මම වෙන ම මලක් – 10

“කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ.”

රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත පුරා ගෙන යන්නට හොඳ ඕපාදූපයක් තිබේ.

“අනේ ඒකිට මේ වත්තෙන් එළියට යාගන්න ලැබෙනවනම් ඇති.”

නිර්මලා කියන්නේ ශාන්ති කිසිම අයුරකින් බලාපොරොත්තු වූ පිලිතුර නොවේ. ශාන්ති පුදුමයට පත් වූවා ය. නිර්මලා ඉඳුල් වළං කිහිපයක්ම හෝදමින් සිටින්නී ය. සාමාන්‍යයෙන් ඇය උයන්නේ මොනවා හෝ එකක් බව ශාන්ති දැන සිටියා ය. නමුත් අද මෙතන වලං කිහිපයක්ම තිබේ.

“ඕඩරේකට මොනවා හරි ඉව්වද?”

ශාන්ති ඇසුවේ කුතුහලයෙනි. නිර්මලා කලබලයකින් තොරව හිනැහුනා ය. මේ කියන්නට යන කතාව ශාන්තිට මහත් පුදුමයක් බව ඇය නොදන්නවා නොවේ. නමුත් ඕනෑම කෙනෙකුට දෙවැනි උපතක් ඇති බව නිර්මලාට සිතේ.ඇය මහා විශාල ජීවන දර්ශන දන්නා ගැහැනියක නොවේ. නමුත් මේ මොහොතේ ඇයට දැනෙන්නේ ජීවන දර්ශනයක් ද නැතිනම් වරදක්  හදා ගැනීමේ උවමනාවක්දැයි කියන්නටවත් නිර්මලාට නොවැටහේ.

“කෙල්ලට වැඩට ගෙනියන්න බත් එකක් හැදුවා.”

නිර්මලාගේ කෑම කොහොමටත් රස ය. ඇය වේල්ල වත්තේ ගැහැනියක වුවද ඇයට නිවෙස්වල මෙහෙකාර කම ලැබෙන්නේ ඒ හන්දාම ය. තරු පන්තියේ හෝටලයක හා සමවන රසට කෑම උයන්නට ඇය දැන සිටියා ය. වත්තේ මඟුලකට මරණයකට ද ඇය පෙරට ආවේ ඉවීමේ කුසලතාවයෙන් ය. නමුත් තමන්ගේ ඉවීමේ කුසලතාවය දියණියට නොපෙන්වා ඉන්නට නිර්මලා සමත් වූවා ය. 

“එක බත් කටක් රහට උයලා දෙන් නෑ.”

ඒ අම්මා කෙනෙකුට තමන්ගේ දියණියට කිව හැකි කතාවක් නොවේ.නමුත් නිර්මලා ඒ වචන තිස්සේම මැතිරුවා ය. තමන් ලුණු මිරිස් වැඩියෙන් යොදා උයන හොදි පවා නිලුපුලීට විෂ විය යුතු බවට දෙවියන් යැද්දා ය. කුඩා කාලයේ ඒවාට බිය වූ නිලුපුලී ඉන්පසු අම්මාගේ කෑම නොකන්නටම ප්‍රවේසම් වූවා ය. වත්තේ ළමයෙකුට පාඩම කියා දුන් විට හෝ බලහත්කාරයෙන් දරුවන් බලා ගත් විට ඇයට කෑම කටක් ලැබිණ. නැතිනම් ඇය රුක්ෂානි සමඟ දවස ගත කරමින් ශාන්ති උයන මොනවා හෝ බඩට දමා ගත්තා ය. අම්මා ලොකු ගෙවල්වලට ගොස් රසට උයන බව දන්නේ නිර්මලා හොඳ සිතකින් ඉන්නා සමහර දවස් වලට ඒ කෑමබීමවල ඉතුරු බිතුරු රැගෙන එන හන්දා ය.එහෙත් නිර්මලා අද උදෑසන මහන්සි වී කෑම පිසුවා ය. වේලෙන්නට පිසගත් පරිප්පු කරියත්, තෙලට දැමූ අලත්, කුකුළු මස් කරියත් ඇයට සෑහුණේ නැත. ඒ හන්දාම ඇය මහා පාන්දර ගොටුකොළ ලියන්නට වූවා ය. නමුත් කෙල්ලට එළවළුවක් උයා නොදීම ගැන පවා අද උදෑසන ඇගේ හිත බර වී තිබිණ.

ඇය අම්මා කෙනෙකු බවට පත් වී තිබුණා ය.

“බත් උය උයා බැඳලා දුන්නටම බෑ. කෙල්ල ගිහිං වැඩ කරන්නේ මොන වගේ තැනක ද කියලා පරිස්සමින් බලපං. අතුපතු ගාන වැඩ ඇරුනහම ඔෆිස් එකක ලියන්න දෙනවයි කියන එකත් පුදුමයක්,මේ වත්තෙ කෙල්ලෙක්ට.”

නිලුපුලීට ඉගෙන ගන්නට ලැබුණේ ලංකාවේ ඉහළම පාසලක බවත් ඇය විශ්වවිද්‍යාලයට යන්නට පවා සිහින දකිමින් සිටින්නියක් බවත් නිර්මලා ශාන්තිට කියන්නට ගියේ නැත. නමුත් ඒ වග සිතින් සිතුවා ය. ඇයටම ධාරණය කර ගත්තා ය. ඉනික්බිතිව ඇය මන්දස්මිතයක් පමණක් හිතවතියට දෙන්නට තීරණය කළා ය.

“චාරුලතා අක්කටත් තිබ්බනෙ බං වත්තෙන් යන හීනයක්. අන්තිමට වත්තෙන් ගියා තමයි. ඒත් ඒ ගෑනි නිස්කාරණේ මැරිලා ගියානෙ.”

පාරන්නට ඕනෑ නැති පැරණිම තුවාලයක් පාරා බලන්නට ශාන්තිට සිතිණ. ඒ කතාවේ රිදෙන්නට ඕනෑ තරම් දේවල් තිබේ.නමුත් නිර්මලා රිදවා නොගත්තා ය.

“චාරු අක්කා වහ කාලා මැරිලා යන්නෙ නෑ බං.වත්තෙන් ගිහින් සල්ලි තියන මිනිහෙක් බැඳගත්තෙ නැත්තං එහෙම වෙන් නෑ.”

අක්කා මිය ගියේ ධනවතෙකු සමග විවාහ වීම හන්දා නොවේ. ඒ ධනවත් මිනිසාට සදාචාරයක් නොවූ හන්දා ය. ඒ පිළිකුල් සහගත කටයුතු ගැන දැන ගැනීමෙන් පසු ඇය ජීවිතය අතැර යන්නට තීරණය කර තිබිණි. එහි මුල මැද අග ශාන්ති දන්නේ නැත. ඇය සමඟ ඒ ගැන කතා කරන්නට ද නිර්මලාට ඕනෑ වූයේ නැත.

“පාලිත මැරිලා ගියායින් පස්සෙ තමා ඌ ජාතියෙම පුතෙක් එළියට ආවේ. දෙවෙනි ගෑනිගෙ කොල්ලා එදා මෙතන දාපු විකාරේ දැක්කනෙ.”

නිර්මලා පාඩුවේ තේ කෝප්පයක් සෑදුවා ය. ඇයට ඒවායින් ඇති ඵලක් නොවේ.

පාලිත ලියනාරච්චිගේ ලොකු පුතා රදීෂ් ලියනාරච්චි ය. නිලුපුලී නොදන්නවාට ඒ ඇගේ ලොකු අම්මාගේ පුතු ය.චාරුලතා ගැන මතකයක් රදීෂ්ට නැතිවාට කමක් නැත. නිලුපුලී හිඳින්නේ ඉන්නට හැකි හොඳම තැනක බව දැන් ඇය දනියි. 

ඇති එකම සැනසිල්ල ද එය මිසක අන් කිසිවක්ම නොවේ!

නමුත් නිලුපුලීට මේ කිසිවක්ම නොකියන්නට නිර්මලා සිතා ගත්තා ය. කියනවානම් කියන්නට කොහොමටත් දිග කතාවක් තිබේ. ඒ දිග කතාව නිලුපුලී කොහොමටවත් දැන ගන්නට ඕනෑ නැත.

(වෙනම මලක කොටස් දහයක් අවසානයේ ඔබට හිතෙන හැම දෙයක්ම ලියා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles