නන්ස්ටික් පෑන් එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නේ මෙහෙමයි

මුලුතැන්ගෙයි වැඩ පහසු කරන Nonstick pan වර්ග ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඒවා භාවිතා කළ යුතු ආකාරය ගැන නිසි අවබෝධයක් බොහො දෙනෙකුට නැති නිසා nonstick pan වල ආයු කාලය අඩු වෙනවා. ඇත්තටම Nonstick pan එකක් අවුරුදු ගණනාවක් භාවිතා කරන්නේ කොහොමද ? 

පලමු භාවිතය 

Nonstick pan එකක් පළමුවරට භාවිත කිරීමට එය හොඳින් පිරිසිදු කර ගත යුතුයි. උණුසුම් සබන් වතුර සහ ස්පොන්ජ් එකක් ආධාරයෙන් එය සෝදා හොඳින් වියළාගෙන භාවිතය සඳහා සූදානම් කරගන්න ඔබට පුළුවන් 

හැඳි භාවිතය 

Nonstick pan සඳහා ඕනෑම වර්ගයක හැන්දක් භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. බොහෝ Nonstick pan සඳහා ඒ වෙනුවෙන්ම නිපදවූ හැඳි වර්ග තිබෙනවා. ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය සමඟ එවැනි හැන්දක් නොලැබෙනවා නම් Nonstick pan සඳහාම නිපදවූ හැන්දක් වෙළඳපොළෙන් මිලදී ගත හැකියි. ඊට අමතරව රලු දාර නොමැති ලී හැඳි , තාප ප්‍රතිරෝධි සිලිකන් හැඳි භාවිතා කරන්නත් ඔබට පුළුවන් .

තෙල් භාවිතය 

Nonstick pan එකකට කිසි විටෙකත් ආහාර නොඇලෙන බව ඔබ දන්නවා. විශේෂයෙන්ම අලුත් සහ හානි නොවූ පෑන් වල ආහාර ඇලෙන්නේ නැහැ. ඒ කෙසේ වුවත් Nonstick pan වල ආහාර පිසීමේදී තෙල් ස්වල්පයක් භාවිතා කරන්න ඔබ අමතක කරන්න එපා. 

තාපය 

මෙය ඉතාම විශේෂ කාරණාවක්. ඔබ තරමක මුදලක් වියදම් කර මිලදී ගන්නා Nonstick pan එකක් භාවිතා කිරීමේ දී මේ කාරණාව පිළිබඳව  විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. Nonstick pan සඳහා ඉතා අධික තාපයක් භාවිතා නොකරන්නට ඔබ වග බලා ගන්නට ඕනෑ. මධ්‍යස්ථ තාපයක සිට ඉතා අඩු තාපයක් ඔබ Nonstick pan  ආහාර පිසීම සඳහා භාවිත කළ යුතුයි. 

ආහාර ගබඩා කරන්න එපා 

Nonstick pan යනු ආහාර ගබඩා කරන භාජන නොවේ. නන්ස්ටික් පෑන් එකක ආහාර පිසීමෙන් පසුව එම ආහාර අනිවාර්යයෙන්ම වෙනත් භාජනයක් වෙත මාරු කළ යුතුයි. ආම්ලික ආහාර දිගු වේලාවක් Nonstick pan තුළ තැබීමෙන් පෑන් එකේ ආලේපනය ට හානි වීමේ සම්භාවිතාවය වැඩි නිසා සෑම විටම ආහාර පිසීමෙන් පසුව ආහාර වෙනත් භාජනයක් වෙත මාරු කිරීම පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි.

තියුණු උෂ්ණත්ව වෙනස්වීම් 

Nonstick pan එකක් ලිපෙන් ඉවත් කළ සැනින් වතුරට ඇල්ලීම හෝ වතුරේ ගිල්වීම නොකළ යුතුයි. Nonstick භාජනයක ආහාර පිසීමෙන් පසුව එය පිරිසුදු කිරීමට පෙර සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩ හරින්න. Nonstick pan වෙත දැනෙන තියුණු උෂ්ණත්ව වෙනස් වීම් එහි ආලේපනය ට හානි කිරීම ,  භාජනය විකෘති වීම , පසුකාලීනව පිසීමේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීම සිදුවිය හැකි නිසා ඔබේ Nonstick pan පිරිසිදු කිරීමට පෙර සම්පූර්ණයෙන්ම සිසිල් වන තුරු සිටින්න. 

පිරිසිදු කිරීම 

සාමාන්‍යයෙන් භාජන පිරිසිදු කරන ආකාරයට Nonstick pan එකක් පිරිසිදු කරන්න ඔබට හැකියාවක් නැහැ. එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. සමහර පිඟන් සේදීමේ ද්‍රාවණ , සබන් වර්ග සහ පිරිසිදු කාරකයන් මගින් Nonstick pan වලට හානි පැමිණවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඉතා මෘදු සේදුම් කාරකයක් මගින් Nonstick pan පිරිසිදු කිරීම කළ යුතුයි. ඒ වගේම ප්ලාස්ටික් ස්ක්‍රබ් ,  steel wool වර්ග හෝ බ්‍රශ් වර්ග භාවිතා කිරීම මගිනුත් Nonstick pan වලට දැඩි හානි සිදු වෙන්නට පුළුවන්.ඒ නිසා ඒවා වෙනුවට මද උණුසුම් වතුර සහ සබන් භාවිතයෙන් Nonstick pan පිරිසිදු කිරීම කරන්නට ඕනෑ. 

ගබඩා කිරීම 

Nonstick pan ගබඩා කිරීමේදී වෙනත් භාජන ගබඩා කරනවා මෙන් එක මත එක තබා ගබඩා කිරීම සිදු කරන්නට බැහැ.භාජනයේ ආලේපනයට හානි සිදු නොවන අයුරින් භාජනයේ පතුලට ටිශූ එකක් හෝ මෘදු රෙදි කැබැල්ලක් අතුරා ඒ මත වෙනත් භාජනයක් තැබිය හැකියි. නමුත් Nonstick pan සඳහා වඩාත් සුදුසුම ගබඩා කිරීම වන්නේ ඒවා එල්ලා තැබීමයි. 

මෙවැනි පියවරයන් අනුගමනය කිරීම මගින් ඔබට ඔබ භාවිතා කරන Nonstick pan වර්ග බොහෝ කාලයක් භාවිතා කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් Nonstick pan එකක් මිලෙන් තරමක් අධික වන නිසා මේ උපදෙස් අනුව ඒවා නිසි ලෙස භාවිතා කරනවානම් ඔබට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. 

Related Articles

Don't Miss


Latest Articles