මම වෙනම මලක් – 26

නිලුපුලී දවස ලිලී මල් පොකුරේ සුවඳ දින් කිහිපයක්ම වින්දා ය. මල් කල් තබා ගන්නා දියරයක් ඉස ඇය ඒ මල් පොකුර දින ගණනාවක්ම කාර්යාල මේසය මත තබා ගත්තා ය. ලිලී මලකින් හමන්නේ අපූරු සුවඳකි. එහෙත් ඇය ආසා කරන්නේ රතු රෝස මලකට ය.ඔහුට රතුරෝස රැගෙන එන්නට බැරි වුණේ ඇයි දැයි ඇය සිතුවේ වේදනාවෙනි.

“රතු රෝස දෙන්නෙ තමන් වැඩිපුරම ආදරය කරන කෙනාට. එහෙම එකක් මට දීලා හරියන්නේ නෑනේ. එයා මට මේ මල් දෙන්න ඇත්තේ හිතවත්කමට.”

ඇය අනතුරුව තීරණවලට එළඹියා ය. ප්‍රේමය රතු රෝස කිනිත්තක දැවටී තමන් වෙත නොඑන වග ඇය දනියි. ආදරය ලබන්නට ලොකු වාසනාවක් නැති තමා වැනි කෙල්ලකට මිත්‍රත්වයක නාමයෙන් ලැබුණු මේ ලිලී මල් පොකුර පවා මහා විශාල දෙයකි. ඇය ලද දෙයින් සැනසෙන්නට හිත හදා ගත්තා ය.

ඔබේ ආදර නිමල දියේ

සිහිලස ලද මං

තිබහට බොර වූ වතුරක්

බොන්න ද කෙලෙසින්”

ඇයට ඉතා හදිසියේ ඒ ගී පද සිහි විණ. ඇය සිටියේ ඒ ගැන සිතමිනි. ආදරයදැයි නොදන්නා නමුත් කළගුණ සලකන්නට හෝ දන්නා තරුණයෙකු ඇගේ ජීවිතයට අහම්බකාරකයකි. ඒ අහම්බකාරකය ගැන ඇයට කියන්නට අසීරු සිතුවිලි තොගයක්ම මල් පොකුර සමඟ එතී තිබේ. පර වෙමින් පවතින මල් වියලා තබන්නට ඇයට සිත් වූයේ ඒ නිසා ය. ඔහු ආදරය තවරා යැවූ මල් කළඹ කිහිපයක්ම කුණු කූඩයට වැටුණු කතාව ඇගේ හදවතේ රිදුම් ඇති කරන්නට සමත් වී තිබේ. අනෙක් අතට එක් මල් පොකුරක් විනාශ වී ගියේ ඔවුන්ගේ දෑස් මානයේම ය.

“මෙයාල එක එක කතා කිව්වට එහෙම හැමදාම මල් පොකුරු ලබන්න තරම් ඒ ගෑනු ළමයා කොච්චර වාසනාවන්තද? එයත් මලක් වගේ වෙන්නැති”

ඇයට එහෙම උපේකාට කියන්නට සිතුණේ ඇයිදැයි නිලුපුලීවත් දන්නේ නැත. නමුත් පැවසූ වචන නැවත ඇද ගන්නට නොහැකිකම නිසා ඇය ඇටි කෙහෙල් කෑ උගුඩුවෙක් මෙන් බලා සිටියා ය.

“ඒකිගෙ ඇති මල් කමක් නෑ අනේ. මලක් නෙවෙයි ඒ ගෑනි ගලක්.”

උපේකා කිසිම ගණනකට නැතුව පැවසුවා ය. නිලුපුලී සිටින්නේ විකුම් ගැන සිතමින් බව ඇයට වැටහෙයි. එය නොදන්නා ආකාරයට ඉන්නට උපේකා සිතා ගත්තා ය. නිලුපුලීගේ සිතට කිසිම ලැජ්ජාවක් ඇති වන්නට දිය යුතු නොවේ. ඇය විකුම්ට ආදරය කරනවානම් ඒ අදහසට පොහොර වතුර ටොන් පිටින් හලන්නට උපේකා ඉටා ගත්තා ය.

“ඔයා මලක් තමයි. ඔයා වෙනම මලක්. හැමදාම එකම ජාතියේ මල්වලටම තැනක් ලැබෙන්න ඕන නෑ. ඔයා වගේ වෙනස් මලකට වුණත් තැනක් ලැබෙන්න ඕන.”

එසේ පැවසූ උපේකා කතාවේ සැර මකන්නට සිතා ගත්තා ය. මොනවා වුණත් විකුම් ගැන ඕනෑවට වඩා පතරංග අදහස් නිලුපුලීට දෙන්නට ද ඕනෑම නැත.

“ඔයාට සල්ලිකාර කොල්ලෙක් ලැබුණත් නැතත් ඔයා දවසක බැබළෙනවා. ඔන්න බලන්නකෝ ඔයා මේ පාර කැම්පස් එකට සිලෙක්ට් වෙනවමයි. එතකොට ඔයාට කොහොමත් ඇවිදන් යන්න පාරක් තියනවා. අපි ඔයාට විකුම් සර්ව ඈඳලා විහිළු කරන්නෙ එයා සල්ලි කාරයෙක් හින්දානම් නෙවෙයි හොඳේ”

ඒ හැරෙන්නට අමුතුම රසායනයක් ඔවුන් දෙදෙනා අතර පෙනෙන වග උපේකා පැවසුවා ය. එය වචන කරන්නට හැකි දෙයක් නොවේ. නමුත් අමුතුම පන්නයේ දෙයක් විකුම් සහ නිලුපුලී අතර පෙනෙන්නට තිබේ.

නිමේෂාව හදවතින් බිම තබමින් විකුම් සිටියේ ද හිත හදා ගන්නා පරිච්ඡේදයක ය. මිතුරන් කියන පරිදි ඇති වෙන තුරු බීවාට හිත හැදෙන්නේ නැති බව ඔහු දනියි. නමුත් ඔහු ඒ ක්‍රමයට ද තව විවිධාකාර ක්‍රමවලට ද පුරුදු වූයේ ය. කිසිවක්ම සාර්ථක වූයේ ද නැත. එහෙත් නිලුපුලී හදවතට රිංගා ගත් දවසේ සිට සියල්ලම වෙනස් ය.

ආදරේ කියන මාතෘකාව ඉස්සරහ අපි මාර විදියට අසරණ වෙනවා.”

විකුම් හොඳම මිතුරා වූ නාරදට  එසේ පැවසුවේ කටුවක් ළයෙහි ඇනුණු තරම් දැනෙමින් තිබු වේදනාව දැන් විශාල තුවාලයක් වී ඇති හන්දා ය. ඒ වේදනාවේ මූලාරම්භය කොතැනදැයි ඔහු සිතී ය. ඔහුගේ මුල්ම ප්‍රේමය ප්‍රතික්ෂේප වූයේ ළාබාල වියේදී ය. ඒ වේදනාව කාලයත් සමඟ සමනය කරගන්නට විකුම් විශාල උත්සාහයක් දැරී ය.ඒ වේදනාව සමනය වන්නට තිබිණ. ඒ ඔහුට නිවැරදි ප්‍රේමයක් මුණ ගැසීමෙනි.නමුත් නිමේෂා ජීවිතය වඩවඩාත් සංකීර්ණ කිරීම නිසා සියල්ලම අවුල්ව ගිය බව ඔහුට වැටහේ.

“මං කෙනෙක්ට මේ මොහොතෙත් ආදරේ කරනවා. මේ වෙලාවෙ පවා මට තියන සහනේ එයා. ඒත් ඒ ළමයා ඒ ගැන වගක්වත් දන්නේ නෑ. අනිත් කාරණාව තමයි නිමේෂාව අත් ඇරුණු ගමන් තව තැනක පැටලෙන එක හොඳද කියලවත් මට අදහසක් නෑ.”

මිතුරාට අවංක වන්නට විකුම්‍ට ඕනෑ විය. ඔහු ඒ හන්දා අවංකව වචන ගැළපී ය. යම් මතකින් හිටියානම් මේ අදහස් මීටත් වඩා අවංක වෙන්නටත් තිබිණ. නමුත් මේ මොහොතේ පවා ඔහු සිටියේ ඕනෑම දෙයක් කියන තරමට හදවත බර කරගෙන ය.

“සමහර දේවල් කියන්න ඕන නෑ. අපිට ඒවා තේරෙනවා. මට හිතෙන විදියට උඹ ආදරේ කෙනා මම දන්නවා. ඕපාදූප කියන ඒවා ඉතිං තටු අරන් ඉගිල්ලෙන දේවල්නෙ මචං”

නාරද එසේ කියද්දි විකුම්ට පාසල් යෞවනයෙකුගේ තරමේ ලැජ්ජාවක් පවා දැනිණ. ඔහු ඉවත බලා ගත්තේ ය. ඔහුට මෙතැනින් එහා නිලුපුලී ගැන කියන්නට සිතෙන්නේ ද නැත.

“මං දන්නෙ නෑ මෙතනින් එහා මොනවා වෙයිද කියලා. මං දැන් ඉන්න තත්වෙත් එක්ක ප්‍රශ්නෙ මැද්දට ආයෙම නිමේෂා නොඑනවනම් මම කැමතියි.  මොකද ඊට පස්සෙ ප්‍රශ්නෙ වෙනම දිහාවකට කැරකෙන්න පුලුවං”

නික්ම යන්නවුන් නික්මෙන්නට ඕනෑ සදහටම ය. මිදී ගොස් යළි හැරී එන අයට ජීවිතයේ ඉඩ තැබිය යුතු නැති බව විකුම් සිතන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles