පෙත් මග අඳුරු ය. තෙතමනය ටිකක් වැඩි ය. එනිසාවෙන් ම සිහිලැල් ය. කාලයකට පෙර දැමූ තාර ගැලවී, ගල් මතු වී, වළවල් සෑදී අබල දුබල වූ එය පටු ය. දෙපස වැවුණ තණකොළ හා කැලෑ පඳුරු නිසා තව තවත් පටු වී තිබේ. තණ කොළ හා වල් පැළෑටි පාරට ම බර වී ගෙන ය.
පාර දෙපස සැලකිය යුතු දුරක් වන තෙක් වැට මායිම තනන්නේ රූස්ස ගස් ය. ඒ තුරු මුදුන් ඉහළදී එකට එක් වීම නිසා කදිම යටි වියනක් සෑදී තිබේ. සූර්ය කිරණ කදම්බයක් පෙත් මගට වැටුණෝතින් ඒ තුරු පත් අතරින් පෙරී එන්නට තරම් හිතුවක්කාරකම් කළ හැකි එකක් පමණකි. ඒ තරම් සිහිලැල් හා තෙත්බර එබැවිනි. එය හරියට බිං ගෙයක් මැද්දෙන් යනවා වැනි ගමනකි.
එකී රූස්ස ගස්, කාලයකට පෙර කුඩා පැළෑටි හෝ වැට ඉණි සේ පවතින්නට ඇත. වැට මායිම් සලකුණු කරනු වස් සිටුවන ලද පැළ, අද අහස සිඹිණා වනස්පතීන් ය. කිසි දාක කප්පාදු කිරීමක හික්මීම නොලද ඒ ගස්, ඔහේ සාර සොබාවට කැලෑවට වැවී තිබේ.
ඒ වැට මායිම් වලින් එපිටට වන්නේ අති විශාල වතු දෙකකි. එක පැත්කක පොල් යායකි. එහි අතිරේක භෝගයක් ලෙස ගම්මිරිස් දමා තිබේ. වැටේ යම් විවර වූ තැනකින් පෙනෙන පරිදි එය අඳුරු ගුහාවකි. අනිත් පැත්තේ වැටෙන් එපිට වන්නේ අන්නාසි හා කෙසෙල් දැමූ ඉඩමකි.
අප එහි පදිංචියට විත් සෑහෙන කාලයක් ගත වී ද ඒ ඉඩම් වල හිමිකරුවන් කවුරුන්දැයි මා දන්නේ නැත.
පෙත් මගෙහි මේ අඳුරු කොටස පහු වූ කල පටු වෙල් තීරයක් හමු වේ. පාර අයිනට වන්නට පින් ළිඳක් තනා ඇති අතර දැන්නම් එහි දිය නාන්නට එන කෙනෙකු නැති බැවින් නිතර ම දිය මතු පිට දීප්තිමත් කොළ පාටින් දිය සෙවල බැඳී තිබේ. දරුණුවට පායන කාල වලදී නම් ගමේ පිරිමි එකතු වී ළිඳ ඉස යළිත් නාන්නට සකසා ගනිති. නමුත් ඒ පෑවිල්ල නිමා වෙත්දී ඔවුහු ළිඳ අත් හැර දමති. ළිං මිදුල කෙළවර වන කුඩා ගල් තලාව මා ආස ම තැනකි. වෙල් යාය පිස එන තෙත්බර සුළඟ නිසා ගල් තලාව මත හිඳ සිටීම සදෙව් ලොවක සුව දනවයි.
පෙත් මග දිගට මා මගේ කහ පාට ස්කූටරය පැද එන්නේ පයින් යන තරම් මන්දගාමීව ය. හැමදාමත් යන එන මග වී ද වනස්පති බිං ගෙය ඒ යන හැම විටෙක ම මා තුළ අමුතු හැඟීමක් දනවයි.
“අයිතිකාරයන්ට කතා කරල ඔය පාර දෙපැත්තෙ තියන ගස් වල අතු කප්පන්න ඕන. නැත්තං ප්‍රාදේශීය සබාවට හරි පැමිණිලි කරන්න ඕනෙ”
කියා ගමේ කෙනෙකු කියනා කල මගේ හිතේ පැත්තක මොකක්දෝ රිදීමක් ඇති වන්නේ ය. ඒ කුමක් දැයි හරි හැටි මම ද නො දනිමි.
පෙත් මග බස් පාරට වැටෙනා තැනින් දකුණට හැරී ගිය විට හමු වන පළමු හන්දියෙහි අපේ ‘විශ් යූ’ සුබ පැතුම් සාප්පුව පිහිටන්නේ ය. අප එය ආරම්භ කොට තවම මාස කිහිපයකි. මගේ මිතුරිය නූරි ගේ ගෙදර ඉඩමේ ම බස් පාරට කිට්ටුවෙන් තනා ඇති පරණ කඩ කාමරයක් අපේ අලුත් බලාපොරොත්තුව බවට පරිවර්තනය කර ගන්නට අපට සිදු වූයේ, හීන වල තිබුණා වාගේ අලුත් පන්නයේ කඩ කාමරයක් කුළියට ගන්නට තිබූ ආර්ථික අපහසුතාවය නිසා ය.
“ඇති යාන්තං ආවද…”
ස්කූටරය නතර වෙන හඬින් හිස පිටතට දමා නූරි කෑගැසුවා ය. ඇය සිටින්නේ කලබලකාරී බවක බව ඒ හඬ තානයෙන් ම මට සිතා ගත හැකි විය. යන්තම් දකිත්දී ඇය ඇගේ රැළි පටි අල්ලා මැසූ මුහුදු නිල් පාට ඒප්‍රන් එක හැඳ සිටිනු දුටු නිසාත්, තොප්පිය දමා සිටිනු දුටු නිසාත්, උදයෙන් ම කේක් එකක් දැමීමේ වැඩකට අත ගසා ඇති බව සිතා ගත හැකි විය.
“මේ යක්කු ඊයෙ රෑ ජාමෙ ඕඩර් එකක් දුන්නනෙ…උදේ දහය වෙනකොට කේක් එකක් ඕනෙ කියල. ජාතිය අමතන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමයි. ඇයි යකෝ ඉපදුණා කියල මතක් වෙන්න රෑ වෙනකල්ම හිටියද…”
“අන්තිම මොහොතෙ හරි ඒ ඕඩර් එක ආපු එක ගැන විශ්වයට ස්තූති කරාං හරක් පැටියො…ආඩපාලි නොකියා…”
එන ගමන් වැටවල් වලින් කඩා ගෙන ආ කැලෑ මල් මිටිය මේසය මතින් තබනා ගමන් මම ලහි ලහියේ කොස්ස අතට ගතිමි. මේසය මත මල් බඳුනේ දමන්නට කැලෑ මලක් කොළයක් කඩා ගෙන එන එක මගේ පුරුද්දකි.
උදේ පාන්දර ම අතු පතු ගා පිරිසිඳු කොට මල් පෝච්චි ටිකක් දොරකඩ ලෑලි තට්ටු මතින් තැබිය යුතු ය. නැත්නම් මෙතැන මේ වාගේ සාප්පුවක් ඇති ය කියා මෙලෝ යකෙකු සිතන්නේ නැත.
අපේ ‘විශ් යූ’ සාප්පුව ඔබට හඳුන්වා දෙන්නට මට බැරි විය. එය සිංහලයෙන් කියනවා නම් සුබ පැතුම් සාප්පුවකි. මා හා නූරි එහි සම කොටස් කරුවෝ වෙමු. නූරි කේක් සාදන්නී ය. මම බඳුන් ගත පැළ ලබා දෙමි. ඒ දෙක ම සුබ පැතීම් වෙනුවෙනි. ඔබට ඔබේ කෙනෙකු ගේ යම් විශේෂ අවස්ථාවක් සඳහා සුබ පතන්නට උවමනා නම් කේක් එක නූරි ට ඇනවුම් කළ හැක. තෑගි ඇනවුම මට බාර දිය යුතු ය. කෙනෙකුට තෑග්ගක් ලෙස දිය යුතු වටිනා ම දේ පැළයක් යයි මා සිතන්නට පටන් ගෙන ටික කලකි. එයට පොතක් ද එකතු වෙනවා නම් වටිනාකම වැඩි වේ. අප වෙත ඇනවුම් බාර දීමේ දී ඔබට අත් වන වාසියක් තිබේ. ඒ, ඔබ සුබ පැතීමට යන පුද්ගලයා වෙනුවෙන් විශේෂ සුබ පැතුමක් නොමිලයේ ලියා දෙන්නට අප සූදානමින් සිටීම ය.
‘විශ් යූ’ කියන සංකල්පය මගේ හිතේ උපන්නකි. ඒ ගැන මා නූරිට කී විට ඇය මෙහෙම කීවා ය.
“ඔය වගේ කන්සෙප්ට් එකක් කරන්න මා..ර ලස්සන…හී..නයක් වගේ ලස්සන තැනක් තියෙන්න ඕනෙ. ඒත් කෝ අපිට සල්ලි….කී මනී දෙන්න ඕනෙ…රෙන්ට් එක ගෙවන්න ඕනෙ…අනිත් එක ශිකී…අපිව විශ්වාස කරල කවුරුවත් වැඩ දෙයිද කියල කවුද දන්නෙ…අන්තිමට අකුලගෙන හිස් අතින් එන්න වුණොත්…”
“අනිත් කවුරුත් අපිව විශ්වාස කරන්න කලින් අපි අපිව විශ්වාස කරල ඉන්න ඕනෙ මෝඩයො. අපි කොහොම හරි මේක කරනවමයි”
මා මුරණ්ඩු ලෙස එහෙම කියූ විට නූරි මෝඩ පන්නයේ සිනහවක් පෑවා ය. අපේ හීන වලට හැම විටම හරස් කපන සල්ලි ගැන මම තරහෙන් හිතුවෙමි.
“හරි ඉතිං කොහොමද කරන්නෙ…අපිට කවුද සල්ලි දෙන්නෙ එහෙම ශොප් එකක් පටන් ගන්න…කෝ අපිට කැපිටල් එකක්…ඔන්න සිල්ලර කඩයක් වගේ කරනවනං අපේ තාත්තගෙං අර වහල දාල තියන කඩ කාමරේ ඉල්ල ගන්න පුළුවන්”
නූරි ගේ සිනහවෙහි සමච්චලයක් ද තැවරී තිබුණායි දැන් මට සිහි කර ගත හැක. නමුත් ඇය එහෙම කීවාත් එක්ක ම මගේ හදවතේ වැසී තිබූ දොරක් ‘දඩාං’ ගා විවර වෙනවා මට දැනිණ. මගේ ඇස් ඒ පරණ කඩ කාමරය දෙසට යොමු වූයේ ය. එය නූරි ගේ සීයා විසින් කර ගෙන යන ලද සිල්ලර කඩයකැයි ඇය මට කියා තිබේ. සීයා ලෙඩ ඇඳට වැටීමත් සමග කඩ කෙරුවාව නතර විය. ඇගේ පියා ව්‍යාපාර ගැන උනන්දුවක් නො දැක්වූ අයෙකු වන අතර, කඩය කුළියට දීම නිසා ඇති වූ අර්බුධ කිහිපයක් නිසා කුළියට නො දී වසා දමා ම තබන්නට ඉන් පසු තීරණය වී තිබිණ. ඒ අනුව කඩය වසර ගණනාවක් තිස්සේ කිසිදු නඩත්තු කිරීමකින් තොර ව වසා දමා තිබිණ. වහළ තරම් උසට වල් වැවී කිසිවෙකු ගේ අවධානයෙන් මිදී තිබිණ. එය ලෑලි දොරවල් සහිත, නූස් වහලයකින් යුතු පැරණි කඩ කාමරයකි. මට එහි වින්ටේජමය පෙනුමක් පෙනෙන්නට ගත්තේ කුමක් හිතේ තියාගෙන සිටි නිසා දැයි නො දනිමි. අපි තණ කොළ උදලු ගා වටේ සුද්ද කොට කඩ කාමරය පාදා ගතිමු.
“මේක හොඳයි පොදු වැසිකිලියක් හදන්නනං”
නූරි මූණ බෙරි කර ගත්තා ය. මම හඬ නගා සිනාසුණෙමි.
“කී මනීවත් රෙන්ට් එකක්වත් නැති එකේ මේක හරි තියෙන එක ගැන සතුටු වෙලා වැඩේට බහිමු. අනික අපි වැඩේ කරන්නෙ ඔන්ලයින්නෙ. ඕඩර්ස් ගත්තට පස්සෙ ඒව සප්ලයි කරන එකනෙ තියෙන්නෙ. අපිට අර ප්ලේස් එකක් විදිහට මේක තිබුණහම ඇති”
මා තුළ දෝරෙ ගලනා උද්‍යෝගයක් වූයේ ය. ටික කාලයක් තිස්සේ මොනවා හෝ කළ යුතු ය යන උනන්දුවත්, එසේ කර ගත හැකි අවස්ථා ගිලිහී යාමත් කියන අසහනකාරී බව තුළ දුක් විඳි කෙනෙකුට ඒ කඩ කාමරය සාප්පු සංකීර්ණයක් වාගේ පෙනීම ගැන ඔබ පුදුම නො විය යුතු ය.
“මේ බිත්ති වල කැත…පේන්ට් කරන්නැතුව මෙතන අලුත් වැඩක් පටං ගන්න පුළුවන්ද…”
නූරි ගේ චෝදනාවේ ඇත්තක් නො තිබුණා ම නොවේ. බිත්ති කිළිටි වී තිබිණ. අප අපේ සාප්පුව ගොඩ නැගීම ඇරඹුවේ එතැනිනි. පරණ පත්තර හොයා ගෙන ඒවා ඉරා, ගම් යොදා බිත්ති වැසෙන සේ ඇලෙව්වෙමු. ඒ මත නූරි, පත්තර වලින් හොයා ගත් කවි ද ඇලවූවා ය. අපි අපේ හිත් වලට එන විකාර වාක්‍ය කුරුටු ගානා කැටපත් පවුරක් ලෙස ද පත්තර බිත්ති පාවිච්චි කළෙමු. බිම සෝදා, මල් පෝච්චි කිහිපයක් ඉදිරියෙන් තැබූ විට එහි යම් පෙනුමක් වූයේ ය. කඩේට පාවිච්චි කරනා ලද කකුල් වල බීරළු කැපූ පරණ කුඩා මේසයක් ද බංකු දෙක තුනක් ද ඒ තුළ වූයේ ය. අපි ඒවා පිරිසිඳු කොට අපේ වැඩ වෙනුවෙන් සූදානම් කොට ගතිමු.
“දැං මං කරන්නෙ කේක් හදන එකනෙ. ඒත් මං හදපු කේක් රහද කියල හරි කාල බලන්න එපෑ. ඒක නිසා අපි පොඩි ශෝ කේස් එකක් අරං කේක් කෑලි ටිකක් කපල තියමු නේද…කෙනෙකුට ඕනනං කන්න පුළුවන්නෙ එතකොට…”
දිනක් නූරි ඇසුවා ය. මගේ හද සූර්යයා මෙන් ප්‍රභාමත් විය.
“නියම අයිඩියා එක. අපි අර එළියෙං පොඩි මේසෙකුයි පුටු දෙකකුයි තියමු. ඕන්නං කේක් කෑල්ලක් කන කෙනෙක්ට කොෆී එකක් බොන්න වුණත් අරේන්ජ් කරන්න පුළුවන්නෙ…”
ඒ සියල්ල සිදු වූයේ එසේ ය. මම පැළ තවාන් වලින් මල් පැළ සොයා ගෙන ආවෙමි. විශේෂයෙන් ම මා සැලකිලිමත් වූයේ ගොඩනැගිලි ඇතුළත නඩත්තු කළ හැකි පැළ වර්ග ගැන ය. ගෙදරත් මා සතුව සැලකිය යුතු පැළ එකතුවක් තිබිණ. ඒවායින් අලුත් පැළ බෝ කර ගැනීමට උනන්දු වීමෙන්, අලුතෙන් ම මිල දී ගන්නවාට වඩා ලාභයක් ලද හැකි බව මට වැටහිණ. පැළ බඳුන් ගත කරත්දී ඒවාට වටිනා පෙනුමක් එක් වන සේ එය කිරීමේ කලාව මම දැන සිටියෙමි.
අපේ නිර්මාණ වල පින්තූර කිහිපයක් සමග මේ සුවිශේෂ සුබ පැතීමේ අදහස ගැන කියා ‘විශ් යූ’ නමින් අලුත් ෆේස් බුක් පිටුවක් ඇරඹුවෙමු. අපේ ම මිතුරන් ගේ සහයෝගය නිසා ඒ වැඩේ හිතුවාට වඩා ඉක්මනින් සාර්ථක විය. එක දුරකතන ඇමතුමකින් ඇනවුම් කිරීම මගින් සුබ පතන්නට අවැසි කෙනාගේ දොරකඩට ම අපි කේක් සමග පැළ තිළිණය ගෙන ගොස් දුන්නෙමු. නිතර අපේ අතට මුදල් ආවේ ය. එය උද්‍යෝගය හා සතුට දලු ලන වැඩක් විය.
මේ අලුත් සංකල්පය පාරිභෝගිකයන් ගේ ඔළු වලට එන්නත් කරන්නට සිදු වූයේ ද අපට ම ය.
“වෙඩින් එකට හරි ඔයාගෙ විශේෂ පාටි එකකට හරි එන කෙනෙකුට තෑන්ක් යූ කාඩ් එකත් එක්ක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් වගේ චූටි දෙයක් ගිෆ්ට් එකක් විදිහට දෙන්න පුළුවන් නං ඒක කොච්චර ශෝක්ද…නිකං මිදුලෙන් ගිහින් තිබ්බත් ඒක හැදෙයි. අනික මලක් තෑගි දුන්නම ඒක දවසෙන් දෙකෙන් පර වෙලා යනව. ඒත් පැළයක් එහෙම නෑ. දවසක් ගානෙ දලු දාල වැඩෙනව. ලෙඩ වෙලා ඉන්න කෙනෙක් බලන්න යද්දි වුණත් ඒක හරි පොසිටිව් වයිබ් එකක් දෙන වැඩක් නේද…”
එදා දවල් කේක් එක දෙන්නට ස්කූටියෙන් අපි ළඟකට ගියෙමු. ඒ ඇනවුම වෙනුවෙන් ද නූරි සක්ශුලන්ට් පැළයක් යෝජනා කොට ස්ථිර කර ගෙන තිබිණ. එසේ යත්දී මම පැළය සහිත බඳුන ස්කූටියේ ඉස්සරහ බිමින් තබා ගමි. කේක් එකත් එක්ක නූරි පිටිපස්සේ ය. අප ගියේ වැඩි දුරකට නොවන බැවින් සාප්පුව වැසුවේ නැත. නූරි ගේ අම්මාට ගෙදර ඉන්නා ගමන් ම ටිකක් ඒ පැත්ත බලන්නයි කීවෙමු. ලෑලි දොරවල් වසනවා නම් පැළ ඇතුළට දමා මුළුමනින් ම වැසිය යුතු ය. යළි අරින්නට වෙනවා නම් එය කරදරයකි. සාමාන්‍යයෙන් අපට වැඩිපුර ඇනවුම් ලැබෙන්නේ ද දුරකතනය ඔස්සේ ය.
අප ආපසු එත්දී ‘විශ් යූ’ ඉදිරියේ මෝටර් රථයක් නැවතී තිබිණ. නූරි ගේ අම්මා ඔවුන් ගේ නිවස පිහිටි උස් බිමෙහි සිට ම කිසිවක් කියමින් සිටිනු ද ස්කූටිය නවතත්දී දකිත හැකි විය.
“කස්ටමර් කෙනෙක්”
කියා ගෙන නූරි ගේ අම්මා නික්ම ගියා ය. අපි ඔහු දෙස බලා ආරාධනා දෑසකින් වහ වහා ඇතුළට ගියෙමු.
“මොනාද සර් වෙන්න ඕනෙ…මොන වගේ ෆන්ක්ශන් එකකටද අපෙන් උදව් ඕන වෙන්නෙ…”
මෙහෙම අවස්ථා වල කොහොමටත් ඉස්සරහාට දැමෙන්නේ මුඛරි වූ මා ව ය. අපේ පාරිභෝගිකයා උස් සිරුරැත්තෙකි. ඔහු සුදු කපු කමිසයක් හැඳ ස්ටියේ ය. අත් දෙක වැළමිට සන්ධිය තෙක් නවා තිබිණ. ඩෙනිම් කලිසම කොලම්බියා නිල් පැහැති ය. දුඹුරු පාට ලෙදර් සපත්තු පැළඳ සිටියේ ය. අත් ඔරලෝසුවක් නොවූ අතර මැණික් කටුව අසල කළු සහ වෙනත් වර්ණ වල ද නූල් ගණනාවක් ගැට ගසා තිබිණ. පඬුරු ගැට ගැසූ බෝ අත්තක් සිහි වී මට සිනා නැගෙන්නට ආවත් මම ඒ සිනහව අමාරුවෙන් ගිල ගතිමි. පාරිභෝගියන් වූ කලී අපේ දෙවි වරුන් ය!
ඔහු මගේ බඳුන් ගත ඉන් ඩෝ ප්ලාන්ට්ස් දෙස නෙත් ඇද ගෙන යනු පෙනිණ. ඔහු කතා කරන්නේ නැති නම් මා හෝ කතා කරවිය යුතු යයි මම ක්ෂණික ව තීරණය කළෙමි.
“සාමාන්‍යයෙන් මොන වගේ ෆන්ක්ශන් එකකටද සර් ගිෆ්ට් එකක් දෙන්න යන්නෙ…ගෙට ගෙවදීමක්…කඩේක ඕපනිං එකක් වගේනං ජේඩ් ප්ලාන්ට් එකක් අයිඩියල්. ඒක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඩිරෙක්ට් සන් ලයිට් වලටනං තියන්න බෑ. නිතර වතුර ඕන නෑ. ෆෙන් ශුයි වල ජේඩ් කියන්නෙ ලකී ප්ලාන්ට් එකක් සර්. ස්පෙශලි වෙල්ත් ඇට්‍රෑක්ට් කරන ප්ලාන්ට් එකක්. එහෙම නැත්තං සර් ඔෆිස් එකක ටේබල් ටොප් එකකට වගේනං බලන්නෙ…සක්ශුලන්ට්ස් වලට යන්න පුළුවන්. ඒව ලොකුවට මේන්ටේන් කරන්න ඕන නෑ. ලකී බැම්බො…පෝතෝස්…පීස් ලිලී…එතකොට ෆිලොඩෙන්ඩ්‍රන් වරයිටීස් එහෙමත් ලොකු ඩිමාන්ඩ් එකක් තියන ඉන්ඩෝ ප්ලාන්ට්ස් සර්”
මා කියවා ගෙන යත්දී ඔහු හැරී එක එල්ලේ මදෙස බැලුවේ ය. මගේ වාග් මාලාව, ගලා ආ ගඟක් උන් හිටි ගමන් භූ ගත වූවා සේ අතුරුදන් වූයේ ය. දෙවියනි එහෙම ඇස් දෙකක්! ඒ දෑස් අගාධ වෙතට ඇදී මා ඒවායේ ගිලී යන්නට වූයේ ය. මම ගොඩ ඒම පිණිස දඟලන්නට වූයෙමි. හුස්ම හිර වී ගියා සේ මට දැනිණ. සැබවින් ඒ පුදුම දෑසකි. ඒවායේ ගැඹුරු පත්ලේ පුරාතන දුකක් වැළලී ගොස් ඇති සැටියක් මට දැනිණ. ඔහු ට කටු කටු වැවුණ රැවුලක් ඇති බවත්, හිස කේ මඳක් වවා විලාසිතානුකූලව කපා ඇති බවත් මා දුටුවේ ඒ එක එල්ලේ බලා සිටීමෙන් අනතුරුව ඔහු යළි ඉවතට හැරෙත්දී ය. ඊළඟට ඔහු ගේ දෑස් නතර වූයේ අපේ වින්ටේජමය කඩදාසි බිත්තියක මා අතින් ලියා තිබි ප්‍රකට ඉංග්‍රීසි වැකියක් ඉදිරියේ ය.
She’s an old soul
with young eyes,
a vintage heart
and a beautiful mind…
කිහිප වාරයක් එය කියවූවායි සිතිය හැකි කාලයකින් පසු ඔහු නැවත වරක් මදෙස ඍජුව බැලුවේ ය. මා දෙදරා යන බවක් මට දැනිණ.