“අපි ලංකාවෙන් ගියා කියලා යාලුකං අතෑරෙන් නෑ අනූ. මට කතා කරනවා නේද?”
තේජ නික්මෙන්නට පෙර අනුත්තරාගෙන් ඇසුවේ ය. අනුත්තරා කළේ තද වැළඳ ගැන්මක් තිළිණ කිරීම ය. ඔහු හොඳ මිතුරෙකි. ලාවන්‍යා සහ ඔහු අතර කුමක් සිදු වුවත් අනුත්තරා ඔහු අත නාරින්නට සිතී ය.
“මං ඔයාට හැමදාම කතා කරනවා. හැබැයි මගෙයි වගීෂගෙයි වෙඩින් එකට එයි වගේ බලාපොරොත්තු තියාගන්නේ නෑ. ඒ වගේම මට ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්න තියනවා.”
ඒ කුමක්දැයි අසන්නට තේජට නුවුමනා ය. ඔහුට ඒ ගැන සැක සිතිණ. ඇය ඉල්ලන්නේ කරන්නට ඕනෑම දෙයක් විය හැකි ය.
“මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ හරිම සරල දෙයක්. පුලුවන්නම් ආයේ ලාවිට කතා කරන්න එපා. කතා කරන්න උත්සාහ කරන්නත් එපා.”
ප්‍රතික්ෂේප කළ හෝ අත හැරුණු ආදර කතන්දරවලින් අනතුරුව හොඳම මිතුරන් ලෙස පවතින්නට හැකිනම් එය ඉතා ඉහළ හැඟීමකි. නමුත් එය ප්‍රායෝගික නොවන තැන් අනන්ත වේ. මේ එහෙම තැනකි. බිඳුණු හදවතක් පිරියම් කරන්නට ලාවන්‍යා තෝරා ගත්තේ තේජව ය. ඇය ඔහුගේ ඇස් බැල්මකින්,වචනයකින් පවා සැනසුණා ය. ජීවිතය ගැන සිහින දැක්කා ය. ඒ සියල්ල දැන් යටිකුරු කළ කළයකට දිය පිරවීමක් බඳු ය.
“ලාවන්‍යා ඉතුරු ජීවිත කාලෙම තනියම ඉඳීද කියන්න මම දන්නේ නෑ තේජ. එයාට කාගේ හරි ආදරේ පිළිගන්න හිතෙන දවසක් එයිද ඔයා වගේ එයාගේ ආදරේ ප්‍රතික්ෂේප නොකරන කෙනෙක් ලැබෙයිද මම දන්නේ නෑ. කොහොම නමුත් එයා සතුටින් ඉන්නෝන. මට කියන්න තියෙන්නේ එච්චරයි.”
තේජ සුසුමක් හෙළී ය. කෞෂි සතුව පවා මහා ආදරයක් තිබිණ. එය නැති වී ගියේ හදිසියේ ය. ආදරයක් ඇසිපිය හෙළන පමාවට වෙනස් විය හැකිනම් තේජට නැවත ආදරය නොකරන්නට ආ හැඟීම වෙනස් කරන්නට ඕනෑ නැත.තේජ මව්බිමෙන් නික්ම ගිය වග අනුත්තරා ලාවන්‍යාට කියන්නට උනන්දු නොවුණා ය. ඒ ගැන කතා නොකරන්නට මිතුරියන් අතර සම්මුතියක් ඇති වූ ගාණ ය. ඒ නිහඬ සම්මුතියකි. නමුත් එය ක්‍රියාත්මක විණ.
සෙනුරිගේ විවාහය ඉතා කිට්ටු දිනක ලාවන්‍යා නිවසට ආවේ හදිසියේ ය. ඇයට අමතක වූ ඇඳුම් කිහිපයක් රැගෙන යන්නට තිබිණ. පාරමීගේ මෝටර් රථය පදවාගෙන ඇය ආවේ ඉක්මනින් ආපසු යන්නට ය. තේජගේ මිදුලේ කුඩා පවුලක් ද තරුණයෙකු ද වේ. පවුලට නිවස බලන්නට ඉඩ දී තරුණයා ලාවන්‍යා වෙත ආවේ ය.
“ලාවන්‍යානෙ? මම පසන්!”
ලාවන්‍යා හිනැහිණ.පසන්ව ඇය ඉඳහිට දැක තිබේ. සමහරවිට ඔහුට තමන්ගේ ආදරය ගැන තේජ කියන්නට ද ඇති ඉඩ වැඩි ය. ලාවන්‍යාට කරන්නට තිබුණේ මන්දස්මිතයක් තිළිණ කිරීම පමණි.
“තේජගෙ ගේ විකුණන්න දැම්මනෙ නංගි. අද ෆැමිලි එකක් ආවා. ඉල්ලන ගාණකට දීලා වැඩේ ක්ලෝස් කරලා දාන්න කියලයි තේජ කියන්නේ.”
ලාවන්‍යා ඒ කතාවට ද හිනැහිණ. ඔහු “වැඩේ ක්ලෝස් කර” තිබේ. ඒ ඔහුගේ තෝරා ගැනීමනම් කරන්නට දෙයක් නැත. කොහොමටත් ඇයට නැවත ඔහු දකින්නට මනාපයක් නොවේ.
“අවුරුද්දක්වත් ඉන්නේ නැතුව තේජ අයියා ගියානෙ. ඔයත් ළඟදිම යයිද කියලත් හිතෙනවා ලාවි අක්කේ.”
ඉෂාර කෙටි තාප්පයෙන් එබී පැවසුවේ පසන් යන්නට ගිය පසු ය. ඉෂාරගේ සැකය නරකම නැත. නිවස මිලදී ගත් මුදල් ලාවන්‍යාගේ වුවත් මේ ඇය භවන්ත හා එක්ව ජීවත් වූ නිවස ය. මතක ඇති තැන් අතැර පලා යාමම හිත හදා ගන්නට පහසුවක් බව ඇයට සිතෙන්නේ තේජ හන්දා ය.
“තේජ අයියා ආයේ කතා කරේවත් නෑ.”
ඉෂාර එහෙම පැමිණිල්ලක් නැඟී ය. ලාවන්‍යා ඉෂාර දෙස බලා කට හැදුවේ එයට පිළිතුරක් දෙන්නට ය.
“මං මෙහෙන් ගියොත් ඔයාව එහෙම අමතක කරන්නේ නෑ. ඔයා සදහටම මගෙ මල්ලි.. හරිද!”
ඉෂාර උස් හඬින් හිනැහෙන්නට ගත්තේ ය. ඔහු ද මේ තරම් කුඩා වයසකදී බැඳීම් වලට හිනැහෙන මිනිසෙක් බවට පත් වීදැයි ලාවන්‍යාට සැකයක් ඇති විණ. කිසිවෙක් ප්‍රේමය හන්දා ශෝකය සහ වේදනාව වාගේම ජීවිතය ගැන සැක ද ඇති කරගන්නට ඕනෑ නැත.
“ඔයාට මෙහෙන් යන්න මොකක් හරි රීසන් එකක් සෙනූ අක්කගෙ වෙඩින් එකේදී ලැබිලා වගේ. ඉතින් ඉතින් අක්කේ.. කොල්ලා ලස්සනයිද?”
ලාවන්‍යා කිසිවක්ම කියන්නට ගියේ නැත. නමුත් ඒ කතාවට කන්පෙති රතු වන්නේ හේතු සහගතව බව ඇය දැන සිටියා ය. ඇය ඉෂාරට රවා බලා නිවස තුළට යන්නට ගියේ ඒ හන්දා ය
වසරක් ද ගෙවුණු තැන
කෞෂී අලුත්ම ප්‍රේමයක් සමඟ විවාහපත් වූ ආරංචිය තේජට ලැබී ටික දවසකි. වඩාත්ම සැනසිල්ල වූයේ ඇය ගැබිණියක ද වග දැන ගැනීම ය.දැන් ඇයට ලියෝන් පසුපස එන්නට හේතුවක් නොවේ. ඇය අනිවාර්යයෙන් ම අලුත් තැන සන්තෝසයෙන් ජීවත් වන්නට ඉඩ ඇතැයි ඔහු සිතී ය.
අනුත්තරා,
ඇය තේජ ඇමතුවේ ටික දිනකට පසුව ය. ඉතා වැදගත් කටයුත්තක් හන්දා හොඳටෝම කාර්යබහුල බව පැවසූ ඇය වෙනදා මෙන් කාර්යබහුල වීම සම්බන්ධයෙන් ප්‍රතාපසිංහ මහත්මියට දොස් නගන්නට ද නොගියා ය.නමුත් ඇගේ කාර්යබහුල වීමට හේතුව තේජට නොකියන්නට අනුත්තරා ප්‍රවේසම් වූවා ය.
“පෙන්වන්න දෙයක් තියනවා.”
ඇමතුම වීඩියෝ ඇමතුමක් කරගන්නට අනුත්තරාට ගත වූයේ තත්පරයකිනුත් හරි අඩකි. එළිමහන් සරල විවාහ මංගල්‍යයකි. මේ කෙල්ල නොකියාම කසාද බැන්දාදැයි තේජට ආ සැකය බිඳී ගියේ ඇය කළු පැහැති සාද ගවුමක් ඇඳ සිටි හන්දා ය. අනුත්තරා කැමරාව මනාල යුවල වෙතට රැගෙන ගියේ ය.
ලාවන්‍යා!!
“අපේ ලාවියි නිර්වාන් මස්සිනයි”
අනුත්තරාගේ කටහඬ ඇසේ. තේජ සුදු පැහැ චාම් ගවොමකින් සැරසුණු මනමාලියත් මුහුණ පිරෙන්නට හිනැහෙන මනාලයාත් දෙස බලා සිටියේ ය. ඔවුන් නිර්මාණය කර ඇත්තේ ඔවුන් වෙනුවෙන් ම ය. තමන්ගේ ඈත් වීම මෙතරමට සුන්දර අවසානයකට හේතු වීම ම ප්‍රමාණවත් ය.
“ලාවිට විෂ් කරනවද?”
නැවත අනුත්තරාගේ හඬ ඇසේ. තේජ අනවශ්‍ය බව කියන්නට හිස වැනුවේ ය.
“තේජ කියන්නේ හදිසියේ පෙනිලා මැකිලා ගිය දේදුන්නක් කියලා එයා මතක තියාගත්තාවේ අනූ. අද මේ හොඳ දවසේ එයා පෑරෙන්න ඕන නෑ.”
ඔහු එපමණක් පැවසී ය.
සමහර ආදර කතා කිසිදා ඇරඹෙන්නේ නැත. නොඇරඹුණු බැවින් ඒවා කිසි දවසක අවසන් වන්නේ ද නැත.
–සමාප්තයි-
(ඔබේ දීර්ඝ අදහස් බලාපොරොත්තු වෙමි..අලුත් කතාවකින් මුණ ගැහෙමු – නිබා)