“යස විගඩමක්නෙ. එහෙම අපේ වත්තට පැනලා අපේ කොල්ලන්ට ගහන්න පුලුවන්ද?”
නිලුපුලී කෑගැසුවේ අමුතුම ආවේගයකිනි. ඇය කෑගසන්නට හේතු වූයේ ඇයිදැයි ඇයටම පැහැදිලි නැත. නමුත් ඇයට ආවේගාත්මක වෙන්නට සිතිණ. ඒ ඇස් දකිද්දී පැටලෙන්නට හිතෙන්නේ ඇයිදැයි නොදන්නා නමුට් ඇයට දැනටමත් එසේ සිතී තිබේ.
“මූ කරලා තියන වැරැද්ද දන්නවද?
කොල්ලාද ඇසුවේ කිසිම ගණනකට නොගෙන ය. නමුත් එය දැන ගන්නටවත් නිලුපුලීට ඕනෑ නැත. එහෙම ගුටි ඇනුම් ඕනෑම නැත.
“ඔය කොල්ලා එක්ක හැප්පෙන්නේ උඹට පිස්සුද?”
රුක්ෂානි කොහෙන්දෝ මතුව නිලුපුලී තමන් වෙතට ඇද ගත්තා ය. විකාර කිරීම සමාව දෙන්නට නොහැකි තරම් ගැටළුවක් වන්නට ඉඩ තිබේ. රස්සාවකට යාම අං එන්නට කාරණාවක් නොවේ.
“උඹ කවදා ඉඳන්ද වත්තේ ග්‍රාම සේවක වුණේ?”
ඇය අනතුරුව ඇසුවේ කුටු කුටු මන්තරයකිනි. වත්තට ආ චන්ඩි කොල්ලාව එහෙමවත් අවුස්සා ගන්නට ඕනෑ නැත. නමුත් ඕනෑම එකකට මැදට පනින වලිසුන්දරී වහා ඇත්ත යුත්ත කතා කරන්නට තීරණය කර තිබිණ.
“නදීෂ්! මේ උඹලගෙ අයියගෙ කොම්පැනියෙ වැඩ කරන නෝනෙක්. උඹ රස්තියාදුකාරයා වුණාට අයියගෙ නම්බුවවත් තියපං”
එහෙම අදහසක් ආවේ ඇයි දැයි නොදන්නා නමුත් වලිසුන්දරී එසේ කියන්නට තීරණය කර තිබිණ. නමුත් නිලුපුලී ගල් ගැසුණා ය. ඇය මේ කොලුවා සමඟ සටනට ගියේ ඒ ගැන තේරුමකින් නොවේ. ඇයට ඔහුගේ දෑස දුටු විට රණ්ඩුවක පැටලෙන්නටම සිතුණා ය.
රණ්ඩුව අත්හැර දැමූ නිලුපුලී නිවසට ආවේ බාගත් මනසකිනි. එහෙම රණ්ඩු කරන්නට සිතුණේ ඇයිදැයි ඇය ඇයගෙන්ම අසා ගත්තේ වේදනාවෙනි.
අම්මා!
ඇය පැය කිහිපයකට පසු මහත් වෙනසකට පාත්‍ර වී සිටියා ය. යහනට වී කල්පනා කරමින් සිටි නිලුපුලී වෙත අම්මා ආවේ වෙනදා මෙන් පුම්බා ගත් මුහුණකින් නොවේ.
“නදීෂ්ගේ අයියාද කොම්පැනියේ ලොක්කා.”
සැබෑවටම එහෙම එකක් නොදන්නා බවත් තමන්ගේ ආයතනයේ අයිතිකාරයා රදීෂ් ලියනාරච්චි බවත් නිලුපුලී අම්මාට පැහැදිලි කළේ මෘදු ස්වරයකිනි.
කවමදාවත් නුදුටු අම්මා කෙනෙකු එළියට පැමිණ තිබිණ. අම්මා ඇගේ හිස අත ගෑවා ය!
ජීවිතයේ පළමු වතාවට නිලුපුලීට මතක ඇති වතාවක අම්මා ඇගේ හිස අත ගෑවා ය. නිලුපුලී එක මොහොතක් දෑස් වසාගෙන ඒ ස්පර්ශය අත් වින්දා ය. අම්මා කෙනෙක්ට ආදරණීය විය හැකි බව ඇය අත් වින්දේ ඒ මොහොතේ ය.
“හොරකං වංචා කරන්න එපා. හරියට රස්සාව කරගෙන හිටපං!!”
අම්මා එහෙම කිව්වේ උගුරෙන් වාගේ ය. නිලුපුලී අම්මා දෙස බැලුවේ මහත් පුදුමයකිනි. නිර්මලා කඳුලක් පිස ගත්තා ය. දියණියට කවමදාවත් නොකියන්නට තීරණය කළ කඳුලක කතාව ඇයට මේ මොහොතේවත් කියන්නට ඕනෑ වූයේ නැත.
සින්දුවක් කරන්න කලින් කන බොන ක්‍රමයක් හොයා ගන්න වෙනව..”
ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් සකසමින් ගනේෂන් එසේ කියද්දී දුලාජ් සිගරට්ටුවක් අලු කරමින් අසා හුන්නේ ය.ගනේෂන් කියන්නේ කුමක්දැයි එරන්දට වැටහේ.ඔහු සිටියේ එය නෑසුණු ලීලාවකිනි. මේවා ඕනෑවට වඩා සිතීම අනවශ්‍ය බව ඔහුගේ හැඟීම ය.
“මේ ගෙදර රෙන්ට් එක එක මාසයක් ගෙවන්න උඹට බෑ මොකක් හරි වැඩක් නාවොත්..”
ගනේෂන්ගේ හඬ අභියෝගාත්මක ය. දුලාජ් එය නෑසූ කන්ව මොහොතක් සිටියේ ය.සැබෑවටම තමන් ගැන අධි තක්සේරුවක් ඇතිව ජීවත් වන දුලාජ් රැකියාවක් කරන්නට නොකැමති ය.කුමක් හෝ රැකියාවක් කර තමන්ගේ ඉපයීම් සොයා ගැනීම වෙනුවට ඔහු විශාල සිහින දකින්නට ප්‍රිය කළේ ය.
“මං සල්ලි හොයනවනම් හොයන්නෙ මගෙ ටැලන්ට් එක විකුණල විතරයි.”
ඔහු කියන්නේ එහෙම ය.ඔහුගේ දක්ෂතාවය දැක එය මිලට ගන්නට අය පැමිණිය යුතු යැයි මාන්නයකින් ජීවත් වන දුලාජ් තමන්ගේ හැකියාවන්ට මිලක් තනා ගන්නට ද උනන්දු නොවේ.එවැනි ජීවිතයක් ගෙවන ඔහුට ඉපයීම් මාර්ගය ලෙස ඉනික්බිති පෙනෙන්නට පටන් ගත්තේ ධනවත් ගැහැනුන් ය.
ඔහු අවසානයේ ආදරය අලෙවි කිරීම තෝරාගෙන් තිබිණ.එය දුලාජ් වැනි මී පැණි තැවරූ වචන භාවිතා කරන මිනිසෙකුට අලෙවි කළ හැකි පහසුම දේ නිසා දුලාජ් අසාර්ථක වූයේ ද නැත.
“ටියුෂන් එකක් කරල, එහෙම නැත්නම් මොකක් හරි රස්සාවක් කරල උඹට සල්ලි හොයන්න වෙනඑ.නැත්නම් සෙව්වන්දිට ආයේ කතා කරපං.ඒ මාර්ග දෙක ඇරෙන්න උඹට ගොඩ යන්න බෑ..”
ගනේෂන්ගේ වචන යළි යළිත් ඇසෙමින් තිබූ මොහොතක දුලාජ්ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ ය.
“තරහ වෙන්නෙපා ඔහොම..”
සෙව්වන්දි අනෙක් පස හිඳ පවසන්නේ කෙඳිරුම් ස්වරයකිනි. දුලාජ්ගේ දෙතොල් මත සිනාවක් පිපී ආයේ ය.ඔහු දැන් ඇයට දුන් කාලය අවසන් වී තිබේ.
“උඹ දන්නවද අහස්‍යා?”
ඔහු ඇසුවේ දුරකථනය විසන්ධි කළ පසු ගනේෂන්ගෙනි. ගනේෂන් තොල නොපිට පෙරලා හිනැහිණ.
“ඒ උඹට කවදාවත් ගන්න බැරි ඇමක් පුතේ. ඒකි වචන දහයක් කිව්වොත් නවයහමාරක් රදීෂ්”
ගනේෂන් කියන්නේ අභියෝගාත්මක ස්වරයකිනි. දුලාජ් එය සතපහකට ගණන් නොගන්නා බැල්මකින් මිතුරා දෙස බැලී ය.