Vintage Eyes -25

ඉනික්බිති, නිසංසලේ ගලන ගංගාවක් සේ ජීවිතය හෙමිහිට ගලා බසින්නට ගති. ගල් කුළු මතින් පනිමින් ද රළු කටුක මං පහු කරමින් ද ගලා ආ කෙටි කලකට පසු ගිමන් නිවන්නට ඒ කලබල නැති තැනිතලා ගමන හේතු වාසනා වූයේ ය. නූරි ගේ දික්කසාදය ඉදිරියේ වූ ලොකු ම කම්පාව ඇගේ මව් පියන් ය. විවාහ වී මාස කිහිපයක් තුළ දියණියක ඒ විවාහය බිඳ ගෙන මහ ගෙදර පැමිණීම සම්ප්‍රදායික පෙරදිග සමාජයට ඉහිළුම් නො දෙන්නකි. නූරි ගේ මව් පියන්ටත් වූ බරපතල ගැටළුව දියණිය යළි පිළිගැනීම නොවේ. සමාජයට මූණ දීම ය. ඥාතීන් හා අසල් වැසියන් අසනා ප්‍රශ්න වලට පිළිතුරු දීම ය. 

“අම්මල උත්තර දෙන්න යන්නෙපා. මං ඒක කරන්නං. ලැජ්ජ වෙන්න ඕනෙ වැරැද්දක් නොකරපු අපි නෙවෙයි. ඒ වැරැද්ද ප්‍රතික්ෂේප කරපු එක ගැන මං මගෙ ගැන ආඩම්බරයි”

නූරි හිස කෙළින් තබා ගෙන කීවා ය. 

සැබවින් ඇය ඒ සිදු වූ දෙය ඉත සිතින් භාර ගත්තා ය. නූරි මිගාර සමග විවාහයට එකඟත්වය පළ කරන්නට හේතුව තේජාන් ගේ පමාව නොවේ. ගෙදරින් එල්ල වූ පීඩනය ය. එතැන දී ඇය ඇගෙන් ම පළි ගන්නට ඒ විවාහය තෝරා ගත් අතර, ඉන් ප්‍රතික්ශේප වීම ඉදිරි මුළු අනාගතය කෙරේ ම ලැබුණා වූ නිදහසක් ලෙස පිළිගත්තා ය. නීත්‍යානුකූල ව වෙන් වීම සඳහා එකඟතාවය ලබා දෙමින් ඇය වෙනුවෙන් නඩුවට පෙනී සිටින්නට නීතීඥ වරියක තෝරා ගත්තා ය.

යළිත් අප ඉදිරියේ වූයේ ඊට මාස හත අටකට පෙර පැවතියා වූ සරල සැහැල්ලු ජීවිතය ය. වැඩි වී තිබුණේ වැඩ පමණකි. අපට අතහැරී, මිටින් ගිලිහී ගිය දේවල් ගැන මතකයන් නොවූවා ම නොවේ. නමුත් හැකි තරම් ඒවා ගැන කතා නොකර ඉන්නට අපි ප්‍රවේසම් සහගත වීමු. ඇය තනිව තේජාන් එක්ක ද මා තනිව විහාර එක්ක ද අපේ මනස් ලෝක තුළ හුදෙකලා වන්නට ඇත. අපේ ම හිත් හූරා තුවාල කර ගෙන ඒ රිදුම් වලින් තනිව ආශ්වාදයක් ලබන්නට ද ඇත. නමුත් කතා කිරීමෙන් අනෙකා ගේ හිත පෑරෙතැයි බොරු බියක් ඇති කර ගන්නට ද ඇත.

නංගී ගෙන් මට දුරකතන ඇමතුමක් ආවේ ඔය වගේ කාලයකදී ය. ඊට පෙර නො ගිනිය හැකි තරම් වාර ගණනක් මම ඇගේ දුරකතනය අංකනය කළෙමි. නමුත් ඒ කිසිදු අවස්ථාවක එය සම්බන්ධ කර ගත නො හැකි වූයේ ය. හමු වූ ගමන් ම ඇය ද මට අහිමි වූවා යයි මම සිතා ගෙන සිටියෙමි.

“අක්කෙ මං ඔසඳි. මට ඔයාට කතා කරන්න බැරි වුණා. මගෙ ෆෝන් නම්බර් එකත් වෙනස් කරලයි තියෙන්නෙ”

එසේ කියා ඇය මට කතා කරන වෙලාවේ දැනුණ සැනසුම් සහගත හැඟීම කුමක් ද කියා ඔබට කිව නො හැකි තරමි. මම ලොකු සුසුමක් හෙළුවෙමි.

“දෙයියනේ…ඔයා එහෙනං කතා කළා. මං කොච්චර ට්‍රයි කළාද ඔයාව කන්ටැක්ට් කර ගන්න”

“අක්කට මාව මතක් වුණා කියල අහන්න ලැබුණ එකත් කොච්චර දෙයක්ද…මං හිතුවෙ මටයි කියන්න කවුරුවත්ම ඉතුරු වෙලා නෑ කියලයි”

“නිකමටවත් අලුත් ෆෝන් නම්බර් එක මට එවන්නෙපැයි. හරි කමක්නෑ. දැන් ඉතිං ඔයාව හම්බුණානෙ”

“මං අක්කව හම්බ වෙන්න එන්නද…අද…”

“එන්න. මං විශ් යූ එකේ ඉන්නව”

“ඇවිත් විස්තර කතා කරමු අක්කෙ”

දවල් ගිනි අව්වේ කුඩයක් ඉහළා ගෙන විඩාපත් ස්වරූපයකින් ඇය විශ් යූ වෙත ආවා ය. සැබවින් මට ඒ නංගී බව හැඳින ගත හැකි වූයේ සමීපයට ම පැමිණි පසු ය. යෞවනියක ගේ මුහුණක තිබිය හැකි සැහැල්ලු ප්‍රීතිමත් බව වෙනුවට මට ඇය තුළින් පෙනුණේ වියපත් ගැහැනියක ගේ වෙහෙසකර මුහුණකි. 

“මට වතුර එකක් දෙන්න අක්කෙ”

මිදුලේ පුටුවක හිඳ ගනිමින්, අවිහිංසක සිනහවකින් ඇය ඉල්ලා සිටියා ය. මම ඉක්මනට විශ් යූ තුළට දිව ගොස් ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් නවා ගෙන ඇය වෙත ගෙන ගියෙමි. ඔසඳි එය එක හුස්මට හිස් කළා ය. ඇය කෙතරම් පිපාසයකින් හිඳින්නට ඇත්ද? මමත් නූරිත් මූණෙන් මූණ බලා ගතිමු.

“තව එකක් ගේන්නද නංගි…”

එසේ ඇසුවේ නූරි ය. නංගී මන්දහාසයකින් වීදුරුව ඇය වෙත පෑවා ය. මොහොතකින් තවත් වතුර වීදුරුවක් ඇය අතට පත් විය. එය හිස් වූයේ කලින් එක තරම් ඉක්මනින් නොවේ. නංගී ඉන් උගුරු කිහිපයක් හෙමි හෙමිහිට බීවා ය. 

“කතා කරන්නකො. මං නංගිට බොන්න ජූස් එකක් ලෑස්ති කරන්නං”

කියා ගෙන නූරි ඇතුළට ගියා ය. මම නංගී ළඟ අනිත් පුටුවේ අසුන් ගතිමි. ඇය ලැජ්ජාශීලී මලානික සිනහවක් පෑවා ය.

“මොකද වුණේ නංගි…ඔයාට හරිම ටයර්ඩ් පාටයි”

මා කතා කළේ කාලයක් තිස්සේ මාත් එක්ක ම ජීවිතය බෙදා හදා ගත් සොයුරියකට තරම් දයාර්ද්‍රව ය. ඒ මගේ කම කොහොම උපන්නා ද කියා සිතා ගත නො හැකි ය. ලේ බැඳීම් කියන්නේ එහෙම දේකට විය හැක.

“වෙන්න තියන සේරෝම දේවල් වුණා අක්කෙ”

මඳහසකින් ඇය එසේ කීවේ අලුත් ගින්නකින් මා දැවී යත්දී ය.

“ඒ කිව්වෙ…”

“ඒ කිව්වෙ…ඔයාගෙ ඉස්සරහ මේ ඉන්නෙ මාස තුනක දරුවෙක් බඩේ තියා ගත්ත අම්ම කෙනෙක් අක්කෙ”

“මොකද්ද…”

එය නිලංකාර වීමකි. කන් අගුලු වැටුණා සේ දැනිණ. මගේ උගුර කට වියළී යන්නට විය. 

“මං අම්මට කිව්ව මාව අක්කලගෙ ගෙදර නවත්තල යන්න කියල. ඒත් ලක්ෂෙකුත් දීල දම්මි පුංචිලගෙ දිහා නතර කළා. සතියක්වත් මට එහේ යහතින් ඉන්න හම්බ වුන්නෑ. අර බාප්ප කියන මිනිහ රෑට එනව කාමරේට. අප්පිරියයි අක්කෙ මට. ඒත් යටත් වෙනව මිසක් සටන් කරන්න තරං හයියක් මට තිබුන්නෑ. පුංචිට කිව්වොත් මරණව කිව්ව. අම්මට ඒව නොකියා කිව්ව මං කාමරයක් කුළියට අරං නවතින්නං සල්ලි එවන්න කියල. ඔය අතරෙ එක පාරටම මට වමනෙ යන්න ගත්ත. පණ නැතුව කලන්තෙ දාල වගේ වැටිල ඉන්නකොට පුංචි ළග දොස්තර කෙනෙක් ළඟට අරං ගියා. එයා තමයි කිව්වෙ බඩට දරුවෙක් ඇවිත් කියල. දඩාවතේ ගිහිං මං ළමයෙක් හදං ඇවිත් කියල පුංචි මාව ගෙදරින් දොට්ට දැම්ම. එයා පිළිගත්තෙ නෑ එයාගෙ මනුස්සය එහෙම කළා කියල. පිළිගත්තෙ නැතුවද මට එහෙම පෙන්නන්න ඕන වුන්නැතුවද මන්ද. පස්සෙ කාමරයක් හොයා ගත්ත. අම්මත් වැරදි කියන්නෙ මට. මේව තනියම හිතේ තියං ඉන්න බැරි නිසයි අක්කව හොයං ඇවිත් කියනව කියල මං හිතුවෙ. අපිට මේ පලදෙන්නෙ ඕගොල්ලොන්ට කරපුව වෙන්නැති අක්කෙ. දෙමව්පියන්ගෙ වැරදි දරුවො පිටින් යනව කියන්නෙ නිකං නෙවේනෙ”

ඇය කියවා ගෙන ගියේ කිසිදු හැඟීමක් නැති වියළි ස්වභාවයකිනි. නමුත් ඇය වෙනුවෙන් මගේ ලේ කකියමින් තිබිණ. ඒ මගේ නංගී ය. එක මව් කුසයක් යහන කොට නො ගත්ත ද අප දෙදෙනා එක ම පියෙකුට දාව උපන් සොයුරියන් ය. ඇයට විපතක් වෙනවා කියන්නේ මට රිදෙනවා කියන එකට ය.

“ඉතිං දැන් ඔයා මොකද්ද කරන්න හිතං ඉන්නෙ…”

“මට මොනාත් හිතෙන්නෑ අක්කෙ..මොනා කරන්නද කියල තේරෙන්නෑ. අයිසීටී කෝස් එකකට ෆීසුත් ගෙව්ව. ඒත් පහුගිය ටිකේ යන්න බැරි වුණා. යන්නෙ කොහොමද ඉතිං…ඉස්සරහට කොහොමත් යන්න බෑනෙ බඩකුත් උස්සගෙන. අම්ම කියනව වෙන කරන්න දෙයක් නෑලු…බබා හම්බුණාම කාට හරි දීල මටත් මිඩ්ල් ඊස්ට් එන්නලු. රස්සාවක් කරල කීයක් හරි හොයා ගන්න…”

“අනේ…ඉතිං ඔයා එහෙම කරන්නද හදන්නෙ…”

“වෙන මොනා කරන්නද අක්කෙ…මං කොහොමද කියන්න තනියම ළමයෙක් හදා ගන්නෙ…කවුද මට ඉන්නෙ…මං ඉස්කෝලෙ ගිහිං ඉවර වුණා විතරයි. බලාපොරොත්තු කොච්චරක් කියල තිබුණද…තාත්ත හිටියනං කීයටවත් මෙහෙම වෙන්නෙ නෑනෙ අක්කෙ”

ඇය එසේ කීවේ සිනහවකට අරාඳිමින් වී ද ක්ෂණිකව කඳුළු බර වූයේ මා ය. එක ම මොහොතක අප දෙදෙනා ම සුසුමකින් මිදුණෙමු. 

අපට ප්‍රශ්න නැතිවා නොවේ. අනුන්ගේ ප්‍රශ්නත් හිස මත පටවා ගෙන වද වන්නට නො හැකි තරමට ජීවිතය අපටත් බරට දැනෙන බව ඇත්ත ය. නමුත් මගේ ම නංගී කරදරයක් වී මගේ දෙපා ළඟට පැමිණි කල කොහොම මම අහක බලා ගන්නෙම් ද? ඇයව ස්කූටියෙහි තබා ගෙන දිවා ආහාරය වෙනුවෙන් ගෙදර ගිය මම අම්මාව පසෙකට කොට රහසින් නංගී ගේ තත්වය පැවසීමි.

“අපිට බැරිද අම්මෙ එයාට උදව්වක් ඕන මේ වෙලාවෙ අපිත් එක්ක එයාව නතර කර ගන්න…ඒ ප්‍රශ්න ටික විසඳගන්නකල්…තාත්ත වෙනුවෙන්…”

අම්මා මගේ ඇස් මගහැරියා ය. 

“බඩදරු බැල්ලියෙක් බැළලියක් ගෙට ආවත් පන්නගන්න ගෑනියෙක් නෙවේ බබා මං. ඔහෙ හිටපුදෙං”

අපට සංවේදනය වෙමින් පැවතියා වූ සියල්ල ස්ත්‍රීත්වයට සමීප වූ හැඟීම් කියා සිතමි. ගැහැනුන් වශයෙන් තවත් ගැහැනියකට මග වරදිත්දී ඉවත බලා ගන්නට බැරි කමක් එතැන විය. ඒ ඉක්මවන සහෝදර හැඟීමක් මට වන්නට ඇත.

නංගීට කන්න බොන්න හා මාරු කර ගන්නට ඇඳුම් ද දී මා යළි විශ් යූ වෙත ආවේ බර වූ හදකින් ද සැහැල්ලු වූ හදකින් ද කියා වෙන් කොට ගත නො හැකි ය. අඩු ම තරමින් මට හැකි රැකවරණයක් ඇය වෙනුවෙන් සැලසිය යුතු ය. ඇගේ දරුවා ගේ ලොකු අම්මා මම ය යන සත්‍යයෙන් ගැලවී ගත නො හැකි ය. 

අනිත් අතට මේ සියල්ල ගැහැනුන් වී ඉපදුණු නිසාවෙනි. නූරි ට දරුවන් නැත කියා හංවඩු ගසා  විවාහයෙන් ද දොට්ට දැමිණ. නංගී විවාහයක් නොවී ම පිරිමියෙකු ගේ පාප කඳට කර ගසා දරුවෙකු කුසයට ගෙන තිබේ. තව ටික දිනකින් ඇගේ කුස මෝරත්දී සමාජය ඇයට ද පියෙකු නැති දරුවෙකු හැදූ නියාවෙන් ගල් ගසනු ඇත. මේ වෙලාවේ අපට ඇත්තේ අපේ හිත් වල ආදරය විතර ය. අපේ අත් වල හයිය විතර ය. නංගීවත් දරුවාවත් මොන ගැටළු මතු වුවත් ආරක්ෂා කරමියි මම තදින් සිතා ගතිමි.

“ඔව් අපි පොඩි එකාව හදමු. ඇයි අපිට බැරි…ඔයාගෙ අම්ම තනියම ඔයාව හැදුව වගේ…අපි ඔක්කොටම එකතු වෙලා ඒ අසරණයව හදාගන්න බැරි ඇයි…”

නූරි ද මගේ පැත්තේ සිටීම මට සවියක් විය.

ඒ දවස අමුතු එකකි. දවාලේ ගිනි ගනිමින් තිබි අහස එක වර කළු වලාකුළු වලින් ගහන ව බෝ ගස් හන්දිය අඳුරෙන් පිරී යන්නට විය. දුහුවිලි අවුස්සා ගෙන වැලි සුළඟක් හමා ගියේ ය. හන්දියේ කඩ දොරවල් අඩ වශයෙන් වැසී වැස්සට සූදානම් විය. කඩ දොරකඩ ගොඩ ගසා තිබූ බඩු මුට්ටු ලහි ලහියේ ඇතුළට ගැනිණ. ඒ වෙනුවට මම මල් බඳුන් වැස්සට තෙමෙන සේ අහසට නිරාවරණය කළෙමි.

“දුරයි ඔබ මට ජීවිතේ…කලා සපුරන සඳ වගේ…”

මගේ මුවින් කැඩි කැඩී ගීයක කොටස් මිමිනිණි. විහාර වෛශාක්‍ය අමරසිංහ ගේ හිත කීරි ගස්වනා පද!

“අහස දිග සක්මන් කරන සඳ…හිතේ ඇවිදින ඔබ වගේ…”

දුහුවිලි සුවඳ අවුස්සමින් වැහි බින්දු මොර ගෙඩි වාගේ පතිත වන්නට විය. වැස්සට පෙර ගෙදරට දිව එන්නම් කියා නූරි ඊට මොහොතකට පෙර මිදුලට පැන්නා ය. දැන් ඉතින් කුඩයක් යටින් මිස ඇය ට පැමිණිය නො හැකි වනු ඇත.

මම විහාර දුන් කවි පොතක් පෙරලා ගෙන මේසය මත කම්මුලක් තියා ගතිමි.

“සිඟමන් යදින්නට ආදරේ…පොහොසත් වැඩියි ඔබෙ මන්දිරේ…”

ගීයේ කොටස් තවමත් මුවග විය. පොත මූණ මත තියා ගෙන මම ඇස් පියා ගතිමි.

“බිම බලා ගන්නෙමි ජීවිතේ…ඉරණම මෙයයි සංසාරයේ…”

මට දැනුණ ඉව කුමක්ද කියන්නට නො දනිමි. එය දැනුණේ නහයට ද දෑසට ද නැත්නම් හදවතට ද කියන්නට ද නො දනිමි. මුහුණ වසා ගෙන තිබි කවි පොත පසෙකට දමමින් දෑස් විවර කළෙමි. අත් දෙක කලිසම් සාක්කු වල ඔබා ගත් විහාර වෛශාක්‍ය අමරසිංහ මදෙස ම බලා ගෙන සිටියේ ය. මගේ ඇස් ලොකු වෙන්නට ඇත. මම පුටුව පෙරළා ගෙන නැගී සිටියෙමි. ඒ ඇත්ත විහාර ද නැත්නම් මායාවක් ද කියන සැකය හෝ බිය මට දැනුණා දැයි නිශ්චිත නැත. නමුත් මගේ හදවත අධි තීව්‍රතාවකින් ස්ඵන්දනය වෙන බවක් නම් මට හොඳට ම දැනිණ. ඔහු ගේ දෙතොල් මත්තේ එක සිනහ බින්දුවක් හෝ වූයේ නැත. මුහුණේ වූයේ හඬන්නට ඔන්න මෙන්න වාගේ පෙනුමකි. ඇසිල්ලකින් මට කෑ ගැසී හැඬිණි.

“ඇයි එහෙම කළේ…ඇයි එක කෝල් එකක් දෙන්න බැරි වුණේ…අඩු තරමින් එක මැසේජ් එකක්…මං හොඳින් ඉන්නව කියල විතරක් කියල එව්වනං ඇති නේද…ඇයි ඒකවත් කළේ නැත්තෙ…”

කියමින් මා ඔහු ගේ කමිස කොලරයෙහි එල්ලී ගෙන යක්ෂාවේශයෙන් කෑ ගසන්නට වීමි. දෙඋරහිසින් අල්වා සොලවමින් බෙරිහන් දෙන්නට වීමි. එක වචනයක් හෝ කතා නො කළ විහාර අර උන්මන්තක ඇස් දෙකෙන් මදෙස බලා ගෙන විතරක් හිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles