නෙපා ආච්චම්මා.මං අම්මා වගේ නෙවේ..”

සිරිමා මන්දාරාගේ නිකටෙන් අල්ලා හිනැහුණා ය.

“ඔයා ලංකා වගේ තමා හැඩරුවනම්.බියුටි ක්වීන් වගේ ඉන්නෙ ඒකනෙ.එයාගෙ අහංකාරකමයි කේන්තියයි හිටිගමන් මතු වෙනව..ඒවා චුට්ටක් අඩු කරගන්න..”

මන්දාරා මිත්තණියට රවමින් ගොස් ජනේලයෙන් පිටත බලා සිටියා ය.

“මගේ හැඩරුව ඔයා වගේ.යශෝධරා නැන්දි වගේ.මට අම්මගෙ ගතිගුණත් නෑ හරිද?ඒවා ආවොත් තේජන අමාරුවේ..”

සිරිමා කිසිවක්ම නොදොඩා සිටියා ය.මවත් දියණියත් අතර විරසකයන්ට අත පොවන්නට ඇය අකමැති ය.ඒවා ඇගේ සීමාවේ කාරණා නොවේ.

“ආච්චම්මා ආංං..”

මන්දාරාගේ කෑගැස්මට සිරිමා කලබල වූවා ය.ගේට්ටුවෙන් ඇතුළු වන මෝටර් රථයක් දෙස මන්දාරා බලා සිටියේ තිගැස්මෙන් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles