මා හද මට නැති විට – 08

ලාවන්‍යා නිවසට එද්දී මිතුරියන් සිටියේ ඇගේ නිවස බදු ගෙන ය. පාරමී හොඳ ළමයෙකි. ඇය අම්මාට උයන්නට උදව් දෙමින් සිටියා ය. සෙනුරිට ප්‍රේමවන්තයා සමඟ දුරකථන සංවාදයක යෙදී කතා කරන්නට දේ තිබේ. අනුත්තරා සිටියේ මුළුතැන්ගෙයි පුටුවක හරිබරි ගැසී කියවමිනි

“පොඩි අක්කා නම් කියනව නඩුව ඉවර වෙච්ච ගමන්ම චූටිව එහෙ එවන්න කියලා පුතේ. මොනවාහරි දිගට ඉගෙන ගන්නවත් කියලා පොඩ්ඩක් කියල බලන්න.”

අතිශය වේදනාකාරී කාලපරිච්ඡේදයට පසු සිටින පරිසරය වෙනස් වීම ඉතා හොඳ දෙයකි. අනුත්තරා එය අනුමත කළා ය.නොදන්නා හේතුවකට ලාවන්‍යා මේ පරිසරයෙන් ඉවත්ව යාම හොඳ බව ඇයට සිතේ.ඒ ගැන ලාවන්‍යා සමඟ කතා කරන්නට අනුත්තරා පොරොන්දුවක් දුන්නා ය.

“භවන්ත එක්ක ජීවත් වුණු ගෙදර දිගටම ඉන්න එක වුණත් එයාට සහනයක් නෙවෙයිනෙ. මේ ගේ මාරු කරලා දාන්න කියලා මං කොච්චර කිව්වද?”

අනුත්තරා කියවාගෙන යද්දී පාරමී ඇය දෙස බැලුවේ සැකයෙනි. මේ කුලී නිවසක් නම් එහෙම මාරුවීම් කරන්නට තිබිණ.නමුත් මේ මුදලට ගත් නිවසකි. ඒ කාලයේ මේ හැමදෙයකම බරපැන භවන්තගේ බවට ලාවන්‍යා මුසාබස් පැවසූ නමුත් දැන් සත්‍යය හෙළිදරව් වී අවසන් ය. නිවස මිලට ගන්නට වියදම් කළ හැම සතයක්ම ලාවන්‍යාගේ ය.

“මේ ගේ දාලා කොහෙ යන්නද? ලාවි ජොබ් එක කරන් නැද්ද?”

පාරමී මිතුරියට කඩා පැන්නේම ඒ හන්දා ය. අනුත්තරා ඕවාට කලබල වන්නේ නැත. වංචා කළ මිනිසෙකුගේ මතක සමඟ ජීවත් වීම මොනතරම් අපහසුදැයි කියන්නට ඇය සැලකිය යුතු වෙලාවක් වැය කළේ ඒ හන්දා ය. 

“ඔයාගේ උසාවි මානසිකත්වෙන් ඔක්කොම බලල හරියන් නෑනෙ. මානුෂික පැත්තෙනුත් පොඩ්ඩක් හිතනවනම් හොඳයි. ඇත්තටම ලාවිට මෙහෙ ඉන්න අමාරුනම් එයාට පොඩ්ඩක් පරිසරේ වෙනස් කරන්න ඉඩ දෙන්නෝන.”

පාරමී එයට පිළිතුරු නොදී ළූණු කපන්නේ ඉතා වේගයෙනි. ආවේගය පිට කිරීම ඇය පසුවට කල් තැබූ හැඩකි. නමුත් අනුත්තරාට ඕවාගේ එතරම් ගණනක් නැත. මිතුරියන්ට බියවීම ඇගේ සිරිත නොවේ.

“අනේ මට නම් කොහෙවත් යන්න ඕන නෑ.”

ලාවන්‍යා මුළුතැන්ගෙයට එබුණේ එහෙම කියාගෙන ය. ඇය පැමිණ ඇති බව පවා පිරිස දැන ගත්තේ ඒ මොහොතේ දී ය.

“මේ ගේ රෙන්ට් කරලා කොහෙ හරි තැනක රෙන්ට් එකට යන්නෝන කියලා ඊයේ අඬපු ගෑනිනෙ මේ.”

අනුත්තරා එහෙම කියන්නේ කම්මුලක ද අත තබමිනි. ලාවන්‍යා හිනැහෙයි. මොනතරම් උස් හඬකින් හිනැහුණ ද ඇය වේදනාවක් සිර කරගෙන ජීවත් වන බව දැනෙන්නේ පාරමීට ය. භවන්ත සම්බන්ධ සමහර කාරණා දන්නේ පාරමී පමණි. නඩු කටයුත්ත වෙනුවෙන් ලාවන්‍යාට මිතුරියට සහමුලින්ම නිරාවරණය වන්නට සිදු වූවා ය. එහෙත් ඇය ලෝකයට සඟවන කාරණා බොහෝ බව පාරමී දනියි.

“අම්ම,අක්කලා අරුන් දෙන්නා මේව දැන ගන්න ඕන නෑ පාරෝ. ඇත්තටම මේවා නඩුවෙන් පස්සෙ වැළලිලා ගියාවේ.”

ලාවන්‍යා මිතුරිය ගිවිස්වා ගත්තා ය. ඇය හිනැහෙන්නේ මොනතරම් ගිනි ගොඩක් අමතක කරදැයි සිතෙද්දී පාරමීගේ දෑසට කඳුළු නැඟෙන තරම් ය.

“මුන්වනම් ආස්සරේ කරන්නත් හොඳ නෑ අම්මා. එක තීරණේක ඉන්නෙ නෑ කිසිම වෙලාවක.”

අනුත්තරා බැන වදිද්දී ලාවන්‍යා නාන කාමරයට රිංගා ගත්තා ය. අම්මාට උදව් කිරීම පසෙකට දැමූ පාරමී අනුත්තරාගේ අතකින් අල්ලාගෙන එළියට ආවේ සැක ඇති තැන වහාම නිවැරදි කර ගන්නට ය. ඇයට එහෙම සැකසහිත තැන් හිතේ තබාගෙන ඉන්නට අසීරු ය.

“මට ඇත්ත කියනවා හොඳේ.”

පාරමී තර්ජනය කළා ය. ඒ තර්ජනවලට නොසැලුණ ද අනුත්තරා බලා සිටියේ පුදුමයෙනි.මේ අහන්නට යන්නේ කුමක්දැයි කියාවත් ඇයට නොවැටහේ.

“ඔයා ලාවිව මෙතනින් අයින් කරන්න හදන එකෙයි තේජගෙයි අතර සම්බන්දෙ මොකක්ද?”

අනුත්තරා උඩගොස් බිම වැටුණේ නැත. සෑම පුද්ගලයෙකුටම මෙන් ඇයට ද රහස් හෘදාභ්‍යන්තරයක් වේ. එහි රහස් මිතුරියන්ට පවා දෙන්නට ඇය සැලකිය යුතු කාලයක් වැය කරයි. මේ මොහොතේ හදවතට දැනෙන කිසිවක්ම නොකියන්නට අනුත්තරා ප්‍රවේසම් ය.

“ලාවි කියන්නේ කැත විදියට රැවටුණු මනුස්සයෙක්. ආදරේ කරන මනුස්සයා අතින් රැවටෙන අයට හොඳ යාලුවෙක්වත් ඉතුරු වෙන්න ඕනෑ. යාලුවොත් එයාව රවට්ටනවා කියලා හිතුණොත්නම් ඒක හරිම අවුලක් වෙන්න පුලුවන් හරිද?”

පාරමී සෘජුව පැවසුවා ය. ලාවන්‍යා නාන කාමරයෙන් එන්නට පැයක්වත් යන බව අත්දැකීම් අනුව ඔවුන් දනියි. දැන් දියබුං ගසනවාට වඩා ඇය එතුළට වී හඬන බව අනෝජම්මා පැවසුවත් වෙනදා මෙන් දොරට ගසමින් ලාවන්‍යාට බාධා කළ යුතු නොවේ. මේ ප්‍රශ්නය විසඳා ගත යුතුම වේ.

“ඔයාට තේජගෙන් ලාවිව ඈත් කරන්න හිතුණු කාරණාව මම ගෙස් කරන්නද?”

පාරමී අසයි. අනුත්තරා හිස වැනී ය.

“ඔයාට එයා ගැන ක්‍රෂ් එකක් තියනවා. නැත්නම් අපිට නොකියන රිලේෂන්ශිප් එකක්. මොනවා කොහොම වුණත් තේජ ලාවිට ළං වෙනවට ඔයා ආස නෑනෙ.”

අනුත්තරා එයට පිළිතුරු නොදුන්නා ය. ඒ වෙනුවට ඇයට අසන්නට ප්‍රශ්නයක් තිබිණ. ලාවන්‍යාගේ හිතට විකාර නොදමන්නට ඔවුන් තීරණය කරගෙන දැන් වැඩි වෙලා ගෙවී නැත. එසේ තිබියදී මෙවැනි කතන්දර ඇසීම ම විහිළුවකි.

“මොකවත් හරස් ප්‍රශ්න අහන්න එපා. මට විසඳා ගන්න දේවල් ටිකක් තියනව. එතකන් ලාවිව මෙතනින් අයින් කරනවානම් හොඳයි.”

අනුත්තරා කියන්නේ සැර හඬකිනි. සැබෑ කාරණාවනම් එය පාරමීට පවා තිගැස්මක් ඇති කරන හඬකි.අනුත්තරා මන්දාලෝකයක් දැල්වෙන තේජගේ උඩුමහල දෙස බලා හුන්නා ය. පිරිමින් එතරමට විශ්වාස නොකරන ඇය පවා තේජව ඉතා ඉහළින් අගය කරන බව ඇත්තකි. නමුත් යමක් සිදු වෙමින් පවතිනවානම් මේ එයට කාලය නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles