මල්වර මල් සර – අවසාන කොටස

පශ්චාද් උපාධිය සඳහා අයානා තනිව විදේශ ගත වෙනවා වෙනුවට, තව වර්ෂයක් ඉවසා සිට දුල්නෙත් සමග ම ඇය ඒ ගමන යන එක හොඳ යයි දෙපස මා පියන් සිව් දෙනා ම කීවේ අයානා ගේ ගෙදරින් දුල්නෙත් ගේ ගෙදර ගිය දා ය. එතකොට දුල්නෙත් ද මූලික උපාධිය සම්පූර්ණ කොට අවසාන වන හෙයින් දෙදෙනා ට ම වැඩිදුර අධ්‍යාපන කටයුතු කර ගෙන යා හැකි ය. තනිව විදේශයක ජීවත් වෙනවා වෙනුවට, එතකොට දෙදෙනා වෙනුවෙන් දෙදෙනා ම හිඳිති. 

“ඒත් අයානා කැමති නෑනෙ අම්මලව තනි කරල රටකට යන්න”

දුල්නෙත් එසේ කීවේ අයානා මුලින් කියා තිබූ කතාවක් සිහි කොට ය. අයානා මූණ රතු කර ගනිමින් හිස පහලට හරවා ගත්තා ය.

“කවුද ළමයි කියන්නෙ හැමදාම ඉන්න යන්න කියල…නැද්ද රෝහණ…”

“නැත්තං. දෙන්නම ඔය වැඩිදුර අධ්‍යාපන කටයුතු ටික ඉවර කරගෙන අවුරුද්දකින් දෙකකින් එන එකනෙ තියෙන්නෙ…”

“අයානා දුව බය වෙන්න එපා අම්මල ගැන. දැං ඉතිං අපිට අපි ඉන්නවනෙ…”

“අනේද කියන්නෙ…මැරෙනකල්ම අපි අපිව බලා ගනී දරුවනේ…”

“නෑ ඉතිං දිගටම එහෙ හිටියෙ නැති වුණාට කමක් නෑ. මේ තාම අපේ අත පය හයිය කාලෙ දෙන්නත් එක්කම ගිහිං පරිස්සමට ඒ කටයුතු ඉවරයක් කරල ආවහම ඉවරයිනෙ”

“අනේ ඔව් පුතේ. අපේ දුව ගැන මට බයක් නෑ. ඒත් ඉතිං තමංගෙ කියල කවුරුවත් නැති රටක තනි වෙනවට වඩා…එයා ළඟ පුතා ඉන්නවනං අපිට සැනසීමයි”

ඒ අවසාන ඉල්ලීම නාලිනී ගෙනි. ඒ අනුව ඉහළ උපාධි ලැබීම වෙනුවෙන් දෙදෙනා ම එකවර විදේශ ගත වීමට තීරණය කෙරිණ.

“දන්න කියන මිනිස්සුන්ට කේක් කෑල්ලක් එහෙම දීල ගියාම මොකද වෙන්නෙ නේද…”

ඒ පවුල් දෙක එක පවුලක් වෙන එක පුදුම සැනසීමක් දැනවූයේ ය. දහම් සේ ම දුලනිකා ද යළි ලංකාවේ පදිංචියට පැමිණීමේ බලාපොරොත්තුවක් නොවෙන එකේ, දුල්නෙත් හා අයානා සමග ඔවුන් ගේ දරු පැටවුන් ගේ හුරතල් දකිමින් වයසට යන්නට ඒ දෙමාපිය දෙදෙනා තුළ ම වූයේ මහත් බලාපොරොත්තුවකි. 

“මෙයාට තිබ්බෙ මං මංජරී ගැන තාම හිතනවද කියල ශුවර් නැති කමක්නෙ”

දුල්නෙත් ගේ පරණ පින්තූර ඇල්බම බලන්නට ඔහු ගේ කාමරයට අයානා ව ගෙන්වා ගත් පසු දුල්නෙත් ඈ අසලින් යහනේ හිඳ ගත්තේ එසේ කියමිනි.

“මං ළඟින්ම ඉඳ ගන්නෙ මොකද …අම්මල දැක්කොත් මොනාත් හිතයි අනේ…”

“මොනා හිතන්නද…අම්මල දන්නවනෙ මං බඳින්න ඉන්න කෙල්ල කියල”

අයානා දුල්නෙත් ළඟින් මඳක් ඈත් වී හිඳ ගන්නට ගියා ය. ඔහු ඇගේ උරහිස වටා වමත යවමින් ඈත් වෙන්නට නොදී ඈ රඳවා ගත්තේ ය.

“කවුරුවත් දැං මේ කාමරේට එබිල බලන්නෑ බං”

“ඔයා දැං හරි ගාණට වැඩී හරිද…අර ධර්මාශෝකෙ හිටිය මල්ලි වගේ හිටියොත් හොඳයි”

දුල්නෙත් අයානා ගේ ගෙල තද වන ලෙස සිය ග්‍රහණය දැඩි කරමින් ඇයව තව තවත් ඔහු වෙතට ඇද ගත්තේ ය. අයානා හඬ නැගෙන්නට ආ සිනහව අතින් මුව වසා හිර කොට ගත්තා ය.

“දුල්නෙත්”

එවර ඇය කතා කළේ ආදරයෙන් ඔහු නැහැවී යන ස්වරයකින්, එවන් ම වූ බැල්මකුත් එක්ක ය.

“ම්…”

ඔහු ද ඒ දැඩි ග්‍රහණය ලිහිල් කරමින් අයානා ව නිදහස් කළේ ය. ඇය ඔහු ගේ අතක් සිය අත් දෙකෙන් ම අල්ලා ගත්තා ය.

“මං දැන්ම යනව කියල හිතුවෙ…ඔයා ගැන සැකේකිං නෙවෙයි දුල්නෙත්. ඇත්තටම…මට හිතුණ ඒක ඔයාට නිදහස් හැඟීමක් දෙයි කියල.මං ඔයාව හිර කරගෙන මිට මොළවගෙන ඉන්නව වගේ ඔයාට දැනෙනවද දන්නෑනෙ. මංජරී ගැන ඔයාට අලුතෙන් හිතන්න ඕන කමක් තියනවනං…ඒකට වුණත් මං හරස් වෙලා ඉන්නවද කියල දන්නෑනෙ. එහෙම දෙයක් ඔයාට ඕන වුණත්…මං නිසා එහෙම කරන්න බෑ වගේ දැනෙනවද දන්නෑනෙ. මං ළඟ පාතක නැති වෙනකොට ඔයාට වුණත් නිදහසේ හිතල තීරණයක් ගන්න පුළුවන්නෙ…මංද මංජරීද කියල…තරහකින් නෙවෙයි…ඔයාට තියන ආදරේ ගොඩක් වැඩි නිසයි මං එහෙම කරන්න හැදුවෙ. කොහොමත් මං කැමති මගෙ ළඟ හිර කර ගෙන බලෙං තියාගෙන ඉන්න පිරිමියෙක්ට නෙවෙයි. මං අත් ඇරල ඉද්දිත් ඉගිලිල යන්නැතුව මං ළඟට වෙලා ඉන්න පිරිමියෙක්ට”

දුල්නෙත් අසා සිටියේ නිහඬව ය. අනතුරුව ඔහු හෙමිහිට යහනින් නැගිට ගත්තේ ය. අයානා ට ඇගේ දෑතින් ඔහු ගිලිහී යාම ගැන ලෝබ කමක් දැනිණ. එහෙව් එකේ ඔහු ට සදහට ම අතින් ගිලිහී යාමට හැරීම ගැන හිතීම වුව විහිළුවකැයි ඇය වහා වටහා ගත්තා ය. සමහර දේවල් ප්‍රායෝගික වශයෙන් කරන්නට යත්දී අප හිතනා තරම් පහසු නැත.

දුල්නෙත් හෙමිහිට ජනේලය අසලට ගියේ ය. හිස් අවකාශයට ඔහු ගෙන් සුසුමක් ගිලිහී ගියේ ය.

“සමහර තීරණ තියනව අයානා…ජීවිතේට එක වතාවක් විතරක් ගත්තහම ඇති. ඔයත් මට එහෙම තීරණයක්. එහෙම තෝර ගැනීමක්. ඒක ගලක කොටපු අකුරක් වගේ”

අයානා ගේ හිතට නිහතමානී ආඩම්බර කමක් දැනිණ. ඇය නැගිට දුල්නෙත් වෙත ගොස් ඔහු ගේ උරහිස පිටුපස යන්තම් මුහුණ රැඳවූවා ය. නිර්වාණයක සැනසිල්ල ඇගේ හදවත පුරා ඉහිර ගියේ ය.

ඉනික්බිති දවස් ගෙවුණේ සාමකාමීව ය. ආදරයේ අංශු ඔවුන් අතරේ විසිරෙමින් පැතිරෙමින් තිබිණ. ජීවිතයක් ස්ථාවර සාමකාමී බවකට එළඹි පසු ඔහු ගේ හෝ ඇය ගේ සිරුරෙන් විහිදෙනා ඕරාව දීප්තිමත් වේ. අයානා හා දුල්නෙත් ගේ බාහිර ස්වරූපයේ ඒ සන්සුන් බව මොනවට දැකිය හැකි විය.

මංජරී මුළු ලෝකය ම අමතක කළා ය. අත් හැර දැමුවා ය. ඇය තමන්ව කේන්ද්‍ර කොට ගෙන තමුන් තුළට නැඹුරු වී අධ්‍යාපනය වෙනුවෙන් මුළුමනින් ඇප කැප වූවා ය. මිතුරු ඇසුරක් තිබුණේ ම නැති තරමි. ගමේ ගියේ නොයා ම බැරි නිවාඩුවේ දී පමණි. උසස් පෙළ කරත්දී, ඊට පෙර ඒ තරම් දක්ෂ සිසුවියක නොවී ද විශ්ව විද්‍යාලයට පිවිසීමේ දැඩි අධිෂ්ඨානයෙන් පාඩම් කළේ යම් සේ ද එසේ ම වෙහෙස දරා අධ්‍යයන කටයුතු වල නිරත වූවා ය. එය කෙතරම් දුෂ්කර ව්‍යායාමයක් වී ද ඇයට එහි වගක් වූයේ නැත. ඇය දුටුවේ මල් පිපී ඇති අනාගතයක් පමණකි. ඒ අවසානය වෙනුවෙන් කටු පඳුරු තුරුළු කර ගන්නට වීම ගැන ඇය කිසිදු පැමිණිල්ලක් නො කළා ය.

මංජරී නිර්වාණය පැත්තට ආවේ නැත. අයානා ඇයව දුටුවේ ම නැත ද ඇය අමතක වූවා ද නොවේ. වරක් හෝ දෙකක් අයානා ඇගේ දුරකතනයට ඇමතුම් ගත්ත ද එහි ප්‍රතිචාරයක් වූයේ නැත. සැබවින් මංජරී පරණ දුරකතන අංකය රහසේ ම වෙනස් කර ගත්තා ය. බාහිර ලෝකයෙන් ඈත් වී හුදෙකලා වන්නට එය ඇයට පහසුවක් විය.

අවසාන විභාගයෙන් පසු විදේශ ගත වීම සඳහා අයානා හා දුල්නෙත් කටයුතු සූදානම් කළහ. අවසාන විභාගය නිම වූ වහා ම ඔවුන් ගේ විවාහය සිදු විය. දෙදෙනා ගේ ම කැමැත්ත මත එය සමීපතම ඥාති හිත මිතුරන් කිහිප දෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන් සිදු වූ ඉතා සරල උත්සවයකි. අයානා මංජරී ට ඒ මොහොත වෙනුවෙන් ඇරයුම් කරන්නට ඇමතුමක් ගත්තත් ඇය සම්බන්ධ කර ගත හැකි වූයේ නැත. දුල්නෙත් විමසා සිටි කල දන්නා අය කීවේ ඇය ගමේ ගොස් විය යුතු බවයි. ඒ හැරෙන්නට ඇය ගැන කිසිදු තොරතුරක් සොයා ගත හැකි වූයේ නැත.

තමන් ට අවශ්‍ය තැනට තමන්ගේ ජීවිතය ගෙන යාම තුළින් ලද හැකි මානසික සුවය පිළිබඳව දුල්නෙත් ප්‍රබල හැඟීමක් ඇති කර ගෙන සිටියේ ය. ලෝකය බලාපොරොත්තු වෙන ආකාරයේ ජීවිතයක් වෙනුවෙන් මංජරී හා විවාහ වී නම් ඒ සැනසිලි සුවය අහිමි වන්නට තිබූ බව ඔහු පිළි ගත යුතු විය. ජීවිතයක් රළ නගන වෙරළක් සේ වෙනවාට වඩා සයුරක නිසසල ගැඹුරු ම තැනක් වෙන එක වඩා හොඳ ය!

විදෙස්ගත වීම වෙනුවෙන් ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු වූ පසු හුරු පුරුදු සිනහවක් තමන් වෙතට දැල්වී ගෙන තිබෙනවා අයානා දුටුවා ය. ඒ මංජරී බව හැඳින ගන්නට තත්පරකට වැඩි කාලයක් ගත විණි. සැබවින් ඇය බාහිර පෙනුමෙන් වෙනස් වී හිටියා ය. අතිශය නාගරික පෙනුමක් දරා ගත් මංජරී, පරණ ගම්බද සුරූපිනිය ගේ හැව හැර තිබිණ. දිගට තිබූ ඇගේ කොණ්ඩය උරහිස ළඟට කපා දමා තිබිණ!

“මං…ජ..රී…”

අයානා ඇය වැළඳ ගත්තේ වෙනස් නොවූ උණුහුම් හැඟීමකිනි. 

“අයානා…”

කියන්නට හුඟක් දේවල් මංජරී ගේ හිතේ හිර වී ඇති බවක් පෙනිණ. ඇස් මත කඳුළු පටලයක් බැඳී ගියේ ය. මංජරී දුල්නෙත් ව දුටුවේ ඒ කඳුළු පටලය අතරිනි.

“මං ඔයා කිව්ව විදිහට කළා අයානා. මට ෆුල් ස්කෝල් එකක් දාගන්න පුළුවන් වුණා”

“හරිම සතුටුයි මංජරී. ඔයා ගැන කිසි තොරතුරක් ලැබුන්නෑ. වෙඩින් එක කියන්නත් මං රිං කළා ඒත් කන්ටැක්ට් කර ගන්න බැරි වුණා. ෆයිනල් එග්සෑම් වල  ඔයා ෆස්ට් ක්ලාස් එකක් දාල කියල දුල්නෙත්ගෙන් දැනගත්ත. මට ගොඩාක් සතුටුයි මංජරී. ඔයා මේ ගමන යන්න ඕන කෙනෙක්. ඔයා ආස කරන ලෝකෙ ඉක්මනටම ඔයා ආස විදිහටම හදා ගන්න පුළුවන් වෙන්න කියල මං විශ් කරනව”

මංජරී බිම බලා ගෙන සිනහ වූවා ය. අතීතයේ සිදු වූ යම් යම් දෑ ගැන අවංක පසුතැවීමක් හා ලැජ්ජාවක් ඇයට නො දැනුණා නොවේ. නමුත් පැහැදිලි අනාගතයකට දොරගුලු විවර වී තිබියදී අඳුරු අතීතයක් දෙස හැරී බැලිය යුතු නැති බව ඇයට අත්දැකීම් විසින් ප්‍රත්‍යක්ෂ කොට දී තිබිණ.

නිකට අතකින් පිරිමදිමින් දුල්නෙත් මංජරී දෙස බලා සිටියේ ය. මේ දෙවසරක් තිස්සේ ඔහු ගේ පෙම්වතිය වී සිටි යුවතිය ද කියා ඔහු ට සිතා ගත නො හැකි තරමි. ඇය අත්දැකීම් අතින් මෝරා වැඩුණු ගැහැනියක බව ඇගේ ඇස් දෙක ලෝකයට ප්‍රකාශ කරමින් තිබිණ.

“සයුරංග ඇක්සිඩන්ට් වෙලා තිබුණ මීට මාස කීපෙකට කලින්. මට ගමේ ඇඩ්‍රස් එකට ලියුමක් එවල තිබුණ. මං හිතන්නෙ කාට හරි කියල ලියෝගත්ත එකක්. මාස හතරක් විතර මැෂින්ස් වල පිහිටෙන් ඉඳල බේරුණා කියලයි තිබුණෙ. ඒත් මං එයාව බලන්න ගියෙ නෑ. මට ආයෙ ඒ අතීතෙ දිහා හැරිල බලන්න ඕන නෑ. පරණ කුණු වලින් ගඳ පැතිරෙන එක විතරයි වෙන්නෙ. අනිත් එක අපි කරන පව් වලට දවසක අපි වන්දි ගෙවන්න ම ඕනෙ”

මංජරී දීප්තිමත් සිනහවක් පෑවා ය. නමුත් ඇය පිටින් පෙන්වන්නට උත්සාහ කරන දීප්තියට යටින් දරුණු තුවාලයක වේදනාව දැක හැඳින ගන්නට අයානා සමත් වූවා ය. 

“මේ අන්තිම මොහොතෙ ඔය දෙන්නව හම්බ වුණ එක මට පුදුම සතුටක්. ඇත්තටම ඒක මට ආශිර්වාදයක් වගේ. අයානා..දුල්නෙත්..ඔය දෙන්නටම මගෙං වැරදි වුණා. දුල්නෙත් අයානා ළඟ නතර වුණ එක ගැන පුදුමයක්වත් තරහක්වත් තව දුරටත් මගෙ හිතේ ඉතුරු වෙලා නෑ. ඒක එහෙම නොවුණනං තමයි පුදුම වෙන්න ඕනෙ. දුල්නෙත් බලාපොරොත්තු වුණ ගෑනු ළමය ඇත්තටම මං නෙවෙයි. මං නිසා ඔයාට මොකක්ම හරි හිත් වේදනාවක් ඇති වුණානං සමා වෙන්න දුල්නෙත්. මං වැරදියි. ඇත්තටම මං වැරදියි. ඔයා මට ආදරේ කරන්න උත්සාහ කරද්දි මං ඔයාගෙන් මට අනාගතයක් බලාපොරොත්තු වුණ එකයි කළේ. අයානා මුකුත් බලාපොරොත්තු නොවී ඔයාව වැහිල යන්න ආදරේ කළා. ඒ දවස් වල ඒක මං අයානා ගෙ ඇස් වලින් දැක්ක. මං ගොඩක් බය වුණෙත් අයානාට වෛර කළෙත් ඒකයි…”

“අනේ දැං ඕව හිතන්න ඕන නෑ මංජරී”

අයානා මංජරී ගේ අතක් අල්ලා ගත්තා ය. මේ තරම් දේවල් කියත්දීත් ඉස්සර වගේ ඇඬෙන්නේ නැති එක ගැන ඇත්තට ම මංජරී ට පුදුම ය.

ඇය අලුත් සිනහවකින් මුහුණ විකසිත කර ගෙන අත් ඔරලෝසුව දෙස බැලුවා ය.

“මට යන්න වෙලාව හරි. එහෙනං මං යන්නද…”

අයානා දුල්නෙත් දෙස බලා ඇස් වලින් කීවේ මංජරී ව වැළඳ ගන්නා ලෙස ය. ඔහු අවසාන වතාවට ඇය වැළඳ ගත්තේ ය. ඉක්මනින් ඒ ග්‍රහණයෙන් මිදුණේ මංජරී ය. අයානා තත්පර ගණනාවක් ම ඇය හදවතින් වැළඳ ගෙන සිටියා ය.

ඔවුන් යා යුතු ව තිබුණේ රටවල් දෙකකට ය. දෙපසකට ය.

“සමහර විට ආයෙ කවදාවත් අපි හම්බෙන එකක් නෑ”

ඒ තරම් දුක හිතෙන කතාවක් වුව මංජරී කීවේ සිනහ වෙවී ය. අයානා ගේ හිත පිච්චී ගියේ ය.

“අනේ එහෙම කියන්න එපා මංජරී”

“ආයෙ කවදාවත් ලංකාවට එන්න මගෙ බලාපොරොත්තුවක් නෑ.  මගෙ අතීතෙං මං අනාගතේට මතක තියං යන්නෙ ඔය දෙන්නව විතරයි”

ඇය සිනහවකින් සමු ගෙන ගියා ය. ඇස් වල කඳුළු පුරවා ගෙන අයානා ඈ යන දෙස බලා සිටියා ය. තව මොහොතකින් ඇය හඬනු ඇති බව දැනුණු වහා දුල්නෙත් අයානා ගේ බඳ වටා වමත යවා ඇයව තමන් වෙතට වඩාත් ලං කොට ගත්තේ ය. සුරත ඔහු ගේ බඳ වට දමනා ගමන් අයානා යන්තම් හිස ඔසවා දුල්නෙත් දෙස බැලුවා ය. ඔහු ගේ පිරිමි පෞරුෂය ඒ වෙලාවේත් ඇයව වසඟ කර ගන්නා ලදී. අයානා කඳුළු අතරින් ම මන්දස්මිතයක් පෑවා ය. දුල්නෙත් මඳක් පහත් වී ඇගේ නළලත හාදුවක් තැබුවේ ය. 

සමාප්තයි.

මල්වර මල්සර හා බැඳුණු ඔබේ අසීමිත ආදරයට අපමණක් ආදරෙයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles