Vintage Eyes – 12

මම ඒ වල් ලූනු මල, හැඩතල සහිත ෆිලොඩෙන්ඩ්‍රන් පත්‍රයක් ද ට්‍රයිඩැක්ස් මල් කිහිපයක් ද, රතු හා සුදු පාට තිත් වැටුණ හබරල පත්‍රයක් ද සමග මුහු කොට අපේ කුඩා මේසය මතට ඉකෙබානා සැරසිල්ලක් කළෙමි. ඒ සැරසිල්ල කරන අතරවාරයේ නූරිත් එක්ක විහාර වෛශාක්‍යව මගදී හමු වූ විස්තරය රස කරමින් කියවීමි. නූරි කේක් මිශ්‍රණයක් බීට් කරමින් සාවධානව අසා සිටියා ය.

“ඒක හරි අමුතු විදිහෙ පුදුමයක්. මං ඒකට ආසයි. මාව පිස්සු වට්ටපු ලිරික්ස් රයිටයි…ලෙමන් සුවඳ කොල්ලයි…වින්ටේජ් කාරුයි…අපේ ගුරුපාර දෙපැත්තෙ මිනිස් පුළුටක් දැකල නැති වතු දෙකයි…අර ගස් වලින් පාරෙ බිං ගෙයක් හදන තැනයි…ඒ ඔක්කෝම එක තැනක එකතු වෙලා තියෙනව කියල දැන ගන්න එක..ඒක ඇත්තටම මාර දෙයක්. ඔයා කියනෙක හරි. විහාර කියන්නෙ ක්‍රශ් එකක් විතරක් වෙන එක හොඳයි. ඇත්තටම එයා…පහත් කරල කඩා ගන්න තියා අල්ල ගන්නවත් බැරි තරං උස අත්තක පිපුණ මලක් වගේ…ඒත් ඒක හරි චමත්කාරයක් නූරි. එක අතකට හැම දේම අල්ලගෙන අපේ කරගන්න ඕන නෑ. මලක් වුණත් ලස්සන එයාගෙ තැන පිපිල තියනකොට. දැං මං මේ වල් ලූණු මල කඩං ඇවිත් මෙහෙම හැඩ කරල මගෙ ඇස් මානෙ තියා ගත්තට…ඒක අර පිපිල තිබුණ පස් කණ්ඩිය උඩම තිබුණනං වැඩිය හොඳ ඇති. වල් ලූණු මලක් කියන්නෙ මහ පුදුම ආශ්චර්යක්. වල් ලූනු කියල ගහක් තියනවද කියලවත් එතන මලක් පිපෙනකල් අපි දන්නෙ නෑනෙ. සමහර වෙලාවට ගහක් කියල දෙයක් ඇත්තෙත් නෑ. හිටපු ගමං ප්‍රාතිහාර්යක් වගේ පොළොව දෙබෑ කර ගෙන මලක් පිපෙනව. ඒකත් දිව්‍ය ලෝකෙං පහල වුණා කියල හිතෙන විදිහෙ පාට…ඒ වල් ලූනු අලයක් මලක් දෙනකල් පොළොව යටට වෙලා හැංගිලා ඉන්න හැටි ගැන හිතන්න..හොඳම දෙයක් ලෝකෙට දෙනකල් ඉවසගෙන ඉන්න හැටි…ඉතිං උස අත්තක එයා පිපිල ඉද්දි ඉවසීමෙං බලං ඉන්න බැරි වෙන්නෙ ඇයි…අයිතිකර ගන්නනෙ එයා ගැන වග තුග දැනගන්න ඕන. කාගෙ මල් වත්තක කොහොම පිපිල තිබුණත් පැත්තක ඉඳං ලස්සන බලන්න කාගෙංවත් අවසර ගන්න ඕන නෑනෙ…”

නූරි කේක් එක අවන් එකට දමා විත් මා ඉදිරියෙන් හිඳ ගත්තා ය. 

“හිත සතුටු වෙන විදිහෙ ආරංචියක් කියන්නං ඉතිං…”

මම ඇස් තටු විදා ඇදෙස බැලුවෙමි.

“ඇඟිල්ලෙ මුද්දක්නං නෑ ඉතිං…ආව් මේකිට ගිය හිනාව…හිත පරිස්සං කර ගන්න කියල දැං මං නොවඳිනා වැඳුං වැන්දත් වැඩක් නෑ කියල  මං දන්නව. ඔයා සතුටෙං ඉන්නවනං ඔයාගෙ අම්ම තරමටම සතුටු වෙන අනිත් කෙනා මං. ඒත්…අනේ මන්ද…කරන දෙයක් පරිස්සමෙං…”

සතුටෙන් සිටින විට හිත සැහැල්ලුවට පත් වේ. මම ඉඳහිට ගීයක කොටසක් මිමිණුවෙමි. මා විහාර ගේ ගී පද මුමුණන්නේ අද ඊයේක නොවේ. නමුත් ඒ පද වල අයිතිකාරයා අහම්බෙන් ජීවිතය පසෙක හිඳිනා බව දැනීම වෙනම ම සංවේදනයක් දනවයි. එවන් සැහැල්ලුවක් අතරේ දී තාත්තා ජීවිතය හැර ගියා ය කියා සිහිපත් වීම අභ්‍යන්තරික රිදුමක් ඇති කරවී ය. ඔහු ඉන්නේ පස් ගොඩක් යට යයි සිහිපත් වීම මරණීය වේදනාවකි. තමන්ගේ ම අයව පස් ගොඩකට යට කරන්නට වීම පපුව පැලෙනා දුෂ්කරතාවකි. ඒ විදිහේ රිදුමක් පපුව පත්ලෙන් පැන නැගෙනා විට මම තාත්තා ව අමතක කරන්නට උත්සාහ කරමි. ඔහු මිය ගියා කියා නො සිතා ඉන්න එක පහසු ය. කොහොමත් ඔහු ජීවත් වූයේ මගේ හදවතේ ය. මිය ගොස් සිටි තාත්තා වයස් ගත වී සිටියේ ය කියා අම්මා කීවා ය. නමුත් මම ඔහු ගේ දෙණ දෙස එක වරක් හෝ ඍජුව නො බැලුවෙමි. ඒ නිසා මා හරියට ම දන්නේ නැත. මා එසේ නො බලා සිටි එක හොඳ යයි දැන් සිතේ. මගේ හිතේ ජීවත් වන්නේ මා දුටු තාත්තා ය. අවසාන වරට දුටු තාත්තා ය. එතකොට ඔහු තරුණ ය. ශක්තිවන්ත ය. මා ආදරය කළේත් මට ආදරය කළේත් එහෙම තාත්තා කෙනෙකි. ඒ ප්‍රතිරූපය මා මියෙන දවසක් වන තුරු මගේ හිතේ තියෙනා එක හොඳ ය. මන්ද යත් තාත්තා ගිලන් වී හෝ වියපත් වී හෝ මිය ගොස් සිටිනවා දකින්නට තරම් හයියක් මගේ හිතේ නැති බැවිනි.

“ලෙමන්”

අප කේක් මෝස්තර සහිත පොතක පිටු පෙරලා බලමින් සිටින වෙලාවක හදිසියේ ම නූරි කීවා ය. හදවත එහෙම ක්ෂණික භූමි කම්පා අත්විඳින එක කොයි තරම් හොඳ ද කියා මා දන්නේ නැත. ඔහු එන බවට විශ්වාසයක් හිතේ විය. ඒත් ඔහු ආවා කියා දැන ගැනීම කැළඹීමක් දනවයි. මම පිටුපස හැරී බැලුවෙමි. විශ් යූ වෙත ඇතුලු වෙමින් සිටි ඔහු ගේ ඇස් වල අලුත් එළියක් වූයේ ය.

“පොල් කඩල ඉවරයි වගේ”

නූරි සිනහවකින් විහිළුවක් කළා ය. මම මගේ අසුනෙන් නැගී සිටිමින් විහාර වෙත ඒ අසුන පිළිගැන්වීමි. බිත්තිය අයිනේ වූ උස ලී බංකුවේ ඇලයට වාඩි වෙත්දී මගේ ඇස් මත ඔහු ගේ ඇස් විදුලි කෙටුවේ ය.

“ශහ්”

ඔහු ට එසේ කියවුණේ අසුන් ගත වෙන ගමන් ඉකෙබානා මල් සැරසිල්ල දෙස බලා ගෙන ය. 

“කාගෙවත් ඇහැට අහු වෙන්නෙ නැතුව කාණු පල්ලක පිපෙන මලක් වුණත් හරි තැනකට ආවහම කොච්චර වටිනාකමක් පේනවද…”

ඒ තරම් ලොකු ඇගයීමක් ඊට පෙර කවදාවත් කවුරුවත් මා වෙනුවෙන් සිදු කර නැති සෙයක් මට දැනිණ. විහාර වල් ලූණු මල් පෙත්තක් අතින් පිරිමැද බැලුවේ ය. 

“කවුද පොල් කඩන්නෙ…ඒවට කට්ටිය ඉන්නවද…”

නැවතත් නූරිට පොල් ගැන ප්‍රශ්නයකි.

“නෑ නංගි. පොල් කඩාගෙන අරං යන්න කට්ටියකට දීල තියෙන්නෙ. ඒ එන දවසට මං ඉතිං එතන ඉන්නව. ඔය බිස්නස් වැඩ මට එච්චර අල්ලන්නෑ. ඇත්තටම ඒක මගෙ සබ්ජෙක්ට් එක නෙවෙයි. ඒත් ඉතිං තාත්ත ඒ දේවල් හරි ඉතුරු කරල ගිය නිසා මට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියනව”

ඒ කතාවේ අග යම් කිසි සන්තාපයක සෙවනැලි වැටී තිබිණ. නූරි ඒ ගැන හාරා අවුස්සන්නට නො ගිය එක ගැන මම හිතෙන් ස්තූතිවන්ත වීමි. 

“වත්තට හොරෙං රිංගන්න හැදුව කිව්වනෙ…මං ආවෙ…කැමතිනං බලන්න යං කියන්න”

ඔහු කෙළින් ම මදෙස බලා එසේ කියත්දී ‘වාව්’ ආකාරයේ එළියකින් මගේ ඇස් දිළිසෙන්නට ඇත. මම නූරි දෙස බැලුවෙමි.

“ගිහිං එන්න එහෙනං”

ඇය කිසිදු නෝක්කාඩුවකින් තොර ආදර හඬකින් මා නිදහස් කළා ය. නමුත් මට ඔහුත් එක්ක එහෙම තනි වීමක් ඕන කර නො තිබූ බව දිව්රා කිව හැක.

“ඔයත් යං ඉතිං”

“අනේ මං ඕන්නෑ ශික්ක”

“අනේ”

“දෙන්නම යං ඉතිං”

අප දෙදෙනා ගේ පෙරැත්තය දෙස බලා සිටි විහාර අසුනෙන් නැගිට ගත්තේ එසේ කියමිනි. නූරි ගේ ගෙදරට නිදහසට කාරණා කිව නො හැකි හින්දා අප දෙදෙනා ස්කූටියේ යමු යයි ඇය මගේ කනට කොඳුරා කීවා ය. ඒ අනුව අප ගියේ එසේ ය. විහාර සිය ඔස්ටින් රියෙහි ඉදිරියෙනි. අප දෙදෙනා මගේ ස්කූටරයෙනි. පොල් වත්තට ඇතුලු වන දොරටුව වන්නේ පෙත් මග පසු කොට ය. එය උස් වූ කළු පාට යකඩ ගේට්ටුවකි. විහාර එතැන රිය නවතා ගෙන සිටියේ ය. වත්ත සීමාවේ ම පාර අයිනේ සරුවත් වෙළෙන්දෙකු සිටියේ ය. පාට පාට දියර වර්ගයක් දැමූ වීදුරු, ඒ සරුවත් තට්ටුව මත පෙළට තබා තිබිණි. පාර අයිනේ ඇතැම් ස්ථාන වල අහඹු ලෙස දකිත හැකි එවැනි බීම කඩ වලින්, එවෙලේම හදන පළතුරු බීම තලා ගත් අයිස් දමා බොන්නට මා ආසා බව නූරි දනී. අප දෙදෙනා උනුන් ගේ මුහුණු බලමින් සිනහ වෙත්දී විහාර “ඒවට කැමතිද” කියා අසමින් සරුවත් වෙළෙන්දා වෙත ගියේ ය.

“මොනාද සර් බොන්නෙ…දොඩම් තියනව…නාරං…පළතුරු බීම…සරුවත්..තව පැෂන්…”

“මට පැෂන් පෘට්”

මම පැන ගෙන කීවෙමි. ඉස්සර පොඩි කාලේ අප පන්සල් යත්දී සරුවත් කරුවෙකුගෙන් තාත්තා අනිවාර්යයෙන් සරුවත් ගෙන දෙන්නේ ය. මා තුළ සිටිනා ළමයා මගේ අවසරයකින් තොරව ම අවදි වී සිටියේ ය.

“අපිට පැශන් ෆෘට් ඩ්‍රිංක් තුනක් දෙන්න මාම”

විහාර ඇනවුම කළේ කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය අදිනා අතරේ ය. 

“බලපල්ලකො. අපි මොනාද බොන්නෙ කියල ඇහුවෙ නෑ. ඔක්කෝටම පැශන් ෆෘට්”

නූරි මට විතරක් ඇහෙන්නට කීවා ය. මම හයියෙන් සිනහ වීමි. මේ තරම් දෝරෙ ගලන සතුට කුමක් ද කියන්නට මා දැන සිටියේ නැත. සමහර දේවල් වල තේරුම් නො දන්නා තරමට හොඳ ය. ඒ හැඟීම පමණක් විඳ ගැනීම ප්‍රමාණවත් වන බැවිනි.

ඒ පැශන් ෆෘට් බීමට තැලූ අයිස් කැට සේ ම කස ඇට ද දමා තිබිණ. එහි රසවත් බව කොයි තරම් ද කියා වචන වලින් ඔබට පහදා කියන්නට කවදාවත් මට නො හැකි වනු ඇත. දිවිතුරා යළි එවන් රසයක් විඳ ගන්නට හැකි වනු ඇත කියා විශ්වාසයක් ද මට නැත. 

අප පොල් වත්තට ඇතුළු වූයේ ඉනික්බිති ය. එක ම පරතරයක් ඇතිව පෙළට සිටවූ පොල් ගස් යායක් පේන තෙක් මානයේ විහිදී තිබිණ.

“අද ඔක්කොම පොල් කැඩුවද…”

නූරි ඇස් විසල් කර ගෙන ඇසුවා ය.

“කොටසක කැඩුව…එහෙම තමයි කඩන්නෙ”

“මේ ගස් පරණ වෙනකොට අලුත් පැළ හිටවන්න වෙයි නේද…”

“ඔව්. දැන් ඒකට කාලෙ හරි. ඒකත් සෙල්ලමක් නෙවේ. ලොකු ප්‍රොජෙක්ට් එකක්”

ඔවුහු පොල් ගැන කතා කරමින් වත්ත දිග ඇවිදින්නට වූහ. මා සිටියේ පොල් ගස් අතරේ කාගේවත් පා පහසක් නො ලබා සරුවට වැඩෙන නෙක කැලෑ මල් පැළ වල දෑස් රන්දා ගෙන ය. සමහර මීවන වර්ග මා වෙන කොතැනකදීවත් දැක නැත. යායට වැවී තිබූ නෙක වර්ණ හබරල වර්ග මා පිස්සු වැට්ටී ය. 

“අනේ ඕගොල්ලො ගිහිං ගලවං එන්න. මං මෙතනිං ඉන්නං…කකුල් රිදෙනෝ අප්ප”

අතර මගක පෙරලී උන් පොල් කඳක් මත වාඩි වෙමින් නූරි කීවා ය. මම තව තව ඈතට යමින් විවිධ වර්ග වල හබරල පැළ ගැලෙව්වෙමි. මා පසු පස එමින් විහාර මට ඕනෑ තරම් අනුබල දුන්නේ ය. මට තාත්තා සිහි විය. ඔහු අපත් සමග උන් කාලයේ දී මේ වගේ මගේ ළමා ආශාවන්ට ඕනෑ තරම් ඉඩ දී සිනහ වෙවී බලා සිටියේ ය. පොඩි එකෙකු වාගේ කලබලයෙන් මා හබරල පැළ අදිත්දී ඇතැම් ඒවා කැඩී ගියේ ය. එවිට විහාර “කෝ කෝ” කියා මා පසෙකට කොට පරෙස්සමෙන් ඒවා ගලවන්නට උත්සාහ කළේ ය. ඔහු ගේ අතිනුත් කොළ කැඩී ගිය වෙලාවක මම සිනහ වීමි.

“මගෙ දුවත් දවසක ඔයා වගේ වෙනවනං මං ආසයි”

ඒ උදම් රළ පහර කොහේ සිට ආවාද කියන්නට මා දන්නේ නැත. ඒ ක්ෂණික පාෂාණිභූත වීමකි. එහෙම වුණේ මා සිනහ වෙවී සිටි වෙලාවක ය. ඒ අයුරින් ම මා ෆොසිලීකරණය වූවා සේ ය. සිනහව එහෙම ම මුහුණ මත නතර කොට තබා ගන්නට උත්සාහ කළේ මගේ උප විඥාණය විය යුතු ය. නමුත් මා කේන්ද්‍ර කොට ගෙන ලෝකය භ්‍රමණය විය. මගේ හිස වටේ රැස් වළල්ලක් කැරකිණ. තරු සමූහයක් ද හිස ළඟින් හට ගෙන ඈතට විසිර ගියේ ය. 

නමුත් මම සිනහ වෙවී සිටියෙමි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles