ආයෙමත් වසන්තය පායා ඇවිත් තිබිණ. හැම ගහක ම මල් පිපුණේ ය. හැම මලකට ම පැහැයක් තිබුණේ ය. වනස්පති බිංගෙය මත්තෙන් තුරු වියන තව තවත් දලු ලා වැඩිණි. හිතේ කොහේ හෝ ඈතක සංවේගයක සන්තාපයක සෙවනැලි මාත්‍ර සෙලවෙමින් තිබුණා වී ද අපි ඒවා ගැන නො සිතා මේ මොහොත තුළ ජීවිතයේ පරමානන්දය විඳ ගතිමු.
නංගී ආවාට පස්සේ අපේ ගෙතුළ ජීවී බව වැඩි වූයේ ය. වෙනදාට අප දෙදෙනා වෙනුවෙන් යමක් රත් කරන්නට වීම ගැන කම්මැළි කමෙන් හිතූ අම්මා උනන්දුවෙන් කෑම පිසුවා ය. නංගී ගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩි වැඩියෙන් සිතමින් පෝෂණ ගුණය ඇති ආහාර වර්ග ගැන අවධානය යොමු කළා ය. නංගී ගෙදර වැඩ සියල්ල සොයා බලා කළා ය. ඒ නිසා අම්මා ට එම්බ්‍රොයිඩර් වැඩ කර ගන්නට වැඩි කාලයක් ලැබිණ. හැන්දෑවට ගෙදර ගොස් කරන්නට මට ද වැඩක් නොමැති වූයේ ය. මා ගෙදර යන්නට පෙර නංගී ඒ සියල්ල ඉටු කොට තැබුවා ය.
“ඔයා වැඩ කරන්න මහන්සි වෙන්නැතුව ඉන්න. මට ඇවිත් හැන්දෑවෙ වැඩ ටික කරන්න පුළුවන්නෙ”
මම ඇයට දෙතුන් වතාවක් ම කීවෙමි. එතකොට නංගී අහිංසක ලෙස සිනහ වෙයි.
“මොනාද අක්කෙ මේව අමාරු වැඩද…අනිත් එක ඔයා දවසම මහන්දි වෙලා එන කෙනා. මේ නිකං ඉන්න මට ඔය පොඩි වැඩක් කරන්න බැරිද..අනිත් එක මං ආසයි මෙහෙම පිළිවෙලට තියන ගෙදරක වැඩක් පලක් කරන්න. අපි හිටියෙ ගෙවල් කිව්වට ගෙවල් වල නෙවෙයි. ඒව අපිළිවෙල ගුබ්බෑයං…කිළුටු ගඳ ගහන මුඩුක්කු. අපේ අම්ම කවදාවත් පිරිසිඳුවට ගෙවල් තියා ගත්තෙ නෑ. මට එහෙම දෙයක් පුරුදු කළෙත් නෑ. මෙහෙම ගෙයක් ඇතුළෙ ජීවිතේ මොන තරං සැනසිල්ලක්ද…”
අම්මා ද නංගී නිසා ප්‍රීතිමත් වෙන හැටි මම බලා සිටියෙමි. දිවා ආහාරය වෙනුවෙන් හෝ හැන්දෑවට වැඩ නිම වී හෝ ගෙදර එන මා දකිනුයේ අම්මා හා නංගී වැඩක යෙදෙමින් ම කතා කරමින් සිනහ වෙමින් සිටිනා දසුන ය. නංගී නිසා අම්මා ගේ හුදෙකලාව නිවී යන්නට ඇත. දවල් දවස පුරා ඇය හා දොඩමළු වෙමින් ද දැවටෙමින් ද සිටින්නට කෙනෙකු ලැබීම නිසා ඇය ප්‍රීතිමත් වූවා ය.
අම්මා නංගී ට එම්බ්‍රොයිඩර් මැස්මක් කියා දෙන හැටි ඉඳහිටක මම දකිමි. ඒ කිසි දා ක මට ඉගෙන ගන්නට නො සිතුණ දෙයකි.
“ආ…අම්ම දැං ගෝලයෙකුත් හදනව වගේ”
එවැන්නක් දුටු වෙලාවක මම කීවෙමි. අම්මා මඳහස පෑවා ය. නංගී ගිරවියක සේ කියවූවා ය.
“අම්ම මට ටික ටික කියල දෙනව. තාම මුල් පාඩං. මං ඉක්මනට වැඩේ අල්ලගනී කියල අම්ම කියනව”
අපට තිබුණේ ගල් කුළු මතින් කඩා වැටෙමින් බාධක මධ්‍යයේ ගලා ගිය ජීවිත ය. එහෙව් ගමනකට තැනිතලාවක සුමුදු ලෙස ගලා යාමක අවශ්‍යතාවයක් තිබෙන්නට ඇත.
විශ් යූ වෙත පැමිණ, ගිමන් නිවා ගෙන යළි එන්නම් කියා නික්ම ගියාට දෙදිනක් ගත වෙන තුරුත් විහාර යළි නාවේ ය. ඔහු එතැයි මා බලා සිටි බව ඉඳුරා කිව හැක. ඔහුත් එක්ක එක්ව ගත කළ හැකි දිවියක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තබා ගත යුතු නැතැයි ඔහු ඉඟි කොට ගිය ද බලා සිටිනා එක නවතා ලිය හැකි නොවිණි.
“තවත් නිතර නිතර මෙහෙ ඇවිත් ඔයාට ඕන නැති තරං බලාපොරොත්තු දෙන්නෙ මොකටද කියල කොල්ල හිතනව ඇතිනෙ. එක අතකට ඒක සාධාරණයි. මේ රිදිලි වලත් සීමාවක් තියෙන්න ඕනනෙ ශිකී”
මා මග බලන බව දුටු වෙලාවක නූරි කීවා ය. බලා හිඳීම් වුණත් පුපුරා යන වෙලාවක් තිබිය හැක. විහාර විදේශ ගත වී සිටියදී වූ දරා ගැනීම තව දුරටත් පවත්වා ගන්නට මට නො හැකි වූ අවස්ථාවක් උදා වූයේ ය. ඒ වෙලාවේ වහා විශ් යූ වලින් පිටතට විත් මම ස්කූටිය මත නැගුණෙමි.
“ශික්කා”
නූරි ගේ හඬ ඇසුණේ මා හෙල්මට් එක පළඳිත්දී ය. මම ඈ දෙස බලා ඇස් වලින් යමක් කියන්නට උත්සාහ කළෙමි. මා මේ ගමන නොයා බැරි බව ඇය වටහා ගන්නට ඇත.
විහාර වෛශාක්‍ය අමරසිංහ ගේ වින්ටේජ් මන්දිරය ඉදිරියේ බයිසිකලය නවතා ගෙන මම මඳක් කල්පනා කළෙමි. නමුත් මේ ගමන නොයා සිටිය නොහැකි ලෙසට හදවත මුරණ්ඩු වී තිබිණි. විවර ව පැවති ගේට්ටු පියන් අතරින්, ගල් පතුරු ඇතිරූ මං පෙත දිග මම හෙමිහිට ස්කූටිය පැද යන්නට වීමි. මේ දෙතුන් දින වරින් වර වැසි වසින්නට වූ නිසා දෝ මං පෙත දිග අලුතෙන් රේන් ලිලී ඇස් ඇර තිබුණේ ය. පෝටිකෝව තුළට ම යන්නේ නැතිව මිදුලේ ස්කූටිය නතර කොට මම හෙමිහිර ආලින්දයට කර පෙවීමි. විහාර කවිච්චියක වැතිර සිටියේ ය. ඔහු ගේ එක අතක් වැලමිට ළඟින් නවා මුහුණ වැසෙන සේ තබා ගෙන සිටියේ ය. ලෙමන් පුසුඹ පවනැල්ලක වෙලී පා ව ආවේ ය. කවිච්චිය අසල වන කනප්පුවක් මත බෝතල හා වීදුරු කිහිපයක් තිබිණි. මම ලොකු හුස්මක් ගෙන එහෙම ම එය අත්හැර දැමුවෙමි. ගෘහ සේවකයා ගෙතුල සිට ඉස්සරහා පැත්තට ආවේ මගේ සුසුම් හඬට ද කියා මට සිතුණ තරම් විය.
“කහපාට ඉස්කූටරෙන් එන මිස්නෙ”
මා දුටු ඔහු ට සිනහවකින් එහෙම කියවිණ.
“මේ මොකද අංකල්…විහාර බීලද මේ…”
මා ඇසුවේ හෙමිහිට ය.
“බීලද කියන්නෙ මිස්…නාල නැති ටික විතරයි ඔය විස වතුරෙං…එදා රට ඉඳං ඇවිත් කොහෙටද ගිහිං ආව…ඒ වෙලාවෙ ඉඳං වෙන දෙයක් කළේ නෑ…බොන එක විතරයි කළේ. බොනව…බීල බීල එහෙමම වැටිල නිදියනව…මං වදෙං පොරෙං බත් කටවල් දෙක තුනක් කවා ගන්නව බොහොම අමාරුවෙං…අනේ මටත් දැන්නං මේව බලං ඉන්න බැරි තරමයි මිස්. මහත්තය ඉස්කෝලෙ යන කාලෙ මං මේ ගෙදරට ආවෙ. ලොකු මහත්තය මාව වැඩට ගත්තෙ මේ මහත්තය වෙනුවෙංමයි. එදා ඉඳං මේ වහල යට මොන දේ සිද්ද වුණත් මේ බිත්ති වගේම මාත් බලං හිටිය. ඒත් දැන් තවත්නං බලං ඉන්න බැරි තරමයි මිස්. දමල ගහල යන්නයි මටත් හිතිල තියෙන්නෙ. මගෙ අත් දෙකෙං හැම දේම කරල බලා කියා ගත්ත හදා වඩා ගත්ත ජීවිතයක් මෙහෙම ඇස් පනාපිට විනාස වෙලා යනව බලං ඉන්න බෑ මිස්”
ඔහු දෙඩුවේ සැබෑ වේදනාවකිනි. මම ආලින්දය පුරා නෙතු දිවවීමි. විහාර ගේ මව හා පියා යයි සිතිය හැකි යුවළක ගේ කළු සුදු ඡායාරූප දෙකක් රාමු කොට ඉදිරි බිත්තියේ ගසා තිබේ. ඔහු ගේ දියණිය යයි සිතිය හැකි රෝස මලක් වන් දැරියක ගේ විවිධ වයස් වලදී ගත් ඡායාරූප වලින් එක බිත්තියක් ම වැසී තිබේ. එදා සාදයට ආ වෙලාවේත් අමේලි ගේ රූපය දැක ගන්නට මගේ ඇස් එහෙ මෙහෙ දිව්වේ ය. නමුත් මට එවැන්නක් සොයා ගත නො හැකි විණ.
“මට දෙහි ගෙඩියක් කපල දෙන්න අංකල්”
එහෙම කියාගෙන මම විහාර වෙත සමීප වීමි. ඔහු ගේ මූණට වැටී තිබි හිස කේ පිටුපසට වන සේ හිස පිරිමැද්දෙමි. විහාර ඇස් ඇර බැලුවේ ය. ඔහු කෙටි ඉක්මන් ඇස් පිය කිහිපයක් ම ගසා මා හැඳින ගත්තේ ය.
“ශික්…ෂා…ඔයා…මෙහෙ මොකද…”
මම හිස පිරිමැදීම නවතා අත් දෙක පපුවේ බැඳ ගතිමි. ඔහු කවිච්චිය මත කෙළින් වීමට උත්සාහ කළ ද එය පහසුවෙන් කර ගත නොහී පෙර ලෙස ම වැතිර ගත්තේ ය. මම ඔහු ට රැව්වෙමි. හිතේ වූයේ වේදනාව මුසු කේන්තියකි.
“ප්‍රශ්න විසඳගන්න පුළුවන් එකම විදිහ සිහි නැති කර ගන්න එකයි කියල හිතන මෝඩයංගෙ ගොඩේ ඔයත් ඉන්න එක ගැන මට ලැජ්ජයි අප්ප”
ඔහු සිනහවක් පෑවේ ය. මගේ පපුව හෝස් ගා දැවිණ.
“මං… හෙමිහිට එන්නං. ඔයා යන්න ශික්ෂා…ඔයා මෙහෙම… මෙහෙ එන එක ඔයාටයි …හොඳ නැත්තෙ…”
“ඒ පණ්ඩිතකංනං දන්නව. බීල බීල සිහි නැති කර ගන්නව කියන්නෙ ප්‍රශ්න වලට උත්තරයක් නෙවේ කියල දන්නෑ”
සේවකයා විසින් කපා බඳුනක දමා ගෙනැවිත් දෙන ලද දෙහි කැබලි කිහිපයක් මම විහාර ගේ හිසෙහිත් යටි පතුල් වලත් ඇතිල්ලුවෙමි.
“දෙහි ගාන්න එපා අනේ…බීපු එකෙං වැඩක් තියනවද එතකොට…”
විහාර සිනහ වෙන්නට අරාඳිමින් මිමිණුවේ ය. නමුත් ඔහු ගේ ඇස් කෙවෙනි වල කඳුළු කැටයක් තෙරපෙමින් තිබිණ. මඳ වෙලාවක දී නින්දට වැටුණා සේ ඔහු නිශ්චල විය. අවසාන දෙහි කැබැල්ලත් ඒ පතුලක අතුල්ලා මා ඒ පතුල තදින් සිප ගත්තේ ඒ වෙලාවේ ක්ෂණික ව උපන් හැඟීමක් පාලනය කර ගන්නට උත්සාහ නො කර ය. කොයි තරම් වැරදියි කියා දැන ගෙන සිටියත් ඒ වැරදි කරන්නට ම සිදු වෙන අවස්ථා ඇතැම් විට අපේ ජීවිත වලට උදා වේ!
“මං යනව. පරිස්සමට ඉන්න විහාර”
කියා ඔහු ගේ හිස පිරිමදිත්දී විහාර යන්තම් ඇස් හැර බැලුවේ ය. නැවත ද නෙතු පියා ගත්තේ ය.
“ඒගොල්ලන්ටනං මොකද…ප්‍රශ්න විසඳ ගන්න බැරිනං ඒව අමතක කරන්න සිහි නැති වෙනකං බොන්න හරි පුළුවං. ඒකට අපිට…අපි හැම දේම දැක දැක ප්‍රශ්න වලට සිහියෙං පිච්චෙන්න ඕනෙ. සිහියෙං…”
මා විශ් යූ වෙත ගොඩ වූයේ අඩි පොළොවේ හප්පා ගෙන ය. නූරි සන්සුන් ව විත් මා ඉදිරියෙහි හිඳ ගත්තා ය.
“කොච්චර වුණත් ගෑනුන්ට වගේ හිත් හයියක් පිරිමින්ට නෑ ශිකී. ඒකයි ඇත්ත. පිරිමින්ගෙ අත පය හයියයි තමයි. ඒත් පොඩි දෙයක්වත් හිතට දරා ගන්න බෑ. විහාරට හිතට අමාරු ඇති. ඒ කොල්ල හැම පැත්තෙංම හිර වෙලා. චුට්ටක් ඒකාව දරා ගන්න බලන්න ශිකී”
“මං දරා ගත්තෙ නැද්ද…තාමත් දරා ගන්නෙ නැද්ද…එයා මට අයිති නෑ කියන එක දරා ගන්න පුළුවන්. එයා එයාවම නැති කර ගන්න හදද්දි…තවත් දරා ගන්න පුළුවන්ද…”
එදා අපි තරමක් වේලාසන විශ් යූ වැසුවෙමු. පසු දා පාන්දරින් ම නූරි ට කේක් එකක් දමන්නට තිබිණි. විවාහ ගිවිස ගැනීමක් වෙනුවෙන් පැමිණෙන අමුත්තන් විසි විසි දෙනෙකු වෙනුවෙන් කැක්ටස් පැළ විස්සක ඇනවුමක් ද ලබා දිය යුතු ව තිබිණි.
තුනී හිස රදයක් ද දැනෙන්නට වූයෙන් ගෙදර ගිය ගමන් ම මම ඇඳට වැටුණෙමි. නංගී ඕඩිකොලෝන් බිඳක් හිස් මුදුණේ ගැල්වූවා ය. ඕඩිකොලෝන් සුවඳ මනස සන්සුන් කරවයි. මම මඳින් මඳ සැහැල්ලුවට පත් වෙමින් සිටියෙමි. ඒ අතරේ නිදි ලොව වෙත හෙමි හෙමිහිට මා අවතීර්ණ වෙමින් හිඳින්නට ඇත.
“අක්කෙ…අම්ම කතා කරන්න කිව්ව…අයිය කෙනෙක් ඇවිත්…”
නංගී මගේ අතින් අල්වා මා යළි පියවි ලොව වෙත කැඳවා ගත්තා ය. ඇඳෙන් බහිත්දී, කණ්ණාඩි මේසයේ කැඩපතින් එක මොහොතකට මට මා පෙනිණ. හිස කේ අවුල් වී තිබිණි ද මගේ ඇස් වල ඈත ගැඹුරක ආලෝක තිතක් දැල්වී තිබිණ.
විහාර අසුනක හිඳ සිටියේ ය. ඔහු දිය නා ගෙන නැවුම් වී ඇති බවක් බැලූ බැල්මට පෙනිණ. විහාර ඇස් වලින් සිනහ වූයේ ය. එතෙක් ඇතුළාන්තයෙහි දැඩි වී පැවති යමක් මෘදු වෙමින් මා සැහැල්ලුවට පත් වෙන බවක් දැනිණ. ඒත් මා සිනහවකට පිපෙන්නට හැරියේ නැත.
“ලංකාවට ඇවිත් ඉන්නෙ කියල බබා කිව්වම මං ඒත් බැලුව පුතා මේ පැත්තෙ ආවෙවත් නැත්තෙ මොකද කියල”
අම්මා කීවා ය. ඇය නිකමටවත් මගෙන් එවැන්නක් විමසූයේ නැත. නමුත් විහාර අපේ ගෙදර නො පැමිණීම අඩුවක් සේ ඇගේ හිතේ තියෙන්නට ඇත.
“වැඩ ටිකක හිටියෙ අම්මෙ”
මම රවා බැලුවෙමි. විහාර නො තේරුණා සේ ඉවත බලා ගත්තේ ය.
“මට මොනාත් ගේන්නවත් බැරි වුණා. එන ගමං ඩියුටි ෆ්‍රී එකෙන් මේ චොක්ලට්ස් ටික ගත්තෙත්. නූරිගෙ ටික එන ගමං දීගෙන ආවෙ…”
කියමින් ඔහු අත වූ බෑග් එකක් අම්මා ට දුන්නේ ය. එහි ‘රට සුවඳ’ කියා මා කුඩා කල පටන් හඳුනා ගෙන උන් සුවඳ වූයේ ය.
“තෑගිනං ඕන නෑ පුතා. ඇවිත් යන්න ආවෙ නැත්තෙ ඇයි කියලයි බැලුවෙ. ආපු එකේ කෑම ටිකක් එහෙම කාලම යමු…”
කියමින් අම්මා ගෙතුළට ගියා ය. නංගී ද ඈ අනුව ගිය අතර මා විහාර දෙස බැලූයේ යටැසිනි.
“සිහිය ඇවිත් නේ…”
ඔහු ට සිනා ගියේ ය. ඒ සිනහව මට මාවත් අමතක කොට දමයි.
“සිහිය…සිහිය නැත්තෙ මොකද…”
“සිහිය නැත්තෙ බීල නිසානෙ…මං ආව කියල දන්නවද…”
“මං බිව්වෙ නෑ ළමයො. ඔයා හිතන්නෙ මං අසිහියෙන් හිටිය කියලද…මට මුකුත් අමතක නෑ”
මවෙත පැමිණි ඔහු එසේ කීවේ මගේ ඇස් වලට එබී ගෙන ය. විහාර ඒ නො කියා කීවේ මා ඔහු ගේ පාද සිප ගත් බවත් ඔහු ට දැනුණු බව ද? ඔහු ට එය මතක බව ද? මම හිස වඩාත් බිමට හරවා ගතිමි. ඒ ඇස් මා වට කොට ගෙන ඇති බවක් දැනෙමින් තිබිණ.