මල්වර මල් සර -41

මංජරී ට බෝඩිමකට ගෙවන්නට මුදල් අතේ තිබිණි. ඒ, පසු ගිය මාස කිහිපය තුළ මහපොළ ශිෂ්‍යාධාර වශයෙන් ලැබුණු මුදල් වියදම් නොවී ඉතිරි වූ නිසා ය. ගෙදර විය හියදම් ද ගෙවල් කුළී ගෙවීම ද සිදු කළේ විදුර ය. 

බෝඩිං කාමරයේ තට්ටු ඇඳන් දෙකෙහි තවත් ගෑනු ළමයි තිදෙනෙක් වූහ. ඉන් දෙදෙනෙකු ම වෙනත් පීඨයක සිසුවියන් වූ අතර මංජරී ගේ පාඨමාලාව හදාරණ එක් සිසුවියක් පමණක් ඒ අතර වූවා ය. බෝඩිමේ හිස් ඇඳක් ඇති බවට ඉඟියක් ලැබුණේ ද ඇයගෙනි. 

මුලදී දුල්නෙත් වාගේ කඩවසම් කොල්ලෙකු ගේ පෙම්වතිය වීම නිසා ද පසුව විදුර වාගේ පෞරුෂවත් දේශකවරයෙකු ගේ හිත් ගත් තැනැත්තිය වීම නිසා ද මංජරී පීඨයේ ළමයින් ට ලොකු කමක් පෙන්වා ගෙන සිටියා ය. අවසන ඒ සියල්ල අහිමි වී ඇය ඔවුන් ගෙන් පිහිටක් ඉල්ලා ගෙන ගිය කල ඔවුන් තැනක් හොයා දුන්නේ අනුකම්පාව මත ම නොවේ. අය පත්ව ඇති තැන ගැන කතා කොට සිනහ වෙමිනි.

මංජරී ඒ බව දැන සිටියා ය. නමුත් ඕ ඒ කිසිත් නො තකා කර බා ගෙන සිය කාරිය කර ගන්නට තදින් සිතට ගත්තා ය. කවදත් ඇයට හොඳ ම මිතුරියක සිටියේ නැත. දැන් මේ තනි කම දේවාශිර්වාදයක් සේ පිළිගන්නට ඇය හිත හදා ගෙන සිටියා ය. බෝඩිමේ සගයන් උයා ගෙන කෑවත් ඇය එවැනි සාමූහික වැඩ වලට හවුල් නොවී පිටතින් කෑම ගන්නට ද තීරණය කර ගත්තා ය.

එදා උඩහමුල්ලේ ඇනෙක්ස් එකෙන් ත්‍රීරෝද රියෙහි බඩු පටවා ගෙන ඇවිත් අලුත් බෝඩිමෙන් ඒවා තබා විශ්ව විද්‍යාලයට ගිය මංජරී කැන්ටිමට ගියේ කුස ගින්නක් හින්දා ම නොවේ. කුස ගිනි නො දැනෙන තරමට ඇගේ හිත් ගින්න ඇවිළෙයි.  නමුත් පසු ගිය දින වල කාය ශක්තිය පිරිහී ගොස් තිබුණෙන් ටික ටික හෝ ශක්ති පොදක් ඇඟට දමා ගත යුතු බව ඇගේ යටි හිත ඉඳ හිට කොඳුරා කීවේ ය. පෙර දා රාත්‍රියේත් කෑමක් නොකෑවෙන් ඇය කැන්ටිමෙන් මොනවා හෝ කන්නට සිතා එහි ගියා ය. දුල්නෙත් සහ ඔහු ගේ මිතුරන් කිහිප දෙනා කැන්ටිමෙහි කෑම කමින් සිටිනු ඇය දුටුවේ ඒ වෙලාවේ ය. ඇය ආපසු හැරෙන්නට හිතත්දී ම සුමීර ඔහු ව දුටුවෙන් මංජරී කෙටි කෑමක් ගෙන මේසයක් වෙත ගියා ය.

“කොහොමද උඩ පැනපු පැනිල්ල..අන්තිමට දැන් පස්ස බිම ඇනගෙන ඉන්න හැටි…”

සුමීර මුමුණා කීවේ ය. දුල්නෙත් යන්තම් ඇදෙස බැලුවා විතර ය. ඇය පව් කියනා හැඟීම හිතේ තිබුණත් මංජරී සමග වැඩි සමීප සබඳතාවයකට නොයා ඉන්නට දුල්නෙත් තීරණය කර ගෙන සිටියේ ය. 

“ඕව මේ චිංචිමානවිකාවන්ට හොඳ පාඩං”

“අපිට මොකෝ බං. අපි පාඩුවෙ කමු”

“අපිටනං කමක් නෑ තමයි. ඒත් බලහංකො මේකි කර ගත්ත අපරාදෙ”

“එයා ඒකෙං පාඩමක් ඉගෙන ගත්තනං අපරාදයක් නෙවේ”

විදුර ගේ රුව කැන්ටිමට ඇතුළුවනු දුල්නෙත් දුටුවේ හරි හදිසියේ ය. 

 මේ වෙත්දීත් විදුර සයුරංග ඒකනායක හිටියේ නිවාඩු පිට ය. නමුත් එදා විශ්ව විද්‍යාලයට එන ලෙස ඔහු ගේ හිත බල කොට සිටියේ ය. කුමක් හෝ නො සන්සුන් කමක් ඔහු ගේ සිරුර පුරා දිව යමින් තිබිණ. මංජරී කළ දේ ඔහු ට රිදවූයේ ය. ඇය අළුයම ලූ කෙළ පිඬක් සේ ඔහු අත් හැර දැමුවා ය. අයානා ගෙන් කෙසේ වී ද මංජරී වාගේ කෙල්ලකගෙන් විදුර කොහෙත් ම එවැනි දෙයක් බලාපොරොත්තු වූයේ නැත.

ඈත මේසයක සිටි මංජරී ව සේ ම මෑත මේසයක සිටි දුල්නෙත් ව ද විදුර දුටුවේ එකට ම වාගේ ය. ඔහු ඔවුන් දෙදෙනා දෙස ම මාරුවෙන් මාරුවට බැලුවේ ය. ඊර්ෂ්‍යාවක් ද සියල්ල විනාශ කොට දැමීමේ කුරිරු ආශාවක් ද ද්වේශයක් ද වැනි චිත්තවේග සමූහයක් රුදු සුළඟක් සේ ඔහු වට කොට ගත්තේ ය. විදුර දිගු අඩි තබා දුල්නෙත් සිටි මේසය වෙතට පැමිණියේ ය. තරුණයන් සියලු දෙනා ගේ අවධානය ඔහු වෙත යොමු වී ද  කිසිවෙකු ඔහු දෙස බැලුවේ නැත.

“ඔන්න තමුසෙට ආයෙ චාන්ස් එක ඇවිත්”

විදුර ගේ සමච්චල් සහගත හඬ කැන්ටිම පුරා රැව් නැගෙන තරමට උස් වූයේ ය. දුල්නෙත් විදුර දෙස බැලුවේ ඒ වෙලාවේ ය.

“ඔව් මේ තමුසෙට තමයි කියන්නෙ. අරයට තමුසෙ නැතුව හරියන්නෑලු. ඔන්න ආව. බාර ගන්නවකො එහෙනං ආයෙ…ටික කාලයක් මාත් එක්ක හිටියට මොකද…”

දුල්නෙත් ට දැනුණේ කිසි සේත් තමන් ව පාලනය කර ගත නො හැකි කේන්තියකි. මහා හයියෙන් පුටුව පස්සට තල්ලු කරමින් ඔහු නැගී සිටියේ කෙළින් ම විදුර ගේ කමිස කොලරයෙන් අල්ලා ගනිමිනි.

“මොකද්ද මිනිහො තමුං කියන්නෙ…”

දුල්නෙත් ගේ ඇස් කෙළින් ම විදුර ගේ ඇස් වෙත එල්ල වී තිබිණ. ඒවා පුපුරු ගසන්නට වූයේ ය. විදුර දැන සිටියේ සමච්චලයෙන් කට ඇද කරන්නට පමණකි. 

“ඇයි තමුසෙ මට ගහන්නද…ගහනව බලන්න..”

විදුර එසේ අභියෝග කළේ විශ්ව විද්‍යාල ආචාර ධර්ම යටතේ දුල්නෙත් ව උපරිම දඬුවමට ලක් කිරීමේ බලාපොරොත්තුවෙනි. සුමීර ඇතුළු මිතුරෝ වහ වහා දුල්නෙත් ව විදුර වෙතින් ඉවත් කර ගත්හ. නමුත් ඔවුන් ට තවත් යමක් සිතන්නට තරම් හෝ කාලයක් ලැබුණේ නැත. මේස පුටු අතරින් විදුලියක් සේ ඇදී ආ මංජරී විදුර ගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළා ය. 

ඒ පහර නිසා ඇති වූ හඬ කැන්ටිම පුරා විසිර ගියේ ය. මේ සිදුවීම මත කැන්ටිමෙහි සිටි සියලු දෙනා අතරේ වූයේ දැඩි නිහඬතාවයකි. ඒ නිශ්ශබ්දතාවය තුළ මංජරී ගේ අතුල් පහර ප්‍රතිරාව නැගුවේ ය. 

“බලු කතා කියන්නෙපා මිනිහො. තමුං බලු වැඩ කරන බල්ලෙක් වගේ මිනිහෙක් තමයි. ඒත් මෙහෙම තැනකට ඇවිත් බලු කතා කියන්නෙපා”

මංජරී ගිරිය යටින් කෑ ගැසුවා ය. හදිසි කුණාටුවක් වාගේ අවට වායු අංශු අතරේ වෙනසක් ඇති ව තිබිණ. අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇහෙන තරම් වූ නිශ්ශබ්දතාවයකට පසු විදුර ගේ කළු සපත්තු අඩි සිමෙන්ති පොළොවේ ගැටෙන හඬ ඈතට තුනී වී ගියේ ය. ඔහු තව වචනයක් හෝ නො කියා නික්ම ගොස් තිබිණ!

මුණු මුණුව පටන් ගත්තේ ඉනික්බිති ය. රංචු වශයෙන් සිසුහු ඉතා හෙමිහිට කතා කරන්නට ගත්හ. ඒ සියලු දෙනාට මාතෘකාව වූයේ විදුර, දුල්නෙත් හා මංජරී ය. සිසුන් අතරින් බොහෝ දෙනා ඔවුන් අතරේ සැබවින් සිදු වූයේ කුමක් දැයි දන්නේ නැත. ඒ නිසා ඔවුහු වෙන වෙන ම තම තමන්ගේ නිගමන වලට එළඹියහ. මංජරී මේසයෙහි හිස තියා ගෙන සිටිනු පෙනිණ. දුල්නෙත් ඇතුළු මිතුරෝ කැන්ටිමෙන් නික්ම ගියහ.

මංජරී ට කිසිදු පසු තැවීමක් දැනුණේ නැත. මේ වෙලාවේ හෝ විදුර ට අතුල් පහරක් එල්ල කරන්නට හැකි වීම ගැන ඇය තමන් පිළිබඳව සතුටු වූවා ය. ඇයට උහුලා ගත නො හැකි වූයේ දුල්නෙත් ට සිදු වූ අපහාසයයි.

එදා උදේ තිබුණ දේශනයට සහභාගී වූවා ට දුල්නෙත් ට එහි හිත රඳවා ගත හැකි වූයේ නැත. ඒ නිසා ඔහු දේශනයෙන් පසු නිර්වාණය වෙත ගියේ ය. අයානා සේපාලිකා මල් පිපෙනා සිනහවකින් ඔහු පිළිගෙන මොහොතකින් නළල රැලි නංවා ගත්තා ය.

“ඇයි…”

“ඇයි…”

දුල්නෙත් ඇසුවේ සිනහ වී ගෙන ය. නමුත් ඒ සිනහවට යටින් වියවුලක සලකුණක් අයානා ට හැඳිනිය හැකි විණ.

“මොකක් හරි ප්‍රශ්නයක් ද දුල්නෙත්”

ඔහු පුස්තකාල කොටස වෙත ගියේ හෙමිහිට ය. අයානා ඔහු ත් එක්ක ම ඔහු ගේ මූණේ ඉරියව් නිරීක්ෂණය කරමින් ගියා ය.

“අම්ම එක්කවත් රණ්ඩු වෙලාද ආවෙ…ම්…”

“රණ්ඩුවක් වෙන්න ගියා තමයි. ඒත් අම්ම එක්ක නෙවේ”

ඔහු ඒ සිදුවීම විස්තර කළේ මුව මඳහස එසේ ම තිබියදී ය. අයානා දුල්නෙත් ගේ අත් බාහුවක් අල්ලා ගත්තා ය.

“දෙයියනේ…මහ පුදුම ජරා මිනිහෙක්. අනිත් මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවේ බින්දුවට දාල හැසිරෙන ආත්ම විශ්වාසයක් නැති මිනිහෙක්”

“මං දන්නෑ ඔය මනුස්සය ආයෙ රෙද්දක් ඇඳගෙන කැම්පස් එකට එන්නෙ කොහොමද කියල…කෙල්ලෙක්ගෙන ගුටි කාල”

“මංජරීට එච්චර හයියක් ලැබුණ එක මාරයි”

අයානා ගෙ මුහුණේ ඇඳුණේ ජයග්‍රාහී හසරැල්ලකි.

“ඔයාට පොඩි හරි සැකයක් තියෙනවද..අර විදුර කියන මෝඩය කිව්ව වගේ…මට ආයෙ මංජරීව ඕන වෙයි කියල…”

දුල්නෙත් එක එල්ලේ අයානා දෙස බැලුවේ ය. ඇය වාචික පිළිතුරක් නො දුන්නා ය. දෙතොල් තද කර ගෙන හිස දෙපසට සැළුවා ය.

“එහෙනං එච්චරයි”

දුල්නෙත් සුසුමකින් මිදුණේ ය.

ඉනික්බිති විශ්ව විද්‍යාලයේදී වුව මංජරී දුල්නෙත් ගේ ඇසට ඇස හමු වන්නට නාවා ය. ඔහු ව ඈතකින් දුටුව ද මගහැර ගියා ය. අයානා ඇය නිර්වාණයට එන තුරු බලා සිටිය ද මංජරී එහි ආවේ නැත. 

විදුර විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වූ බවට රාවයක් පැතිර ගියේ ය. වෙනත් දේශකවරයෙකු ඔහු ගේ තැනට ආදේශ වී සිටියේ ය. සියල්ල සිදු වන්නේත් යථා තත්වයට පත් වන්නේත් එසේ ය. කවුරුන් වෙනුවෙන්වත් සොබා දහම නතර වී බලා සිටින්නේ නැත. 

“පිරිමින්ට පාඩං උගන්නන්න ඕන හොඳම විදිහ තමයි ඒක. උඹ නැති වුණා කියල මං මැරෙන්නෑ කියල අඟවන එක”

දුරාශා ජයග්‍රහණයක සෙවනැලි වැටුණ දෑසකින් යුතුව කීවා ය.

“විදුරට කේන්ති යන්න ඇත්තෙ ඒක තමයි. මංජරී එහෙම එයාගෙන් අයින් වෙලා යන්න තරං හයිය වෙයි කියල එයා කවදාවත් හිතන්න නැතුව ඇති”

“ගෑනු කියන්නෙ එයාලගෙ ඔක්කොම දාසකං කර ගෙන කුණු බැණුං අහගෙන නීති වලට යට වෙලා ඉන්න ඕන අය කියලයි ඒගොල්ලො හිතන්නෙ. එහෙම නෑ කියල ඇඟවෙන එක ස්ටෙප් එකක් තියනකොට පිරිමි දෙදරලා යනව. දැක්කනෙ අපේ සහන්. එදා මං ඔළුව කෙළිං තියං කතා කළත් හරි ඊට පස්සෙ නෑ මට වැඩිය සද්ද දාගෙන පිරිමි ජෝඩු කරගෙන ආවෙ. ඉඳහිට සතා මතුවෙන්න හදන වෙලාවල් නැතුව නෙවේ. හැබැයි මිනිහටම මතක් වෙලා පෙනෙ අකුළගන්නව. මං කියන්නෙ ගෑනු පිරිමිංව බය කරගන්න ඕන කියල නෙවෙයි. දෙන්නම දෙන්නට රෙස්පෙක්ට් කරන්න දැනගන්න ඕනෙ. එහෙම විශ්වාසෙන් ඉන්න බැරිනං වෙන් වෙලා යන්න පුළුවන් වෙන්න ඕනෙ. අපේ මිනිස්සු කරන්නෙ ඩිවෝස් එකකට ගියත් උසාවියෙං ඉඳං ලෝකෙටම ඇහෙන්න තමුං එක්ක ජීවත් වුණ මිනිහට හරි ගෑනිට හරි අපහාස කරන එකනෙ”

මංජරී යළි වරදක් කර ගන්නට තරම් දුර්වල නොවනු ඇති බවට ද වැරදීම් වලින් පාඩමක් ඉගෙන ගන්නට ඇති බවට ද අනුමාන කළ හැකි වීම අයානා ට සතුටක් විය. නමුත් ඇය ඉඳහිටක හෝ නිර්වාණය පැත්තේ නො පැමිණීම ගැන දුකක් හිත අස්සක නො තිබුණා ම නොවේ. ඉස්සර නිර්වාණයේ සුකුරුත්තං බඩු අතරේ සිනහ ඇහිඳි පුංචි කෙල්ල සිහි වන විට අයානා ගේ හිත රිදේ. 

ජීවිතය කියන්නේ අමුතු තැනකි. පුදුම දෙයකි. අද අප වට කොට ගෙන සිටිනා මිනිසුන් තව ටික කලකින් කොහේද කියාවත් සොයා ගත නො හැකි ය. අප අස ඉතිරි වන්නේ ඔවුන් හා බැඳුණු මතක පමණකි. ඒ මතක වල කෙළවර හිත රිදෙනා යමක් සනිටුහන් ව තිබීම, අප මතක හෝ අසලකට ගෙන්වා නො ගන්නට තරම් හේතුවකි. ඒ නිසා හැකි තරම් හිත නො රිදෙනා, දුක නො හිතෙනා තරම් දුරක සිට මිනිසුන් ඇසුරු කිරීම සුදුසු ය.

නාලිනී ගේ පොඩි පොඩි අසනීප තත්ව කිහිපයක් නිසා අතපසු වී තිබි දුල්නෙත් ගේ ගෙදර යාමේ අවශ්‍යතාව යළි මතු ව ආවේ මේ කලබලකාරී බව තුනී ව යත්දී ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles