අහිමි මව් පදවිය

“සා…රා…අනේ  කෙ…ල්…ලේ…”

මනීශාට කියන්න ලැබුණේ එපමණයි.

‘ක්….රී….ස්….’

විශාල ශබ්දයක්ද සමඟින් හසුරුවා ගන්නට නොහැකි වුණ කාරය සාරාංගිවද යටකරමින් මඳ දුරක් ඉදිරියට ගියා.

*    *    *    *    *    *    *     *    *   *

“නී…ශා….”

“අනේ දෙවියනේ…ඇති යාන්තම්…මම හොඳටම බය වුණා…”

“මොකද නීශා මට උනේ…”

අමාරුවෙන් වචන ගලපාගනිමින් කතා කල සාරාංගි සිදුවුණු සිදුවීම ගලපාගන්න උත්සාහ කළා.

“වැඩිය කතා කරන්න එපා සාරා.අපි පොඩ්ඩක් රෙස්ට් කරමු. මම හිතින් පත්තිනි මෑණියන්ට බාරයකුත් වුණා….”

සාරාංගිත් මනිශාත් එකම බෝඩිම් කාමරයේ ඉන්න යහලුවන් දෙන්නෙක්. සාරාංගි ගාල්ලේ කෙල්ලක්. මනීශා මහනුවර කෙල්ලක්.

“උඩරට ඉපදුණත් අපි මැණිකෙලා නෙමෙයි. දුප්පත් අම්මටයි දුප්පත් අප්පච්චිටයි ඉපදුණු දුප්පත් කෙල්ලෙක්. “

උඩරට මැණිකේල ගැන කියල සාරාංගි විහිළු කරන හැම විටම නීශා කිව්වේ එහෙමයි. ඉගෙන ගත්තත් දේශපාලන බලයක්, මුදල් බලයක්, නැතිකම නිසාම සාරාංගිටත් කොළඹ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට එන්න සිදු වුණා.

‘මට මේ රස්සාව කරන්න අමාරුයි අම්මේ. ආයේ ගමට එන්න හිතෙනවා. ටාගට් දෙන්න බැරි වුණාම සුපවයිසර් ගෑණි ඔලුව කන්න හදනවා. මැෂිමේ ඉදිකට්ටට ඇනිලා දෙපාරක්ම මාව කලන්තේ දාලා වැටුණා. ටාගට් දෙන්න ඕන නිසා කෑම වෙලාවෙත් කෑමට යන්නේ නැතිව මම වැඩ කරනවා අම්මේ….’

සාරාංගි අම්මට ලියුමක් ලිව්වත් ඒ ලිපිය තැපැල් කලේ නෑ.

‘ඒ අහිංසක මිනිස්සුන්ට දුකක් දෙන්නේ කොහොමද…’

කියල හිතපු සාරාංගි ලියූ පළමු ලිපිය ඉරල කුණු කූඩයට දැම්මා. බොහෝ දෙනෙක් නොදැන සිටියත් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාව කරන ගැහැණු ලමයින්ගේ ජීවිතය මේකයි. දවසේ නියමිත කොටස කරගන්න බැරි වුණොත් වැටුපෙන් පවා මුදලක් කපා හරිනවා. නමුත් ගමේ තේ දලු කඩමින් ජීවිතය ගැට ගහගන්නා අම්මාට මේ දුක කියන්න ඇය කැමති වුණේ නැහැ.

‘මේ රස්සාව හොඳයි අම්මේ. හැමෝම හරි හොඳයි. වැඩ අමාරු නෑ.කරගෙන යන්න පුලුවන්. මෙහේ කෑමත් හොඳයි. මම ගැන බයවෙන්න එපා ‘

යනුවෙන් බොරු එකතු කර ලියූ ලිපිය සාරාංගි තැපැල් කළා.

Mother and child are hugging and having fun outdoor in nature

*    *     *    *    *    *    *    *    *    *

“මම ඉක්මනට වතුර ටිකක් රත් කරන්නම්. අපි ඇඟ පත ටිකක් හෝද ගමු…”

“උණු වතුර ඕනේ නෑ නීශා. මට දැන් හොඳයි….”

“පිස්සු කතා කියන්න එපා සාරා…”

“මම නිසා නීශා මහන්සි වෙනවා…”

“වැඩිය හිතන්න එපා. ඇත්තටම එදානම් මම හොදටම බය වුණා. ..”

මනීශා සාරාංගිට උණු වතුර සූදානම් කරන්න පුංචි මුලුතැන්ගෙට ගිය මොහොතේදී කාමරයටම තිබුණු එකම පුටුවේ වාඩි වී සාරාංගි මීට දින දෙකකට උඩදී සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම් නැවතත් මෙනෙහි කලා.

සාරාංගිත් මනිශාත් රාජකාරිය නිමවී හන්දියට ගියේ පසුවදාට උපයන්නට එලවලුවක් සහ මාලුවක් ගෙන එන්නටයි. එලවල
වෙළද සැලෙන් ලාබෙට වට්ටක්කා දෙසීය පනහත් ,කරපිංචා මිටියත්, පොල් ගෙඩියත් ගෙන කතාකරමින් පාර මාරු වෙන්නට ගිය සාරාංගිට ඇසුනේ”සාරා….අනේ…කෙල්ලේ…” කියනවා විතරමයි. ඒත් සමඟම වම්පසින් ආ සුදු පැහැති කාරය සාරා ගේ ඇඟේ හැපුණත් ඒ ගැන මතකයක් සාරාංගිට නැහැ. ඇයට සිහිය එද්දී ඇය හිටියේ රෝහල් ඇඳක් මතයි.

   මේ අතරේ රෝහලට ගිය අරවින්දට දැන ගැනීමට හැකි වූයේ තමන්ගේ රියෙන් අනතුරට පත්වූ තරුණියට මඳක් සුවය ලබා නිවසට යාමට අවසර දී ඇති බවය. රෝහලේ සේවය කල තම පාසැල් මිතුරෙකු වූ මහේෂ්  මාර්ගයෙන් අරවින්ද එම තරුණිය රෝහලට ලබා දී ඇති ලිපිනය ලබා ගත්තා. රෝහල්ගත වූදා සිටම රෝහලේ වෛද්‍යවරයකු වූ මහේෂ් තම මිතුරා වෙනුවෙන් මේ තරුණිය පිළිබඳව සොයාබලා අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්නා. අරවින්දගේ බලවත් ඉල්ලීම මත වෛද්‍යවරයා අරවින්ද ගැන කිසිවක් මේ තරුණියට කිව්වේ නැහැ. තරුණ වෛද්‍යවරයා නිරන්තරයෙන් තම මිතුරිය පිළිබඳව සොයා බැලීම ගැනත් මනීශාට පොඩි සැකයක්ද මතු වුණා.

*   *    *    *    *    *     *    *    *    *    *

“ගෙදර කවුද….?”

“අපේ කාමරය ලඟ කවුරුහරි ඉන්නවද නීශා…?”

“ඒක තමයි මාත් බැලුවේ….”

“ගෙදර කවුද ….?”

නැවතත් නුහුරු කටහඬක්.

“ඉන්න මම බලන්නම්….කවුද…?”

කුඩා බෝඩිම් කාමරය ඉදිරිපිට ඉතා වැදගත් පෙනුමැති තරුණයෙකු සිටගෙන හිටියා.

“සමාවෙන්න…මේ සාරාංගි බණ්ඩාරගොඩගේ ගෙදරද…?”

“ඔව්…මේ…???”

“මට සාරාංගිව පොඩ්ඩක් බලන්න පුලුවන්ද….?”

“කවුද නීශා…?”

ඒ මොහොතේදී බෝඩිම් කාමරයේ සිට සාරාංගි විමසුවා.

“එන්න….”

මනීශා අරවින්දව බෝඩිම ඇතුලට කැඳවූයේ කුතුහලයෙන්. ඇඳේ හාන්සි වී සිටි සාරාංගි මේ ආගන්තුක පිරිමියා දැක පුදුම වුණා.

“මේ…ම…හ…ත්…ත…යා…??”

“සමාවෙන්න…මම අරවින්ද විතානගේ. මට පොඩ්ඩක් මිස් සාරාංගි එක්ක කතා කරන්න පුලුවන්ද…?”

”   වාඩිවෙන්න…”

මනීශා කාමරයේ තිබූ එකම පුටුව අරවින්දට පෙන්නුවා.

“ස්තූතියි…මට සමාවෙන්න. ..මගේ වාහනේ තමයි එදා මිස් සාරාංගිව ඇක්සිඩන්ට් වුණේ…”

“මොකක්….එතකොට මේ මැරිලද කියලා බලන්නද ආවේ…?එහෙමද මිනිහෝ වාහන එවන්නේ…?සල්ලි තිබුණු පලියට පාරේ යන උන්ව මරාගෙන යන මිනීමරුවෝ…”

හිතේ තියෙන ආවේගයටම මනීශා අරවින්දට බැන්නා.

” නිශා….ප්ලීස්…කෑ ගහන්න එපා…”

“ප්ලීස්… මම කියන දේ පොඩ්ඩක් අහන්න . මිස් සාරාංගි මට පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න. ඊට පස්සේ මට ගහල පැන්නුවත් කමක් නෑ. “

අරවින්ද බැගෑපත් වුණා.

“නීශා…ප්ලීස්….”

සාරාංගි නීශාගේ අතින් අල්ලා ඇයව තමා අසලින්ම ඇඳ කොනෙහි වාඩි කරවා ගත්තා. අරවින්ද ටික වෙලාවක් බිම බලාගෙන හිටියා.

“මහත්තයා…?”

ඒ නිහඬ බව බින්දේත් සාරාංගිමයි.

” දවාලේ ගෑණු ලමයෙක් හප්පල ගිය මම මහත්තයෙක් නෙමෙයි සාරාංගි. මම නරුමයෙක්. මට සමාවෙන්න…”

බිමට නැඹුරු වූ ඒ හිස ඔසවද්දී ඒ ඇස්වල තිබුණු කදුළු දැක සාරාංගි විතරක් නෙවෙයි මනිශාත් ගැස්සුණා.

“එදා මම හිටියේ ලොකු පීඩනයක….”

එසේ කියූ අරවින්ද කලබලයෙන් නැගිට තම කලිසම් සාක්කුවේ තිබූ පසුම්බියෙන් ජායාරූපයක් අතට ගත්තා.

“මේ ඉන්නේ මගේ පණ…”

එසේ කිවූ ඔහු හුරුබුහුටි පුංචි දියණියකගේ සේයාරුවක් සාරාංගිට දුන්නා. සාරාංගි විතරක් නෙවෙයි මනීශාත් එය අතට ගෙන බැලුවා.

“ඔය තමයි මේ ලෝකේ මට ඉන්න එකම වස්තුව. චූටිදූ නර්සරි යනවා. ඒ ඉවර වෙලා දූව එතනම ඩේ කෙයාර් එකට දාලයි තියෙන්නේ. මම ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් දුවව එක්කගෙන යනවා. චූටි දූට අසනීපයක් තියෙනවා. එයාට ෆිට් එක හැදෙනවා. එදා මම ඔෆිස් එකේ ඉදිද්දී දූට ෆිට් එක හැදිලා ඉක්මනට එන්න කියලා ඩේ කෙයාර් එකෙන් කෝල් කරල කිව්වා. එයාට ඒ වෙලාවට සමහර දාට අමාරු වෙනවා. ඇස් උඩ ගිහින් දඟලනවා. ඒක මට දරාගෙන ඉන්න බෑ. එදා මට මැවි මැවී පෙනුනේ ඒ පුංචි පැටියාගේ අහිංසක මූණේ.  ඒ කලබලයෙන් යද්දී තමයි මිස් සාරාංගිව මගේ වාහනේ හැප්පුණේ. මම බොරුවක් කියන්නේ නෑ.මාව පොලිසියට අරගෙන ගිය නිසා එදා දූව නවලෝකෙට අරගෙන ගියේ නර්සරියේ ලොකු මැඩම්..”

“එතකොට දූගේ අම්මා…”

මෙතෙක් මනීශාගේ හිතේ තිබුණ පැනයයි ඒ.

“මගේ ආදරේ මට නැති වුණේ චූටි දුවට අවුරුද්දයි මාස තුනකට පස්සේ. රුවන්ති කැන්සර් එකකින් නැති වුණේ අපි දෙන්නව මේ ලෝකේ තනි කරලයි. දැන් චූටි දූට වයස අවුරුදු හතරයි. මගේ ලෝකේ මේ පුංචි ආදිත්‍යා විතරයි. මට සමාවෙන්න මිස් සාරාංගි….”

අරවින්දගේ කතාව මනීශා වගේම සාරාංගිත් විශ්වාස කලා. ටික වෙලාවකින් යාමට සැරසුණු අරවින්දගෙන් සාරාංගි පුංචි ඉල්ලීමක්ද කලා.

“මට චූටි දූ බලන්න ඕනේ…”

“මම එක්ක එන්නම්…”

එදා අරවින්ද ගෙදර ආවේ ලොකු සැනසීමකින්.

*    *    *    *     *    *     *     *     *     * 

දවස්, සති, මාස ගතවුණා. ඒ කාලය තුලදී සාරාංගි;,අරවින්ද, මනීශා;,විතරක් නෙවෙයි පුංචි ආදිත්‍යා ත් සතුටින් කාලය ගත කලා. ඉඩක් ලැබෙන හැම මොහොතකම අරවින්ද ආදිත්‍යා රැගෙන සාරාංගි බලන්න ආවා. බොහෝ නිවාඩු දිනවල මොවුන් පුරුද්දක් ලෙස ගල්කිස්ස මුහුදු වෙරළට ගියා. බොහෝ දිනවල මනීශාත් මේ ගමනට එකතු වුණා. ඇත්තම කිව්වොත් මේ වන විට සාරාංගිගේ හිතෙත් අරවින්දගේ හිතෙත් ඒකපාර්ශ්වික ප්‍රේමයක් ඇති  වෙලයි තිබුණේ. නමුත් ඒ ගැන දෙදෙනාගෙන් කවුරුවත් කියන්න ඉස්සර වුණේ නෑ. ‘තමන් දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ වගේ කෙනෙක්ව කසාද බදින්න එයා කැමති වෙයිද…?’අරවින්දගේ හිත අරවින්දට කිව්වා. ‘මම වගේ අවාසනාවන්ත කෙල්ලෙක් එයාට ගැලපෙන්නේ නෑ. මං ගැන දැන ගත්ත දවසට එයා මොනවා හිතයිද.මගේ පව්කාරකම…’සාරාංගිගේ හිත හැම මොහොතකම කිව්වා.

“සාරා….මට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕනේ…”

“මොකක්ද අරවින්ද අයියේ…?”

“මේක ඔයාට කියන්න හිටියේ හුඟ දවසක ඉඳලයි. ඔයාට පුලුවන්නම් මාවයි චූටි දුවවයි බාර ගන්න මම කැමතියි නංගී ඔයාව මැරි කරන්න…”

ඒ වචන ටිකට සාරාංගිගේ ඇස්වල කදුළු පිරුණා. මොහොතකින් එය ඉකියක් වුවා.

“ඇයි මේ…? මම දන්නවා කසාද බැඳපු මිනිහෙක්ව බඳින්න ගෑනු ලමයි කැමති නැහැ. අනෙක දරුවෙක් එක්ක තනිවුණු  මම ඔයාට මෙහෙම යෝජනාවක් ගෙනාපු එකත් අසාධාරණයක්. ඒත් ඇත්තටම මම ඔයාට ආදරෙයි සාරා….”

“මම හරිම අවාසනාවන්ත ගෑනු ලමයෙක්. ඔයාට මම වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ.මාත් ඔයාටයි චූටි දුවටයි හරි ආදරෙයි. ඒක අද ඊයෙක ඇතිවෙච්ච ආදරයක් නෙමෙයි. ඒත්…ඒත්…මේ අවාසනාවන්ත කෙල්ල ඔයාට ගැලපෙන්නේ නෑ අයියේ….”

එසේ කියමින් ඈත වෙරළේ දෝණිත් සමඟ වැලි මාලිඟාවක් හදන මනීශා ලඟට දිව යන්නට හැදූ සාරාංගිගේ අත අරවින්ද අල්ලා ගත්තා.

“පොඩ්ඩක් ඉන්න නංගී…මම ඔයාගේ හිතේ තියෙන ඔය වේදනාව දන්නවා සාරා…”

සාරාංගි පුදුම වී ඔහු අසළින්ම නැවතත් වාඩි වුණා.

“ඔයාට හොස්පිටිල් එකේ ට්‍රීට් කල ඩොක්ටර් මගේ හොඳ යාලුවෙක්.ඔයාව ඇක්සිඩන්ට් වෙලා හොස්පිටිල් ඇඩ්මිට් කලාට පස්සෙ ඔයා ගැන බයටම මනීශා නංගී ඒ ගැනත් ඩොක්ටර්ට කියල තිබුණා. ඒ නිසා ඒ හැම දෙයක්ම මහේෂ් ස්කෑන් පරීක්ෂණ කරලා තියෙනවා.

“මො…න…වා….???”

සාරාංගිට සියල්ලම පැහැදිලියි. මේ වනවිටත් අරවින්ද ඒ හැම දෙයක්ම දැන අවසානයි. ඇය හිත හදා ගත්තා.

“ඔව්…මම හරිම අවාසනාවන්ත ගෑනු ලමයෙක්. උපතින්ම ගර්භාෂය වර්ධනය වෙලා නැති නිසා මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැහැ. මම හරිම අවාසනාවන්ත කෙල්ලෙක් . මව් පදවිය නැතිව කසාද බැඳල වැඩක් තියෙනවාද…?මාව අමතක කරන්න අයියේ. මම කවදාවත් කසාද බදින්නේ නැහැ කියලයි හිත හදා ගෙන ඉන්නේ…”

සාරාංගි ඇඬුවා. ඇතිතරම් ඇඩුවා. ඇයට අඩන්නට ඉඩදී අරවින්ද  නිහඬව බලා සිටියා.

“සාරා…අපිට තව දරුවෝ ඕනේ නෑ…ඔයාට ආදිත්‍යාට අම්මා වෙන්න බැරිද..?මාවයි දුවවයි ආදරෙන් බලාගන්න බැරිද….?”

ඒ වචන වලින් සාරා පුදුම වුණා.

“ආදිත්‍යා කියන්නේ  ඔයාටයි මටයි රුවන්ති දීපු තෑග්ග. එයා මැරෙන්න කලින් මාව පොරොන්දු කර ගත්තා කවදාහරි දුවට හොඳ අම්මා කෙනෙක් ගේනවා කියලා. කියන්න…ඒ දෝණිට අම්මා වෙනවාද…?”

සාරාංගිට කතා කරගන්න බැරි වුණා . ඇය ඒ උණුහුම් පිරිමි පපුතුරේ මුහුණ තියාගෙන ඇතිවන තුරු හැඬුවා. ඒ සතුටු කඳුළුයි…

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content