ඉන්දියාවේ වැඩි ම පෞද්ගලික ජෙට් යානා ප්‍රමාණයක හිමිකාරිය – කණිකා

කාන්තාවක් තම සිහින කරා යාමට කිසිම විටෙකවත් මැලි විය යුතු නැහැ. ඔබ තුළ හොඳ අධිෂ්ඨානයක් තියනවා නම් ඔබට ඔබේ සිහින සැබෑ කර ගැනීම අපහසු කාර්යයක් නෙමෙයි.
ඔබ ඔබේ ඉලක්ක කරා යන විට නොයෙකුත් බාධක මුණගැහෙනවා. ඒ බාධක පරාජය කරමින් ඉදිරියට යන්නට ඇත්ත වශයෙන්ම ඔබ තුළ ශක්තිය තියෙනවා. ඔබ කළ යුතු වන්නේ ඒ ශක්තිය හඳුනාගෙන එය නිසි පරිදි භාවිතා කිරීමයි. එයට හොඳම උදාහරණයක් වන කණිකා ටෙක්‍රිවාල්ගේ සාර්ථක කතාවයි මේ ලිපිය පුරාවට දිග හැරෙන්නේ.

කණිකා ටෙක්‍රිවාල් කියන්නෙ කවුද ?

ඇය Jet Set Go සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනීයයි.ඒ වගේම මේ වන විට ඈ සතු පෞද්ගලික ජෙට් යානා ගණන දහයක්.1990 ජූනි හත් වන දින උපත ලබන කණිකා වයස අවුරුදු 21 දී Hodgkins Lymphoma නම් පිළිකා තත්ත්වයේ දෙවන අදියරේ සිටින බව තහවුරු වෙනවා. බොහෝ කාලයක් පිළිකා මාරයා සමඟ සටන් කරන කණිකා ඉන් සුවය ලබන්නේ ඇය තුළ වන අසීමාන්තික ශක්තිය නිසාමයි. නමුත් ඇය සුව වූ පසුව ඇයට රැකියාවක් දෙන්න කවුරුත් සූදානම් වන්නේ නෑ.

” මම රැකියාවක් ඉල්ලන්න යන්නේ නෑ. මම අනිත් අයට රැකියා දෙන්න පුළුවන් කෙනෙක් වෙනවා “

කණිකා තීරණය කරන්නෙ එහෙම.ඒ විතරක් නෙමෙයි , ඇයට උවමනා වෙනවා ගුවන් නියමුවරියක් වෙන්න.ඒත් ඉන්දියාව වගේ රටක කාන්තාවන්ට බොහෝ විට එවැනි අවස්ථා හිමි වන්නේ නැහැ. පවුලේ අය, මිතුරු මිතුරියන් සහ සමාජය ඇයගේ ශක්තිය අවතක්සේරුවට ලක් කරනවා. හැමදෙනාම ඇයට කියන්නේ කාන්තාවක් සාමාන්‍යයෙන් කරන රැකියාවක් කරන්න කියලා.

” මට ප්ලේන් එකක් පදින්න බැරි නම් මම ප්ලේන් එකක් අයිති කර ගන්නවා “

Jet Set Go නිර්මාණය වෙන්නේ එහෙම.

මොකද්ද මේ Jet Set Go කියන්නේ ?

2013 දී පිහිටවන ලද Jet Set Go සමාගම අද වන විට රුපියල් කෝටි 150 ක පිරිවැටුමක් සහිත සාර්ථක ගුවන් සේවා ව්‍යාපාරික ආයතනයක් බවට පත්වෙලා තියෙනවා. Jet Set Go හි සේවකයින් 200 ක් ඇතුළත් වන අතර එහි කාර්යාල දිල්ලිය, මුම්බායි, චෙන්නායි සහ හයිද්‍රාබාද් නගරවල ගුවන් තොටුපළ 280 ක් සමඟ සාර්ථක සම්බන්ධතාවක් සහිතව රට පුරා පිහිටා තියෙනවා. මෙය ඌබර් සහ පික්මී සමාන ගුවන් සේවා සමාගමක්.බොහෝ දෙනා මෙය සාර්ථක වන්නේ නෑ කියලා පුන පුනා කියද්දි කණිකා තමන්ගේ පියාපත් වල ශක්තිය විශ්වාස කලා.

ඒ අනුව දැන් ඉන්දියාවේ තියෙන පෞද්ගලික ජෙට් වලින් 72% ක් තියෙන්නේ කණිකා යටතේ.

කණිකාට අනුව සාර්ථකත්වය කියන්නේ මොකද්ද ?

” බොහෝ විට සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය ඔබ ගැන පවසන දේ මතයි.ඒත් මම ඒකට එකඟ වෙන්නේ නෑ. විශ්වාස කරන්නෙත් නෑ. මට අනුව සාර්ථකත්වය කියන්නේ කරදරයකින් තොරව නිදා ගැනීමට හැකි වීමයි. ඒ වගේම ආඩම්බරයෙන් කණ්නාඩියෙන් මා දෙස බලා මා කරන දේ ගැන සතුටු වීමට හැකි වීමයි “

2021 වසරේ Kotak පුද්ගලික බැංකු ලැයිස්තු වලට අනුව ධනවත්ම කාන්තා ලැයිස්තුවේ සිටින ලාබාලතම කාන්තාව කණිකා වන අතර ඇයගේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4.2 ක් ලෙස ගණන් බලා තියෙනවා.

” අපේ හිත අපිට බාධා ඇති කරනවා නම් අපේ සිහින අපිට කවදාවත් හැබෑ කර ගන්න ලැබෙන්නේ නෑ.ඔබට යමක් කිරීමට නොහැකි වනු ඇතැයි ඔබ සිතනවා නම් ඔබට කවදාවත් එය කිරීමට හැකි වන්නේ නෑ “

කණිකා සම්මුඛ සාකච්ඡාවකදි ලෝකයටම ඇහෙන්න කිව්වා !

Related Articles

Don't Miss


Latest Articles