දුරාශා ගෙදර ගියේ දුල්නෙත් ගේ ගෙදර අය නික්ම ගිය පසු ය. අයානා ඇයට ව්‍යාංජන සියල්ල අසුරා දුන්නා ය. ඇය බත් ගෙන යාම ප්‍රතික්ෂේප කළා ය.
“සහන්ට උණු උණුවෙ බත තියෙන්න ඕනෙ. දැන් මොනාත් හදන්න දෙයක් නෑනෙ. ගිය ගමන් රයිස් කුකර් එකට බතක් ගහල ගන්නව”
නමුත් ඇය විශ්මිත කරවමින්, ඇය යන විට රයිස් කුකරයෙහි බතක් පිසෙමින් තිබිණ. සහන් හිටියේ කාමරයේ ය. ඔහු හැරෙන්නට ගෙදර වෙන කිසිවෙකු නොවන නිසා බත උයන්නට ඇත්තේ ඔහු ම බව දුරාශා ට සිතා ගත හැකි ය. නමුත් ඒ පුදුමය දරා ගත නො හැකි ය. හිස ඔසවා ගත නො හැකි තරමට ඇය ට වෛරස් උණ වැළඳුණ අවස්ථාවේ හෝ සහන් ගෙදර වැඩක් කර දුන්නේ නැත. රෑටත් එක්ක ම බත් මාළු පිණි පිස ගෙන දවල්ට ඒවා ගෙනත් දී ගියේ අයානා ය. තේ එකක් වුව ඇය ම බැරි බැරි ගානේ හදා ගත්තා ය. එහෙව් ඔහු අද ඇය පැමිණෙන විට බතක් පිස තබන්නට තරම් කාරුණික වූයේ උදේ ඇය තදින් කළ කතාව නිසා ද?
“තෑන්ක් යූ සහන් බතක් උයල තිබ්බට. මං අයානලගෙ දිහෑං ව්‍යාංජන ඔක්කොම අරං ආවෙ. අයානා ගෙනියන්න කිව්වත් බත් ගෙනාවෙ නෑ ඔයාට උණු උණුවෙ බත් ඕනෙ නිසා”
කාමරයට ගිය දුරාශා ආදරය තැවරුණු ස්වරයකින් මිමිණුවා ය. සහන් හ්ම් කියන්නේ හෝ නැතිව ජංගම දුරකතනයට මූණ ඔබා ගෙන සිටියේ ය. ඇය ඉක්මන් කොට ඔහු ටත් එක්ක තේ පිළියෙල කළා ය. ආත්ම විශ්වාසය පිළිබඳ හැඟීමක් දුරාශා තුළ ඇති ව තිබිණ.
දුල්නෙත් ට දැනුණේ පා වීමක සුවයකි. ඔහු ගේ දෙතොල් අතරේ යටපත් කළ නො හැකි සිනහ රේඛාවක් එල්ලී ගෙන තිබිණ. ප්‍රියන්ති ගේ හා සේනක ගේ හිතේ වූයේත් එබඳු ම වූ සුවදායී බවකි. ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ගිය ජීවිතයට වඩා ඒවායින් තොර ජීවිතය කෙතරම් සාමකාමී වන්නේ ද? සැබවින් ජීවිතයක් රළ නගනා වෙරළක් බඳු වෙනවාට වඩා දියෙහි ගැඹුරු තැනක් සේ වෙත්දී වඩාත් සන්සුන් ය. සාමකාමී ය.
මංජරී ට අසාධාරණයක් වේ යයි බියෙන් ඇය සමග ම ඒ සබඳතාවයෙහි එල්ලී සිටියේ වී නම් මේ සහනය කිසි දා නො ලැබේවී යයි දුල්නෙත් ට සිතිණ. ජීවත් වීමේදී අසීරුවෙන් වුව ඇතැම් තීරණ ගන්නට සිදු වන්නේ ය. ඇතැම් අත් හැරීම් කරන්නට සිදු වන්නේ ය.
එදා දවසේ උයන පිහන ලද සියලු භාජන සෝදා යළි අසුරා, ගේ පිරිසිඳු කොට යථා තත්වයට පත් කොට ය යළි අයානා හා නාලිනී කාමර වලට ගියේ. දිය නා ගෙන පැමිණි අයානා යහනේ වැතිරෙමින් ම දුල්නෙත් ට ඇමතුමක් ගත්තා ය.
“දැනුයි වැඩ ටික ඉවර වෙලා වොශ් දාගෙන ඇඳට ආවෙ”
ඇය කතා කළේ ලොකු බරකින් අත් මිදුණා වාගේ සැහැල්ලුවකිනි.
“මං කතා කරන්නැතුව හිටියෙත් ඔයා වැඩ ඇති කියල හිතුණ නිසා”
“ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද දුල්නෙත්…මටනං ඒ සිද්ද වෙච්ච දේවල් තාමත් අදහගන්න බෑ වගේ”
දුල්නෙත් මුදු සිනහවක් පෑවේ ය.
“දෙයියනේ මං බලාපොරොත්තුවෙන් හිටියෙ මහා දරුණු දෙයක්. වෙන මොනා නැතත් විදුර ගැන දැන ගත්තහම ඔයාගෙ අම්ම කීයටවත් මේකට ඉඩ දෙන එකක් නෑ කියලයි”
“ඉතිං දැං එහෙම වෙන්නද ඕනෙ…”
අයානා මනසින් ඔහු ට තුරුලු වූවා ය.
“ඔයා දන්නවද…මට හරිම සතුටුයි දුල්නෙත්. එදා මං විදුරව මැරි කරන්න කැමති වුණේ කැමැත්තකින් නෙවේ. මාර දුකකින්. ඒත් තාත්තයි අයියයි දෙන්නම ඒකට ගොඩක් කැමති වෙලා හිටිය නිසා. අකමැති වෙන්න ලොකුම හේතුව එයාව බැන්දත් එක්කම මට මගෙ අම්මයි තාත්තයි අත් අරින්න වෙනව කියල දැනං හිටපු එක. බැඳපු ගමං රට යන්නයි එයාට ඕන වුණේ. පීඑච්ඩී එකෙන් පස්සෙ සමහර විට ලංකාවට එන එකක්ම නෑ කියලයි එයා කිව්වෙ. මට දරා ගන්න බැරි වුණේ ඒක. අපි අම්මල තාත්තල එක්කම හැදුණ ළමයි. අපි අතරෙ තියෙන බැඳීම් වල හැටියට මැරි කළා කියල එයාලගෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්න බෑ. එයාල අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු මිනිස්සු. එයාලගෙ ජීවිතේ එක වයසකට ආවට පස්සෙ තනිකම කියන දේ හරි දරුණු විදිහට දැනෙනව. ඒක නැති කරන්න පුළුවන් දරුවන්ට විතරයි. ඒ කාලෙදි එයාල දරුවොයි මුණුපුරොයි පිරිවරාගෙන ඉන්න ඕනෙ. ඒක තමයි ජීවිතේ සතුට. අපි වයසට ගියාම වුණත් එහෙමයි. ඒත් විදුර කවදාවත් ඒකට එකඟ වුණෙ නෑ. මං කියද්දි අපි එහෙනං ඉන්න රටකට අම්මයි තාත්තයි ගෙන්නගමු කියලත්…එයා විරුද්ද වුණා. මං කසාද බඳින්නෙ එක ගෑනියෙක්ව විතරයි නැන්දම්මල මාමණ්ඩිල බලා ගන්නවයි කියල පොරොන්දුවක් වෙන්න මට බෑ කිව්ව. අනික් එක දෙමව්පියො කියන්නෙ පුතාලගෙ වගකීමක්…බෑණලට බෑ කිව්ව ඒ වගකීම ගන්න. මං හිතෙන් දෙදරල ගිහින් හිටියෙ. අපි පොඩිකාලෙ දෙපැත්තෙම ආච්චිල සීයල එක්ක හැදුණෙ. ඒ සතුට මගෙ අම්මලට නැති වෙනව නේද කියන ගින්දර මාව පිච්චුව. අයිය ඒ වෙද්දිත් ෆ්‍රාන්ස් වලනෙ හිටියෙ. අයිය අම්මලට නොබලා ඉන්නෙ නෑ. ඒත් හැම වෙලේම මට බයක් තිබුණ ලේලි කෙනෙක්ට දුවෙක්ට වගේ හැඟීමක් දැනෙන එකක් නෑ නේද කියල. විදුරව ලේසියෙන්ම අත්අරින්න ඒ හැම දේම මට හේතුවක් වුණා. අද මට දැනුණ සැනසිල්ලත් එක්ක ඔය හැම දේම බැඳිල තිබුණා දුල්නෙත්…ඔයාගෙ අම්මයි අපේ අම්මයි කොච්චර යාළුකමකින් හිටියද කියල යන්තං මට මතකයි. ඒ නැතත් ඒ දෙන්න අද මුණගැහුණ වෙලාවෙ දෝරෙ ගලපු ආදරේ…බැඳීම් කියන්නෙ ඒවටනෙ දෙයියනේ. ඒගොල්ලො වයසට යද්දිත් ඒ පරණ කතා මතක් කර කර පරණ යාළුකමුත් එක්ක ඉන්න පුළුවන් වෙන එක මොන තරං සැනසීමක්ද…”
දුල්නෙත් ට ද ඒ සැනසීම දැනෙමින් තිබිණ. විවාහයෙන් කෙළවර වන බැඳීමක් වෙනුවෙන් මංජරීව තෝරා ගනිත්දී ද ඔහු සිය පවුල ගැන සිතුවේ ය. අම්මා ගැන සිතුවේ ය. විවාහයක් සිදු වන්නේ ගැහැනියක හා පිරිමියෙකු අතරේ පමණක් ම නොවේ. ඒ පවුල් දෙක ද අතරේ ය. විවාහයකදී වැඩිපුර සැලකිලිමත් විය යුත්තේ ඊට එළඹෙන දෙදෙනා පිළිබඳව වී ද දෙමාපියන් හා පවුල අමතක කළ නො හැකි ය. බොහෝ පිරිමින් විවාහයෙන් පස්සේ සිය මව් පියන් ට සලකා ගත නොහී විඳවන බව දුල්නෙත් දනී.
“ඇයි මං සලකන්නෙ…මං ලේලි මිසක් දුව නෙවේනෙ”
කියා ඔහු ගේ ඥාති සොයුරෙකු ගේ බිරිඳක් දුල්නෙත් ගේ මූණට ම කීවා ඔහු ට මතක තිබේ. එදා ඒ ඥාති සොයුරා දුල්නෙත් සමග දෙඩුවේ අසරණව ය. බිරිඳත් මවත් අතරේ ඔහු දුක්ඛිත තත්වයක සිටියේ ය. මංජරී ව පෙම්වතිය ලෙස තෝරා ගත්දී ඔහු ට ඒ සියල්ල සිහි විය. අයානා වාගේ නාගරික යුවතියක නොවුණු ගම්බද සුන්දරියක වූ මංජරීව තෝරා ගන්නට ඔහු ට බලපෑ මූලික කරුණ ඇය සිය මව සමග සාමයෙන් ජීවත් වනු ඇතැයි සිතීම ය.
“අපි අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි හතර දෙනාම අපි ළඟ තියාගමු. ඔයාගෙ අක්ක ලංකාවෙ නෑ. මගෙ අයිය ලංකාවෙ නෑ. ඒත් අපි දෙන්න ඉන්නවනෙ. ඕනෙනං අපේ ගේ විකුණල හරි අපි ටිකක් එහාට වෙන්න ඉඩ කඩ තියන ගෙයක් හදමු”
“අපෝ…නිර්වාණෙ විකුණන්න බෑ”
දුල්නෙත් වහා ම කීවේ ය. අයානා ගේ මුවට මඳහසක් ආවේ ය.
“ඇයි…”
“නිර්වාණෙට මං හරි ආදරෙයි. ඒක හැමදාම ඒ විදිහටම තියෙන්න ඕනෙ. ඔයා වගේ ම…වෙනස් නොවී…”
“ඔයාට මං හරි ආදරෙයි දුල්නෙත්”
“මං ඊට වැඩිය චුට්ටක්…”
නිල් අහස් තලයක පා වෙන හැඟීමක් දනවන, නිල් ජල තලයක පා වෙන හැඟීමක් දනවන ආදරය ජීවිතයට සැනසිල්ල උදා කරන්නේ ය. අවබෝධය හා විශ්වාසය මත පදනම් වන ගැටළු ගහන නොවන ප්‍රේමය දිව්‍යමය හැඟීමක් දනවන්නේ ය. ඔවුන් දෙදෙනා ම එදා රෑ ඇස් පියා ගත්තේ එවන් වූ සැනසුම් සුවයකිනි.
ඒ සියල්ල ඒ විදිහට වීම ගැන වැඩි ම ප්‍රීතිය අත්වින්දේ නාලිනී හා රෝහණ ය. ඔවුන් ගේ දියණිය ගේ අනාගතය පිළිබඳ හැබෑ කම්පනයක් ඔවුන් තුළ විය. පිරිමියෙකු හා විවාහ වන ලෙස අයානා ට බල කොට සිටිය නො හැකි තරමට ඇය හදවතින් බිඳී සිටියා ය.
“මට ආයෙ කවුරුවත් ඕන නෑ තාත්තෙ”
කියා ඇය කියත්දී ඊට එකඟ ව හිස වැනුවාට ඒ වෙලාවට දැනුණ අන්ත අසරණ හැඟීම ගැන දන්නේ රෝහණ විතර ය.
“මට අම්මයි තාත්තයි බලං හැමදාම ඉන්න පුළුවන් අම්මෙ”
කියා ඇය කියත්දී මඳහසක් පෑවාට ඒ වෙලාවට හිත පිච්චුණ තරම දන්නේ නාලිනී විතර ය.
“හිනා වෙලා හිටියට ඇත්තටම මට අඬන්න ඕනෙ ඒයි”
කියමින් නාලිනී රෝහණ ගේ පපුවෙහි මුහුණ තියා ගත්තේ නිදන්නට යහනට වැටුණාටත් පස්සේ ය. ඒ හඬන්නට ඕනෑ කම දවල් සිට ම ඇයට දැනෙමින් තිබිණ.
“අපි කාටවත් වරදක් නොකර අපේ පාඩුවෙ ජීවත් වෙච්ච මිනිස්සුනෙ නාලිනී. ඒක නිසා අපේ දරුවන්ට වරදින්න විදිහක් නෑ”
රෝහණ හෙමිහිට නාලිනී ගේ හිස කේ අතර අතැඟිලි යවා හිස පිරිමැද්දේ ය. නාලිනී ඇස් වලට ඕනේ කියා හිතෙන තරමක් හඬන්නට ඇරියා ය.
“හැම දේම වෙන්නෙ හොඳට. දෙයක් නොලැබී යන්නෙ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න. සමහර තැන් වලදි කම්පා නොවී හිත් හදා ගන්න මේව අපිට හොඳ පාඩං”
ඒ උදය නිර්වාණයට උදා වූ සුන්දර ම උදෑසන සේ අයානා ට දැනිණ. නිර්වාණය මත්තෙන් ලස්සනට ම ඉර පෑයුවේ එදා ය. ඒ ඉර එළියේ වර්ණ ගෙන ලස්සනට ම කහ අරලියා හා සීනියාස් මල් පිපුණේ එදා ය. අයානා අරලියා අත්ත පාත් කරගෙන මල් කඩමින් සිටියදී අරලියා අත්ත අල්ලා ගත් අත දුල්නෙත් ගේ ය. අයානා කහ අරලියා මලක් වාගේ ම සිනහ වූවා ය.
“මෙන්න මේක අම්ම දෙන්න කිව්ව”
අරලියා මල් කැඩීමෙන් පස්සේ ඔහු බෑග් එකෙන් පාර්සලයක් ගෙන අයානා අතට දුන්නේ ය. එයින් කෑම රුචිය වඩවන සුවඳක් විහිදිණි. අයානා එය සිඹ බැලුවා ය. ඇගේ ඇස් වලින් තාරකා එළියක් විහිදිණි.
“පොළොස්…මටද දුන්නෙ..”
“අම්මට දෙන්න කියල දුන්නෙනං”
ප්‍රියන්ති පෙර දා රාත්‍රියේ ඒ පොළොස් මාළුව පිසුවේ නාලිනී ට ටිකක් යවන්නට හිතා ගෙන ම ය. වත්ත පිටුපස ඇති ගහෙන් බිලින් ගෙඩි කිහිපයක් කපා දමා පහේ බැද කළුවට ඇය පිසිනා පොළොස් ඇඹුල කන්නට නාලිනී ඉස්සරත් පෙරේත වූවා ය.
“අනේ මේ මට බෑ ඕව උස්සගෙන යන්නනං”
දුල්නෙත් බොරු ආඩම්බරයක් පෙන්වූයේ ය.
“ඔව් ඔව්. උඹට බෑ නාලිනී ආන්ටිට ගිහින් දෙන්න කියපු නිසා. අයානාට ගිහින් දෙන්න කිව්වනං යසට ගෙනියයි”
තව දුරටත් අම්මා ගේ කට අවුස්සා නො ගෙන දුල්නෙත් එය බෑග් එකෙහි ඔබා ගත්තේ ය.
ඒ සිද්ධිය සිහි වී මේ මොහොතේත් දුල්නෙත් ගේ දෙතොලතර දඟකාර මන්දහාසයක් සරැලි නගන්නට විය. අයානා එදෙස බලා සිටියේ ආදරයෙනි.
“තැන්කූ දුල්නෙත්”
ඔහු ඇයි කියා ඇසුවේ ඇස් වලිනි.
“මට ආයෙම ජීවත් වෙන්න හේතුවක් වුණාට”
“මං ගිහිං එන්නද එහෙනං”
“ලන්ච් වලට එනෝ නේ..”
“ඔව් ඉතිං…අපේ අම්ම බත් එකක් බැඳල දුන්නෑ අද. ඇයි ඉතිං ඔයාගෙ අම්ම කිව්වනෙ මොකට බත් උස්සං එනවද මෙහෙං කන්න පුළුවන්නෙ කියල”
ඔහු සෝරත මාවත පැන ඉදිරියට ඇවිද යන තෙක් අයානා මඳහස් දෑසින් බලා සිටියා ය. මංජරී ඈ ළඟට ම පැමිණෙන තුරුත් අයානා නොදුටුවේ ඇගේ ඇස් මුලුමනින් ම දුල්නෙත් වෙතට යොමු වී තිබි නිසා ය. ඈ ඉදිරියේ කෙලින් ම මූණ බලා ගෙන සිටිනා මංජරී දුටු අයානා ගැස්සී ගියා ය.