Vintage Eyes – 05

තාත්තා අප හැර ගියේ කවදා දැයි මට නිනව් නැත. ඒ මා කුඩා දැරියක කාලයේදී බව මතක ය. ඊට කලින් මට තාත්තා හා බැඳුණු ලස්සන මතකයක් තිබිණ. ඔහු හවසට ගෙදර එනකොට මට ලොලිපොප් ගෙනාවේ ය. ඇපල් හෝ මිදි වැනි පළතුරක් කලාතුරකින් ගෙනාවේ ය. රටකජු ඇටයක් හෝ නැතිව නම් නාවේ ය. 

තාත්තා ඉන්න කාලේ අපි පෝයට පන්සල් ගියෙමු. කැළණි හෝ බෙල්ලන්විල හෝ කළුතර හෝ ගියෙමු. ගියේ කොහේ වුණත් එය මට විනෝදයක් ම වූයේ ය. තාත්තා මා උරහිස මත තියා ගෙන බෙල්ලන්විල පෙරහැර පෙන්වූ මතකයක් මට තියේ. පෙරහැරෙහි දුටු දේවල් ගැන මතක මාත්‍රයක් නොමැති මුත් තාත්තා මා උරහිසේ නංවාගෙන පෙරහැර පෙන්වූ බව මතක ය. ඒවා එහෙම ය. දුන්නේ මොනවා දැයි මතක නැතත් මිනිසුන් තුළ යමක් ලැබුණු බවට මතකය ඉතිරි වේ. හිත් ළඟ සුවඳ දෙන්නේ ඒ මතකයන් ය.

තාත්තා ගිය දින වල දැනුණ වේදනාවත් මට මතක ය. හරියට අපිට අයිති වී තිබුණ යමක් හොරු අරගෙන ගියා වාගේ හදිසියේ ම අතුරුදන් විය. තාත්තා ගෙදර එන පුරුදු වෙලාවට මම මග බලා සිටියෙමි. බුල්ටෝ එකක්, හකුරු පෙත්තක් හෝ ලොසින්ජර කිහිපයක් අම්මා හවසට සිල්ලර බඩු ටිකක් ගේන්නට ගිය ගමන් කඩෙන් ගෙනත් තැබුවා ය. ඒ හවස් වෙත්දී තාත්තා ඒවා නො ගෙනෙන පාඩුව මැකෙනු වස් මගේ ළමා සිත සනසන්නට ය. ලොසින්ජර ලැබුණාට තාත්තා නැති සාංකාව මට නො දැනුණා නොවේ. නමුත් කෙමෙන් ලොකු වන විට මට යමක් තේරුම් යන්නට විය. ඒ තව දුරටත් මතකය මිස තාත්තා යනු අපට අයිති නැති වස්තුවක් බව ය.

අම්මා කවදාවත් තාත්තා මත්තේ හැපෙනු මා දුටුවේ නැත. ඇය එය සිය උරුමය සේ පිළිගෙන නිහඬ වන්නට ඇත. අම්මා හා මා දමා වෙනත් බිරිඳක සමග පවුල් ජීවිතයක් ගෙව්වාට තාත්තා අම්මා ගෙන් නීත්‍යානුකූල ව වෙන් වී නැති බව මා දැන ගත්තේ පසු කලෙක ය.

“එයා මගෙන් දික්කසාදයක් ඉල්ලුවෙත් නෑ මං එයාගෙන් දික්කසාදයක් ඉල්ලුවෙත් නෑ. හැබැයි එයා ඒක ඉල්ලුවනං මං නොදී ඉන්නෙත් නෑ. ගියාට පස්සෙ තාත්ත ඔය කිසි දෙයක් ගැන කතා කරන්න ආයෙ ආවෙ නෑනෙ පුතේ. වැදගත් වෙන්නෙ කසාදෙද දික්කසාදෙද කියන එක නෙවෙයි. දෙන්නෙක් සතුටෙන් ඉන්නවද නැද්ද කියන එක. ඒ දෙන්න සතුටෙන් ඉන්නවනං එච්චරයි”

අම්මා ඉතාමත් සන්සුන් ගැහැනියක ලෙස ඒ සියල්ල පිළිගත්තා ය. අම්මා අස තාත්තා සිටියේ සතුටෙන් නෙවේද කියා අසා ගන්නට මට ඕනෑ නොවූවා ම නොවේ. නමුත් ඒ වගේ පුංචි දේකින් වුව අම්මා ගේ හිත රිදේවියි මම නිතර ම බිය වීමි. අම්මා යනු ඉතා සියුමැලි හා සංවේදී ලස්සන ගැහැනියකි. එවැනි ගැහැනියක් ළඟත් දමනය කළ නො හැකි පිරිමි හිතක් යන අතක ගියාවේයි යමක් කමක් වැටහෙත්දී මට සිතෙන්නට විය.

මා ඒ ගැහැනිය මුල් වරට දුටුවේ එදා ය. ඒ තාත්තා අප හැර ගොස් වසර විසි ගණනකට පස්සේ ය. උස්සා පොළොවේ ගැසුවා සේ මා ගැස්සී ගියේ එකී ස්ත්‍රිය ගේ රුව දුටු විට ය. අම්මා නංගී කියා කතා කළාට ඇයට අම්මා මෙන් දෙගුණයක වයසක් පෙනිණ. අම්මා තවමත් විසි තිස් ගණනක සියුමැළි කෙල්ලක සේ පෙනෙත්දී ඇය තාර පීප්පයක් මෙන් මහතට කළුවට හිටියා ය.

“හිත කියන්නෙ පුදුම දෙයක් පුතේ. සමහර වෙලාවට හිත නතර වෙන්නෙ අපිට හිතා ගන්න බැරි තැන් වල. ඒක තේරුං ගන්න අමාරු ටිකක් සංකීර්ණ දෙයක්. ලස්සන කැත දුප්පත් පෝසත් වයස ඔය කිසි දෙයක් හිතක් බැඳෙන්න වැදගත් වෙන්නෙ නෑ. හිත ගිය ගැන මාළිගාව කියන්නෙ ඒකනෙ”

ඒ මීට කලින් අම්මා මා හා කියා තිබූ කතාවකි. තාත්තා ගේ හිත පැහැර ගත් ස්ත්‍රීය බොහෝ සුන්දර ඇත්ද කියා මා ඇසූ පැනයට ඇය ලබා දුන් පිළිතුර ය ඒ. එතකොට අම්මා මේ තැනැත්තිය දැක තිබුණාද නැත්ද කියා මා දන්නේ නැත. කෙසේ වෙතත් මානව සබඳතා ගැන අම්මා ට වන සහජ ඉව ඒ පිළිබඳ උපාධිධාරියෙකුට සමානයි කියා මේ මොහොතේ මට සිතිණ.

“මොකද්ද අම්මෙ වෙලා තියෙන්නෙ…”

මා ඇසුවේ හිත තද කර ගෙන ය. එකවර පිළිතුරක් දෙන්නට අම්මා පසුබෑවා ය.

“මොකද්ද ගේ ගැන කතාවක් කියනව ඇහුණෙ…”

“පුතේ…මේ…මේ ගේ…මේ තාත්තගෙ නෝනා…මේ ගේ දැන් එයාලට බාර දෙන්න ඕන කියල කියන්නයි එයා ඇවිත් තියෙන්නෙ”

දෙවියනි මගේ අහිංසක අම්මා ඒ ටික කියා ගත්තේ කෙතරම් නම් අසීරුවෙන් ද? වසර විසි ගණනක් තිස්සේ තාත්තා ගේ පාප කඳ වෙනුවෙන් වන්දි ගෙව්වේ අම්මා තනිව ය. කුඩා දැරියක තුරුලු කොට ගෙන තට්ට තනිව ය. ඇය කොයි තරම් කඳුළු බිව්වාද කියා මා හෝ නො දන්නා තරම ය. එහෙව් ඇය තවත් ඒ පාපයන්හි කර්ම වැළඳිය යුතු ද? දැන් ඇය වෙනුවෙන් මා හෝ සටනට නො එළඹිය යුතු ද?

“ඇත්…ත..ද…ඇයි ඉතිං තාත්ත කියන කෙනාට බැරි ඇවිත් අපිත් එක්ක ඒ ගැන කතා කරන්න…එයාට එච්චරම අපිට මූණ දෙන්න ලැජ්ජයි වගේලුද…එයාට කියන්න ඇවිත් අපිත් එක්ක කතා කරන්න කියල. අපි එයත් එක්ක මේක විසඳගන්නං. ඔයා ආයෙ මෙහෙ ආවෙ නැති වුණාට කමක් නෑ”

“පු..තේ…”

අම්මා තිගැස්මෙන් තොල් මතුරනු මට පෙනිණ. මා එහෙම කතා කරන්නේ කොහොමද කියා මට වුව සිතා ගත නො හැකි වූ තරම ය. නමුත් නිවට ඇම්බැට්ටයා දුටු විට එළුවාත් රැවුල පානවා යයි කතාවක් තිබේ. අප ඒ තරමට නිවට වන්නට අප කළ වරදක් නැත. 

එකී ස්ත්‍රිය සිය තරබාරු සිරුර දරා ගෙන අසුනෙන් නැගිට ගත්තා ය. වචනයක් හෝ කතා නො කොට නික්ම ගියා ය. අම්මා තිගැස්සුණ දෑසකින් බලා සිටියා මිස කිසිවක් නොකීවා ය.

“තාත්ත කියන මනුස්සයගෙ ඉඳිකටු තුඩක්වත් නැති වුණාට කමක් නෑ අම්මෙ. ඒ වුණාට එයාට බෑ අපිව මේ ගෙදරින් දොට්ට දාන්න. අම්ම කතා කරන්න ඕන නෑ. මං කතා කරන්නං ඒ තාත්ත කියන කෙනා එක්ක…බලමු එයා එයිද කියල”

දහවල වින්ටේජ් ඇස් ඇති චමත්කාර හීනයක් බඳු මිනිසෙකු නිසා සොඳුරු කැළඹීමකට පත් ව තිබි හිත, මේ සිදුවීම නිසා අඳුරෙන් වැසී ගියේ ය. නො රිස්සුමක් හිතට එළඹි කල එය පහ වී යන තුරු සටනක් කරන්නට සිදු වේ. මම ඒ මහ දවාලේත් පැළ තවානට වතුර දැම්මෙමි. කෑම කන්නට ගත්තාට රුචියක් වූයේ නැත. ඒ අසහනයෙන් මිදෙනු වස් මම දිය නෑවෙමි.

විවාහ ගිවිස ගැනීමේ සාදයක් වෙනුවෙන් පැමිණෙන අමුත්තන්ට පැළ තිලිණයක් දීමේ ඇනවුමක් අප වෙත ලැබී තිබිණ. ඔවුන් තෝරා ගෙන තිබුණේ සමන් පිච්ච පැළ ය. ඒ සඳහා අවශ්‍ය පැළ ප්‍රමාණය දෙතුන් දිනකට පෙර පැළ තවානකින් ලබා ගන්නට මට හැකි විය. ඒවා කුඩා බඳුන් වල යළි සිටුවීම පෙර දින වල සිදු වූ අතර, හෙට ඇනවුම ලබා දීම වෙනුවෙන් බඳුන වැසෙන සේ ආවරණයක් යෙදීම කළ යුතුව තිබිණ. ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ තෑගි භාණ්ඩ වෙනුවෙන් ම සැකසෙන ගෝනි රෙදි විශේෂයකි. ඒ හතරැස් ජූට් රෙදි බඳුන ආවරණය වන සේ රටාවකට වෙලා ගෝනි නූලකින් බෝ එකක් ගැට ගැසීමට නියමිත වූයේ ය.

ඒ වාගේ වැඩක් හිත දැහැන් ගත කරවයි. නමුත් වරින් වර තාත්තා හා ඔහු ගේ දෙවන බිරිඳ මගේ හිතේ සාමය බිඳ දමන්නට හේතු විය.

“ඒව කොහෙද…දෙන්නෙපා ගේනං…ඕන්නං උන්දැලට නඩු කියන්න කියමු”

නූරි චණ්ඩි මූණක් හදා ගෙන කීවා ය. මම මඳහසක් පෑවෙමි. හිතේ තෙරපෙන සියල් සිතිවිලි හොඳ ම යාළුවෙක් ඉදිරියේ වත් එළියට දමන්නට හිත් නොදෙන අවස්ථා උදා වේ. ඒ ඔවුන් ගැන අහිතකින් නොවේ. කතා කිරීමත් ඒ වෙලාවට කලකිරීම උස් කරන නිසා ය. 

අපේ වින්ටේජ් සාප්පුව ඇතුලේ වන කුඩා මේසය දෙපස මා හිටියේ දොරට පිටුපා හිඳගෙන ය. නූරි ගේ ඇස් දෙක ලොකු වී විශ්මිත වෙනු අහම්බෙන් දුටු එක්තරා අවස්ථාවක මම පිටුපස හැරී බැලුවෙමි. ඒ තද කොළ පාට ඔස්ටින් රිය විශ් යූ දොරකඩ නැවතී, ලෙමන් සුවඳ කොල්ලා ඉන් බසිමින් සිටියේ ය. ගින්නක් වගේ සංවේදනයක් එකවර උදරය දෙසින් නැගී සිටියේ ය. ඔහු ගේ පිවිසුම් දොරටුව ඉදිරියේ හොර ගල් අහුලත්දී මා ඔහු ගේ අතට ම හසු වූ පුවත නූරි ගෙන් හැංගීම පිළිබඳ බරපතල පසුතැවීමක් දැනී නො දැනී ගියේ ය. එක මොහොතක දී උගුර කට වියළී මගේ දෙපා අප්‍රාණික ව යන බවක් මට දැනිණ.

“මොකද අදත්…”

කියා ගෙන නූරි නැගී සිටියා ය. ජූට් රෙද්ද ඔතමින් සිටි මගේ දෑත් ඉසියුම් ව වෙව්ලමින් තිබිණ. ගෝනි නූලෙන් හරියට බෝ එක ගැට ගසා ගත නො හැකි වූයේ ය.

“සර්…අද සර්ව මෙහෙම දකිනකොට බයත් හිතුණ…මොකක් හරි කම්ප්ලේන් එකක් වත්ද…කේක් එක රස මදිවත්ද…”

“නෑ. ඕඩර් කරපු දේවල් සප්ලයි කළාට පස්සෙත් ඒ ගෙවල් ළඟ කැරකෙන එක ටිකක් හරි මදි වගේ නේද….”

කියා ඔහු විමසනයුරු මා තුළ මනස් රූපයක් ව ඇඳුණේ ය. නමුත් ඒ භයානක සිහිනය අතරින් ඔහු පැවසුවේ වෙන දෙයකි.

“නෝහ්. ඉට්ස් ඩිලීශස්…”

“තෑන්ක් යූ සෝ මච් සර්”

නූරි ගේ සිනහව මට ඒ හඬ තානය අනුව මවා ගත හැකි විය.

“ඒ ගැන තෑන්ක් කරන්නත් එක්කයි මං ආවෙ. ඒ එක්කම..”

මගේ අතුණුබහන් පෙරළී ගියේ ය. මම සමන් පිච්ච බඳුන මේසය මත ම තබා හෙමිහිට නැගිට ගතිමි. ආලෝක වර්ෂ සිය දහස් ගණනක වේගයකින් ඒ මායාකාර ඇස් බැල්ම ඇවිත් මගේ ඇස් මත්තේ හැපුණේ ග්‍රාහකයක් වායු ගෝලයට එළඹුණා වන් ගින්නක් ඇති කරමිනි. නමුත් මා බලාපොරොත්තු වූ විදිහේ නො රිස්සුමක් හෝ කේන්තියක් ඒ බොර පාට ඇස් මත වූයේ නැත.

“මෙහෙං කේක් කෑල්ලක් කාල කොෆී එකක් බොන්න වුණත් පුළුවන් කිව්වනෙ. ඒක නිසා මං හිතුව හවස කොෆී එක මෙහෙං ගන්නව කියල”

“ඒක අපිට සතුටක් සර්..”

කියමින් නූරි විගස සුදු තසිමක් හෝදා පිස දමා චොක්ලට් කේක් කැබැල්ලක් ද ගෑරුප්පවක් ද ඒ මතින් තැබුවා ය. අපේ මේසය මත වූ පිරිසිඳු දිය බඳුනේ පිපුණු දම් පාට මලක් දරා ගත් ජපන් ජබර පැළය දෙස මඳ වෙලාවක් බලා උන් ඔහු ගිහින් මිදුලේ කුඩා මේසය අසල පුටුවක අසුන් ගත්තේ ය. කඩදාසි අත් පිස්නාවක් ද පිරිසිඳු වතුර වීදුරුවක් ද සමග මම සියල්ල බන්දේසියක කදිමට ඇසුරුවෙමි. එය ඔහු වෙත ගෙන ගොස් පිළිගැන්වූයේ නූරි ය. මම විදුලි කේතලය ක්‍රියාත්මක කළෙමි.

“මේකා ආයෙ ආවෙ ඇයි…”

ඊළඟට හනික මවෙත ආ නූරි රහසින් මුත් තදින් මා විමසුවා ය. මුල දී තිබූ ගැස්ම මුසු දෙගිඩියාව පහ ව ගොස් මට සිනහ ගියේ ය.

“ඔයාගෙ කේක් එකේ රස වැටිල වෙන්නැති”

“එහෙමද තමුසෙගෙ බැල්මට වහ වැටිලද කියලයි මට සැක”

මම දෙතොල් තද කර ගෙන සිනහව ගිල ගතිමි. නමුත් ඇස් වලින් ඒ සිනහව දෝරෙ ගලා යන්නට ඇත. නූරි මට රැව්වා ය.

තේ- කෝපි හැදීම ගැන මට විශේෂ අත් ගුණයක් වේ. මගේ උණුසුම් පාණයක් බොන බොහෝ අය එවැනි පැසසුමක් කොට තිබේ. ඒ නිසා ම අපෙන් කේක් කෑල්ලක් කා කෝපි එකක් බොන්න එන කෙනෙකුට ඒ කෝපි එක හැදීමේ වගකීම භාර වන්නේ මට ය. 

හන්දියේ තේ කඩයක් තිබේ. මෑතක දැමුණ කුඩා හෝටලයක් ද තිබේ. කෙටි කෑමක්, ආප්පයක්, බේකරි කෑමක් හෝ කොත්තුවක් කා තේ බොන හෝ සිසිල් බීමක් බොන කෙනෙකු යන්නේ ඒවාට ය. කේක් කැබැල්ලක් කා කෝපි එකක් බොන්නට හිතන කෙනෙක් පමණක් මෙහි පැමිණෙති. ඒ වාගේ රසයක් හොයනා අය අල්ප ය. විශේෂයෙන් ම බෝ ගස් හන්දිය වාගේ මං සන්ධියක විරල ය. නමුත් ඇතැම් විටෙක ඔය කඩ පේළි වල කඩ කරනා ඇතැමෙකු වෙනසකටත් එක්ක පැමිණ කේක් හා කෝපි බොති. කෙසේ වෙතත් අපේ මූලික ව්‍යාපාරය වනුයේ මෙතැන කෝපි හලක් පවත්වා ගෙන යන එක නොවේ. අපේ අරමුණ, විශ් යූ වෙතට කේක් හා හරිත තිලිණ ඇනවුම් ආකර්ෂණය කර ගැනීම වේ.

මා ඒ කෝපි එක හැදුවේ ඊට පෙර කවදාවත් කෝපි එකක් තනා ඇති හැඟීමකින් නොවේ. ලෝකයේ රසවත් ම කෝපි එක එය බවට පත් කරන්නට යෙදිය හැකි ඕනෑ ම ශිල්ප ක්‍රමයක් අත් හදා බලන්නට ද මම පූර්ණ සූදානමක සිටියෙමි.

සුදු ම සුදු පීරිසි කෝප්පයකට කෝපි දමා, ලෝකයේ ලස්සන ම කෝපි බඳුන මම ඔහු වෙත ගෙන ගියෙමි. ගෑරුප්පුවෙන් කේක් කැබැල්ලක් කමින් අපේ මේසය මත වූ පරණ ෆෙමිනා සඟරාවක් පෙරලමින් සිටි හෙතෙම කෝපි සුවඳින් හිස ඔසවා බැලුවේ ය. කෝපි සුවඳත්, ඒ වාගේ ඇස් බැල්මක් ඇති කොල්ලෙකුත් කියන්නේ ශික්ෂා වාගේ ගැහැනු ආත්මයක් සසල කරවිය හැකි රසවත්  සංයුග්මයකි.

“කෝපි එක සර්. පර්මිශන් නැතුව මං ඒ වින්ටේජ් හවුස් එක බලන්න ගිය එක ගැන සමා වෙන්න සර්”

මා එසේ කීවේ ඉතාමත් හෙමිහිට ය. නූරි ට එය නෑසෙන තරම් හඬ පහත් කොට ය. ඒ වෙලාවේ ඔහු ගෙන් සමාව නොගෙන හොරෙක් වාගේ පැන ආ එක ගැන හිත මට දොස් කියමින් තිබිණ. ආයේ එවැනි වැඩක් නො කරන්නට මා හිතට පිළිණ දුන්නේත් ඒක ය. 

කෝප්පය දකුණතින් ද පීරිසිය වම් අතින් ද ගත් ගත් හෙතෙම ඉතා වැදගත් මහත්මයෙකු ගේ විලාශයෙන් කෝපි බොන්නට පටන් ගත්තේ ය. වෙනදාට දැනුණ ලෙමන් සුවඳ ඔහුත් එක්ක නැති බව ද මට ඉව කළ හැකි විය. ඒ කියන්නේ අද ඔහු සිටින්නේ මත් වීමක නොවේ. මම එතැනින් පසු බා ගියෙමි. ආඩම්බර කමට ඔහු මට සමාව දුන් බවක් හෝ හැඟවූයේ නැත. තවත් ටික වෙලාවක් ෆෙමිනා සඟරාව පෙරළමින් හිඳි ඔහු නැගිට විත් නූරි ට මුදල් ගෙව්වේ ය. මා කෝප්පය ගන්නට මේසය ළඟට ගිය විට, කඩදාසි අත් පිස්නාවේ ලියන ලද යමක් නෙත ගැටිණ.

තාලයක් නැති වුණත් හද බිත්ති කැටපතේ

ඉඳහිටක ලියවෙනව කෙටි කවී

සුසුවඳක් දරා ගෙන ඉස්සරක පර වෙච්ච

මං තාම හොයනවා මල් පෙතී..

එය කියවා නිම වෙත්දී  මා ළඟ ම වායු අංශු වල උණුහුමක් දැනුණෙන් මම හිස හරවා බැලීමි. මුදල් පසුම්බිය කලිසම් සාක්කුවෙහි ඔබමින් ඔහු මා ළඟ ම සිටියේ ය.

“වින්ටේජ් හාට් එකක් තියෙන්නෙ ලස්සන මිනිස්සුන්ට…”

එසේ කියා සුළඟක් වාගේ මිදුලට බට හෙතෙම සුවඳක් ඉතිරි කොට තබා නික්ම ගොස් තිබිණ. මම හුස්ම අල්වා ගෙන බලා සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles