ඔබ දකින තුරා -21

අමාරසී සමගින් හැන්දෑවේ ගෙට ගොඩ වෙන විට ම අජිත් ගේ ජංගම දුරකතනය හැඬවිණි. ඔහු ඉස්තෝප්පුවේ ම නතර වී කමිස සාක්කුවෙන් දුරකතනය පිටතට ගෙන තිරය දෙස ඇස් කුඩා කොට බලා සිටියේ ය. සුරක්ෂිත කර ගත් කෙනෙකු නොවේ. ඒ අංකය කාගේ දැයි මතක් කර ගැනීමේ මඳ උත්සාහය අතැර අජිත් පිළිතුරු දුන්නේ ය.

“හෙලෝ”

“අංකල් මං දිසත්”

මේ වෙත්දීත් අමාරසී ගෙතුළට ගොස් අවසාන ය. නිර්මලා අත දිගු කර සැමියා ගේ කාර්යාල බෑගය ඉල්ලා සිටියා ය. නමුත් අජිත් එය දෙන්නට ඉක්මන් වූයේ නැත.

“ආ..කියන්න පුතා”

“අංකල් වැරදියට හිතන්නැත්තං…මගෙ ඇනෙක්ස් එකට එන්න පුළුවන්ද…මට ගේ ළඟට එන්න පුළුවන් අංකල්ව පික් කරන්න. ඒත් ඒක ප්‍රශ්නයක් වෙයිද කියන්නත් බැරි නිසා…මං ටැක්සි එකක් එවන්නං දැම්ම…මට අංකල් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ”

“හරි. අපි එහෙම කරමු”

අජිත් යළි දුරකතනය සාක්කුවෙහි දමා ගත්තේ ය. නිර්මලා තවමත් ඔහු දෙස බලා ගෙන එතැන හිට ගෙන ය.

“තේ එකක් දෙනවද ඉක්මනට”

හිත ළඟ ප්‍රශ්න පෝළිමක් වූවාට නිර්මලා ට ඒ එකකුදු අසා ගන්නට ඒ අවස්ථාව නොවී ය. අජිත් කතා කරන්නට ඇය නො පොළඹවා ඉවත බලා ගෙන හිටියේ ය. ඔහු තේ එකක් ඉක්මන් කළ නිසා නිර්මලා කුස්සියට ගියා ය. ළිප මත වූයේ දෙතුන් වර ඉතිරූ වතුර කේතලයක් නිසා ඉක්මනින් තේ හදන්නට පුළුවන. ඇය තේ කොළ පිටි සීනි ද කල් ඇති ව ම ලං කොට ගෙන සිටියා ය.

අජිත් හිතා මතා ම කුස්සියට නාවේ ය. ආවොත් නිර්මලා ගේ හරස් පද ප්‍රහේළිකා පුරවන්නට සිදු වන බව දන්නා නිසා ය. ඔහු ගේ හිතේ දෙගිඩියාවක් විය. දිසත් මේ වාගේ ඇරයුමක් කළේ ඇයි දැයි ඔහු ට පැහැදිලි ව සිතා ගත නො හැකි ය.

නිර්මලා තේ එක ගෙනෙනකොට ම ටැක්සි එක විත් ගේට්ටුව ඉදිරියේ නැවතිණ. නිර්මලා ඉස්තෝප්පුවට එන විට අජිත් මිදුලේ බාගයක් ඇවිද ගොස් ද ඉවර ය.

“කොහෙද ඔය යන්නෙ…මේ තේ එක බීල යන්නකො”

නිර්මලා තේ කෝප්පය අතැති ව ඉස්තෝප්පුවේ සිට හඬ ගෑවා ය.

“මං ගිහිං එන්නං. පොඩි හදිස්සියක්”

අජිත් පිටුපස හැරී බලා කියමින් ගොස් ත්‍රීරෝද රියට ගොඩ වූයේ ය. කිසිදු කතා බහකින් තොර ව රියදුරු කොල්ලා ඉගිල ගියේ ය.

“පුදුම මනුස්සයෙක්නෙ. මේ තේ එක බීල ගියෙ නෑනෙ”

නිරිමලා තනි ව කියවූයේ කණස්සල්ලෙනි. අම්මා ගේ හඬින් අමාරසී ඉස්තෝප්පුවට ආවා ය. මුකුත් නෑසුවා ට තාත්තා නික්ම ගොස් ඇති බව, අම්මා අතේ වන තාත්තා ගේ තේ කෝප්පය සාක්ෂි දරයි.

“කෝල් එකක් ආව…ගියා..”

“මොකේද ගියේ..”

දුර්වල හඬකින් අමා එසේ විචාළේ දිසත් ගැන සැකයක් ඇති වූ හින්දා ය. හැන්දෑවේ ඔහු අජිත් ගේ ජංගම දුරකතන අංකය ඇගෙන් ඉල්ලා ගත්තේ ය.

“ත්‍රීවීල් එකක”

අමාරසී අම්මා වෙත විත් ඇගේ උරහිසක් යන්තම් පිරිමැද්දා ය.

“තාත්ත ඉස්සර වගේ බීල එන එකක් නෑ”

එක මොහොතකට විතරක් අම්මා ගේ හා දුවගේ  ඇස් එකට හමු විය. ඒවා වහා උනුන් වෙත ඇද ගත්තේ ඔවුන් උනුන් ගෙන් සඟවනා යමක් මුණ ගැසෙතැයි බියෙන් මෙනි. අම්මා අතින් තාත්තා ගේ තේ කෝප්පය ගෙන බොමින් අමාරසී කාමරයට ගියා ය. අම්මා කුස්සියේ වැඩක බව සැක හැර දැන ගත් ඕ දිසත් ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“තාත්තට එන්න කිව්වද…”

“ඔව් අමා. මං එන එක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න පුළුවන් නිසා ලොකේෂන් දාල ට්‍රයිශො එකක් එව්ව”

“අම්ම තේක හදං එනකොට තාත්තා යනවලු. මං දන්නෙ එතකොට”

“බය වෙන්නෙපා. තාත්තා ට ලොකුවට ඩ්‍රිංක්ස් ගන්න දෙන්නෑ. මට තාත්ත එක්ක ටිකක් කතා කරන්න ඕන වුණා”

ඔහු ට කියන්නට, ඔහු ගෙන් අසන්නට ඊට වඩා යමක් වන බව ඇයට දැනේ. නමුත් ඒ කුමක් දැයි වෙන් කොට හැඳින ගන්නට ඇය සමත් වූයේ නැත.

“මිස්ට දිසත් රෑ කෑම ගන්නෙ කොහොමද…”

සිය සීමාව අතික්‍රමණය කරමින් තහනම් කලාපයකට අවතීර්ණ වූවා සේ අමාරසී ට ම දැනිණ..නමුත් දැන් ඔහු ට ගෙදරක් නැති බව දැන දැන ඔහු  ගැන නො විමසා ඉන්නට ඇය ට හැකි වූයේ නැත.

“එළියෙං ගන්නව අමා…ඉස්සරහට ඉතිං…දිගටම එහෙම කරන්න වෙනවනෙ”

“උයන්න බැරිද…”

“උයන්න දන්න කෙල්ලෙක්ව හොයා ගන්න තමයි වෙන්නෙ”

සිය කම්මුල් පුපුරු ගසනවා අමා ට දැනුණේ ය. විවිධ අවස්ථාවන් හිදී ජීවිතය විවිධ වේශයන් ගෙන් අප ඉදිරියෙහි පෙනී සිටී. ඒ අවස්ථාවන් ට මුහුණ දීම ජීවිතය නම් වේ. ඒ අවස්ථාවන්ට මුහුණ දීමේ දී එක් එක් පුද්ගලයා පෙන්වන්නා වූ හුරුබුහුටි බව සිය ජීවිතයෙහි සාර්ථක අසාර්ථක භාවයට හේතු වෙන සාධකය වේ.

“මං එහෙනං..තියන්නද මිස්ට දිසත්…”

“තාත්ත ගැන බය වෙන්න එපා”

ඔහු ගැනත් සිය හදවත වද වෙන්නටත් බිය වෙන්නටත් පටන් ගෙන ඇති බව දිසත් ට කියන්නට අමා සමත් වූයේ නැත.

“කොහෙ ගියාද මේ මනුස්සය..කාත් එක්ක හරි බාර් එකකට රිංගන් ඉඳල අද හතර ගාතෙන් එයිද දන්නෑ”

තේ කෝප්පය හෝදා තියන්නට අමාරසී කුස්සියට ගිය වෙලාවේ නිර්මලා නෝක්කාඩුවෙන් වාගේ කීවා ය. අමා හ්ම් කීවේවත් නැත. හරියට ඈ අතින් අම්මා ට වරදක් වූවා මෙනි.

ජංගම දුරකතන තිරයෙන් ඔහු ඇනවුම් කළ ත්‍රීරෝද රිය පැමිණෙන මග සලකුණු විමසමින් සිටි දිසත්, එය ඇනෙක්ස් එක ට ආසන්න වෙත්දී පිය ගැට පෙළ බැස ගේට්ටුව ළඟට ගියේ ය. අජිත් කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ගන්නට යත්දී දිසත් මුදල් ගෙව්වේ ය.

“ශහ්. තැන හරි ලස්සනයිනෙ”

අම්මා ත් දූවරු දෙන්නා ත් මල් පාත්ති අතරේ ඔබ මොබ වෙමින් සිටියහ. අජිත් ඒ දුටුවේ පමා වී ය. ඔහු ගේ මුහුණට මඳහසක් ඇවිත් නතර විය.

“කියාපු තැනක් වගේ හම්බ වෙලා තියෙන්නෙ”

පඩි පෙළ නැගෙනා ගමන් ඔහු එහෙම කීවේ සිය සිනහවේ අරුත දිසත් ට ද හැඟෙන සේ ය. ලැජ්ජාශීලී සිනහවක් පෑවා මිස දිසත් ඊට පිළිවදන් දෙන්නට නො ගියේ ය.

“මං අංකල්ලගෙ ගෙදර ආපු එකෙන් ලොකු වැරැද්දක් වුණේ. ඒකයි මං අද ආවෙ නැතුව අංකල්ට එන්න කිව්වෙ”

“අනේ ඒවනං මොනාද පුතා…අපි කවුරුවත් හිතා මතා කරපු දෙයක් නෙවෙයිනෙ. හැබැයි ඉතිං…එතන පුතාට විසඳ ගන්න ලොකු ගැටළුවක් තියනව වගේ නේද…”

දිසත් එන ගමන් කට ගැස්මට කෙටි කෑම වර්ග කිහිපයක් ද ශීත කළ බීර බෝතල දෙකක් ද ගෙනැවිත් තිබිණ. පෙණ උතුරමින් බීර වල තිත්ත සුවඳ පැතිරිණි.

“එයාට එච්චර මාව ඕන වුණානං ෆැමිලි ලයිෆ් එක ඇතුළෙ එයා එහෙම හරසිරුණෙ ඇයි කියල මට තේරෙන්නෑ අංකල්”

“ගෑනුංව තේරුං ගන්න හරි අමාරුයි පුතා”

මේ වෙලාවේ දිසත් ට ඕන වී තිබුණේ එබඳු වටහා ගැනීමකට යම් කිසි මග පෙන්වීමකි. ඊටත් වඩා හදවත තුළ කැකෑරෙමින් වසර කිහිපයක් තිස්සේ පැවති යමක්, ඒ ගැන කතා කළ හැකි විදිහේ කෙනෙකු නොමැති කම නිසා හුදෙකලාව විඳවූ යමක්, තාත්තා එක්ක සේ මේ මිනිසා සමග කතා කළ හැකැයි ඔහු ට සිතෙමින් තිබිණ. එක අතකට ඔහු ට කියන්නට ය කියා විශේෂ දෙයක් ද නැත්තේ ය. සිය යුග දිවිය තුළ විඳගත්තා වූ හුදෙකලාව ගැන ඔහු ගේ මිත්‍රයනට කීවොත් ඔහු ට සිනාසෙනු ඇත. ඒ තරමට ම මේ ගැන කියන්නට දෙයක් නැති බව දිසත් දනී.

“අනිත් අතට ගෑනුන්ට පිරිමි අපිව තේරුං ගන්න අමාරුයි. දැං මං වගේ මිනිහෙක්නං හවසට ඩ්‍රිංක් එකක් දාල එහෙම ගෙදර යන නිසා අවුලක් වුණා කියන්න පුළුවන්. ඒත් පුතා එහෙම නෑ කියල පේනවනෙ”

“එයා හිටියෙ එයාගෙ ලෝකෙ අංකල්. ක්ලබිං…පාටි…යාළුවො තමයි එයාගෙ ලයිෆ් එක. කමක් නෑ අංකල්. අපේ ලෝක දෙක යා වෙන තැනක් හරි තියෙනවනං…අංකල්ම කියන්න…නොගැලපෙන තැනක දිගින් දිගටම විඳවන්න ඕන ද අපි…”

“පිස්සුද පුතා…මං අපේ රසීටත් අර හාදයව බඳින්න කැමති වුණ වෙලාවෙ කිව්වෙ ඕකයි. ප්‍රශ්න කොච්චර තිබුණත් එකට ජීවත් වෙන්න පුළුවන් පුතා. නොගැලපෙන තැන් වුණත් හදා ගන්න බැරිනං දරා ගන්න හරි පුළුවන්. හැබැයි ඒ ආදරයක් කරුණාවක් ගෞරවයක් තියනවනං විතරයි. මං දන්න දේ ඔච්චරයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි”

දිසත් ද වෙනදා ට වඩා දොඩමළු වූයේ ය. පහු ගිය වසර කිහිපය ගෙවී ගියේ ලෝකයට පේන්නට සමාජ තත්වයන් නඩත්තු කිරීම වෙනුවෙනි. විවාහය ද ඒ සමාජ තත්වයන් අතරින් එකකි. ලෝකයේ ගැලපෙනම අඹු සැමියන් නොවන බව ඔහු දැන සිටියේ ය. අත් වලින් අල්ලා ගෙන හිටියත් බොහෝ හදවත් අතරේ දුරක් වන බව ඔහු සමාජය ඇසුරෙන් වටහා ගනිමින් සිටියේ ය. කතා බහ ගොඩකට පස්සේ, රබර් බෝලයක් සේ හිත යට ඔබා ගෙන උන් කතාව දිසත් අජිත් ට කියා දැම්මේ ය.

“අංකල් ප්ලීස් අමාව මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා. මං දන්නව…එයා ඉන්නෙ අංකල්ටයි ආන්ටිටයි මූණ දෙන්න බැරුව. ඒ ළමය මගෙ පර්සනල් දේවල් අංකල් තරංවත් දන්නෑ මං හිතන්නෙ”

“පිස්සුද පුතා”

අජිත් දිසත් ගේ කරට අතක් දමා ගත්තේ ය.

“හැබැයි ඒකිගෙ ගෞරවේ ගැන හිතුවට තැන්කියු පුතා. ඒකි මගෙ පණ. ඒකි මගෙ ඇස් දෙක. ඒකි මගෙ හුස්ම. චූටි කාලෙ ඒකි මට කිව්වෙ තාත්ත සීතල පාටයි කියල. දුවෙක් නිසා තාත්ත කෙනෙක් විඳින ජීවිතේ…ඒක කියන්න මට තේරෙන්නෑ පුතා. හැබැයි ඒක මට දැනෙනව. ඒක මං විඳිනව. අර හෝතම්බුව කොහොමද ඒකිව මලක් වගේ බලා ගන්නෙ…පිස්සෙක්…”

දිසත් අජිත් ව සිය රියෙහි ගෙන ගොස් ඇරලුවේ ය. අමා ගේ ඉස්සරහා සිටියොත් යන සිතිවිල්ල දිසත් ගේ සිතට කරදර කරමින් නො තිබුණා නොවේ. නමුත් අජිත් ගෙට ගොඩ වී කෑම කා යන්නය කියා පෙරැත්ත කළත් ඔහු එකඟ වූයේ නැත.

ඒ වෙලාවේ අමාරසී සිටියේ යහනත වැතිර ගෙන ය. සවනට නොව හදවතට ඒ රියෙහි හඬ දැනුණා සේ ය. ඇය වහා බැස ජනේලයෙන් බලත්දී රිය හෙමිහිට යමින් තිබිණ. ඔෆිස් බෑග් එකත් එල්ලා ගත් තාත්තා ගේ දෙසට එමින් සිටියේ ය. වචන වලින් පහදන්නට අමා නො දන්නා යම් කිසි හැඟීමක් ගැස්මක් සෙයින් ක්ෂණික ව සිරුර පුරා පැතිර යනවා ඇය ට දැනුණේ ය. ඇය එහෙම ම ජනේලයේ ග්‍රිල් එකෙහි කම්මුලක් තියා ගත්තා ය.

“ඇති යන්තං…මං හිතුව අද හතර ගාතෙං තමා කියල”

නිර්මලා ගේ සැනසුම් සුසුම ද අමාරසී ට දැනුණේ ය.

“එදා කේෂි තරමක් වැඩිපුර මත් වූවා ය. ඇය වැඩිපුර මත් පැන් ගත්තේ මත් වීමක වැඩි අවශ්‍යතාවයක් දැනුණ නිසා ම ය. අත් බෑගය විවර කළ ඕ වෛද්‍යවරයා ලබා දුන්  වෛද්‍ය වාර්තාව දෙස බලා උන්නා ය. එය යළිත් බෑග් එකට දමා ගත් කේෂි රිය පැදවූයේ දිසත් ගේ ඇනෙක්ස් එක බලා ය. ඔහු ගේ අලුත් නවාතැන කොතැනක දැයි ඇය හැන්දෑවේ සොයා දැන ගත්තා ය.

“ඔයා මේ විදිහට රෑ ජාමෙ මෙතනට එන එක හොඳ නෑ කේෂි”

දිසත් තදින් කීවේ බල්ලා ගේ බිරුම් හඬට දොර හැර බැලූ ගෙදර ඇත්තන් කේෂි ව දුටු බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගෙන ය.

“මාව…පන්නන්න එපා දිසත්”

ඇය මතින් වූ පටලැවීමකින් කීවා ය.

“අපිට ඩිවෝස් වෙන්න බෑ”

“කේෂි. ඔයා දැන් ගෙදර යන්න. ඩ්‍රයිව් කළේ කොහොමද අප්ප…ඔයා හොඳටම ඩ්‍රිංක්ස් අරං…”

“මං යන්නෑ”

“කේෂි මෙතන නාඩගං නටන්න බෑ”

“මොකද්ද නාඩගම..මං ඔයාගෙ වයිෆ්. කොහොමත් දැන් අපිට වෙන් වෙන්න බෑ”

අත පත ගා අත් බෑගය හැර ගත් වෛද්‍ය වාර්තාව ඕ දිසත් වෙත පෑවා ය.

පොසිටිව්!

ගර්භණී බව සහතික කරන වෛද්‍ය වාර්තාවක්!

මහ පොළොවේ ඈත ගැඹුරකට ඔහු ගිලී යනවා සේ දිසත් ට දැනෙන්නට වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles