Vintage Eyes – 30

දරු ගැබ මෝරා වැඩෙමින් නංගී ගේ ගර්භණී බවෙහි හැඩ තල කැපී පෙනෙන්නට ගත්තේ ය. ඇගේ කුස ඉදිරියට නෙරා ආවේ ය. දෙකොපුල් ද පයෝධර ද පිරී ඇස් පියන් තඩිස්සි වී සිරුර පුෂ්ඨිමත් වෙමින් තිබිණ. ගමන් ලතාව තාර ගමනකට සමාන විය. අපේ ගෙදරට ගෙනැවිත් තිබූ සිය පරණ ඇඳුම් අඳින්නට පහසු වූයේ නැත. අම්මා ඇයට අලුත් ගවුම් කිහිපයක් මසා දුන්නා ය. ගැබිණි සායන වලට ඇඳ ගෙන යනු වස් මම ඇයට අලුත් ගවුම් කිහිපයක් ම මිල දී ගතිමි.

ගේ ඇතුළේ කිරි සුවඳ ඉහිරෙන්නට විය. අලුත් බන්ධනයක් ගැන බලාපොරොත්තුවක් හැම හිතක ම කිරි වැදෙමින් තිබිණ. අම්මා නංගී ව ගමේ ගර්භණී සායනයට ලියාපදිංචි කරවූවා ය. කළුබෝවිල රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු ගේ පෞද්ගලික සායනයකට යොමු වෙමින් දරු ප්‍රසූතිය සඳහා කළුබෝවිල රෝහලෙහි ලියා පදිංචිය සිදු කළෙමු.

අපේ ගෙදරට අලුතෙන් පැමිණි අම්මා ගේ ගර්භණී දියණිය ගැන ගම්මුන් එක එක කතා කියන බව අම්මා දැන සිටියා ය. නමුත් ඇය ඒ ගැන මා සමග හෝ කතා කරන්නට උනන්දු වූයේ නැත.

අම්මා කෙනෙකු ගේ කුස යහනකට බිළිඳෙකු වැඩම කිරීම කෙතරම් මංගල කාරණයක් දැයි මා වටහා ගත්තේ නංගී නිසා ය. ඇයට නොදී කිසිදු රස අහරක් මගේ කුසයට ගියේ නැත. හැම හවසකම ගෙදර එත්දී මම ඇය වෙනුවෙන් මොනවා හෝ මිල දී ගෙන ආවෙමි. හොඳට මොනවා හෝ පිසූ දා ක නූරි කෙසෙල් කොළයක එතූ බත් මුලක් නංගී ට ගෙනාවා ය. විහාර පවා පළතුරු ටිකක්, රස කැවිල්ලක් නැත්නම් හොඳ බොජුන් හලකින් මිල දී ගත් රාත්‍රී භෝජනයක් සමග නිතර අපේ ගෙදර ආවේ ය. ඔහු රාත්‍රී භෝජන ගෙනාවේ වී නම් ඒ නංගීට පමණකුදු නොව අපටත් එක්ක ය. එහෙම ගෙන එන දවසට විහාර කල් ඇතිව මට දැනුම් දෙයි. එහෙම දවසකට මා ඉතා ආස ය. ඒ කෑම නිසාවෙන් නොව විහාර අපේ ගෙදර එන නිසා ය. ඒ ආ ගමන රෑ බෝ වන තුරු ම අප කතා කරමින් කාලය ගෙවා දමන නිසා ය. ඔහු ළඟ දැවටී හිඳිත හැකි තත්පර මට දියමන්ති තරම් අගනේ නිසා ය.

ඇතැම් දින වල ඔහු අප රාත්‍රී භෝජනයක් වෙනුවෙන් පිටතට ගෙන යයි. 

“මිනිස්සු බලනව ඇති ගෑනු හතර දෙනෙක් දක්කගෙන එක කොල්ලෙක් එනකොට…”

දවසක් නූරි එහෙම කියමින් සිනහ වූවා ය. විහාර ගේ මුහුණේ විළිබර සිනහවක් ඇඳුණු අතර ඔහු ගේ අතක එල්ලී බාහුවෙහි කම්මුලක් තද කර ගන්නට තරම් ස්නේහයකින් මගේ ළය පිරී ගියේ ය.

“හම්මෝ අයිය මගෙ ළඟින් එහෙමනං යන්නෙපා. අන්තිමට මිනිස්සු ඒකත් වැරදියට හිතුවොත්”

කියමින් නංගී වහා අම්මා වෙතට ගොස් අම්මා ගේ අතක් අල්ලා ගත්තා ය. මමත් නූරිත් හොඳට ම සිනහ වීමු. එහෙම ගමනක දී විහාර හිතා මතා ම වැඩිපුර මට සමීප වන්නට වූයේ ඉනික්බිතිව කියා සිතමි. යන්නේ කොහේද කියාත් කන්නේ මොනවාද කියාත් නිතර ම ඔහු විමසූයේ මවෙතිනි. එතැන්හිදී මා කෙරේ ඔහු ගේ අයිතිවාසිකමක් ගැන හැඟීමක් දැනුණේ මට විතරක් ම ද කියා නො දනිමි. කෙසේ වෙතත් ඒ අයිතිවාසිකම ම පෙරලා ඔහු වෙනුවෙන් මගේ පපුව බදා අල්ලා ගෙන තිබූ බව නම් මට විශ්වාස ය. එය පූර්ණ වූ හැඟීමකි. විහාර නිසාවෙන් එතෙක් අපට දැනෙමින් පැවතියා වූ අඩුපාඩුවක් ටික ටික මැකී ගොස් තිබිණ. ගැහැනු අපට තනිව කර ගන්නට බැරි යයි හැඟුණ දෙයක් ගැන ගැටළුවක දී ‘විහාර පුතා ආවහම කරගමු’ කියා කියන්නට තරමින් අම්මා ඔහු කෙරේ විශ්වාසය තබා ගෙන සිටියා ය. තීරණයක් ගත යුතු වෙලාවක දී ‘අයියගෙනුත් අහල බලමු’ නේද කියා නංගී කීවේ මූණිච්චාවට නොව හදවතින් ම බව මම දැන සිටියෙමි. සිය දික්කසාද නඩුව ගැන ගැටළු සහගත තැනකදී ‘විහාර එක්ක ගිහින් ලෝයර්ට කතා කරමුද’ කියා මා විමසන්නට තරම් මගේ යෙහෙළිය නූරි පවා ඔහු ට බැඳී සිටියා ය. ඒ නිසා පොදුවේ විහාර ‘අපේ’ වූයේ ය. මගේ කාටත් ඔහු නැතිව බැරි වෙත්දී මම හිත යටින් ආඩම්බර වීමි. ඔහු විවාහ බැඳීමක් ඇති පුද්ගලයෙකු බව කාටත් අමතක වී තිබුණා යයි කිව හැකි තරමි. නො නිල වශයෙන් ඔහු ‘මගේ’ වී සිටියේ ය.

ගමේ සායනයට යත්දී අම්මා හා නංගි වෙනුවෙන් මම හන්දියෙන් ත්‍රීරෝද රියක් ගෙදර ළඟට යැව්වෙමි. දවසක් විහාර විශ් යූ තුළ සිටියදී, කළුබෝවිල පෞද්ගලික වෛද්‍ය හමුව වෙනුවෙන් යන්නට මම හන්දියේ ත්‍රීරෝද රියක් වෙන් කරන්නට සූදානම් වීමි.

“ඉතිං ත්‍රීවීලර් වලට කතා කරන්න එපා. මං එක්කං යන්නං ඩොක්ටර් ළඟට. කොහොමත් දැන් නංගිට ත්‍රීවීලර් වල යන්න අමාරුත් ඇතිනෙ ශික්ෂා”

එහෙම කියා වෛද්‍ය හමුවට යන්න ඉදිරිපත් වූයේ ඔහු ම ය. 

“ඊළඟට යන්න තියන දවසෙදිත් මට මතක් කරන්න”

කියා අපේ ගේ ළඟින් බැස ගන්නා විට විහාර කීවේ ය. නංගීව වෛද්‍ය සායනයට කැටිව යාම ඔහු ගේ රාජකාරියක් බවට පත් වූයේ එසේ ය.

ඒ සියල් බන්ධන හා සබඳතා වල පදනම දැමූයේ නංගි ගේ කුසයේ වැඩෙනා කිරි කැටියා ය. ඒ නිසා ඔහු කෙරේ මගේ පමණකුදු නොව අප සියලු දෙනා ගේ ම ආදරය එන්න එන්න ම වර්ධනය වූයේ ය. විශේෂයෙන් ම නූරි ඒ නූපන් බිළිඳාට අසීමිත ලෙස බැඳෙමින් සිටියා ය. හැම හවසක ම මාත් එක්ක නංගීට මොනවා හෝ ගෙන අපේ ගෙදර එන්නට ද ඇවිත් නංගී එක්ක බබා ගේ අලුත් තත්වය ගැන කතා කරන්නට ද ඇය පුරුදු වෙමින් සිටියා ය.

“දඟලනව දැනෙනවද…”

“ඔව් අක්කෙ…දෙනව සමහර වෙලාවට පයින් පාර…”

“අනේ…”

එතකොට නූරි නංගි ගේ කුස පිරිමදී. මහත් වූ මාතෘ ස්නේහයක් එවන් වෙලාවට මම නූරි ගේ මුහුණේ දකිමි.

අම්මා බබා වෙනුවෙන් ගවුම් පොඩි හා කොට්ට උර මසත්දී නූරි ද ආශාවෙන් ඒවාට උදව් වූවා ය. මාත් එක්ක මහරගම හෝ හෝමාගම ගිය වෙලාවක ළදරු භාණ්ඩ අලෙවි සැලකට ගොඩ වී බබා වෙනුවෙන් සෙල්ලම් බඩුවක් හෝ ඇඳුම් පොඩියක් මිල දී ගත්තා ය.

“මේව අන්දන්න බබාට අවුරුද්දක්වත්  යන්න වෙයි”

එවැන්නක් දැක අම්මා කීවා ය. 

“නූරි අක්කට ඉක්මන්ටම බබාව ලොකු කර ගන්න ඕන වෙලා”

නංගී සිනහ වෙවී කියන්නී ය.

දරුවා පුතෙක් යයි ස්කෑන් පරීක්ෂණයෙන් කියවුණ දා අපේ ජීවිත වලට උදා වූ ප්‍රීතිමත් ම දවස යයි මම සිතමි. අම්මා ගේ ඇස් වල කඳුළු පිරී තිබිණි. මම නංගී බදා ගෙන ටික වෙලාවක් ඇස් පියා ගෙන සිටියෙමි. එදා රාත්‍රියේ අම්මා සරු කෑම වේලක් සකසා නූරි ට ද විහාර ට ද එන්න කියන්නයි මට කීවා ය. ඇත්තට ම අපට අවශ්‍ය වී තිබුණේ කා බී සතුට සමරන්නට නොවේ. එකට එකතු වී කතා බහ කරමින් ඒ මොහොත විඳින්නට ය. 

එදා නූරි පුතා වෙනුවෙන් ලස්සන නම් ලැයිස්තුවක් ම ලීවා ය.

“මේ එන්නෙ තාත්තද කියල මට හිතෙනව දරුවනේ…”

එදා අම්මා කී ඒ වචන කිහිපය අප තුළ දැඩි සංවේදීතාවයක් ඇති කරන්නට ඇත. මා සේ ම නංගී ද ගොළු ගැසී උනුන් දෙස බලා සිටියෙමු. බෞද්ධයන් වශයෙන් අපි නැවත ඉපදීමක් විශ්වාස කරන්නෙමු. තාත්තා කියන්නේ මගේත් නංගීගෙත් අම්මා ගේත් ජීවිත වල කාලයක් තිස්සේ වීරත්වයෙන් ජීවමාන වූ  පිරිමියා ය. ඉතින් ඔහු යළිත් මේ විදිහට හෝ අප අතරට ආවා වන්නටත් පිළිවන. බිහි වන්නට පෙර ම මේ තරම් ආදරයකින් අප බැඳ තබන්නට තරම් විශ්මිත වූ ඒ ආදරය අයිති තාත්තාට නොවේ කියා හිතන්නට මට ඕනෑ නොවී ය.

මේ අතරේ අමේලි සුව වෙමින් සිටියා ය. විහාර ලංකාවේ සිටියත් නිතර ඈ ගැන සොයා බැලුවේ ය. අසෙලියා දියණිය සමග පෙරදීටත් වඩා වීඩියෝ ඇමතුම් ඔස්සේ සම්බන්ධ වන බව ඔහු කීවේ ය. ලංකාවට පැමිණි දින වලට වඩා කල් යාමේදී ඔහු සැහැල්ලුවට පත් වී ඇති බව ද පෙනෙන්නට තිබිණ. විශේෂයෙන් ම අපේ පවුල තුළ ඔහු සතුටෙන් සිටියේ ය. ජීවිතයෙහි ඇතිව තිබූ රික්තකයක් ඒ තුළ සපිරෙමින් තිබුණා වන්නට ඇත.

මේ කියන දවසේ මා ඔහු එන තුරු බලා සිටියේ සාප්පු සවාරියේ යන්නට ය. අලුත් බිළිඳා අප අතරට එන්නට තව කල් තිබිණි ද ඔහු පුතෙකු කියා දැන ගත්තා ට පස්සේ ඔහු වෙනුවෙන් ලස්සන සොඳුරු නිල් පාට ලෝකයක් නිර්මාණය කරනා තුරු මට ඉවසිල්ලක් නොවී ය. 

ඔස්ටින් රිය විශ් යූ ඉදිරියේ නතර කොට එදා විහාර ඉන් බැස ගත්තේ කලබලයෙනි. මම ඊට නො දෙවෙනි කලබලයකින් රිය වෙත දිව ගොස් සිටියෙමි. අප දෙදෙනා ම යමක් කියන්නට හැදුවේ එකට ම ය. ඊළඟ මොහොතේ මා විහාර වෙනුවෙන් නතර වෙනකොට ම ඔහු ත් මා වෙනුවෙන් නතර වූයේ ය. අප දෙදෙනාට ම සිනහ නැගිණ.

“හරි ඔයා කියන්නකො කියන්න ගිය දේ”

මම ඔහු ට ඉඩ දුන්නෙමි.

“නෑ නෑ ඉස්සෙල්ල ඔයා කියන්නකො”

“නෑ…මං බලං හිටිය ඔයා එනකං…පොඩි ගමනක් යන්න. පොඩි කිව්වට පොඩිමත් නෑ. ටිකක් වෙලා යයි ඉතිං…”

“කොහෙද කියන්නකො”

“බබාට බඩු ගන්න. ගොඩක් බඩු ගන්න තියනවනෙ…බේබි ශොප් එකකට යමුද…අම්මයි නංගියිත් ආස වෙයි ඉතිං ඒව තෝරන්න…”

“හ්ම්. යං එහෙනං”

“දැං කියන්නකො ඔයා මොකද්ද කියන්න ආවෙ කියල…”

“නෑ…ඒක දැන් ඕන නෑ. ඉස්සෙල්ල මේ වැඩේ කරල ඉමුකො. කොල්ලට ඕන කරන දේවල් ඔක්කොම අරං එන්නයි මං හිතං හිටියෙ. කමන්නෑ…දැං අපි ඔක්කොමල ගිහිං ගමුකො”

“මට ආයෙ කවදාවත් මෙහෙම අවස්ථාවක් එයි කියල හිතන්නෑ විහාර. කවදාවත් මගෙම කියල පැටියෙක් වෙනුවෙන් මේ කිසි දෙයක් කරන්න මට බැරි වෙයි”

මා හැඟීම් බර වූයේ සැනෙකිනි. ඇස් දැවෙනවා වාගේ විය. උගුර පවා හිර වෙමින් රිදුණේ ය.

“ඇයි ඒ…”

විහාර මගේ මූණට එබුණේ ය. ඇස් වල තෙතමනය අතරින් ම මම සිනහ වෙමින් ඔහු දෙස බැලුවෙමි.

“ඉතිං අනේ…මං බඳින්නෑනෙ. නංගිගෙ බබා හරි ලකී. එයාට අම්ම වෙන්න බලං කී දෙනෙක් ඉන්නවද…මං..නූරි…අපේ අම්ම…එතකොට එයාගෙ ඇත්තම අම්ම…”

විහාර විශ් යූ වෙතට පියවරක් තැබූයේ මගේ බඳ පිටුපසින් යන්තමට අතක් තබමිනි. ඒ ස්පර්ශය ඉතා තදින් හිත පෑරී ය. සමහර වෙලාවට තද කර ගෙන ඉන්නා සිතිවිලි පවා ලිහිල් වී බිඳී විසිරේ. අතැඟිලි වලින් ඇස් වල තෙතමනය පිස දැමී ද නාසයෙහි බුරුල් ගතියක් වූයෙන් මම නහය උඩට ඇද්දෙමි.

ළදරු ආම්පන්න අලෙවි සලක් කියන්නේ සුංගනා ලෝකයකි. අප සියලු දෙනා මඳ වෙලාවකට ඒ සුරංගනා ලෝකයෙහි අතරමං ව සිටියා විය යුතු ය. ඒ අතරේ නූරි මට ලං වී රහසින් යමක් කීවා ය.

“මට කවදාවත් මෙහෙම තැනකට ඇවිත් මගෙම බබෙක්ට තෑගි තෝරන්න බැරි වෙයි නේ ශිකී…ගෑනු කෙනෙක්ගෙ උකුල හිස් කරන එක සොබා දහමෙ ලොකු දඬුවමක්. ගිය ආත්මෙක ලොකු ම ලොකු වරදක් වෙන්න ඇති. නැත්තං එහෙම දඬුවමක් ලැබෙන්න විදිහක් නෑනෙ”

“අනේ නූරි”

ඇය සිනහ වූවාට ඒ හිත තුළ කොහොම ගින්දරක් තියෙන්නට ඇත්ද? ඒ ගින්දර මොන තරම් ඇය දවන්නට ඇත්ද?

“එහෙම වෙන්නෑ අනේ…ඔයාට බබාල ඉඳී. ඒගොල්ලන්ට තියන හදිස්සියට බබාල එන්නෑ ඉතිං…හැබැයි ඔයා වගේ ආදරණීය කෙල්ලෙක්ට එහෙම වෙන්නෑ කියල මට ශුවර්…”

“නංගිගෙ බබා ඉන්නවනෙ…මට පුළුවන් එයාට ආදරේ කරං ඉන්න”

“එහෙම වෙන්නෑ දෙයියනේ”

එක ම සංසිද්ධියක් අප එක එක්කෙනා ගේ හිත් වලට දනවන්නා වූ සංවේදනා කෙතරම් වෙනස් ද? අපේ ගෙදරට එත්දී කුස ඔත් දරුවා සිය කරුමයේ ඵලයක් සේ නංගී සිතුවා ය. නමුත් අද ඒ පැටියා ව රජ කුමරෙකු සේ පිළිගන්නට අපි සහ පිරිවරින් සූදානම් වෙමු. දරුවෙකු පිළිසිඳ නො ගැනීම හේතු පාදක කර ගෙන නූරි ට විවාහයෙන් ඉල්ලා අස්වෙන්නට සිදු විය. දෛවය කියන්නේ අමුතු දෙයකි.

“මං කියන්න ආව දේ දැං කියන්නද…”

බඩු වල බිල ගෙවා පිටතට එන අතරේ, සතුටෙන් බඩු පොදියක් කුරුලු කර ගෙන ඔහු ගේ සිරුරේ ගෑවී නොගෑවී ඇවිදින මට පමණක් ඇසෙන සේ විහාර මිමිණී ය.

“හ්ම්”

මම නෙතු ඔසවා මට වඩා අඩියකට වැඩිය උස යයි සිතිය හැකි කොල්ලා ගේ මූණ බැලුවෙමි. ඒ ඇස් මත වූයේ නිර්වාණ සුවයකි. 

“අමේලි කතා කළා”

“හ්ම්”

මම මගේ මන්දහාසය තුනී නොවනු වස් වග බලා ගතිමි.

“එයාට ට්‍රිට්මන්ට්ස් කරපු ඩොක්ටර් එක්ක එයා අෆෙයා එකක් පටං අරං”

“අහ්..”

මගේ ඇස් විශ්මයෙන් ඇලලෙන්නට ඇත. නමුත් විහාර නො වෙනස් ව සිටියේ ය.

“ඒ ඩොක්ටර් අමේලිව මැරි කරන්න කැමතියිලු. එයා මගෙන් ඩිවෝස් එක ඉල්ලනව”

මොනවා කියන්නද කියා මට තේරුණේ නැත. ඔහු ඒ ගැන සතුටෙන් ද නැත්නම් තැවුලෙන් ද කියා හෝ මට තේරුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles