පිළිවෙළකට ඉන්න බැරි ඇයි?

ගේ දොර ලස්සනට, පිළිවෙළට තියාගන්න හැම කාන්තාවක්ම කැමතියි. හිතේ සතුට සැනසිල්ල ඇතිවෙන්නෙත් පිළිවෙළට පිරිසිදුවට ලස්සනට තියෙන ගෙදරක ජීවත් වෙනකොටයි. ඒත් අද සමහර කාන්තාවන්ට මේක අභියෝගයක් වෙලා.

වෙලාව මදිකම

සතියෙ දවස් පහ ම වැඩට යන්න තියෙනවා. එතකොට ඉතින් කෑම ටික උයාගෙන උදේට ගෙදරින් දුවනවා. හවසට ආපහු ඉක්මණට ඇවිත් කෑම හදල කාල නිදියනවා. ගෙවල් දොරවල් අස්කරන්න පිළිවෙළට තියාගන්න එක ගැන හිතන්නවත් වෙලාවක් නෑ. සෙනසුරාදා ඉරිදට ටිකක් අස්කරලා දාන්න ඕනෙ කියල හිතන් ඉන්න කොට එදාට වෙනදටත් වඩා සෑහෙන්න වැඩ වැඩියි. සමහර කාන්තාවන් නිරන්තරයෙන්ම නඟන මැසිවිල්ල තමයි ඒ.

සහයෝගය මදිකම

ගෙදර දොර පිරිසිදු කරන වගකීම, අලංකාර කරන වගකීම තනියම කාන්තාවට ම පවරලා හිටියොත් ඒක ඇයට විතරක් ම සාර්ථකව කරන්න බැහැ. විශේෂයෙන් ම ස්වාමි පුරුෂයාගෙන් දරුවන්ගෙන් ඇයට මේ වෙනුවෙන් හොඳ සහයෝගයක් ලැබිය යුතුයි. සහයෝගය කෙසේ වෙතත් අඩුතරමින් මම පිළිවෙළට අස්කරලා තියෙන ගේ අවුල් කරලා දාන්නෙ නැතිව ඉන්නවනම් ඒකත් ලොකු සහනයක්. සමහර කාන්තාවන් ඒ ගැන අදහස් කිව්වෙ ඒ විදියට. එයාල උදව් කරන්න ආවම සිද්ධ වෙන්නෙ මගෙ වැඩ ඩබල් වෙන එක. අතුගාන්න ගන්න ඉදල කොස්සවත් මට ඊළඟ දවසෙ හොයාගන්න බැරි වෙනවා එයාල උදව් කරන්න පටන්ගත්ත දවසට. තවත් අම්ම කෙනෙක් ඒ ගැන කිව්වෙ එහෙමයි. කොහොම වුණත් ඇයට ඇත්තටම මේ වෙනුවෙන් හොඳ සහයෝගයක් ලැබිය යුතුමයි.

ඉඩකඩ මදිකම‍ සහ බඩු වැඩිකම

ගෙදරකට අවශ්‍ය බඩු සහ උපකරණ මොනවාද, අවශ්‍ය විය හැකි එහෙත් අත්‍යවශ්‍ය නොවන දේවල් මොනවාද,  කවදාවත් ම පාවිච්චියට ගන්න ඕනවෙන්නෙ නැතිව බොරුවට ගොඩගහගෙන ඉන්න, එහෙමත් නැත්නම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නෙ නැති දේවල් මොනවද කියල කාන්තාවක් හැටියට ඔබ වගකිමෙන් හොයා බැලිය යුතුයි.  එතකොට ඉබේටම ඕනම ගෙදරක ඉඩකඩ මදිකම කියන ගැටළුව ඇති වෙන්නෙ නෑ. අනවශ්‍ය සියල්ල බැහැර කරන්න. අවශ්‍ය ම දේවල් විතරක් ඉතිරි කරගන්න. දැනට අවශ්‍ය නැතත් පසුව අවශ්‍ය වේවි යැයි සිතන දේවල් නිතර පාවිච්චි කරන භාණ්ඩ සහ උපකරණ අතරින් ඈත් කර තබන්න. සමහර විට ගෙදර වැඩියෙන් ම බඩු පුරවාගන්නෙත් කාන්තාවන්මයි. කිසිවක් ලේසියෙන් විසිකර දමන්නට අකමැති කාන්තාවන්ට මේ ප්‍රශ්නයට වැඩියෙන්ම මුහුණ දෙන්න වෙනවා ඇති.

අවශ්‍යතා ගැන හරි අවබෝධයක් නැතිකම

ගෙදර දොර පිළිවෙළකට තියාගන්න අමාරු වෙන තව කරුණක් තමයි ඔබ ඔබේ අවශ්‍යතා ගැන හරි අවබෝධයකින් කටයුතු නොකිරීම.  උදාහරණයක් හැටියට ඔබ ඇඳුම් සාප්පුවකට යන්නෙ ඔබේ දරුවන්ට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිළ දී ගන්නටයි. එහෙත් ඔබ අවසානයේ ගෙදර පැමිණෙන්නේ කිසිම ආකාරයකින් ඒ අවස්ථාවේ අවශ්‍යව නොතිබූ ඇඳුම් කිහිපයක් ඔබටත් මිළදී ගෙනයි. එක් අතෙකින් ඔබේ මුදල් නිකරුණේ නාස්තිවීමක් මේ නිසා සිදුවෙලා. අනික් පැත්තෙන් මේ විදියට තමයි ඔබ ඔබේ ගෙදර බඩු වැඩි කරගන්නේ. ඉඩ අඩු කරගන්නේ. අල්මාරි එකක් මදිවෙලා ඔබට තව අල්මාරි ඕනෙ වෙන්නේ. ඔබ මල් වවන්න ආස කෙනෙක් වුණ පලියට වෙළඳ පොළේ තියෙන මල්පැල තවාන් ඔක්කොම ඔබේ මිදුලෙ පුරවගන්න හදන්න එපා. ඔබ ඉවුම් පිහුම් විනෝදාංශයක් කරගත් කෙනෙක් වුණ පලියට වෙළඳපොළේ හඳුන්වා දෙන ඉලෙක්ට්‍රොණික් උපාංග හැම එකක් ම ඔබේ කුස්සියෙ පුරවගන්න හදන්න එපා.

හිත තෘප්තිමත් නැතිකම

බොහෝ දෙනා දන්න කතාවක් තමයි, හිත හොඳ නැතිකම ඕනම කෙනෙක්ගෙ මූණෙන් හොයන්න පුළුවනි කියන එක. කාන්තාවක් ඉන්නෙ සතුටින් ද, තෘප්තිමත්ව ද කියන එක හොයන්න තව ක්‍රමයක් තමයි ඈ ජීවත්වන ගෙදර දොර වටපිටාව බලන එක. ගෙදර අපිළිවෙළට තියාගන්න කාන්තාවන් ඒ හරහා දෙන පණිවිඩය ඇගේ හදවතත් තෘප්තිමත්නෑ කියන එකයි. විවේකීව සන්සුන්ව හිතන්නට හැකි  නිරෝගී මනසක් ඇයට තියෙනවානම් බොහෝ අභියෝග සාර්ථකව ජයගන්න ඇයට පුළුවනි. කාලය කළමනාකරණය කරගෙන වැඩි වගකීම් දරමින් විශාල යුතුකම් සම්භාරයක් ඇය අතින් ඉටු වෙන්නෙ එහෙම සංයමශීලීව ප්‍රීතිමත්ව ජීවත් වෙන කාන්තාවන් අතරට ඇයත් එකතු වුණොත් විතරයි.

-නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles