ගිලිහුණු රන්දම්

“කිසල් වෙඩ්ස් නිපුනි”

ඒ කැප්ශන් එකත් එක්ක ලස්සන ජෝඩුවකගෙ වෙඩින් ෆොටෝ එකක් ෆේස්බුක් ෆීඩ් එකට ආවෙ හිතාගන්න බැරි තරමෙ රිදුමක් මානවී ගෙ හිත අස්සෙන් මතු කරගෙන.

කිසල්, පෙර පාසල් වයසෙ ඉඳලම තමන්ගෙ යාලුවා. 

ටික ටික ලොකු වෙද්දි ආදරේ ගැන අදහස් හිත ඇතුළෙන් පිපෙන්න පටන් ගත්තෙ හිතටත් හොරෙන්.

 ඇස් බැල්මවල් වලින්, කෑවද බිව්වද කියල හොයන කරන එකෙන් දෙන්න දෙන්නා ගැනම හිතුවට මොකෝ හිත අස්සෙ බුබුලු දදා උන්නු ආදරේ වචන කරන්න මුල් වුණේ මානවීමයි.

ඒ විදියට පටන් ගත්ත සම්බන්දෙ ඇතුලෙ මුළින්ම හිත් රිදීමක් වුණේ මානවී කැම්පස් සිලෙක්ට් වෙද්දි කිසල්ට ගෙදර ඉන්න වුණාම.

“ගෑණු ළමයි ඉගෙන ගන්න ඕන තමයි. ඒ වුණාට ඔය සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් වගේ ෆිල්ඩ් එකක් කෙල්ලෙක්ට ගැළපෙන්නෙ නෑ මානවී”

“ඇයි ඔයා එහෙම කියන්නෙ?”

“කොච්චර සල්ලි හම්බ වුනත් වැඩක් තියෙනවද රෑ තිස්සෙ ඔෆිස් එකෙයි ගෙදරයි දෙකේම ලැප්ටොප් එක දිහා බලාගෙන ඉන්න වෙනවනම්”

“ඒ වුණාට මම ආසයි මේ ෆීල්ඩ් එකට”

“ඔයා ඉතින් දැන් ඉන්නෙ මම කියන දේ අහන තැනක නෙවෙයිනෙ. කැම්පස් සිලෙක්ට් වුණාම ඔයා හිතන් ඉන්නෙ මේ ලෝකෙ හැමදේම ඔයා දන්නවා කියල”

ඉන්පස්සෙ අවුරුදු කීයක් නම් ඒ වාක්‍ය ඒ විදියටම අහන්න වුණාද? 

කැම්පස් කියන වචනෙ වෙනුවට රස්සාව නිසා, ප්‍රමෝෂන් එක නිසා, සැලරි එක නිසා කියල පොඩි පොඩි වෙනස්කම් වුණාට, තමන්ම ඇති කරන ප්‍රශ්න වල අවසාන වාක්‍ය විදියට ඕක කියන එක නතර කරේ කිසල් නම් නෙවෙයි.

ලැබිච්ච එක රස්සාවක්වත් දිගටම කරන්නෙ නැතුව ඉන්න ගමන් වචනවලින් හිත රිද්දන අතරෙම පුංචි වයසකින් ලොකු දුරක් ගිහිල්ල අංක හයක පඩියක් ගන්න මානවීගේ සල්ලි තමන්ගෙ සල්ලි වගේ ඉල්ලගෙන වියදම් කරන්න නම් කිසල්ට ටිකක්වත් අමතක වුණේ නෑ.

“පයින් යන්න බෑ අනේ. මම බයික් එකක් ගන්න හිතුවා”

“අනිද්ද සුබාශ්ගෙ බර්ත් ඩේ පාටි එක. අඳින්න ඇඳුමක් ගන්න ඕන”

මානවී ගේ ජීවිතේ විශේෂ අවස්තාවලදි කිසල්ට කොහොමත් හුරු පුරුදු සෝබන ඉංග්‍රීසියෙන් අකුරු අමුණපු ලස්සන ලස්සන විශ් පෝස්ට් වට්ස් ඇප් එකේ එවන්න ඉඩත් මදි වෙච්ච තරම්. 

ඒත් සැබෑ ලෝකෙ ආදරේ නොලැබිච්ච මානවීගේ හිත අස්සෙ නම් තනිකමට පාලුවට ඕනතරම් ඉඩ තිබුණා.

ජීවිතේ හිතාගන්න බැරි තැනකින් නතර කරපු කෝල් එක ආවෙ දෙසැම්බර් මාසෙ 31 වෙනිදාවක.

 කොළඹ ඉන්න මානවී, ජනවාරි පළවෙනිදට ගෙදර ඉන්න ඕන හන්දා හනි හනික ඔෆිස් එකේ වැඩ ඉවර කර කර ඉන්න අතරේ.

කතා කරේ හොඳම යාලුව දෙව්ලි.

“මට හිතාගන්න බැරිවුණා බන් ඒ කතාව අහල. ඒ ගර්ල් අපෙ ඔෆිස් එකට ආවෙ අලුතෙන්. ඉතින් ඕප දූප කතා කරන කොට මම නිකමටයි ඇහුවෙ කොල්ලෙක් නැද්ද කියල. කිසල්ගෙයි ඒ නංගිගෙයි එකට ඉන්න පින්තූරයක් පෙන්නුවටත් වඩා මට පුදුම හිතුනෙ යාලුවෙලා අවුරුද්දක් කිව්වම”

එහා පැත්තෙ ඉඳන් දෙව්ලි කියන හැමදේම අහන් උන්නු මානවීට ඒ කිසිම කතාවකට වචනවලින් නම් උත්තර දෙන්න පුලුවන් උනේ නෑ. 

හැබැයි හරි හරියට ඇස්වලින් කඳුලු බිංදු එක සීරුවට ඇද හැලුණා.

අවුරුදු හතක සම්බන්ධයකට ඒ වගේ බොරුවක් කරන්න කිසල්ට පුළුවන් වුණේ කොහොමද?

කිසල්ගෙ ෆේස්බුක් අකවුන්ට් එකේ තියෙන තමන්ගෙයි කිසල්ගෙයි ෆොටෝස් “ඔන්ලි මී” දාපු එක, තමන් කිසල්ව ටැග් කරල දාන පෝස්ට් පබ්ලිශ් වෙන්නෙ කිසල් ඇපෲව් කරාට පස්සෙ බව මානවීට මතක් වුණා.

ඒ ඇයි කියල තමන් කවදාවත්ම කිසල් ගෙන් ඇහුවෙ නැත්තෙ තමන් මුලු හිතෙන්ම කිසල්ට ආදරේ කරා සහ විශ්වාස කර නිසා බව මතක් වෙද්දි කඳුළු වැක්කෙරුණෙ ගඟක් පුරවන්න ඇති තරමට.

අඬාගෙන ගෙදර ගියපු මානවීව තුරුලු කරගෙන සනසන්න අම්මයි, තාත්තයි, අක්කයි ගෙදර හිටියා. ඒත් රැවටීමේ වේදනාව එහෙම ලේසියෙන් හිතෙන් අහක් කරල දාන්න පුලුවන්ද?

තමන්ගෙ හිත හදන්න මොන තරම් දේවල් කිව්වත් අම්මා වුණත් හිටියේ හිතේ අමාරුවෙන් කියල මානවී දැනගත්තේ අම්මා තාත්තා එක්ක කරනව ඇහුණ කතාවකින්.

“අනේ මන්දා පවුලේ හැමෝම වගේ මේ සම්බන්ධෙ ගැන දන්නවනේ, මොනව කියන්නද මන්දා අහන මිනිස්සුන්ට” කියල අම්මා කිව්වට තාත්තා නම් කිව්වේ “මිනිස්සු මොනව හිතුවත් කමක් නෑ අපේ දරුවා ඔය වගේ කරදරේකින් ගැලවිලා” කියලා.

ඒත් යාලුවන්ට, ඔෆිස් එකේ අයට, නෑයන්ට මුණ දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් මානවීට හම්බුණේ නෑ.

ළඟින්ම උන්නු දෙව්ලි, දිව්‍යා, පාරින්දි වගේ යාලුවො කීප දෙනෙක් ඇරුණම අනිත් හැමෝම තමන් දිහා බැලුවෙ සමච්චලේට වගේ කියල හිතල කී පාරක් නම් ඇඬුවද?

“හැම වරදකටම සමාව දෙන්නම්, අපි ආයෙ යාලු වෙමු” කියල කිසල්ට පණිවිඩේකුත් යවන්නයි හිතන් හිටියෙ.

දුරකතනයෙන් කතා කරලා කිසල්ට බැනලා, රණ්ඩු වෙලා සම්බන්ධෙ නතර කරත් ඒ ගෙවිච්ච මාස හය හත ඇතුළත කී පාරක් නම් කිසල් කතා කරාවි කියල බලාගෙන හිටියද?

“ඇයි මට මෙහෙම කරේ?” කියලා අහපු ප්‍රශ්නෙටවත් උත්තර නොදී කිසල් තමන්ගේ ජීවිතෙන් ගිහින් තියෙන්නෙ ආවටත් වඩා වේගෙන් කියල තේරෙද්දිත් මාස හය හතක් ගෙවිලා.

හරිනම් හිත හදාගන්න පුලුවන් වෙන්න ඕන තමන්ට නේද කියල හිතුණත් තමන්ව අමතක කරල හිත හදාගන්න පුලුවන් වුනේ කිසල්ට.

 “මොකටද ඔහොම දුක්වෙන්නේ? හරිනම් උඹව රවට්ටපු මිනිහ වෙන කෙනෙක්ව බැන්ද කියන එක දැනගත්තම මොන තරම් නම් සන්තෝස වෙන්න ඕනද? වැටෙන්න ගිය අමාරුවකින් බේරුණා කියන දේ ගැන සන්තෝස වෙන්න ඕන නේද? 

“මට හිතාගන්න අමාරුයි කිසල් කොහොමද ඒ තරම් ඉක්මනට මාව අමතක කරේ කියල. මට දරාගන්න අමාරු ඒක දෙව්. මම හැමෝටම කොච්චර නම් කියල තියෙනවද කිසල් මට අච්චර ආදරෙයි මෙච්චර ආදරෙයි කියල. මම කොහොමද ගෙදරට, ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ?”

“නොගැලපෙන සම්බන්දෙකින් ඈත්වෙන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. අද කිසල් වෙන කෙනෙක් බැන්ද කියල දැනගත්තම ඔයාට මිනිස්සු හිනා වෙනවනම්, ඔයා කිසල්ව බැඳගෙන දුක් විඳිනව කියල දැනගත්ත දවසටත් හිනාවෙනවා. ඒ නිසා බොරුවට අඬන්න එපා”

“දාහක් මල් පිපෙන වසන්තය ළඟටම ඇවිල්ල තියෙන වෙලාවෙ කවදාවත් මල් පිපුණෙ නැති කටු ගහක් මැරිල ගිය එක ගැන හිත රිද්ද ගන්න එපා. ඒක පිපෙන්න තියෙන මල්වලට නොපිපෙන්න දෙන ඉඩක්. ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න වුණ හේතු නැතිවුන එක ගැන විඳව විඳව ඉන්න නෙවෙයි”

උරහිසට හෙමින් තට්ටුවක් දාන ගමන් දිව්‍යා කිව්වෙ මොන තරම් ඇත්ත කතාවක්ද?

තිරය මත වැටිල තියෙන කිසල්ගෙත් නිපුනිගෙත් මංගල ජායාරූපය බලන ගමන් මානවී එහෙම හිතුවා.

සමහරවිට කිසල් නිසා තමන්ට ලැබෙන්න ගිය ගිම්හානය නිපුනිට වසන්තයක් වෙන්න පුලුවන්. 

මානවී ඒ ෆොටෝ එක යටින් “අලුත් ජීවිතයට සුබ පැතුම්” කියල ටයිප් කරේ ඒ හිතේ සැහැල්ලුවත් එක්ක.

උදතාරි

More Stories

Don't Miss


Latest Articles