මංජරී වඩාත් නිහඬ වූවා ය. වැඩි වැඩියෙන් ඇය සිය ඇතුළාන්තය සමග දොඩමළුවක සිටි නිසා විය යුතු ය. දේශන වලට නොයා ඇනෙක්ස් එකට වී හුදෙකලාවේ ගුලි වී සිටින්නට ඇයට දැඩිව ඕනේ විය. කන්නේ බොන්නේ හෝ නැතිව එක දිගට නිදා ගැනීමට තරම් වෙහෙසකර බවක් ඇයට දැනිණ. සමහර වෙලාවට හුස්ම ගන්නට අසීරු බවක් ද ඇයට දැනුණේ ය. මිය යාමට ආසන්න වී ඇතිද කියාත් ඇය සිතුවා ය. නමුත් දරුවෙකු කුසට ආවා කියා මැරෙන්නේ නැති බව මංජරී අත්දැකීමෙන් ම දන්නී ය. ඒ කාලේ අම්මා කුසින් නිදහස් වූ ගමන් යළිත් ගැබ් ගත් හැටි ඇයට මතක ය. ගෙදර ළමයින් පෝළිමකි. බාල අය ඔක්කේ ගසා ගෙන සිටීම ටිකක් ලොකු අයට පැවරේ. ඔවුන් ට කැවීම පෙවීම ද නෑවීම ද අනික් සියලු කටයුතු ද කළ යුතු වූයේ වැඩිමලුන් ය.
“එයා වදනව විතරයි. අපි ළමයි හදන්න ඕනෙ”
අක්කලා නිතර මුමුණනු මංජරී ට අද ඊයේ මෙන් මතක ය. කොයි තරම් ළමයින් කුසට ආවත් ගැහැනියකට එය අමුත්තක් නොවන බව පසක් වූවත් ඇයට දැනෙන මේ අපහසුව කුමක් දැයි මංජරී ට වැටහුණේ නැත. ඇතැම් විට එය කයට නොව මනසට දැනෙන විඩාවක් විය යුතු යයි ඇය සිතුවා ය.
විශ්ව විද්‍යාලයට නොයා සිටිය නො හැකි වීමට තිබූ එක ම හේතුව අයානා ගේ කෙටි පණිවිඩය ය. එය සිහි වෙත්දීත් මංජරී ගේ අතුණුබහන් වල දැවිල්ලක් හට ගනී.
එදා විදුර උදයෙන් ම පිබිදී කොහේදෝ ගියේ ය. ඔහු විශ්ව විද්‍යාලයෙන් තාවකාලික ව නිවාඩු ලබා ගෙන තිබිණ. මංජරී විජේරාමට ආවේ පයින් ම ය. ත්‍රීරෝද රියක නැගෙන්නට ප්‍රමාණවත් මුදලක් අත වී ද පයින් එන්නට ඕ කැමති වූවා ය. හිතේ වන්නේ මහ බරකි. ඇවිදීමේදී ඒ බර ටික ටික අඩු වෙනු ඇතැයි ඇයට නිකමට සිතිණ.
ඒ ඇවිදීම සිහිනයෙන් ඇවිදීම වාගේ එකකි. මංජරී ගේ හිත යකා ගේ කම්මල සරි වූයේ ය. එහි ඉස්මතු නොවූ සිතිවිල්ලක් නැති තරමි. රාත්‍රී නින්දක් සිහින විසින් සමතුලිත කරන්නේ යම් සේ ද ඇගේ ගමන සමතුලිත කරවූයේ ඒ සිතිවිලි ය.
නිර්වාණයට පිවිසි ඕ වතුර වීදුරුවක් ෆිල්ටරයෙන් ගෙන බීගෙන බීගෙන ගියා ය. ඊළඟට ඇය ළඟට ම ආ අයානා දෙස බලා සිනහවක් පෑවා ය. ඒ සිනහව පොඩි දැරියකගේ වාගේ එකකි.
“ඔයාට මුකුත් අමාරුවක් එහෙම දැනෙනවද…”
අයානා මංජරී ගේ ඇස් වලින් ආත්මය විනිවිද යන බැල්මක් හෙළුවේ ඇය අපහසුවකින් වාගේ යි සිතුණ නිසා ය. නමුත් මංජරී යළිත් මඳහසින් හිස සලා නැතැයි හැඟවූවා ය.
“මේක කන්න. ඔයා කැමතිනං මෙතන ඉඳං වුණත් කන්න පුළුවන්”
“දැංම කන්න බෑ”
ඇය කෙඳිරුවා ය.
“මේක ලොකු ප්‍රශ්නයක් තමයි. හරි අපි ප්‍රශ්නෙ හිමීට විසඳගමු. ඒත් මේ වෙලාවෙ ඔයාගෙ බඩේ චූටි පැටියෙක් හුස්ම ගන්නවනෙ. එයාට සනීපෙට ලොකු වෙන්න ඕන කරන දේවල් දෙන්නත් අපි මතක තියා ගන්න ඕනෙ. විශේෂයෙන් ම පෝෂණය. ඔයාට ප්‍රශ්න විසඳෙනකල් කන්නැතුව ඉන්න බෑ. මොකද ඔයා එයා වෙනුවෙන් කන්න ඕන. අනිත් එක මානසික සුවය. මේ වෙලාවෙ ඒක ඔයාට නෑ කියල මං හොඳටම දන්නව. ඒත් ඔයා දන්නවද අම්ම දුකෙන් හිටියොත් බඩේ ඉන්න දරුව ප්‍රීතිමත් දරුවෙක් වෙන්නෙ නෑ කියල මං කියෝල තියනව. ඒක නිසා අපි මේව විසඳගන්න බලමු. මේ වෙලාවෙ ඔයාව අමතක කරල දරුව වෙනුවෙන් ජීවත් වෙන්න. හරිද…මෙතන පළතුරු ටිකකුත් තියනව. සැරෙන් සැරේ කන්න. මං හැමදාම ඔයාට කෑම එකක් හදල තියන්නං. ඒක කරදරයක් කියල හිතන්න එපා”
මංජරී එක වචනයක් හෝ කතා කළේ නැත. ඇගේ උගුර මැද ගිනියම් බෝලයක් වැනි යමක් හිර වී ගෙන තිබිණ. නමුත් ඕ වරින් වර සිනහ වෙන උත්සාහයන් ගත්තා ය. ඒ උත්සාහය වැඩිපුර හැඬුමකට සමීප වූයේ ය.
“හෙටත් එන්න. හෙට විතරක් නෙවේ. ඕන වෙලාවක ඕන දේකට එන්න. නිර්වාණෙ දොර ඇරිල තියෙන්නෙ”
මංජරී නික්ම යත්දී ඇගේ උරහිසකට අත තබා අයානා කීවා ය. මිනිසුන් වැඩි වැඩියෙන් හොඳ වෙත්දී එය පපුවේ බරක් ව පීඩා දනවන්නේ ඔවුන්ට නරකක් කරන්නට සිතූ මිනිසුන්ට ය.
පසු දා ඇය ආවේ නැත. අයානා බත් මුලත් තබා ගෙන බලා සිටියා ය. මංජරී ගේ දුරකතනය ක්‍රියාත්මක වූයේ ද නැත. අයානා විනාඩි පහෙන් පහට මංජරී ගේ දුරකතනය අංකනය කළා ය. එහැම විටෙක ම ලැබුණේ එක ම ප්‍රතිචාරයකි.
‘ඔබ ඇමතූ දුරකතනයේ ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න!’
“මංජරී කැම්පස් ඇවිත් නැද්ද බලන්න”
කියා අන්තිමට අයානා දුල්නෙත් ට කතා කොට කීවා ය. ඔහු ඇය සිටිතැයි සිතත හැකි බොහෝ තැන් වල විපරම් කළ ද සළකුණක් සොයා ගත හැකි නොවිණ. අවසන මංජරී ගේ පීඨයේ තරුණියක ගෙන් විමසුවේ ය. මංජරී අද දේශන වලදී නොදුටු බව දැන ගත හැකි වූයේ ඇයගෙනි.
දිවා ආහාර ගැනීමෙන් අනතුරුව නිර්වාණයේ පුස්තකාල කොටසේ මේසයක් දෙපස දුල්නෙත් සමග ඉඳගෙන ඉන්නා ගමන්, අයානා මංජරී ගේ අතුරුදන් වීම ගැන තැවුණා ය.
“මට බයයි මේ ළමය ගැන. එයාගෙ මූඩ් එකත් ඊයෙ හරිම වෙනස්. මේ වගේ කන්ඩිශන් එකකදි කොයි තරං ඉගෙන ගත්ත කෙනෙක් වුණත් ඩීප්‍රෙස්ඩ් වෙන්න පුළුවන්. තව දුරටත් ඒ තත්වෙ උහුල ගන්න බෑ කියල දැනෙද්දි ලේසියෙන් තෝර ගන්නෙ ජීවිතේ අත් අරිනව කියන එක…මංජරීත් එහෙම තැනකට එයි කියල මට බයයි දුල්නෙත්”
“මංජරී එච්චර දුර්වලනං නෑ මං දන්න හැටියට. ඔයා බය නැතුව ඉන්න”
මේසය මත සිහින් උස වීදුරු බඳුනක දමා තිබූ ට්‍රයිඩැක්ස් මලක් ගෙන දුල්නෙත් ඉන් මල් මුදුවක් හැදුවේ ය.
“හරි ඇබ්සන්ට් වුණා කියමු. ඒත් මේ ළමයගෙ ෆෝන් එක කන්ටැක්ට් කර ගන්න බැරි ඇයි…මං කොච්චර සැරයක්නං ගත්තද…”
“හෙට එයි. ඔයා කලබල නොවී ඉන්නකො”
ට්‍රයිඩැක්ස් මල් මුදුව දුල්නෙත් අයානා ගේ අතැඟිල්ලක දැමුවේ ය. යුවතිය ඇස් වලින් සිනහ වූවා ය.
“අපි බලමු විදුර කියන්නෙ මොනාද කියල. එයත් ආන්සර් කරන්නෑනෙ. මන් දන්නෑ විදුර මොනා කරයිද කියල. මොනා කළත් අපි බබා හදාගමු දුල්නෙත්”
“මොකද්ද…”
දුල්නෙත් ගැස්සී ගියේ ය. ඒ ගැස්සීම අයානා ව සිනහවකින් විකසිත කරවී ය.
“නෑ මං කියන්නෙ…මංජරීට බබාව හදා ගන්න අපි උදව් කරමු. එයා හිතන්නෙ විදුර නැති වුණොත් ඒක කර ගන්නෙ කොහොමද කියලනෙ…බබෙක් කියන්නෙ එක අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට විතරක් අයිති වස්තුවක් නෙවෙයිනෙ. එයා මුළු ලෝකෙටම අයිති වස්තුවක්. එහෙම ලෝකෙට එන චූටි මැණිකක් දවසක ලෝකෙ වෙනස් කරන…ලෝකෙ සුවපත් කරන මනුස්සයෙක් වෙන්න පුළුවන්”
“කොහොමද ඔහොම හිතන්න පුරුදු වුණේ…ම්…”
පෙම්වන්ත බැල්මකින් දුල්නෙත් අයානා ගේ මූණට එබුණේ ය.
“මං අහන්නෙ…ඔච්චර හොඳ වෙන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද…”
“විශේෂ හොඳක් මගෙ නෑ දුල්නෙත්. මනුස්සයෙක් විදිහට මිනිස්සු එක්ක ජීවත් වෙලා මැරිල ගියොත් මට ඇති”
අයානා ගේ සුදු මුදු ඇඟිල්ලක වන මල් මුදුව, දුල්නෙත් සිය අතැඟිල්ලකින් එහෙ මෙහෙ කළේ ය.
අයානා ඉදිරියේ මංජරී ගැන බියක් නැති බව හැඟවී ද දුල්නෙත් ට ද වෙනසක් නො දැනුණා ම නොවේ. මංජරී ඉක්මන් තීරණ ගන්නට හපනියක බව ඇය ඇසුරු කළ ටික කාලයට ඔහු තේරුම් ගෙන සිටී. බොහෝ අවස්ථා වල එකී තීරණ බුද්ධිමත් ඒවා ද නොවේ. මේ වෙලාවේත් අයානා කීවා සේ ඈ සිය ජීවිතය ගැන මෝඩ තීරණයක් ගන්නට බැරි කමක් නැත. එසේ සිතත්දී දුල්නෙත් ගේ සිත කීරි ගැසී යයි. ඔහු රාත්‍රියේ ද කිහිප විටක් ඇගේ දුරකතනය සම්බන්ධ කර ගැනීමේ උත්සාහයක් ගත්තේ ය. නමුත් අසාර්ථක විය.
පසු දා ද ඊටත් පසු දා ද තත්වය එය ම විය. මංජරී විශ්ව විද්‍යාලයට ආවේ නැත. එක වතාවකට හෝ ඇගේ දුරකතනය ක්‍රියා කළේ ද නැත. විදුර ද විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ගෙන සිටියෙන් ඇය ගැන තොරතුරක් ලබා ගත හැකි කිසිවෙක් නො වූහ. නැවතී ඉන්නේ උඩහමුල්ලේ කියා කීවාට නවාතැනක ලිපිනයක් හෝ ඉසව්වක් ඇගේ පීඨයේ කිසිවෙකු දැන සිටියේ නැත.
“අපි පොලීසියට කම්ප්ලේන් කරමුද…මේ ළමය ගමේ ගියාද කියන්නත් බෑනෙ. කොහොම වුණත් පොලීසිය විදුරගෙන් හරි අහයිනෙ…ඒ මිනිහ අපිට කෝල් ආන්සර් නොකළට..”
තුන් වන දිනයේ හවස අයානා දුල්නෙත් ගෙන් එවැනි විමසීමක් කළා ය. දැන් ඔහු ට මංජරී ගැන කිසිදු වගකීමක් නොමැති වී ද මනුෂ්‍යත්වයේ නාමයෙන් එසේ කළ යුතු ව ඇති බව දුල්නෙත් ද තීරණය කළේ ය. ඒ අනුව පසු දා උදයේ පොලීසියට පැමිණිලි කරන්නට තීරණය කොට ගෙන එදා ඔවුහු සමු ගත්හ.
පසු දා උදයේ නිර්වාණ ද්වාර ය විවර කරත්දී අයානා දුටු දසුනින් ඇගේ මුව මඳක් විවර වූවේ ය. රතු පැහැති ගවුමක් හැඳ ගෙන මංජරී නිර්වාණය ඉදිරිපිට කහ අරලියා ගසට පිට දී හිට ගෙන සිටියා ය. අයානා රෝලර් දොර විවර කොට වැඩි වෙලාවක් නැති නිසා මංජරී එතැනට ඇවිත් ද වැඩි වෙලාවක් නො විය යුතු යයි අයානා ගේ සිත වහ වහා නිගමනය කළේ ය. ඒ මොහොතේ ම ඕ දෙවියන් ට හිතෙන් පින් දුන්නා ය.
“අනේ දෙයියනේ ඔයාට මොකද වුණේ…මං බය වෙලා හිටිය තරමක්..”
දුම් කබල පසෙක තබා අයානා පියවරක් ඉදිරියට තබත්දී මංජරී පියවර දෙක තුනක් අයානා වෙතට තැබුවා ය. අයානා මංජරී ව වැළඳ ගත්තේ ඇස් පියවෙනා සැනසිල්ලකිනි.
නමුත් බිය වෙන්නට යමක් නොවන බවට මංජරී ගේ සිනහ මුහුණ සාක්ෂි දරයි. නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා අතරේ යහපත් එකඟතාවයක් ඇති වෙන්නට ඇතැයි අයානා ට සිතිණ.
“කොහොම හරි කමක් නෑ. දැං ඉතිං ඔයා ආවනෙ. මායි දුල්නෙතුයි අද පොලිස්ටේශන් එකට යන්නයි හිටියෙ. කම්ප්ලේන් එකක් කරන්න”
නිර්වාණය ට ගොඩ වූ මංජරී අයානා ගේ මුහුණ බලා සිනහ වී ගෙන ම අසුනකට බර වූවා ය. ඒ සිනහවේ කියන්නට ලොකු කතාවක් ඇති බව දැනුණෙන් අයානා යාබද පුටුවේ අසුන් ගත්තා ය.
“ඇයි ෆෝන් එක වැඩ කළේ නැත්තෙ…මං බත් මුල් බැඳගෙන කොච්චරනං කෝල්ස් ගත්තද…”
“ඔයා කොච්චර හොඳද…ඔයත් එක්ක බලනකොට මං කොච්චර නරකද…”
හිනා වෙවී කියන්නට ගත්තා ට අන්තිම වචන ටික කියත්දී මංජරී ට හැඬුම් ආවේ ය.
“හරි හරි. අඬන්න හොඳ නෑනෙ ඔයාට. ඉතිං කොහොමද අපේ බබා බෝලෙ…සනීපෙං නේද එයා…”
අයානා මංජරී ගේ උදරය යන්තමින් පිරිමැද්දා ය. මංජරී ලේන්සුවෙන් මුහුණ පිස දා ගෙන යළිත් වරක් සිනහවකින් මුව සරසා ගත්තා ය.
“විදුර මොන විදිහෙ තීරණයක් අරං තිබුණත් අපි ඔයාට බබා හදා ගන්න උදව් කරනව. මං දුල්නෙත් එක්කත් ඒ ගැන කතා කළා. වෙච්ච වැරදි ගැන හිතන්නැතුව දැං ඉතිං අපි වෙන්න තියන දේවල් ටික හරියට කරගමු. ම්..ඉන්න මං කිරි එකක් හදා ගෙන එන්නං”
කියාගෙන අයානා අසුනෙන් නැගිටින්න හදනකොට ම මංජරී ඇගේ අතක් අල්ලා ඈ වැළකූවා ය.
“එයා දැං නෑ අයානා”
මංජරී කීව අයානා ට තේරුණේ නැත.
“කවුද…විදුරද…”
“බබා. එයා ගියා. එයාට යන්න කියන්න වුණා”
අයානා පුටුව මත හිඳවුණේ පපුවේ පිච්චිල්ලක් එක්ක ය.