මම වෙනම මලක් – 15

නිර්මලා සිටියේ බර කල්පනාවක ය. ඇය බොහෝ දවසකට පස්සේ නිලුපුලීගේ රෙදි සෝදන්නට සූදානම් වූවා ය. දන්නා දවසකවත් එසේ කළ වගක් මතක නැත. නිලුපුලී ඒවා කරගත්තේ තනිවම ය.

නමුත් දැන් නිර්මලාට ඒවා සියල්ලම කර දෙන තරමේ ආදරයක් පහළ වී තිබේ.

“හරි ලස්සන ගවුමක් අක්කේ”

නිලුපුලීගේ ඇඳුම් තෝරන අතර එසේ පැවසූ දහසය හැවිරිදි කෙල්ලක නිර්මලාට සිහියට ආවා ය. චාරුලතා එදා ඇය දෙස බලා සිටියේ ආදරයෙනි.

“ඕනනම් ගනිං. මේ ගවුමත් අරගන්න. මට මේ තව තියෙන්නේ”

හාඩ්වෙයාර් එකක ගණන් එකතු කරන්නට යන අක්කාට එහෙම ලස්සන ඇඳුම් මොකටදැයි කියා නිර්මලා සිතුවා ය. නමුත් චාරුලතා සිටියේ බොහෝ හැඩ වෙමිනි.

“ඕනෑවට වඩා දිස්නෙ ගහන්න ගන්නෙ නම් හොඳකට වෙන්න බෑ. රස්සාවක් කොරනවනම් රස්සාව කරන් ඉන්නේ නැතුව දිස්නෙ ගහන්නෙ මොකටද?”

අම්මා නම් ඒවාට දැක්වූයේ එහෙම ප්‍රතිචාර ය. නමුත් එකම තැන ඔහේ කැරකෙන මිනිසුන් පිරිසක් පසුකර ගමනක යෙදෙන්නට ගත් අක්කා ගැන නිර්මලාට තිබුණේ ආඩම්බරයකි. ඇය අක්කා කරන ඕනෑම කටයුත්තක් හරි බව සිතමින් සිටියා ය.

“හාඩ්වෙයාර් එකේ වැඩ බලපු පාලිත අයියා අලුත් හාඩ්වෙයාර් එකක් දැම්මා. මං දැන් ඒකෙ වැඩ.”

අක්කා දවසක් එහෙම ප්‍රකාශයක් කළා ය. අලුතින් අටවා ගන්නා කඩවල ආයුෂ ගැන කියන්නට බැරි බවත් හම්බ කරගෙන කන රස්සාව අතුරේ යැවීම මෝඩකමක් බවත් කියමින් අම්මා දහ අතේ දොස් තැබූ හැටි ද නිර්මලාට මතක ය. ඒ මොහොතේ පවා ඇයට ඕනෑ වූයේ අක්කාගෙන් මුදල් උපයා ගන්නට ය.

නමුත් එතැන ඊට වඩා දෙයක් ඇති බව වැටහුණේ නිර්මලාට ය.

එහි වරදක් නොවී ය. අක්කා තනි කැමැත්තට පාලිත සමඟ විවාහ වූවා ය. වත්තෙන් එතෙර වන්නට ලැබුණු දියණිය ගැන ඊට පසු අම්මාට දොඩන්නට අනන්ත අප්‍රමාණ වහසි බස් තිබිණ.ඇය ඒවා දොඩමින් කෝප වූවා ය.  නිර්මලා ඒ වෙද්දීත් සිටියේ පාසල් වයසේ ය.

“අක්කා මෙතනින් නිදහස් වුණු එක ගැන ඇයි අපේ අම්මා කේන්ති ගන්නේ බං?

නිර්මලා ශාන්තිගෙන් පවා විමසුවේ පුදුමයෙනි. සැබෑවටම අම්මා එතරම් කෝපයකින් ඉන්නා බව ඇයට වැටහුණේ අක්කා පාලිත සමඟ නැවත වත්තට පැමිණි දවසේ ය.

“කන්න බොන්න දීලා උස්මහත් කරගත්තේ අමාරුවෙන්. ඊටපස්සෙ මිනිස්සු එක්ක යන්න ගිහින්. දැන් ආවේ මඟුලටද?”

අම්මා එසේ කඩා පනිමින් අක්කාට ගුටි ගැසූ අන්දම නිර්මලාට තවම මතක ය. එය එතරමටම අප්‍රසන්න සිදුවීමකි. එදායින් පසු නිර්මලාට අප්‍රසන්න සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවුණත් මේ සිදුවීම ද අමතකව නොයන කතාවකි.

මොකටද මං එන්නේ? බැනුම් අහන්නද? මූසලී කියල අහගන්නද? මොකටද එන්නේ..ආ..මොකටද එන්නෙ?”

චාරුලතා අසන්නේ ආවේගයෙනි.ඇගේ ආවේගයට ඉඩ දී බලා හිඳින්නට නොහැකි වූ නිර්මලා අඩියක් පෙරට තැබුවා ය.නමුත් ශාන්ති ඇයව වැළැක්වූවා ය.

“අනේ බලන්න එන්නම නල්ල මලේ අම්මා.මට තියා මේ කෙල්ලටවත් කන්න දුන්නද? ලොකු මැඩම් මැදිහත් නොවුණනං මේකි ටවුමෙ ඉස්කෝලෙවත් යන් නෑ..”

චාරුලතා අලුත් මනමාලියකට නොගැළපෙන සේ ඉඟටියේ අත් ගසාගෙන කියවයි.අම්මා නහයෙන් පිඹිමින් බලා සිටියා ය.ඒ තරම් වියරු බැල්මක් නගා ගන්නට තරම් ඇය දියණියන්ට වෛර කරන බව නිර්මලාට වැටහිණ.ඇයට ආ වේදනාව පාලිත අයියා අක්කාව වත්තට රැගෙන ඒම ය. ඔහුට මෙතැන ඇත්ත තත්ත්වය දකින්නට ලැබීම ගැන නිර්මලාට ඇති වූයේ දුකකි.

“උඹෝගෙ හෑලි මට වැඩක් නෑ පරට්ටි.කට වහපං..”

අම්මා අක්කාට කෑගසන්නේ අත ඔසවා ය.

“කොහොමහරි රස්සාවක් හොයන් මේකෙන් එළියට ගියපු  තරහ තමයි ඔය පිරිමහන්නෙ.මේක අස්සට වෙලා වළං හේදුවනං හොඳා.මේ කිරි කිරි පාට කාරෙකක ආවම නාකිච්චිට ආව ඉරිසියාවක තරම..”

එවර ශාන්ති කියවන්නට ගත්තේ නිර්මලාට සමීප වී ය.

“අනේ අම්මේ,දැන් චාරු හොඳින් ඉන්නවනෙ.මේ බලන්නකො ඔයාට තෑගිත් ගෙනාවා..”

මෝටර් රථයෙන් ගත් පාර්සලය පාලිත  අම්මාට දිගු කළේ ය.ඇය එය පිල් කඩ මත හෙළුවේ නොකැමැත්තෙන් ය.

“රෙදි කෑලි ගෙනත් දෙන්නෙ උඹලගෙ කසාදෙට අඳින්නද? උඹට දැන් කොහොමත් පෝරුවක නගින්න බෑ කියල අංග ලස්සන වලින් පේනව..”

විවාහ වූ ජෝඩුවක් ආයේ පෝරුවට නගින්නේ මොකටදැයි අම්මාගෙන් අහන්නට සිතුණත් නිර්මලා නිශ්ශබ්දව සිටියා ය. එදා අම්මාට ඕනෑ වූයේම පාලිත සහ චාරුලතා පන්නා ගන්නට ය.

අතීතයේ ඇවිදමින් සිටි නිර්මලා සුසුමක් හෙළුවා ය. එදා අම්මාට එයට ඉඩ දෙන්නට තිබිණ. එසේ නම් කිසිවක්ම මෙසේ වන්නේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles