ලියවිල්ල

රන්දි වැරැන්ඩා එකට ආවේ මොහොතකට කලින් වුණ සිදුවීම ගැන කලකිරීමෙන්. හිතේ තිබුණු සතුට හේදිලා යනවා වගේ ඇයට දැනුනා. තුෂාර තේ එකක් හදාගෙන රන්දි ලඟින් වාඩි වුණා

” ආ මේක බීල ඉන්න රන්දි . උන දේවල් දැන් හිතන්න එපා “

” තමන්ගෙම නංගිගේ හිත රිද්දන්න අක්කා කෙනෙකුට පුලුවන්ද එහෙම ? “

” එයා කරන ඒවා එයා ගෙනියයි . ඔයා හිත රිද්ද ගන්නෙ නැතිව ඉන්න “

” කසාද නොබැඳ පවුල් කනවා ” අක්කා කිව්වේ එහෙම .තාමත් ඒ වචන කන් ඇතුලේ දෝංකාර දෙනවා වගේ රන්දි ට දැනුනා. රන්දි තුෂාරත් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තෙ අවුරුද්දකට විතර උඩදී. විවාහ වෙන්න කලින් එකිනෙකාව තවත් හොදින් අඳුනගන්නත් , දෙන්නගෙ වැරදි අඩුපාඩු හදා ගන්නත් වගේම අනාගතය ගැන සැලසුම් කරන්නත් ගත්ත තීරණයේ ප්‍රතිඵලයක් විදිහට අද රන්දි එක්ක තුෂාර එක වහලක් යට ජීවත් වෙනවා. ඒ දෙන්නගෙ තීරණ වලට දෙමවුපියන්ගේ අකමැත්තක් නොතිබුනත් Living together කියන්නේම නරක වචන දෙකක් කියලයි රන්දිගේ අක්කා හිතාගෙන හිටියේ. ඒ නිසා රන්දි ට රිද්දන්න ඕන වුන ඕනම වෙලාවක ඇය බය නැතුව ඒ වචන දෙක පාවිච්චි කළා

” නංගි ඔය කොල්ලත් එක්ක යාලු වෙන්න ඇත්තේ එයාට සල්ලි තියෙන නිසා වෙන්න ඇති “

අමන්දි අම්මත් එක්ක කියපු වචන රන්දිට ඇහුනේ ගෙට ගොඩ වෙනකොටමයි. අම්මව බලන්න හිතාගෙන ඇය ආසම කෑම බීම හදාගෙන ගෙදර ආව රන්දිට අක්කගේ ඒ හිත රිදෙන වචන එතරම් පුදුමයක් වුණේ නැහැ. පටු ආකල්ප දරන අක්කා හැම වෙලාවෙම තීරණ ගත්තේ තමන්ගෙ සතුටට වඩා සමාජය සතුටු වෙන විදිහට.

” ඔයා එනව කියල කිව්වෙ වත් නැහැනේ පොඩී “

රන්දිව දැක්ක අම්මා පුදුමයට වගේම සතුටටත් පත් වුණා .

” නිකං ආවෙ අම්මා . අද මට නිවාඩු. තුෂාර එන්නත් රෑ වෙනවා කිව්වා “

රන්දි එහෙම කියාගෙන කුස්සිය තිබුණ පුටුවකින් වාඩි වුණා. අමන්දිගේ මුහුණේ තිබුණේ සමච්චල් සහගත හිනාවක්

” හහ්.. කසාද බැඳපු මිනිහා ගෙදර එන්න රෑ වෙනවා කිව්ව ගානට නේ මෙයා කතා කරන්නේ “

” ලොකූ.. කටවහගන්න “

රේණුකා කිව්වේ තරමක් සැරෙන් . කාගෙවත් හිතක් රිද්දන්න අකමැති රේණුකා උත්සාහ කළේ සහෝදරියන් විරසක වෙන එකත් නතර කරන්නයි

” අම්මට මගේ කට වහන්න පුළුවන් වෙයි . හැබැයි මේ රටේ ලෝකෙ මිනිසුන්ගේ කටවල් වහන්න නම් අම්මට බැරි වෙයි . මෙයා හරි උජාරුවෙන් අරයත් එක්ක එෆ්බී එකේ ෆොටෝ දානකොට යාලුවොත් මගෙන් අහනවා. ලැජ්ජාවේ බැහැ මට “

” ඇත්තද පොඩී ? ඔයා තුෂාරත් එක්ක ෆොටෝ දැම්මද ? “

” මම කවදාවත් එයත් එක්ක ෆොටෝ දාන්නෙ නැහැ අම්මා . හැබැයි එයාගෙයියි මගේයි යාළුවෝ ඔක්කොම ඉන්න ඒව නම් දානවා . අම්මා දන්නවනේ මම පරිස්සම් වෙනවා කියලා “

රන්දි එදා හවස ගෙදර ආවේ අක්කා ගැන උපන්න කලකිරීම හිතේ තියාගෙන.

” එයා ඔය ආවේ සුදාර එක්ක රණ්ඩු කරගෙන “

පහුවදා රේණුකා අමන්දිට කෝල් කරල එහෙම කියනකොට අක්කා තමන්ගෙ පිටින් යැව්වෙ හිතේ තිබුණ පීඩනය වෙන්න ඇති කියලා අමන්දි හිත හදා ගත්තා .

” ලංකාවෙ මිනිස්සුන්ට ලිවින් ටුගෙදර් කියන්නේ මැජික් එකක් උනාට පිටරට මිනිස්සුන්ට ඕවා සාමාන්‍ය දේවල් අමන්දි . ඒ මිනිස්සු බඳින්න කලින් අදහස් ගැලපෙනවද කියල බලනවා . අපේ මිනිස්සු අදහස් ගැලපෙනවද කියල බලන්නේ බැඳලා ඉවරවෙලා .හදිස්සියෙවත් එකට ජීවත්වෙන්න බැරි තරමට අදහස් ගැටෙනවා නම් ආපහු හැරෙන්න පුලුවන්ද ? “

තුෂාර හරිම ආදරයෙන් අමන්දිට කිව්වේ අක්කා නිසා අමන්දි ගෙ හිත තරමක් රිදිලා කියලා දන්න නිසාමයි . තුෂාර ට ආදරය කරන්න ගත්ත මුල කාලේ පුංචි පුංචි ගැටුම් ඇති වුණත් දැන් ඔවුන් අතර පුංචි මතගැටුමක් හරියන්නේ ඉඳලා හිටලා

” අපි දෙන්න වුණත් ඉස්සර කොච්චර රණ්ඩු වුණා ද පොඩි දේවල් වලටත් ? ඒත් දැන් අපි අපි දෙන්නව කොච්චර තේරුම් අරගෙනද ? “

විවාහ උන මුල් කාලේ අක්කා නිතරම පුංචි දේටත් සුදාර එක්ක ගැටුම් ඇතිකරගෙන ගෙදර ආව හැටිත් , සුදාර අයියා අක්කාව හොයාගෙන මහ ගෙදරට ආව හැටිත් රන්දිට මතක් උනා.

රන්දි තුශාරත් එක්ක ඉතුරු කරගත්ත සල්ලිවලින් ඉඩමක් ගන්න සැලසුම් කරේ මේ අතරෙදි.රන්දි ඒ සුභ ආරංචි මුලින්ම කිව්වේ අම්මට

” ඔය මනුස්සය ඉඩම එයාගේ නමට ලියාගෙන පනීවිද දන්නෑ .අපෙ එකීට අන්තිමට මුකුත් නැති වෙයි “

ඒ ආරංචිය දැනගත්ත අමන්දි රේණුකා එක්ක එහෙම කිව්වා

” තුෂාර කියන්නේ ඒ වගේ වැඩ කරන ළමයෙක් නෙමෙයි අමන්දි . මේ ළමයා උගත් ළමයෙක් “

” උගත් ළමයෙක් නිසා වෙන්න ඇති කසාද බැඳලා වත් නැතුව ගෑනු ළමයෙක්ව ගෙදරක තියාගෙන ඉන්නේ “

අමන්දිට තේරුම් කරලා ඉවර කරන්න බැරි කාරණා තේරුම් කරන්න රේණුකා තවත් උත්සාහ කළේ නෑ.

මිලදී ගත්ත ඉඩමේ ගෙයක් හදන්නත් මේ අතරතුර දී රන්දි සහ තුෂාර බලාපොරොත්තුවෙන් හිටියා. පරිනත උන වැඩිහිටියන් විදිහට දෙපාර්ශවයේම දෙමාපියන් ඔවුන්ගේ අනාගතය සැලසුම් කරගන්න ඉඩදුන්නා

” අපි වාහනයක් ගන්නයි යන්නේ. නංගි හිතාගෙන හිටියේ අපිට ඒව කරන්න බැහැ කියලනේ “

දවසක් ගෙදර ආව අමන්දි උජාරුවෙන් රේණුකාට එහෙම කිව්වා

” අම්මලා දෑවැද්දට දුන්න ඉඩමේ ඔප්පුවයි , මගේ රත්තරන් බඩු වගයකුයි සුදාර උසස් කළා “

” දෑවැද්දට දුන්න ඉඩමේ ඔප්පුව උකස් කලා ?”

රේණුකා අමන්දි දිහාවට හැරුනේ පුදුමයෙන්

” ඔව්. ඒක ඉතින් නිකංම නේ තිබුනේ. නිකන් තියෙන ඉඩමෙන් වැඩක් ගත්තහම මොකද “

” අනේ මන්දා ඔය ලමයින්ගේ වැඩ “

” සුදාර මහන්සි වෙන්නේ අපි දෙන්නට කියලා දෙයක් කරගන්න . මේ ටිකේම ඔෆිස් එකෙන් එන්නත් රෑ වෙනවා . ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදාත් සුදාර වැඩ “

අමන්දි ඒ දේවල් රේණුකාට කිව්වේ උජාරුවෙන්. ඒත් ඒ කිව්ව දේවල් ගැන රේණුකාට නම් ඒ තරම් සතුටක් දැනුනේ නැහැ. මොකක්ද අවුලක් සිද්ධ වෙනවා කියලමයි රේණුකාගේ හිත කිව්වේ

” මේ ටිකේම සුදාර ට පොඩි දේටත් මාත් එක්ක කේන්ති යනවා . වෙලාවකට එළිවෙනකම් රණ්ඩු අම්මේ “

දවසක් උදේ පාන්දරම රේණුකාට ඇමතුමක් ගත්ත අමන්දි හඬා වැළපෙමින් කිව්වා

” සල්ලි පස්සෙ ගිහින් හරියන්නේ නැහැ අමන්දි. පවුලෙ සතුට ගැනත් හිතන්න ඕනේ . බලන්නකෝ අර නංගීයි තුෂාර යි “

” හහ්.. කසාද බැඳලා වත් නැතිව පවුල් කන එවුන් දෙන්න ගැන අම්මා මට කියන්න එපා . මම වැදගත් විදිහට වෙඩින් එකක් අරගෙනයි පවුල් කන්නෙ “

තුෂාරත් රන්දිත් අතර කවදාවත් ගැටුම් ඇතිවෙලා තියෙනවා කියලා රේණුකා අහල තිබුණෙ නැහැ . සමාජයේ සම්මත ක්‍රමයකට ඡීවත් නොවුනත් ඔවුන් දෙන්නා අතර හොද අවබෝධයක් තියෙනවා කියලා රේණුකා විශ්වාස කළා . හැබැයි අමන්දි නිතර නිතරම නංගිගේ හිත රිද්දනවා කියලා රේණුකා දැනගෙන හිටියා. සමාජය ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙන රන්දි කවදාවත් ජීවිතය ගැන වැරදි තීරණ ගන්නේ නෑ කියලා රේණුකා දන්නවා

” අනේ අම්මේ “

දවසක් උදේ පාන්දරම අමන්දි අඬාගෙන ගෙදර ආවේ උදේ දහය පහු වෙනකොටමයි

” ලොකූ ඇයි මේ? “

අඬලා අඬලා ම තඩිස්සි උන අමන්දි ගේ මූණ දැක්කම රේණුකාට දැනුනේ ලොකු බයක් .ඉක්මනින්ම අමන්දි ව ගේ ඇතුලෙන් වාඩි කරපු රේණුකා ඇය ලඟින් වාඩි වුණේ සිද්ද වෙලා තියෙන දේ දැන ගන්නයි

” මම අම්මට කිව්වේ සුදාර පහුගිය ටිකේම ගෙදර එන්න පරක්කු වුණා කියලා “

අමන්දි කතා කළේ හැඬුම් අතරින්

” ඊයෙ සුදාර නාන්න ගිය වෙලාවේ කෝල් එකක් ආවා. ඔෆිස් කියලා නම සේව් කරලා තිබ්බ නිසා කෝල් එක මම ආන්සර් කලා “

” ඉතින් ? “

” මම හෙලෝ කියන්නත් කලින් , ගෑනු කෙනෙක් ඇහුවා වයිෆ් ඉන්නවද , කතා කරන්න පුළුවන් ද කියලා “

” දෙයියනේ “

” එතකොට සුදාර දුවගෙන ඇවිල්ලා ෆෝන් එක උදුර ගත්තා , කවුද කතා කලෙ ඇහුවම තමුසෙ මොකද මගේ දේවල් හොයන්නේ කියලා මට බැන්නා “

සිදු නොවිය යුතු යමක් සිදුවෙලා කියලා රේණුකාට හිතුනා

” සුදාර ඔෆිස් ගියාම මම ඔෆිස් එකට කෝල් කලා. පහුගිය ටිකේම සුදාර ඔෆිස් එකෙන් කලින් ගිහින් , සෙනසුරාදා ඉරිදාත් එහෙමට කියලා විශේශ වැඩක් තිබිලා නෑ අම්මේ. අදත් එයා සනීප නැ කියලා නිවාඩු දාලා. ෆෝන් එකත් ඕෆ් . ගෙදරින් ගියේ ඔෆිස් යනවා කියලා “

තමන්ගේ බෑනා අනියම් සම්බන්ධයක පැටලී ඇති බව සක්සුදක්සේ රේණුකාට පැහැදිලි වුණා . නීති පොතේ අත්සන් කර උත්සවයක් ගත් සැනින් වත් දෙදෙනකුගේ බැඳීම ගැන ස්ථිර වශයෙන් කිව නොහැකි බව අමන්දිට තේරුම් කරන්න රේණුකාට ඕන වුණා

” ජීවිත කාලයක් ගියත් අපිට මිනිසුන්ව තේරුම් ගන්න බෑ පුතේ . ඔයා මේ ගැන සුදාර එක්ක කෙලින් කතා කරන්න “

” සුදාර මගෙන් ඈත් වෙලා කියලා ඇත්තටම මට දැනුනේ නැහැ අම්මේ. මම හිතාගෙන හිටියේ එයා මහන්සි වෙන්නේ අපේ අනාගතය වෙනුවෙන් කියලා “

” පවුල් ජීවිතයකදී දෙන්නා හැමදේම කතාබහ කරලායි කරන්න ඕනේ. දෙන්නට දෙන්නා ගැන අවබෝධයක් නැත්නම් බැඳීම් පලුදු වෙනවා.නැත්තම් අනෙක් කෙනාව මග ඇරෙනවා “

කවදාවත් අමන්දි ට කියලා දෙන්න වෙයි කියලා හිතපු නැති පාඩමක් රේණුකා අමන්දිට කියා දෙන්න පටන් ගත්තා .

” සුධාර වෙන සම්බන්ධයක් පටන් ගන්න හේතුව සමහර විට ඔයාගේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන් “

තමන් සර්ව සම්පූර්ණයි කියලා හිතාගෙන හිටපු අමන්දි ට ඇත්තටම තමන් ඇතුලෙ මොකක් හරිම වැරැද්දක් ඇති කියලා පලවෙනි වතාවට හිතුනා

අමන්දි මැදි වෙලා තියෙන ගැටලුව ගැන අම්මගෙන් දැනගත්ත රන්දියි තුශාරයි හෙමින් සීරුවෙ සුදාර එක්ක මේ ගැන කතා කරන්න තීරණය කලා .ගැටලුවට හේතුව සුදාරම පමණක්ම නෙමෙයි කියලා ඒ කතා බහේදි රන්දි වගේම තුශාරත් තේරුම් ගත්තා.

අවසානයේදි අක්කාගෙ ප්‍රශ්නය විසඳන්න නංගි ඉදිරිපත් උනා. ජීවිතය ගැන පුළුල් දැක්මක් තියෙන රන්දි ඒ මොහොතේ ගන්න පුළුවන් හොඳම තීරණය හැටියට අමන්දිවත් සුදාරවත් පවුල් උපදේශනයට යොමු කරන්න කටයුතු කළා .

දෙදෙනා අතේම වැරදි තියෙන බව තේරුම්ගත් අමන්දියි සුදාරයි මාස ගණනාවකට පස්සේ උපදේශන වාරයන් ඉවර කරලා රන්දිත් තුශාරත් ජීවත් වෙන නිවහනට ආවේ රන්දිට ස්තූති කරලා යන්න.

රන්දිත් තුශාරත් ජීවත් වෙන විදිය දැකලා අමන්දිට ඇතිවුනේ ලෝබකමක්. තුශාර සුදාර එක්ක ඉස්තෝප්පුවෙ කතා කර කර ඉන්නකොට රන්දි කුස්සිය ආවේ තේ හදන්න

” නංගි “

කාලෙකට පස්සේ අමන්දි රන්දිව ඇමතුවෙ ආදරෙන්

” ලස්සන බැඳීමකට ලියවිල්ලක් ඕනම වෙන්නෙ නෑ “

අමන්දි මිමිණුවේ හීන් හඬින්

More Stories

Don't Miss


Latest Articles