මම වෙනම මලක් – 27

“ජීවිතේ විඳවන්න ගත්තට පස්සේ අපි කාලයක් යනකම් ඒ විඳවිල්ලට පුරුදු වෙනවා . සමහර වෙලාවට ලෙඩක් සනීප වුණාමත් හිස්කමක් එන්නේ. අර පරණ ජනකතාවක් තියෙන්නේ ගමරාලගෙන් ගුටි කාලා කාලා ගමරාල මැරුණට පස්සෙ වංගෙඩියෙන් ගුටි ගහගත්තු ගම මහගෙ කෙනෙක් ගැන. අන්න ඒ වගේ. සමහරු දුකම කොයි තරම් මිහිරක් ද කියලා ඒක විඳින්න පටන් ගන්නවා. ඒ වගේම දුක සතුටක් කරගන්න අයටයි දුක දුකක් කියලා තේරුම් ගන්න අයටයි කාටත් කාලයක් යනකොට ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා. එතකොට තමන් සියුමැලිද තමන් නිර්භීත ද කියන දේ ඒ හැටි වැදගත් නෑ. වැදගත් වෙන්නේ තමන් ඉන්න අපායෙන් මිදෙන එක විතරමයි.”

විරහව කියන්නේ අපායක් වග දැන් විකුම්ට සිතේ. ඒ අපායේ ගිනිදැල් වල දැවෙමින් වේදනා විඳිමින් ජීවත් වෙන්නට ඕනෑ නැත. අපායෙන් මෙපිටට විත් දිව්‍ය ලෝකයට යන ගමන දුර වැඩි වුවත් අපායෙන් මෙපිට ජීවත් වීමට පහසු ලෝකයක් හෝ තිබෙන බව ඔහු සිතුවේ ය.

නිමේෂා එය දරා ගන්නේ කෙසේදැයි යන්න ගැන ද ඔහුට ගැටළුවක් තිබුණා නොවේ. දිගින් දිගටම ප්‍රතික්ෂේප කළත් දරා ගැනීමේ සීමාව ඇයට පවා අහිමි වී යන්නට ඉඩ තිබේ.

විකුම් ඉනික්බිතිව සැහැල්ලුවෙන් ජීවත් වීම ආරම්භ කළේ ය. දැන් ඔහුට මඟ බලන්නට හේතුවක් තිබේ.ඔහු හිඳින්නේ ඒ සතුටිනි. ඇතැම්විට නිලුපුලී ඔහුගේ ආදරය පිළි ගන්නට ද පුලුවන. ඉනික්බිතිව ආදරයෙන් ජීවත් වීමට හැකි වන බව ඔහුට විශ්වාස ය.

“බිඳිච්ච මනුස්සයෙක්ට ආදරේ කරන්න අමාරුයි කියන කතාවට මං එකඟ නම් නෑ.”

බිඳීම් සුවපත් කරගෙන එක් වීම වෙනුවට ඔහු සිතන්නේ අසීරු කාලය එක්ව ගෙවීම ප්‍රේමය බව ය. ඔහු නාරද සමඟ එසේ පැවසුවේ එනිසා ය.

“ඒත් අපි දෙන්නම ඉන්නේ බිඳිලා කියලා නම් මට විශ්වාසයි.”

ඔහු අනතුරුව එසේ පැවසුවේ නිලුපුලීගේ ශෝකාකූල දෑස් සිහි කරමිනි. ඒ ඇස්වල නොකී කතාවක් ඇති බව ඔහුට දැනෙයි. ඒ කතාව කුමක්දැයි අපහැදිලි නමුත් ඇය ඉන්නේ ද හොඳ මානසිකත්වයක නොවේ.  ඒ මානසිකත්වයට හේතුව සොයා ගන්නට ඔහුට උවමනා ය.

ඔහු ඇයට ෆේස්බුක් මිතුරු ඇරයුමක් යැව්වේ කල්පනා කිරීමෙන් අනතුරුව ය. මිත්‍රත්වය ගොඩ නඟා ගන්නට පහසුම ක්‍රමය එය මිස අන් කිසිවක් නොවේ.

“ඔයා මට එදා අච්චරක් උදව් කළා. ඒත් අපිට හොඳ යාලුවො වෙන්නවත් බැරි වුණා.”

ඇය ඇරයුම පිළිගත් වඩා ඔහු එසේ ලියා යැවී ය. ඔහුගේ ඡායාරූප එකින් එක නරඹන්නට පටන් ගත් නිලුපුලී මොහොතක් කල්පනා කළා ය. දැන් ඔහුට ඕනෑ යාලුවෙක් වෙන්නට ය. පසුබසින්නට ඕනෑ නැත.

“තව කාලේ ඕනවටත් වඩා ඉතුරුයි. අපිට මේ දැනුත් පුළුවන් හොඳම යාළුවො වෙන්න.”

ඇය ඉතා සැහැල්ලූවෙන් පැවසුවේ  ඒ හන්දා ය.ඔහු සිනා මුහුණු බර ගණනක් එවා තිබිණ

“එහෙනම් ඔන්න අපි යාළුවෝ.”

ඔහු එසේ කියා ලෙහා ගන්නට ඇති තැනක් ලෙහා ගන්නට සිතී ය. එය එසේ නම් මේ පාරේ ඇවිද යා යුත්තේ ඉතා ප්‍රවේසමෙනි.

“අපේ යාළුකමට හතුරෙක් නම් ඉන්න පුළුවන්. ඒ නිසා මං ඔයාට හොඳම යාලුව වෙනවා කියලා වෙනම කියලා පොරොන්දු වෙන්නේ නෑ. ඔයාට එහෙම කෙනෙක් ඉන්නවා නේ.”

ඒ කවුදැයි නිලුපුලී සිතුවා ය. ඇතැම්විට මේ ඇයට ප්‍රේමවන්තයෙකු ඉන්නවාදැයි දැන ගන්නට ඔහු දරන උත්සාහයක් වන්නටත් බැරිකමක් නැත.

“අහස්‍යා අක්කා. අහස් අක්කා යන යන තැන ඔයාවත් අරන් යනවා, ස්ටාෆ් එකේ ළමයින්ට වඩා ඔයාට සෑහෙන්න ආදරෙයි කියලා මට කපුටෙක් රහසක් කිව්වා.”

නිලුපුලීට සිනා පහළ විණ. එහෙව් විශේෂයක් නොවේ. අහස්‍යා කියන්නේ මනුස්සකම ඕනෑවටත් වඩා ඇති ගැහැනියක බව ඇය විශ්වාස කරන්නී ය. ඇය ඇගේ මනුශ්‍යත්වය නිලුපුලීට පිරිනැමුවා පමණි.

“ඔයා කොහෙද ඉන්නේ නංගි?”

ඔහු අසා එවා තිබිණ. නිලුපුලී ගල් ගැසුණා ය. ඇය ජීවත් වෙන්නේ කොහේදැයි කියා කොහොම කියන්නද? ඇය කියන්නට තැනක් සිතුවා ය. 

“නාවල, රාජගිරිය,නුගේගොඩ, බත්තරමුල්ල , කොට්ටාව,මහරගම, හෝමාගම”

කොළඹට තදාසන්න නගර වැලක් ඇගේ මතකයට ආවා ය. ඉන් එකක් කියන්නට බැරිකමක් නැත. විකුම් ජීවත් වෙන්නේ නුගේගොඩ ආසන්නයේ ය. ඒ නිසා ඒ ප්‍රදේශය මඟ හැර වෙන කතාවක් කියන්නට බැරිකමක් නැත. නමුත්, බොරුවක් කියන්නේ හැම දවසකටම වලංගු දෙයක් නොවේ.

“වේල්ල වත්තේ”

ඇය එසේ පැවසුවා ය.

“ඉන්න තැන කොහෙ කියල කිව්වම මොකද? මොකෝ එයා මාව කසාද බඳින්නය. ඒ වගේ තැනක ඉන්න කෙනෙක් යාලුවෙක් කරගන්න එයාට බැරිනම් කතා කිරිල්ල නවත්තලා දායි. මං එතකොට මගේ පාඩුවේ ඉන්නවා.”

නිලුපුලී දුරකථනයේ අන්තර්ජාල සබඳතාවය අවහිර කර දැමුවේ එසේ සිතමිනි. ඇය රැකියාවට අයදුම් කළේ ඉන්නා තැන ගැන සත්‍යය පවසමිනි. විකුම් ඒ ගැන ඇත්ත දැන ගැනීම ඒ නිසාම සිදු වන්නට ඉඩ තිබේ. එවැනි දෙයට ඉඩ දිය යුතුම නැතැයි ඇය සිතුවා ය.ඉන්නේ කොහේදැයි පැවසීමෙන් පසු යුවතිය ඔෆ්ලයින් යන්නට යාම ගැන විකුම්ට දැනුණේ ද දුකකි. ඉන්නා තැන නිසා කිසිම මිනිසෙකු ලැජ්ජාවට පත් වෙන්නට ඕනෑ නැත. ඒ ගැන ඇයට කියන්නට ඇය නැවත කතාවට එනතුරු ඔහු බලා සිටියේ ය.

(මඳක් අසනීපයෙන් පසු වෙන බැවින් කතාවේ රසයට හානි වුණානම් සමා වෙන්න. අපි හෙට දිග කොටසකින් මුණ ගැහෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles