අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන හැටි ගැනයි.

සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා කියන එක නොවැළැක්විය හැකියි. ඔබේ හැසිරීම දරුවන්ට නරක ලෙස බලපාන එක නවත්තන්නේ කොහොමද ?

අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන්නේ කොහොමද?

අම්මා බනී කියලා දරුවො ඔබෙන් දේවල් හංගන එක තමයි වෙන්න පුළුවන් ඉක්මන් ම දේ. විශ්වාස කළ යුතු ම කෙනා අවිශ්වාස වීම පුංචි හිතකට කොහොම අනාරක්ෂිත බවක් දැනෙනවා ඇති ද? ඒ වගේ ම එයාලා අභියෝගවලට මුහුණ දෙන්න බය වෙනවා. ඇයි? අම්මට කේන්ති ගිහින් බැන්නොත් කියලා හිතෙන නිසා. නිතර ම බියගුලු මෙන් ම සැක සහිත වෙනවා. බනීද කියා කල්පනාවෙන් ඉන්නා නිසා. මේක දරුවන්ගේ සම්පූර්ණ ජීවිතේ පුරාම බලපාන කාරණාවක්. ඒ වගේ ම ඉන්පසෙ දරුවන් ප්‍රශ්න විසඳීමේත්, පීඩනය පිටකිරීමේත් මාර්ගය විදියට හඳුනා ගන්නෙ කේන්තිය! පාලනය කළ හැකි ඔබේ කේන්තිය පාලනය නොකිරීම නිසා ඔබේ දරුවා මේ වගේ මානසික පීඩාවලට පත් වෙනවාට ඔබ අකමැති බව අපි දන්නවා. ඉතින් මේ විදියට මේ ගැටලුව කළමනාකරණය කරගනිමු.

අම්මට කේන්ති යන්නේ ඇයි?

අම්මාගේ කේන්තිය දරුවාට බලපාන විදිය හොයන්න කලින් අම්මට කේන්ති යන්නෙ ඇයි කියලා අපි බලමු. සමීප ම හේතුව තමයි ගෙදර දොර වැඩ කටයුතු ගොඩක් කරන්න වුණාම ඒ අස්සෙ දරුවොත් බලන්න වුණාම එකක් වත් හරියට කරගන්න බැරිව පීඩාවට පත් වෙන එක. කරන්න බැරි තරම් වැඩ ගොඩක් තනියම බදාගෙන කරන්න ගියාම ගොඩක් වෙලාවට වෙන්නෙ මේක. ඊට පස්සේ ඒ පීඩනය කේන්තිය විදියට එළියට එනවා. සමහර විටක ආර්ථික ප්‍රශ්න නිසා එන පීඩාවත් අම්මලට කේන්ති යන්න පුළුවන් හේතුවක්. අම්මලා කියන්නෙත් මිනිස්සුනෙ. ආස දෙයක් ගන්න නැති වුණාම වගේ ම දරුවන්ට දේවල් අරන් දෙන්නත් සල්ලි නොලැබුණොත් ඇති වෙන පීඩනය කේන්තියක් බවට හැරෙන්න පුළුවන්. ඒ වගේ ම එදිනෙදා වියදම් කරගන්න මුදල් නොලැබීමත් එක්ක ජීවන අරගලයට මූණ දෙන්න ශක්තියක් නැති වීමත් එක්ක ඇති වෙන පීඩනය කේන්තිය විදියට පිට වෙන්න පුළුවන්. ඕන ම මනුස්සයෙක්ට වගේ අම්මා කෙනෙක්ටත් දුක, කළකිරීම වගේ දේවල් ඇති වෙනවා. ඉතින් විශේෂයෙන් තාත්තගෙන්, එහෙම නැත්නම් පවුලෙන් ලැබෙන්න ඕන මානසික සහයෝගය නොලැබීමේ පීඩනයත් කේන්තිය විදියට එළියට එන්න පුළුවන්.

කේන්ති යන එක සාමාන්‍ය දෙයක්. කේන්තියක් ආව පමණික් ඔබ නරක අම්මෙක් වෙන්නේ නෑ. හැබැයි! කේන්තිය පිට කරන විදිහ ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ අම්මාගේ අතේ!

මොකද මේකට කරන්නේ?

කේන්ති යන එක හඳුනාගෙන, කේන්ති යන එක වළක්ව ගන්න පුළුවන් අවස්ථා මග හැරීම වගේ ම කේන්තිය පිට කරන විදිය කළමනාකරණය කරන එක තමයි හොඳ ම දේ.

කොහොමද එහෙම කරන්නේ?

ගෙදර වැඩයි දරුවොන්ගෙ වැඩයි එකට පටලගන්න එක නවත්තන්න වෙනවා. ඔබට දරුවො ලැබුණට පස්සෙ ඊට කලින් වගේ වෙලාවට තිතට ගෙදර වැඩ කරන්න බැරි බව තේරුම් ගන්න වෙනවා. එක්කෝ ඒවා හැකි විදියට කරන්නත්, සර්ව සම්පූර්ණ විය නොහැකි බව තේරුම් ගන්නත් වෙනවා. එහෙම නැත්නම් ඔබේ වැඩවලට ගෙදර අනිත් අයගේත් සහයෝගය ලබා ගන්න ඔබට පුළුවන්. ඒත් නැත්නම් හැකියාවක් තියෙනවානම් උදව්කරුවෙකු ලබා ගන්න. කොච්චර අමාරු වුණත් ඔබේ කේන්තියට දරුවා පළි නැහැ.

දරුවෙක් හදන්න කලින් මූල්‍යමය හැකියාව ගැන අනිවාර්යයෙන් හිතන්න කියලා අපි කියන්නේ මෙන්න මේ නිසා යි. දරුවෙක් ලැබුණාට පස්සෙ තිබුණ වියදම් දෙගුණ වෙනවා. ඉතින් දරුවෙක් හදන්න කලින් ආර්ථික ස්ථාවරත්වය ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනෙ. දැන් ඒකට ප්‍රමාද වැඩී නම් එක්කෝ ඔබ අමතර ආදායම් මාර්ගයක් හෝ රැකියාවකට යොමු වෙලා ආර්ථිකය ගොඩ ගන්න විදියක් හිතන්න වෙනවා. සල්ලි නැතුවම පීඩනයට පත් වෙලා කේන්ති එන එක සාධාරණයි! හැබැයි ඒක දරුවො පිටින් යන එක සාධාරණ නැහැ.

මානසික සහයෝගය කියන්නේ ජීවිතේ මනුස්සයෙක්ට ලැබිය යුතු වටිනාම දෙයක්. විශේෂයෙන් අම්මා කෙනෙක් වුණාට පස්සේ එන කායික අපහසුතා එක්ක අම්මා කෙනෙක්ට මේ මානසික සහයෝගය අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෙ. ඔබට ඒක ලැබෙන්නේ නැත්නම් ඉල්ලා සිටින්න. සමහර විට කේන්ති ගියාම ඒක කියලා පිට කරගන්න දරුවාගෙ තාත්තා, හොඳ යාලුවෙක්, ඔබගේ දෙමව්පියන් ඉන්නවා නම් ඔබේ කේන්තිය දරුවා පිටින් යන්නේ නෑ.

මේ ඔක්කොම කරලත් කේන්ති යනවා නම්?

දරුවෙක් එක්ක කේන්ති ආවාම කරන්න ඕන පළවෙනි ම දේ දැන් ඔබට කේන්ති ගිහින් ඉන්න බව හඳුනගන්න එක. ඒ හඳුනගත්ත වහාම ඒ පරිසරයෙන් ඉවත් වෙන්න. හයියෙන් හුස්මක් අරන් වෙන වැඩක නියැලෙන්න. කේන්ති යන එක වරදක් නෙවෙයි. ඒක දරුවො පිටින් යවන එක තමයි වරද. ඒ වගේ ම දරුවන් එක්කත් කතා කරන්න. අම්මාට සමහර ප්‍රශ්න නිසා කේන්ති යන බවත්, එහෙම දැක්කොත් පොඩ්ඩක් අම්මට කාලය දෙන්න කියලාත් ඉල්ලන්න. එයාලා තේරුම් ගන්නවා. දරුවොන්ට දේවල් තේරෙනවා.

ඒ වගේ ම මොන හේතුවක් මත වුණත් දරුවන්ට කායික මානසික හිංසා පැමිණවීම ළමා අපයෝජනයක් ලෙසයි සැලකෙන්නේ. හැදූ වැඩූ පමණින් දරුවන්ට සිතුසේ ගහන්නට බනින්නට ඔබට කිසිම අයිතියක් නැහැ. එසේ කිරීම නීතියෙන් පවා දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබට කේන්ති යාම සාධාරණ වුණත් කිසි ලෙසකවත් ඒවා දරුවන් පිටින් යවන්නට එපා යැයි අපි කියන්නේ ඒකයි.

දරන්නට අමාරු ම නම් අනිවාර්යයෙන් ම මනෝ උපදේශනයට යන්න. රජයේ රෝහල්වල පවා ඔබේ පෞද්ගලිකත්වය හොඳින් සුරකිමින් නොමිලයේ ම මේ සේවාව ලබා දෙනවා. ඉතින්, දරුවො පිටින් කේන්ති යවන්නෙ නැති අම්මෙක් වෙන්න අපෙන් සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles