ප්‍රථම වතාවට අම්මා ඉදිරියට පිරිමියෙකු සමගින් පැමිණෙන අවස්ථාව ගෑනු ළමයෙකු ගේ දිවියෙහි සුවිශේෂ මොහොතකි. ඊටත් වඩා මෙය පෙර සැලසුම් නො කළ අහඹු අවස්ථාවක් වීම නිසා මම නුහුරු තිගැස්මක් අත් වින්දෙමි. නමුත් ජීවිතයේ හැම ප්‍රථම සිදුවීමකට ම මුහුණ දිය යුතුව තියේ.
“ඔන්න අම්මෙ ශික්ෂාව ගෙදරටම ගෙනත් බැස්සුව”
අම්මා ගේ මුහුණෙහි සිනහවක් විකසිත වූයේත් විහාර එහෙම කීවේත් එකට ම ය.
“අනේ…පුතා කරදර වුණේ ඇයි…ටැක්සියක් දාගෙන එන්න තිබුණනෙ මේ දෙන්නට”
අම්මා එසේ කීවේ අවංකව මිස මූණිච්චාවට නොවේ. ඇය හදවතින් ම මිනිසුන්ට අවංක වෙත්දී ද කතා නොකර බැරි කමට මිනිසුන් සමග යමක් කතා කරත්දී ද ඒ වෙනස මම හොඳින් හඳුනමි.
“නූරිගෙ අම්මටයි අම්මටයි දෙන්නටම මේ කෑම ටික දෙන්නත් එක්කමයි ආවෙ. කෝ ඉතිං අම්මල ඇවිත් තිබුණෙ නෑනෙ”
ඒ මල්ලෙහි වූයේ කෑම බව මා දැන ගත්තේත් ඒ වෙලාවේ ය. එතකොට නම් පපුව පිච්චී ගෙන යනු මට දැනිණ. ඔහු ට අම්මාත් මතක් වී තිබේ. තාත්තා අපේ ජීවිත වලින් නික්ම ගියාට පස්සේ ඒ තරමට අප දෙදෙනා ගැන සිතු කෙනෙකු නූරි හැරෙන්නට අපට නැත.
“අනේ පුතා කෑමත් උස්සං ආවද…මං ඒත් දවල්ට ඉව්වෙත් නෑ. බබාත් කන්න එන්නෑනෙ. මට විතරක් තනියම කන්න උයන්න කම්මැලි හිතුණා”
“එහෙනං හොඳ වෙලාවට කෑම එකක් ගෙනාවෙ”
“අනේ ඉතිං බඩගින්නෙ හිටියෙ ඇයි අනේ…කම්මැළි කමට…ඔහොමමයි අපේ අම්මගෙ වැඩ…මං නැත්තං උයං කන්නෙත් නෑ”
මම නෝක්කාඩු වුණෙමි. අම්මා සුන්දර ලෙස සිනහ වෙමින් කුස්සිය පැත්තට යන්නට වූවා ය.
“ඉන්නකො එහෙනං..මං තේ ටිකක් ලෑස්ති කරන්නං පුතාට බීල යන්න”
“නෑ නෑ අම්මෙ එපා. තාම යාළුවො ගෙදර. මං වෙන දවසක එන්නංකො තේ බීල යන්න”
විහාර ඇය වළකමින් ප්‍රධාන දොර දෙසට පිය නැගුවේ ය. මම ඔහු පසු පස අඩියක් දෙකක් තැබුවෙමි. අම්මා ද කුස්සියට නොයා නතර වූවා ය.
“එහෙනං තේ නෙවෙයි කෑම ටිකක් කාල යන්නම එන්නකො පුතා”
“ඒක හොඳයි. පිරිමි උයන කෑම වලට වඩා ගෑනු අය උයන කෑම වල විශේෂ රහක් තියනවනෙ. අපිට ඉතිං ගෙදරක අම්මල උයන කෑමක් කැවෙන්නෙම නෑනෙ”
මිදුලට බහින්නට කලින් ඔහු හැරී මදෙස බැලුවේ ය. ඒ බැල්මෙහි වචන නැතිවාට හදවතට අයිති හැඟීමක් දැනවූයේ ය.
“මං එහෙනං ගිහිං එන්නද ශික්ෂා”
ඒ හිස සැලීම යන්න එපා කියන්නට බැරි කමට කළ දෙයකි. ජීවිත කාලයක් ම ඔහුත් එක්ක හිටියා වාගේ පාළුවක් ඔහු නික්ම යන්නට හදත්දී දැනිණ. සුසුමකින් හෝ ඒ දැනුණ කිසිවක් තුනී කරන්නට නොයා මම එහෙම ම සිටියෙමි. අල්ලා ගත් හුස්ම ගිලිහී ගියේ ඔහු ගේ රිය නික්ම ගියාට පස්සේ ය.
මා ඇඳුම් මාරු කර ගෙන එන විට අම්මා කෑම කන්නට පටන් ගෙන සිටියා ය. ඇය හිඳ උන් පුටුව ළඟ බිමින් හිඳ ගෙන මම අම්මා දෙස බැලුවෙමි.
“බලන්න ඉතිං…තව පොඩ්ඩෙන් දවල්ට කෑමක් නැතුව බඩ ගින්නෙනෙ…”
“බඩගින්නක් නෑ බබා. මං හිටියෙ දැං තේ හදල පාං කාරයෙක්ගෙං මොනා හරි ගන්න…”
“පාං කාල ඊළඟට ගෑස්ට්‍රයිටිස් කියන්නකො”
අම්මා ස්වල්පයක් හෝ අසනීප වූ විට මම අසාමාන්‍ය ලෙස කලබල වන්නෙමි. ඇය සුවයෙන් සිටීම මිස වෙන කිසිවක් මා විශ්වයෙන් ඉල්ලා සිටින්නේ නැත. අම්මා සුවෙන් නම් ඕනෑ ම දෙයක් වෙනුවෙන් වෙහෙසීමේ චිත්ත ධෛර්යයෙන් මා සංතෘප්ත ය. නමුත් ඇයට හිස රදයක් හෝ වැළඳුණහොත් මම බොහෝ සෙයින් හිතින් කඩා ගෙන වැටෙමි. ඒ නිසා ඇගේ සුවය මිස වෙන කිසිත් මම නො පතමි. අම්මා නිතර මගෙන් බැණුම් අසා ගන්නේත් ඇගේ ශරීර සෞඛ්‍යය ගැන දක්වන නො සැලකිල්ල නිසාවෙනි. අපට සිටින්නේ අප දෙදෙනා විතර ය. ඒ නිසා අප හැකි තාක් අපේ නිරෝගී බව පවත්වා ගත යුතු යයි මම සිතුවෙමි.
“තමන්ගෙ කමක් නැතුව වුණත් කවුරුම හරි ගෑනු ළමයෙක්ගෙ ගෑනු කෙනෙක්ගෙ පරිස්සම ගැන ගෞරවය ගැන හිතන පිරිමියෙක් කියන්නෙ ඇත්තටම හොඳ පිරිමියෙක්. මේ කාලෙ එහෙම අය හරි අඩුයි. එදා රෑත් ඔයා ස්කූටි එකෙන් එද්දි ඒ ළමය කාරෙකෙන් ගේ ළඟටම ඇවිත් ගිය වෙලේත් මට හිතුණ”
අම්මා හදිසියේ ම විහාර වෛශාක්‍ය වෙතට මාතෘකාව වෙනස් කිරීම නිසා මා ගොළු ව ගියේ ය. ඒ රැයේ බිංගෙයි අඳුර මැද කණාමැදිරි එළි අතරේ හදවතේ වූ ග්ලැසියර සීතල පවා එක සැනෙක ආත්මීය මිදීමක් සිදු කරනා ලදී.
“එයා ඉපදෙනකොටම අම්ම නැති වෙලා. එයාගෙ තාත්තගෙ බල කිරීම නිසා බැඳපු වයිෆ්ගෙන් සෙපරේට් වෙලා ඉන්නෙ දැන්. චූටි දුවෙක් ඉන්නවලු. දුවයි වයිෆුයි ඇමරිකාවෙ ඉන්නෙ. මං දන්න විදිහට කිව්ව…ඒ දුව වෙනුවෙන් ඒ දෙන්න කොහොම හරි එකට ඉන්න බලන්න කියල. දෙමවිපියො වෙන් වෙන නිසා දවසක ළමයින්ට උහුලගන්න වෙන දුක් කන්ද දන්නෙ එහෙම තත්වෙක ළමයෙක් විතරනෙ…”
අම්මා මඳකට නිශ්ශබ්ද වූවා ය. එදා සුජානි ලා ගේ ගෙදර ගිහින් ආවාට පස්සේ තාත්තා සම්බන්ධ අම්මා ගේ සිතිවිලි ධාරාවෙහි විපර්යාසයක් වී ද කියා කිහිප වතාවකදී ම මට සිතිණ. වෙනදා තරමට ඇය තාත්තා ගැන කතා කරන එක නතර කොට දමා ඇතිවා සේ මට දැනේ. තාත්තා පත් තත්වය ඇස් දෙකෙන් ම දැකීම ඇයට පීඩනයක් වූවාවත්ද?
“ජීවිතේ හැම දෙයක් ම තාත්ත එක්ක සන්සන්දනය කර කර බලන්න එපා බබා”
නිහඬ බවෙහි කෙලවර ඇය උගුර යටින් කියා ගත්තා ය.
“එයාට විඳවගන්න වුනේ එයා කරපු දේවල්. අපිට සුජානිලට දොස් කියන්න පුළුවන්ද…ඇයි තාත්ත බබෙක්ද…කෙසෙල් ගහට කොටපු දාට කොට්ටෝරුවගෙත් හොට පැටලෙනව කියනව. මිනිස්සු හැඟීම් වලට වාල් වෙන්න කලින් පොඩ්ඩක් හරි ඔළුව පාවිච්චි කරන්න ඕනෙ. දැන් ඉතිං ඕව කතා කරල වුණත් වැඩක් නෑ. ඒ වුණත් වෙන කවදාටත් වඩා තාත්ත නැති වුණාට පස්සෙ දැන් මට එයා ගැන දැනෙන්නෙ කලකිරීමක්”
ඒ දවස් ගෙවුණේ මහා සාගරය ඉදිරියේ හිඳ ගෙන සිටින්නා වන් හැඟීම් සමුදායක් මා ඉදිරියේ මවා ලමිනි. අම්මා ට තාත්තා ගැන එහෙව් කලකිරීමක් දැනීම අරුමයක් නො විය යුතු ය. ඔහු නික්ම ගිය පසුත් ඇය අල්පයක් නොව කල්පයක් පමණ දුක් ගිනි වැළඳුවා ය. කිසිදු පිරිමියෙකු කෙරේ නො බැඳී, ගෑනු දරුවෙකු ලොකු කර ගැනීම වෙනුවෙන් ජීවිතයත් එක්ක උරෙනුර ගැටී සටන් වැදුණා ය. හැඟීම් වලට ඉඩ දෙන්නට ගියේ වී නම් මේ වගේ ලස්සන දවස් ටිකක් වෙනුවට අපේ ජීවිත දෙකත් සුණු විසුණු වී ගිය දවස් ටිකක් මේ කාලයේ දී සොයා එකතු කරන්නට සිදු විය හැකිව තිබිණ. නමුත් අම්මා පරිස්සමට එම්බ්‍රොයිඩර් රටා දමා අපේ ජීවිත ගොඩනැගුවා ය. ඇගේ හදවතේ අගනා ම රටාව මා වූ බව මම දනිමි. එනමුදු තාත්තා කෙරේ මගේ ගැහැනු හදවත කළඹන හැඟුමන් සයුරෙහි නිසල වීමක් වූයේ ම නැත. වරින් වර ඒ රළ ඇවිත් හදවත් වෙරළේ හැපී බිඳිණි. මම ඔහේ බලා සිටියෙමි.
දවස් ඉක්මනින් ගත වෙන බවක් දැනිණ. නූරි ගේ විවාහ උත්සවය ලං ලං ව ආවේ ය. අපි ඒ වෙනුවෙන් විවිධාකාරයෙන් කාර්ය බහුල වෙමින් සිටියෙමු. ඒ අතරේ දෙතුන් දවසකට වරක්වත් බලාපොරොත්තු නොවූ වෙලාවක විහාර වෛශාක්‍ය අමරසිංහ විශ් යූ වෙත ගොඩ වූයේ ය. ඒ මොහොත මගේ දවසේ වටිනා ම වෙලාව වෙයි.
“මං අමේලිට කතා කළා. ඇත්තටම මට ඕන වුණේ ඩිවෝස් එක ගැන එයා එක්ක කතා කරන්න”
එක දවසක් අපේ වින්ටේජමය කොලාජ් බිත්තියෙහි ලියූ කුරුටු ගීයක් දෙස බලා ගෙන ඔහු මිමිණුවේ ය. අතුණුබහන් වල පෙරළීමක් මට දැනිණ. අනිත් අතට ආක්ටික් සිසිලසක් පපුවේ පැතිර ගියේ ය. මා සතුටු වූවා ද කියා කිසි දා මගෙන් නො අසනු මැන! ඒ ප්‍රශ්නය මා මගෙන් ම විමසී ද මට නිශ්චිත පිළිතුරක් නො ලැබුණ බැවිනි. නමුත් විහාර ගේ පපුවට මූණ තියා ගෙන ටික වෙලාවක් ඇස් දෙක පියා ගෙන ඉන්නට ඇත්නම් කියා නම් මට සිතිණ.
“මේ දවස් වල එයාට ටිකක් සනීප නැතුව ඉන්නෙ. ඒක නිසා මං ඒ ගැන කතා කරන එක ටිකක් පස්සට තිබ්බ”
ඔහු ඒ තරමින් ඇය ගැන සිතීම ගැන අමුතු ශාන්තිදායක බවක් මට දැනිණ. අම්මා කීවා වාගේ විහාර ස්ත්‍රීත්වයට ගෞරව කිරීමට උත්සාහ ගන්නා පිරිමියෙකි. ඒ වගේ පිරිමි පෞරුෂයක් මහා පුරුෂ ලක්ෂණයක් සේ යම් කිසි ගැහැනු හදකට දැනෙන්නට පිළිවන.
“ඉතිං ඔයා යන්නැද්ද එයාව බලන්න…”
“යන්නනං ඕන…ම්…ඒත්…බලමුකො…”
ඒ ඇස් නො කියා කීවේ මා දා යන්නට බැරි කතාවක් ද? දෙතොල් තද කර ගත් මුත් ආඩම්බරකාර මන්දහාසයක් මා තුළ නළියෑවේ ය.
ඒ ආසන්න රාත්‍රියක මට කියන්නේවත්, මා දන්නේවත් නැතිව විහාර වෛශාක්‍ය ගේ ඔස්ටින් රිය අපේ කුඩා ගේට්ටුව ඉදිරිපිට නතර විය. එදා නූරි ගේ මංගල ඇඳුම් මැසීමට යාම පිළිබඳ කටුයුතු වගයක් යෙදී තිබුණෙන් අප විශ් යූ විවර කළේ නැත. ඇඳුම් වල මිනුම් දී අත්‍යවශ්‍ය අඩුම කුඩුම ටිකක් මිල දී ගන්නට නුගේගොඩ ගොස් අවසන අප හවස් කාලයේ ගෙවල් වලට ගියේ විශ් යූ අරින්නේ නැතිව ම ය.
“පොල් කඩන්න ලොරියක් ආව. ඒ වැඩේ ඉවර වෙලා මෙහෙට එන්න හිතුණ. අම්මට පොරොන්දු වෙලානෙ ගියෙ දවසක තේ බොන්න එනව කියල”
මගේ පමණකුදු නොව අම්මා ගේ පවා ගැහැනු හිත් ඇද බැඳ ගන්නා සිනහව පාමින් ඔහු ගෙට ගොඩ වූයේ ය. අම්මා සිය හෘදයාංගම සිනහවෙන් මහන මැෂිම ළඟින් නැගී සිටියා ය.
“අනේ කොච්චර එකක්ද ඉතිං ආපු එක…මහන්සිත් ඇතිනෙ…එහෙනං මං ඉක්මනට තේ ටිකක් ලෑස්ති කරන්නංකො”
“මෙහෙ පොල් ගස් නෑ නේද…මං පොල් ටිකකුත් ගෙනාව…කමක් නෑ නේද අම්මෙ…”
ඔහු එහෙම කතා කරනකොට අකමැති වුණත් අම්මා කොහොම එසේ කියන්නද? දඟකාර යෞවනයෙකු සේ විහාර යළි රිය වෙතට ගියේ ය. රිය පිටුපස දමා තිබූ පොල් ගෝනිය බිමට බාත්දී මම ඔහු ළඟ ම වීමි. ඇයි මෙහෙම කරන්නේ කියා අසා ගන්නට මට ඕනා විය. නමුත් මගේ මුවින් වචනයක් පිට වූයේ නැත. සමහර එහෙම මොහොතවල් තිබේ. සිතිවිලි කෝටි ගණනින් සිතේ තෙරපෙත්දීත් ඒවා වචන බවට පත් කර ගත නො හැකි මොහොතවල් තිබේ. මට මේත් එවන් අවස්ථාවකි.
තාත්තා නික්ම ගියාට පස්සේ අප ගැන හොයා බලන්නට කෙනෙකු වූයේ ම නැත. ඉඳහිට මව් පස ඥාතියෙකු පැමිණ ගියාට ඒවා හදවතට සමීප බැඳීම් සේ නො දැනුණ බව මට විශ්වාස ය. මා තරමක් දැනුම් තේරුම් ගෑනු ළමයෙකු වත්දී අම්මා ගැන ඒ තරම් හොයා බැලුවේ අපට දැනුණ තනි කම නිසා යයි සිතමි. මට පුළුවන් තරමින් එකල මම අම්මා ට උදව් කළෙමි. ඇය එම්බ්‍රොයිඩර් වැඩ කරත්දී, කොස්ස තරම් උස නැති දැරියක ලෙස ගේ දොර අතු පතු ගෑවෙමි. උයන්නට පොල් බෑයක් ගා තැබුවෙමි. ඇය හදිසි වැඩ ගොඩකට හිර වී ඇති වෙලාවක හාල් ටිකක් සෝදා ළිප තබන්නට තරමින් මනසින් වැඩුණු දැරියක වීමි. කඩ පිලට හෝ පොළට ගිය දාක මල්ලේ බර තනිව අම්මාට දරන්නට නොදී පොඩි කමට යම් කිසි බරක් ඇගෙන් ඉල්ලා ගන්නට මම පුරුදු වී සිටියෙමි. තාත්තා නැති වූවා වාගේ මට අම්මාත් නැති විය යුතු නැත වැනි අදහසක් ඒ සියලු තැන් හි වූවා ද කියන්නට හරියට ම මා දන්නේ නැත.
ගෙදර පිරිමියෙකු නොවීමේ අඩුපාඩුව වඩාත් තදින් මට දැනුණේ කවදා දැයි රේඛාවක් ඇඳ මායිම් සලකුණු කොට පෙන්වන්නට පුළුවන් කමක් නැත. නමුත් මතක ඇති කාලයක පටන් එහෙම අඩුවක් අපට දැනුණු බව මට මතක ය. පිච්චුණ විදුලි බල්බයක් මාරු කර ගැනීම, කැඩුණු පයිප්පයක් සකසා ගැනීම, උස අත්තක වන ගෙඩියක් කඩා ගැනීම මතු නොව වෙසක් පෝයට අටපට්ටම් කූඩුවක් සදා ගැනීම වගේ පිරිමි මූලිකත්වයකින් කෙරෙන කටයුතු පවා ගැහැනු අප දෙදෙනාට ම කෙසේ හෝ කර ගන්නට සිදු වෙත්දී තුනී වේදනාවක් නිරන්තර හිත පත්ල පහුරු ගාන්නට ඇත. නමුත් පැමිණිලි කරන්නට කිසිවෙකු සිටියේ නැත. ගතු කියන්නට කෙනෙකු වූයේ නැත. අපේ දේවල් අපට ම කර ගන්නට සිදු විය. අපව අපට ම බලා ගන්නට සිදු විය. අම්මා ට වඩා උසින් ඉහළට යත්දී හා අපට උරුම ජීවිතය ගැන අවබෝධ වන්නට වෙත්දී අම්මා බලා ගැනීමත් මගේ වගකීමක් ය කියා සිතන තත්වයකට මම පත්ව සිටියෙමි. රෑ මැදියමක නිවසින් පිටත ආගන්තුක හඬක් ඇසුණ වෙලාවක පවා වටේම විදුලි පහන් දල්වමින් මා ජනේලයකින් මිදුලට කොකම් පෑවේ තාත්තා කෙනෙකු හෝ පිරිමි සහෝදරයෙකු නොවීමේ අඩුව හදවතින් දරා ගෙන මුත් ඒ ගැන මැසිවිලි නො නගමින් ය.
ජීවිතය මැද්දේ එහෙව් හුදෙකලා වීමක උන් අප දෙදෙනා ගේ පුංචි ලෝකය වෙත විහාර ඔසවා තැබූයේ පොල් ගෝනියක බරක් නොවේ. මහමෙරක බරකි.