“මිනිස්සු ආදරේටම වහල් වෙලා තීරණ ගන්න හොඳ නෑ. අපේ නංගි කළේ ඒක. ආදරේටම වහල් වුණා.එයාගේ ලෝකේ රදීෂ් වටේ කැරකෙන්නෙ ඒකයි.”
ගගන කියන්නේ නොකැමැත්තෙන් ය. උමාලිට තිබුණේ එයට එරෙහි කතාවකි. බොහෝ අයට බොහෝ දේ තිබේ. නමුත් ආදරය සොයා ගන්නට අපහසු ය. ඒ හන්දා එය ඕනෑවටත් වඩා හිමි වූ අහස්‍යා ඒ ආදරයට ඇබ්බැහි වීම පුදුමයක් නොවේ.
“හැමදාම ආදරේ කර කර ඉන්න බෑ. එක දවසක් එනවා ජීවිතේ කියන්නේ තව දේවල් කියලා මතක් වෙන. එහෙම වෙලාවට වෙන්නේ අර ආදර කතාව හුළං ගිය බැලුමක් වගේ ඇකිලිලා යන එක.”
ගගන කියන්නේ අමුතු ජීවන දර්ශනයකි. උමාලි පුදුමයෙන් ඔහු දෙස බැලී ය.
“මං ඔයාට ආදරේ නැද්ද?”
එය අසන්නටවත් දෙයක් නොවේ. ගගන මේ නිවසේ රැඳුණේ කල්ප කාලයකට පසු ය. ඔහු එතරමට කාර්යබහුල ය. ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන කිසිම මොහොතක ඔහු ඇමතුමක් තබා කෙටි පණිවිඩයක්වත් එවන්නේ නැත. “උමා” හැරෙන්නට ඔහු ඇයට කියන ආදර නාම ද නොවේ. රදීෂ් අහස්‍යාට මැණික කියද්දී පපුවේ සිහින් රිදීමක් උමාලිට දැනේ. නමුත් ඇය එය නොපෙන්වා ඉන්නට ප්‍රවේසම් ය.
“මට අද ඩොක්ට ඩයස්ව මීට් වෙන්න තියනවා. ඔයාට එන්න බැරිනම් මම අහස් එක්ක යන්නම් හොඳේ.”
ප්‍රසව හා නාරී වෛද්‍යවරයා වෙත යන්නට පෙර උදෑසන උමාලි එසේ පවසයි. ඔහුට එන්නට නොහැකිනම් ඇගේ තරහක් නැත. අහස්‍යා හෝ චාරුනී මහත්මිය සමඟ යන්නට උමාලි සූදානම් ය. එහෙත් වෛද්‍ය හමුවට පැයක් තබා ඔහුගේ රථය ගෙමිදුලට ඇතුළු වේ.
“සමහර ආදර කතා තියනවා උමා හරිම දිස්නෙ ගහන. නංගිට තියෙන්නේ එහෙම කතාවක්. නංගි ඉන්ටර්විව් වල එහෙම රදීෂ් ගැන කියන දේවල්වල හැටියට රටෙන් සීයට අනූවක් කෙල්ලො බලාපොරොත්තු වෙන්නේ රදීෂ් කෙනෙක්.”
උමාලිට සිනාවක් ඉපදිණ. ඇය ඒ සිනාවෙන්ම ගගන දෙස බැලුවා ය.
” ආදරේ කරන්න හොඳ රදීෂ් කෙනෙක් වුණාට කසාද බඳින්න හොඳ ගගන කෙනෙක් කියලද ඔයා කියන්නේ?”
ගගන හිස වැනී ය. දැනෙන්නට ආදරය කරන්නට නොදැනීම ඇතැම්විට ඔහුගේ වරදක් වන්නට ඇත. නමුත් ජීවිතය එයට වඩා වෙනස් ලෙස දකින තරුණයන් වේ.
“දිස්නෙ ගහන්න ආදරේ කරාටම වැඩක් නෑ කියලා නංගිටත් දවසක තේරෙයි.”
ගගනගේ මේ කතාවට නැවතීම තබන්න උමාලිට සිතිණ.ඇය අභියෝගයක සරින් දෙයක් කියන්නට සිතුවේ ඒ හන්දා ය.
“ඔයාට ඔය තියෙන්නේ රදීෂ්ගේ පවුලේ අය ඔයාලට නොගැළපෙන එක ගගන. රදීෂ්ගේ මුල් කොහෙ තිබ්බත් දැන් එයා මේ පවුලේ එකම බෑනා.”
ගගන එකම මස්සිනාගේ ආදරය සහ ජීවිතය ගැන එසේ සැක ඇති කර ගනිද්දී රදීෂ් ලියනාරච්චි යෝධ කන්දක්ව දකින්නට පුරුදු වූ යුවතියක පාරේ ඇවිද එමින් සිටියා ය. අහස්‍යා දුන් පාර්සලය ඇය සීරුවට බෑගය අඩියේ තැන්පත් කළා ය.
“හඩුවට එන්නැතුව පිළිවෙලකට එන්න කියලා ඔෆිස් එකේ මැඩම් කිව්වෙ.”
අම්මාට එහෙම කියන්නට හැකි ය. නමුත් අම්මා ඊළඟ තත්පරයේ අසන අවකැපෙන කතාව ඇය දනියි.
“මැඩම් මොකටද උඹට ඔව්වා දෙන්නේ. ගණං හදන්න යනවා කියලා උඹ මොකා හරි එක්ක බුදියාගන්නව නේද?”
ඒ වාගේ කතාවලට කෝප ගත්තේ අතීතයේ ය. ආර්ථික විද්‍යාව වෙනුවෙන් ඇයට නොමිලේ අතිරේක පන්තියට එන්නට අවසර දුන් තරුණ ගුරුවරයාට ද අම්මා පදයක් හැදුවා ය. නිලුපුලී ඔහු සමඟ යහන්ගත වෙන බවට අම්මාට ලොකු විශ්වාසයක් තිබිණ. ඔහුට ඕනෑ වූයේ නිලුපුලීව කෙසේ හෝ විශ්ව විද්‍යාලයට යවන්නට ය.
“දෙවැනි වතාවටත් එක්සෑම් ලියන්න පුතා. ඔයා වගේ දරුවන්ට තියන එකම පාර අධ්‍යාපනය.”
ඔහු ගිණුම්කරණය ඉගැන්වූ ඔහුගේ බිරිඳගේ කුඩා කණ්ඩායම් පන්තියට පවා යන්නට නිලුපුලීට අවස්ථාව සලස්වා දුන්නේ ය. එහෙම දේවල් කරන්නේ “මිනිස්සු” බව නිලුපුලීට සිතේ.
“නිලුපුලී යුනිවර්සිටි සිලෙක්ට් වුණොත් අපිව දාලා යයි නේද?”
රදීෂ් සම්මුඛ පරීක්ෂණයේ දී එසේ ඇසී ය. විශ්ව විද්‍යාල වරම් ගැන විශ්වාසයක් නැතැයි නිලුපුලී කිව්වේ වියළි හඬකිනි. ඒ මොහොතේ ඇයට ඇත්තටම කිසිවක් ගැන විශ්වාසයක් වූයේ නැත.නමුත් මේ මොහොතේ එසේ දමා යන්නට නොහැකි බව රදීෂ්ට කියන්නට තරම් ඇයට සිතේ. ඇයට ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු ඉපදෙන්නේ දැන් ය. සැබෑවටම තම තාත්තා ගැන සොයන්නටවත් නිලුපුලීට ළමා වියේ පවා උවමනාවක් වූයේ නැත.ඇය ආච්චිගන් ඉඳහිට ඒ ගැන විමසුවා ය.
“කාලකන්නි ඇටකිච්චියන්ට තාත්තලා නෑ.”
ආච්චි එසේ පිළිතුරු දුන්නා ය.ආච්චි දිනක් ගෙමිදුලට කඩා වැදුණු පරවි රංචුවකට කාලකන්නින් යැයි බැන වැදෙන අන්දම අසා හුන් නිලුපුලී ඊළඟ දවසේ ඇගෙන් වෙනත් ප්‍රශ්නයක් නැගුවා ය.
“මම ඉපදුණෙත් බිත්තරේකින්ද? ජෝසෙ මාමගෙ පරවියො වගේ..”
එවැනි ප්‍රශ්නවලට ඇයට ලැබුණේ ගුටිබැට ද අපහාස ද පමණි.
“මගේ තාත්තා මා කුඩා කාලයේදී මිය ගියේ ය.අම්මා මට ඉගැන්වීම වෙනුවෙන් මෙහෙකාරකම් කරමින් දුක් විඳින්නී ය.”
පාසල් රචනාවල එසේ ලියා තැබූ නිලුපුලී ගුරුවරුන්ගේ වඩා ආදරය දිනා ගත්තා ය. ඒ කුමන කාලයකදීවත් තාත්තා ගැන සොයන්නට ඇගේ හදවත පෙළඹවී නැත. නමුත් දැන් ඇයට තාත්තා ගැන සොයන්නට පවා සිතෙන තරම් ය.