එය පරණ කඩ කාමරයකි. කුඩා මිදුල දොරකඩ ආප්ප තනනා ආම්පන්න ටිකක් සහිත තට්ටුවක් වේ. ඒ කඩ කාමරයේ කිළිටි බිත්ති වල කපරාදු ගැලවී ගොස් තැන් තැන් වලින් කබොක් ගල් මතු වී පෙනේ. කාලයකට පෙර සිමෙන්ති දමනා ලද බිම පදාස පිටින් සිමෙන්ති ගැලවී යාම නිසා මතු වූ මහ පොළොව ය. දොර ලෙස වසා දැමෙනා ලෑලි පියන් අතරින් කිහිපයක් බිත්තියට හේත්තු කොට තිබේ. අනිත් ඒවා අරින්නේ නැතිව හැමදාම වැසී ඇතිවා සේ පෙනේ.
දොර පියන් වලට ආසන්නයෙන් ප්ලාස්ටික් පුටු දෙක තුනකි. කබල් මේස කැබැල්ලක් ද තව මොන මොනවාදෝ අඩුම කුඩුම ටිකක් ද පෙනෙන්නට තිබිණ. හැම තැනක ම රෙදි ගොඩවල් ය. කිළිටි දුගඳ හා කුණු කසල ගෙය අරක් ගෙන සිටී. මම විවර වූ දොරෙන් පිටතට මූණ හරවා ගෙන හුස්ම ගත්තෙමි. මගේ තාත්තා මේ වගේ තැනක ජීවත් වූවා කියා කොහොම විශ්වාස කරන්න ද?
“වැඩි කාලයක් එයා රස්සාව කළේ නෑ. මාත් එක්ක ඉන්න අරං මහ කාලයක් යන්න කලින්ම බේබද්දෙක් වගේ බොන්න ගත්ත එකයි කළේ. බීල බීල හතර ගාතෙං ගෙදර එන්නෙ. පස්සෙ පස්සෙ ඔය බීම නිසාම වැඩපලේ වැඩත් හරියට කළේ නෑ මං හිතන්නෙ. එතනිනුත් අයිං වෙන්න වුණා ඉතිං. අයිං වුණාද අයින් කළාද කියල දෙයියො තමයි දන්නෙ”
මොහොතකට කතාව නතර කළ සුජානි ගෙතුලට එබී
“කෙල්ලෙ ඔය වතුර කේතලේ ලිපේ තියහං”
කියා කෑගෑවා ය. කවදාවත් හේදුවේ නැති සාරි කැබැල්ලක් තිර රෙද්ද සේ එල්ලා වෙන් කොට ඇති කුස්සි කෑල්ලට ඇහෙන්නට ඒ තරම් හයියෙන් කෑ ගැසිය යුතු නැත. හඬ නගා කතා කරන එක ඇගේ පුරුද්ද යයි මම අනුමාන කළෙමි.
අම්මා ලොකු සුසුමක් හෙළුවා ය. එය කෙතරම් හඬ නැගුවේ ද යත් මට ඇදෙස නො බලා සිටිය නො හැකි වූයේ ය. අම්මා ගේ මුහුණ ශෝකයෙන් භරිත වී එල්ලා වැටෙන්නා සේ පෙනිණ. ඇගේ ඇස් වල තිබුණේ මේ කිසිත් විශ්වාස කළ නො හැකිවා වාගේ පෙනුමකි.
“එයා එහෙම බීපු කෙනෙක් නෙවේනෙ. මගුල් ගේකට ගිහිං චුට්ටක් බිව්ව වුණත් ඔරොත්තු දුන්නෑ. ගෙදර ඇවිත් වමනෙ දාන එකයි කළේ”
“සිද්ද වෙන දේවල් එක්ක හැම දේම වෙනස් වෙනව ඉනෝකා”
අම්මා ඇයට නංගී කියත්දී සුජානි අම්මා ගේ නමින් ඈ ඇමතුවේ අක්කා කියන්නේ මොන හිතකින් දැයි ඇය ම අවබෝධ කළ නිසා විය හැක. ඇයට වන්නේ දුකට පදම් වූ මුහුණකැයි මා වටහා ගත්තේ ඒ වෙලාවේ ය. තාත්තා ඇයට පෙම් කරන්නට නැත කියාත්, ඒ සම්බන්ධය වෙන හේතුවක් මත හට ගන්නට ඇති හා වෙන මුහුණුවරක් ඇති එකක් බවත් හිතන්නට මම කැමති වීමි.
“ආනන්ද අපිත් එක්ක හිටියෙ හරිම පසුතැවීමකින්. එයා කවදාවත් ඕගොල්ලො අත් ඇරල ඇවිත් සතුටෙන් හිටියෙ නෑ. මේ දුව ළඟ තියාගෙන මේව කිව්වට කමක් නෑ මං හිතන්නෙ…එයාව අපි බලෙං තියං හිටිය කියල කිව්වොත් හරි. ඇත්ත. එක වරදක් වුණා. ඒත් ඒ වැරැද්දෙ වැඩි බර මගෙ පැත්තට දාගන්න ඕනෙ. එයා මැරුණට පස්සෙ තමයි මටත් මේව ගැන බරපතල විදිහට හිතෙන්නෙ. කීප සැරයක් එයා ජීවිතේ නැති කර ගන්න ගියා. බීල ඇවිත් දුව ගැනයි ඉනෝකා ගැනයි කියව කියව හැම හවසකම වැළපුණා. අපේ අයියල මල්ලිල එයාව තියා ගත්තෙ තර්ජනේ කරල. ඔය දෙන්නගෙ ජීවිතේට කරදරයක් කරයි කියන බයටයි එයා ආයෙ ඔයාලව බලන්නවත් නොගියෙ. මට දැං හිතෙනව ඒ දේවල් කොච්චර වැරදිද කියල. එහෙම බලෙන් තියා ගත්තත් එයා හදවතෙන් ජීවත් වුණේ මාත් එක්ක නෙවෙයි”
මට දැනුණේ ඉටි පන්දමක් සේ මා දැවෙමින් ද වැගිරෙමින් ද හිඳිනා බවකි. අම්මා කම්මුලක අතක් ගසා ගෙන සිටියා ය. නමුත් ඇගේ ඇස් වල කඳුළක් නම් වූයේ නැත.
“මේ කෙල්ල බඩට ආව නිසා තමයි ඔය ඔක්කෝම වුණේ. ඒ කාලෙ ආනන්දගෙ ඔපිස් එක ළඟ අපේ අයිය කඩ කෑල්ලක් කළා. මං එතන හිටියෙ. ඔතනදි දැකල විහිළු තහළු කරල තමයි මේ පටලැවිල්ල ඇති වුණේ. ඒ දවස් වල මාත් ටිකක් දැඟලිල්ල තිබ්බ ගෑනි. අපේ අයියල ඒරියා එක රන් කරපු චණ්ඩි. එතන කෑම කඩේ යටින් බිස්නස් එක වුණෙත් කෑමම නෙවෙයි ඇත්තටම. ගංජා..කුඩු…අයිස් එහෙම. අන්තිමට ආනන්දට කර ගන්න දෙයක් නැති වුණා. එයා ඒ දැලේ පැටළුණා. මෙච්චර ඉක්මනට එයා මැරිල ගියෙත් හිතේ අමාරුව නිසා වෙන්න ඇති”
ඇය කී ලෙසට තාත්තා ඉක්මනින් රැකියාව අහිමි කර ගෙන තිබේ. සුජානි ගේ චණ්ඩි අයියලා මල්ලිලා චණ්ඩිකම් නිසා ම එක එකා මැරුම් කන්නත් හිරේ විලංගුවේ වැටෙන්නටත් වූහ. ගෙදර පිරිමසාගෙන ඇත්තේ සුජානි ගේ මහන්සියෙනි. ඔවුන් කුළී ගෙවල් මාරු කරමින් තැන් තැන් වල කාලය ගෙවා ඇත. ඒවා කොයි වාගේ ගෙවල් දැයි සිතා ගත හැකි ය. තාත්තා දවස පුරා මත් වී ගෙන, මත් වෙනු පිණිස ම කුළියක් කොට කීයක් හෝ සොයා ගෙන දුක්ඛිත ලෙස ජීවිතය හමාර කොට තිබේ. අවසාන කාලයේ ඔහු කාර්යාලයක පිරිසිඳු කිරීමේ කටයුතු කළ බව ඇය කීවා ය.
“මේක නරකාදි ජීවිතයක් ඉනෝකා. ආනන්දට කරපු දේට අපිට පවුල් පිටින් වන්දි ගෙවන්න වුණා. මේ කෙල්ල තමයි මගෙ හිතට තියන බර. මොනා වුණත් මට වෙච්ච දේවල් ඒකිට වෙන්න ඕනෙ නෑනෙ. මේ දවස් වල හවසට ආප්ප පුච්චල තමයි අපි ජීවත් වෙන්නෙ. ආනන්ද ඉන්න කාලෙ කියලත් ගෙදරට මහ ලොකු සල්ලියක් දුන්නෙ නෑ. එයා හම්බ කළා එයා බිව්ව. ඒත් අඩු ගානෙ රොඩ්ඩක් වගේ හරි මිනිහෙක් හිටියනෙ. අපරාදෙ කියන්න බෑ කෙල්ලට ඉගෙන ගන්න ඕන දේවල් වලටනං එයා සල්ලි දුන්න මොන මරාලයක් කරල හරි. ඒත් ඒකිත් උසස් පෙළ පේල්. අපි ජීවිතේම පේල් වෙච්ච මිනිස්සු ඉනෝකා”
නික්ම එන්නට ස්කූටියට නැගෙත්දීත් මගේ හිස රිදෙමින් තිබිණ. තාත්තා ඒ තරම් අවාසනාවන්ත ඉරණමක් එක්ක ඔට්ටු වූවා කියා සිතනා එක පහසු නැත. ඔහු වෙනත් ස්ත්‍රියකට බැඳි පෙම නිසා අප හැර ගියායි මෙතුවක් අපි සිතා සිටියෙමු. එහෙම හිතා උන් එක මේ අලුත් විදිහට හිතනවාට වඩා පහසු ය.
සුජානි ලා ට දැනට සිටිනා කඩ කාමරයෙහි ඉන්නට ලැබෙන්නේ තව මාසයක් පමණක් බව ඇය කීවා ය. ඊට පස්සේ වෙන තැනක් සොයා ගත යුතු ය. ගෙවල් වලට අත්තිකාරම් බඳින්නට ඇය ළඟ මුදල් නැත. ඒ තනිකර ම අවුල් ජාලයකි.
අම්මා හැඬුවේ ගෙදර පැමිණි ඉක්බිති ය. නමුත් ඉක්මනින් ම ඕ ඒ කඳුළ පිස ගත්තා ය. එක එක ගැහැනුන් එක එක විදිහ ය. ඔවුන් ජීවිතයට සංවේදී වන්නේත් ප්‍රතිචාර දක්වන්නේත් එක එක විදිහට ය.
“එයා ඒ තත්වෙං කවදාවත් අපිව බලන්න ආපු නැති එක හොඳයි බබා”
හුඟක් වෙලා හිතත් එක්ක කතා කිරීමෙන් පස්සේ අම්මා එහෙම කීවා ය. ඇගේ හිතේ තියෙනා දේවල් දෙවියන්වත් දන්නවා ය කියා සිතිය නො හැකි ය. සුජානි ගේ ගෙදරින් පිට වෙන්නට පෙර අහක බලා ගෙන අම්මා ඈ අත මුදලක් ගුලි කළා ය.
“ගෙවල් කුළි ගෙවන්න සල්ලිත් නැත්තං…එක්කො ඔන්න මෙහෙ ඇවිත් ඉන්න කියමු අම්මෙ”
මා එසේ කීවේ විඩා පත් ව ය. කවුරුන් හරි ද කවුරුන් වැරදි ද කියා විශ්ලේෂණය කරනවාට වඩා හරි කියා හැඟෙන පරිදි ජීවිතයට ගෙවෙන්න අරින එක පහසු ය.
“නෑ නෑ ඒව ඕන නෑ”
අම්මා වහා ම කීවා ය.
“එදා සුජානි ඇවිත් මේ ගේ එයාලට ඉල්ලන වෙලාවෙත් මං දීල දාන්න ලෑස්ති පිට කතා කළේ ඒක ආනන්දගෙ අනුදැනුම ඇතුව වෙච්ච දෙයක් කියල හිතල. එයාට එයාගෙ ගේත් ඕනනං දීල දාන්න මට බැරි නෑ. ඒත් එයා අපිටයි කියල ඉතුරු කළේ මේක විතරයි. එයාගෙ දරුවටයි කියල මට දෙන්න තියෙන්නෙ මේක විතරයි. සුජානි ගැන මට අනුකම්පා නැතුව නෙවෙයි. ඒත් ඒ අනුකම්පාව භූමි කම්පාවක් වෙන්න බැරි නෑ බබා. එයාල හැමදාම කරල තියෙන්නෙ එහෙම දේවල්. ඒක එයාලගෙ පුරුද්ද. තාත්තව එතන නතර කර ගෙන තියෙන්නෙත් එහෙම. අහක යන නයි ගේ අස්සෙ දාගෙන පස්සෙ කනවෝ කිය කිය කෑගහන්න මට ඕන නෑ. පුළුවන් වෙලාවට උදව්වක් කරනව. අනිත් හැම දේටම වඩා මේ ගෙදර සැනසිල්ලෙ වැටිල ඉන්න එක මට වටිනව”
“ඒත්…නංගි…එයත් මගෙ නංගිනෙ අම්මෙ”
“මං නෑ කියන්නෑ. ඒත් අපි අපේ සීමාවෙ ඉන්න එක හොඳයි කියල මං තේරුං ගත්ත බබා. තාත්ත කරපු මෝඩකං මට කරන්න බෑ”
සුජානි ගේ ගෙදර දී හට ගත් හිස රදය මා තදින් බදා වැළඳ ගනිමින් තිබිණ. තාත්තා ගැන නොයෙකුත් ආකාර වලින් මට හිතෙන්නට ගත්තේ ය. ඔහු මට දැඩිව ආදරය කරන්නට ඇත. ඔහු අම්මාටත් එලෙස ම ආදරය කරන්නට ඇත. නමුත් එක මොහොතක හැඟීමක ගිනි ගැනීමක් නිසා ඔහු ට ගෙදර අහිමි වෙන්නට ඇත. ඒ වුණත් ඔහු අපට ආදරය කරන්නට ඇත. නමුත් අප ඉදිරියට එන්නට හෝ අපට මූණ දෙන්නට තරම් ආත්ම ශක්තියක් වර්ධනය කර ගන්නට කිසි සේත් ඔහු අපොහොසත් වන්නට ඇත. සමහර විට තාත්තා හොරෙන් විත් අප දෙස බලා ඉන්නට ඇත කියා ද මට සිතිණ. පාසල ඇරෙන වෙලාවට සෙනග අතර මුවහ වී ඈතින් හිඳ ඔහු මදෙස බලා සිටියා වන්නට බැරි ද? ඔහුත් අපත් එක ම අවාසනාවක කොටස් කරුවන් ය.
“ඉතිං පැරසිටමෝල් දෙකක්වත් බිව්වෙ නැද්ද…”
මේසයට හිස තියා ඇස් පියා සිටියදී ඈත මන්දාකිණියකින් සේ විහාර ගේ හඬ මට ඇසිණ. වහා විවර වූ ඇස් වලට මුලින් ම හසු වූයේ ඔහු ගේ දෙපා ය. සරල සෙරෙප්පු යුගලක් පැළඳ සිටීම නිසා ඔහු ගේ පා ඇඟිලි නිරාවරණය වී තිබිණ. ඒවා පිරිමැද බලන්නට හිතෙනා පිළිවෙලකින් යුතු විය.
මම හිස එසවීමි. මා හිසරදෙන් යයි නූරි ඔහු ට කියන්නට ඇත. විහාර මා ඉදිරියේ වන පුටුව ඇද අසුන් ගත වූයේ ය. ඔහු ගේ දණහිසක් මගේ දණහිසේ ගෑවෙන නො ගෑවෙන තරම් ළඟින් විය.
“ම්…බිව්වෙ නැද්ද…”
හිතේ අමාරුවෙන් හිඳින මිනිහෙකු හඬවන්නට තරම් ඒ වදන් ආත්මය පිරිමදිනා සුළු ය.
“ඔය මං පෙති දෙකයි වතුර එකයි ළඟින් තියලත් තාම බීල නෑ”
නූරි කේළාම් කීවා ය. වැරැද්දක් කොට අතට ම හසු වූ කුඩා දැරියක සේ මම විළිබර සිනහවක් නගා ගතිමි.
“ඉතිං කොහොමද හොඳ වෙන්නෙ…ම්…මේක බීල ඉන්නකො”
ඔහු පැරසිටමෝල් පෙති දෙක දවටනයෙන් ඉවත් කරමින් වතුරු වීදුරුව මවෙත පෑවේ ය. මා වතුර උගුරක් මුවට ගත් විට සිය අත්ල මත තබා ගත් පෙති දෙක මට ලං කළේ ය.
“සිද්ද වෙච්ච දේවල් ගැන පෝස්ට් මෝටර්ම් තියල දැං ඉතිං වැඩක් නෑ නේද…”
ඒ ඇස් දෙක ඉස්සරහා හැංගෙන්නට තැනක් හොයන්නට සේ බිම බලා ගෙන පාදයක මහපට ඇඟිල්ලෙන් මම බිම හෑරුවෙමි. මේ හිස රදය සුජානිලා ගේ ගෙදර ගිහින් ආවාට පස්සේ කියා නූරි ඔහු ට කියා ඇති බව මට නිසැක විය.
“තාත්ත පව්. අසාධාරණ විදිහට තාත්ත එතන හිර වෙලා”
තාත්තා ගේ කතාවෙන් මා දැන ගත් හා මට තේරුම් ගිය අවස්ථා කිහිපයක් මටත් නො දැනී ම ඔහු ඉදිරියේ දිගහැරී තිබිණ. මට අහිමි කරන ලද මගේ තාත්තා ගැන අසීමිත තැවීමක් හද තුළ වන බව මටත් දැනුණේ ඒ වෙලාවේ ය.
“මිනිස්සු එහෙම හිර වෙන තැන් තියනව. වැරදි කියල දැන දැනත් ඒ වැරදිම කරන්න වෙන තැන් තියනව. සමහර වෙලාවට කිසි වරදක් නොකර හිර වෙලා ඉන්න වෙන තැනුත් මිනිස්සුන්ගෙ ජීවිත වල තියනව”
බිම බලා ගෙන උන් මගේ ඇස් පියන් ඉස්සිණ. අපේ සිව් නෙත් ආසන්න ම ලක්ෂ්‍යයක දී එක මත නාභිගත විය.
“මං හිතුව මං තවත් හිර වෙලා ඉන්නෙ නෑ කියල. ඒක ටික දවසක් තිස්සෙ හුඟක් හිතල හිතල ගත්ත තීරණයක්. මෙහෙම දෙපැත්තක හිටියත් මට දුව බලන්න වුණත් වෙන්නෙ අවුරුද්දකට සැරයක් දෙකක්. අමේලි දුවව මට දෙන්නෙත් නැත්තං…එක අතකට අපි ඩිවෝස් නොවී ඉන්න එකේ තේරුම මොකද්ද…”
එය මගේ හදවත හරි මැද ම පුපුරා ගිය බෝම්බයකි. මම ඇස් ලොකු කර ගෙන විහාර දෙස බලා ඉන්නට වීමි. එක සිනහ පොදක් හෝ මගේ මුහුණ මත වූයේ නැත. තාත්තා ට මා නැති වූවා සේ විහාර ට ඔහු ගේ දියණිය නැති වී යා යුතු ද?
“බබා වෙනුවෙං…ඔය දෙන්නට එකට ඉන්න හිත හදා ගන්න බැරිද විහාර…”
මා අසා ගත්තේ උගුර යටිනි. රිදුමක් අතරිනි. ඇස් කෙවෙන්නට වූයේ ය. මම ඇස් වලින් ඔහු ගෙන් හැංගෙන්නට උත්සාහ කළෙමි. විහාර මගේ ඇස් වලින් ඇතුළාන්තයට රිංගන්නට පසුබට නොවුණේ ය.
“ඔයා දන්නවද…මං ගෑනු තුන් දෙනෙක් නිසා හදවතින් බැට කාපු මිනිහෙක්. මං ඉපදෙනකොටම ජීවිතේ අතෑරපු අම්ම…එයාට මං වෙනුවෙන්වත් තව ටිකක් අල්ලං ඉන්න බැරි වුණා…ඊළඟට අමේලි. එයාට මාව තේරුං ගන්නවත් ඕන වුණෙ නෑ. හැබැයි මං එයාට දොස් කියන්නෙත් නෑ. මං එයාගෙ වයිබ් එකේ මිනිහෙක් වුණානං එයා මං ගැන හිතන්න ඉඩ තිබුණ. අනිත් කෙනා දුව. මගෙ ජීවිතේ වීක් පොයින්ට් එක. එයා හම්බ වුණ දවස…මට හීනයක් වගේ එයාව අතට ගත්ත වෙලාව. ඒ චූටි ඇස් වලින් මං දිහා බැලුවහම දැනුණ හැඟීම…මේ දැනුත් මගෙ ඇඟ හිරි වැටිල යනව ශික්ෂා. ඒ වගේම වෙන් වෙන්න තීරණය කරල මං ඒ ගෙදරින් එළියට බැහැපු දවස… ඒ තුන් දෙනා නිසාම මට කවදාවත් ජීවිතේ සැනසීමක් විඳින්න වුණේ නෑ. ඉස්සරහට එහෙම දවසක් උදා වෙන එකකුත් නෑ. ඉතිං මට අයිතියක් කොහොම වුණත් යුතුකමක් තියනව නේද මගෙ හිතටත් සැනසීමක් උදා කරල දෙන්න…ම්…මං වැරදීද…”
තොල් කොනක් සපා ගෙන මම බිම බලා ගතිමි. සමහර දේවල් පාලනය කරන්නට යන එක වෙහෙසකි. ඒවා වෙන්නට නියමිත විදිහට සිදු වෙන්නට හැර බලා හිඳිනා එක පහසුවකි.