මම තව තවත් සන්සුන් වීමි. මල් වෙඩිලි වාගේ පුපුරා විසිර යන්නට අරාඳින සිතිවිලි එකත්පස් කර ගෙන සන්සුන් වෙනවා කියන්නේ, ප්‍රේමය විෂයේ නම් භාවනානුයෝගී වෙමින් දැහැන් වඩනවා වාගේ දෙයකි. නමුත් මාර්ග ඵල වල අමා රස වළඳන්නට නම් විදසුන් වැඩිය යුතු ම ය. ප්‍රේමය නියමාකාරයෙන් අප වෙත ප්‍රවේශ වන තුරු ඉවසීමෙන් බලා ඉන්නට නම් දැඩි හික්මීමක් තිබිය යුතු වේ. ඉවසීම උරගානා එක වාසනාව උරගානවාට වඩා දුෂ්කර ය.
“ඔයා මෙච්චර කල් බලං හිටියෙ විහාර වගේ මාරම ජෙනුයින් කොල්ලෙක් එනකල් කියල හිතනකොට…එතන මාර මෙව්ව එකක් තියෙනෝ ශිකී. මං වුණත් ට්‍රැක් පැනපු ගෑනියෙක්නෙ. දේවල් අපි ළඟට එන්න කලින් පැනල දේවල් සිද්ද කරන්න ගියපු…දෛවය හරි ඉරණම හරි සොබා දහම හරි දෙවියො හරි…වට් එවර්…මාර සාධාරණයි. හරියටම හරි දේ කකුල් දෙක ළඟට එනකල් ඉවසං ඉන්න පුළුවන් කෙනාට බන්දේසියෙ තියල දෙන්නෙ. බන්දේසියෙ තියල”
විහාර මා විශ් යූ වෙතට ඇරලවා ගියාට පස්සේ හවස තේ එක බොමින් නූරි කීවා ය.
“පිරිමි තමයි ඔය හැම තැනම ඉන්නෙ. ඒත් ගෑනු අපි ඕන තරං අත්විඳිනවනෙ පිරිමි කියන්නෙ කවුද කියල. මේ ඩිවෝස් කේස් එකේදි එක එක ඒවට උදව් ගන්න හරි ප්‍රොෆෙශනලි සල්ලි වලට වැඩ කර ගන්න හරි සිද්ද වෙච්ච පිරිමින්ගෙන් කී දෙනෙක් රෝං සයිඩ් එකෙන් ක්ලෝස් වෙන්න බැලුවද…කසාද බැඳල නැති හරි…ඩිවෝස් වෙලා හරි…හස්බන් රටේ නැති හරි…කොයි විදිහෙං හරි ගෑනියෙක් තනියම ඉන්නව කියල දැන ගත්ත ගමං හුඟක් පිරිමි මුට්ටිය දාල බලන්න එනව…තට්ටු කළාම දොර ඇරෙන තැනක් තියෙයිද කියල. පිරිමි හිතන්නෙ එහෙම ගෑනුන්ට හරි ලේසියෙං ලං වෙන්න පුළුවන් කියල. කොටිංම උං හිතන්නෙ ගෑනු මේ බලං ඉන්නෙ ඉඳිකට්ටට නූල ඇමිනෙනව වගේ පිරිමියෙක්ට දැවටෙන්න කියල. උං දන්නෑ ගෑනුන්ට ඕනෙ ආදරේ කියල. උං හිතනව ගෑනියෙක් පිරිමියෙක්ගෙං බලාපොරොත්තු වෙන්නෙ ඇඳ උඩ පෙරල ගන්න එක විතරයි කියල. උං දන්නෑ උන්ට ගෑනු හිනා වෙනව කියලත්. වැඩක් කර ගන්න කෝල් එකක් ගත්තහම ඒ ගෑනිගෙ ෆෝන් එකට හායි හූයි ගගා මැසේජ් එවන පිරිමි සාපයක් කියල හිතනව කියලවත් උන් දන්නෑ. තත්වයක් තරාතිරමක් උගත් කමක වෙනසක් නැතුව හුඟක් පිරිමි එහෙම වෙද්දි…විහාර වගේ කොල්ලෙක්…දෙයියනේ එයාව ඔයාට මිස් වෙන්න එපා කියලයි මට ඉල්ලන්න තියෙන්නෙ”
ඇය එසේ කීවේ අහස දෙස බලා දෑත් එක් කරන අතරේ ය.
“අපි ඔක්කෝටම එයා ඕනෙ. ඔයා දැනුවත්ව හරි නැතුව හරි…විහාර නිසා අපිට වෙනම පවුලක් ලැබුණ වගේ පහුගිය කාලෙ දැනුන්නැද්ද…බිඳිච්ච රිදිච්ච මිනිස්සුන්ගෙ පවුලක්. උං උං තම තමන්ගෙ තුවාල පිරිමැදගන්නයි අනික් එකාව සනීප කරන්නයි මහන්සි වෙන විදිහෙ පවුලක්…තමන්ගෙ තුවාල කැක්කුං ගැන අමතක කරල අනිත් එකාට රිදෙන්නෙ නැතුව ජීවිතේට මූණ දෙන්න පහසුකං සලසන විදිහෙ පවුලක්. ඔයා දන්නවද.. මටනං ඒ පවුල මේ ජීවිතේ තියෙන තුරා ඕනෙ ශිකී. විහාර ආපු ගමං චූටියට වෙඩින් එකක් අරං ඔය දෙන්න එකතු වෙන්න. අපිට තියන හයිය තමයි ඔය දෙන්න. මට..නංගිට..අම්මට…අර ඉපදෙන්න ඉන්න පොඩි එකාට පවා…මෙහෙම කියන එක සෙල්ෆිශ් කමක් වෙන්නැති…ඒත්…අපිට අපි නැතුව හරි අමාරු වෙයි. විහාර එක්ක මුළු ජීවිතේම ඔයා සතුටෙන් ඉන්න ඕනෙ. අපිටත් ඒ සතුටෙ කොං වල හරි එල්ලිල ඉන්න පුළුවන් වෙයි එතකොට. අද මට මාර සතුටුයි ශික්ක..මාරම සතුටුයි”
මා ඒ සතුට දරා ගත්තේ නිශ්චලව ය. මේ වූ කලී දීර්ඝ වූ සිසිර නිද්‍රාවක අන්තිම හෝරාව විය හැක. හිරු එළිය කොච්චර වටිනවාද කියා දන්නේ එහෙව් ශිශිරයක දීර්ඝ කාලීන නිද්‍රාවකට පිළිපන් ව උන් මිනිසුන් ය. මිමෝසා පත්‍රිකා වල නිද්‍රා සන්නමන චලන වාගේ සියුම් වූ ගැස්මක් ද මා අත්විඳි බව කිව යුතුව තියේ. ඒ තරම් පහසුවෙන් සියල්ල සිදු විය හැකිද යන හැඟීම ඉඳ හිට හිත අස්සෙන් එබිකම් කළ හින්දා ය.
කීවා වාගේ ම විහාර වරින් වර කතා කළේ ය. ගුවන් ගත වීමට ප්‍රථම කටුනායක දීත්, වරින් වර වෙනත් දේශයන් හි සිදු කළ ගොඩ බෑම් වලදීත්, දීර්ඝ වූ ගුවන් ගමනකට පස්සේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි පසුවත් මට ඔහු ඉන්නා තැන ගැන තොරතුරු කීවේ ය.
“නංගිට ටිකක් අමාරුද මන්ද…ඊයෙ රෑ කෙඳිරිත් ගෑව. ඩිලිවරි ඩේට් එකටනං තව දවස් තියනව. අනේ මන්ද මට බයත් එක්ක…ඔයත් නෑනෙ”
අලුතෙන් කියන්නට තිබුණේ නංගී ගැන ආරංචිය ය.
“වෑන් එක හයර් කරන කෙනාට කියල තියන්න…හදිස්සියක් වෙන ඕන වෙලාවක කෝල් එකක් දෙනව ලෑස්ති වෙලා ඉන්න කියල. අපරාදෙ එක අතකට…මට මේ දවස් ටික පහු වෙලයි එන්න තිබුණෙ”
“ඒත් ඉතිං තව ඉස්සරහට කල් තියනව කියලනෙ අපි හිතුවෙ”
“අමාරුවක් වුණත් කලබල වෙන්න එපා හරිද…හොස්පිට්ල් එකට ගෙනියන්න ඕන හැම දේම ලෑස්ති කරල තියන්න. ඔයාට හිතෙනවනං ඉක්මනට ඩිලිවරි එක වෙයි වගේ…ක්ලිනික් ඩේට් එක නෙවෙයි වුණත් කමක් නෑ ඩොක්ටර් චැනල් කරල පෙන්නන්න. ඩොක්ටර්ගෙන් අහන්න කලින් ඇඩ්මිට් වෙන්න ඕන වෙයිද කියල. බය වෙන්න එපා හරිද…”
“ඔයා අපිට කොච්චර හයියක් වෙලා ඉඳලද කියල තේරෙන්නෙ දැන්. කොච්චර අපි මෙන්ටලි ඔයා මත ඩිපෙන්ඩ් වෙලාද විහාර…”
“මෙහේ වැඩ ටික ඉක්මනට වෙනව. දුවගෙ වැකේශන් එකට තව කල් තියනව. නැත්තං මං මේ ගමන් එයාවත් එක්කං එනව”
“එයා මට කැමති වෙයිද…”
ඒ ප්රශ්නය හිතේ හිර වී මට කොයි තරම් පීඩා කළා ද කියා වැටහුණේ එය පිට වූ ඉක්බිති දැනුණ සැනසීම නිසා ය.
“ඔයාට කවුද අකමැති වෙන්නෙ…”
විහාර ගේ ස්වරයේ සිනහවක සේයා තැවරී තිබිණ. නමුත් ඒ පිළිතුරෙන් තෘප්ත කළ නො හැකි කොනක් මගේ හිතේ වන බවක් මට දැනුණේ ය. එනමුදු මම ඒ හැඟීමට වචන නො දුන්නෙමි. වෙන්නට නියමිත දේවල් ගැන කල් තියා ශෝක වීම සේ ම ප්‍රීති වීම ද අනුවණ කමකි. අප බලාපොරොත්තු වෙන කිසිවක් ම නො සිදු වීම බොහෝ විට ජීවිතය යයි දැනටමත් මට අවබෝධ වී ඇති නිසා ය.
නංගී තරමක වෙහෙස ගතියකින් පසු වන බවක් මට දැනිණ. ඇය ඇවිද්දේ අසීරුවෙනි. හුස්ම ගත්තේ මහන්සියෙනි. ඇගේ උදරයේ පහත් වීමක් සිදු වී ඇති නිසා නියමිත දිනයට කලින් ප්‍රසූතිය සිදු වනු ඇතැයි අම්මාත් කීවා ය. මම දුරකතනය ඔස්සේ ඇගේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමු වීමට වෙලාවක් වෙන් කොට ගතිමි. එය යෙදී තිබුණේ පසු දා ට ය. නමුත් ඒ රාත්‍රියේ නංගී කෙඳිරි ගානු ඇසී මා වහා අවදි විය. එකෙනෙහි මා යහන මත හිඳවුණේ ඇය ගැන නින්දෙන් පවා අවධානයෙන් සිටි නිසා විය හැක.
“මට අමාරුයි වගේ අක්කෙ…අනේ…කොන්ද රිදෙනව අක්කෙ…”
ඇය ඉණෙහි අතක් ගසා ගෙන වේදනාත්මක බවක් පෙන්වූවා ය. මම වහා යහනෙන් බිමට පැන අම්මා අවදි කළෙමි.
“අපි හොස්පිට්ල් ඇඩ්මිට් වෙමු. අම්ම නංගිව ලෑස්ති කර ගන්න මං අර වෑන් එකට කෝල් එකක් දෙන්නං”
ඊට පෙර කිසි දා ක මගේ හිත ඒ තරම් කලබල වී නැත්තේ ය. හදවත ගැස්ම පිටතට ද ඇසෙන තරම් විය. නමුත් මා කලබල නොවිය යුතු බව මගේ ම සිත මට මුමුණා කීවේ ය. වෑන් රථයේ රියදුරු ගේ නම සිහි කර ගත නො හැකි ව විනාඩි ගණනක් දුරකතන තිරය දෙස බලා ඉන්නට පවා මට සිදු විය.
“එළි වෙනකල් ඉන්න බැරි වෙයිද නංගි…මං මේ ට්‍රිප් එකක් ගිහිං ඇවිත් පොඩ්ඩක් ඇස් පියා ගත්ත විතරයි අප්ප”
ඔහු නිදි මත විකාරයෙන් කීවේ ය. හිතේ වූ කලබලය නොරිස්සුමකට හැරුණේ අසරු සැනෙනි.
“බබෙක් හම්බ වෙන අමාරුව එහෙම කල් දාන්න පුළුවන් කියලද ඔයා හිතං ඉන්නෙ…අනේ ප්ලීස් දැන්ම නැගිටල එන්න. ඔයා ඉල්ලන ගාණක් ගෙවන්නං මං”
“නංගිගෙ කෑගැහිල්ලට තමයි මං හරියට නින්දෙන් ඇහැරුණේ”
පසුව, රෝහල වෙත යන ගමන් ඔහු කීවේ ය.
නංගී කෙඳිරි ගාත්දී, රිය තුළ ම ඇය ප්‍රසූතිය සිදු කරාවි ද යන බිය මා තුළ ඇති වූ බව කිව යුතු ය. එසේ වුව හොත් කුමක් කරන්න දැයි මම තනිව සිතුවෙමි. නංගී පෙන්වන වේදනාවේ තරමට, ප්‍රසූතියේ දී ඇය මිය යාවිද යන බිය වරින් වර මා තුළ ඉස්මතු විය. මම හිතට තරවටු කරමින් ඒ සිතිවිල්ල හිත යට එබුවෙමි. නංගී හා දරුවා යන දෙදෙනා ගෙන් එක් අයෙකු පමණක් මේ තත්වය යටතේ බේරා ගත හැකි යයි වෛද්‍යවරයා පවසතොත් මා බේරා දෙන ලෙස ඉල්ලා සිටින්නේ කාව ද? නංගී ව ද නැත්නම් දරුවා ව ද? පවුලේ කෙනෙකු ඒ වාගේ සංකීර්ණ අවස්ථාවක දී සැබවින් ම කෙලෙස එවන් තීරණයකට එළඹෙන්න ද? මට විහාර ගේ අම්මා සිහි විය. ඔහු ඉපදෙත්දී ඇය මිය ගොස් තිබේ. මගේ සිත විකාර සිතුවිලි වලින් ව්‍යාකූල ව තිබිණි. එය පිස්සු හැදීමට ආසන්න ව ඇතිවා වන් නිමේශයකි.
නංගී ව ඇගේ ප්‍රසව වෛද්‍යවරයාට අදාල ගර්භණී වාට්ටුව වෙත යොමු කෙරිණ. ඒ වෙලාව වන විට ඇගේ කෙඳිරිලි උහුලා ගත නො හැකි කෑගැසීම් දක්වා ද වර්ධනය වී තිබිණ.
“අනේ මොනා හරි කරන්නකො මිස්…ඩොක්ටර්ට කතා කරන්නකො මිස්…”
කියමින් මම රෝහල් කාර්ය මණ්ඩලයට බැගෑපත් වෙන්නට තරම් අසරණ වී සිටියෙමි. අම්මා නංගී ගේ යහන අසලට වී ඇය සනසමින් සිටියා ය.
“අනේ මේ බොරුවට කෑ ගහන්නෙ නැතුව ඉන්න. ඔය අමාරුවට බබ්බු හම්බ වෙන්නෑ”
එතැන උන් නපුරු පාට වින්නඹු මාතාවක් නංගී ට සැර දැම්මා ය. නිදහස් සෞඛ්‍ය සේවය ගැන මුල් ම වතාවට මා තුළ බියක් ද සැකයක් ද ඇති වන්නට විය. නංගීව දරු ප්‍රසූතිය සඳහා පෞද්ගලික අංශය වෙත යොමු නො කිරීම මා අතින් සිදු වූ වරදක් ද යන පසු තැවීම දරුණුවට මගේ ළය පහුරු ගාන්නට ගති. ඇගේ විළි රුදා මොර දීම් අසා උහුලා සිටින්නට මට බැරි තරම් විය.
“යන්න යන්න දැන් ලෙඩාව බාර දුන්නනෙ. ඕගොල්ලො යන්න…මේ වෙලාවෙ පිට කාටවත් වාට්ටුවෙ ඉන්න බෑ”
කියමින් සෞඛ්‍ය සේවිකාවක බෙරිහන් දෙන්නට ද වූවා ය. මේ වාගේ තත්වයකදී මානුශීය වන්නට බැරි ඔවුන්ගේ ගැහැනුකම් පිළිබඳ මට දැනුණේ කලකිරීමකි. අනිත් අතට ඒ ඔවුන් ගේ රාජකාරියය කියා සිතන්නට මම උත්සාහ කළෙමි.
“ඔයාට මුකුත් කරදරයක් වෙන්නෑ පුතේ…බුදු සරණයි..”
කියමින් අම්මා නංගී ව සිප සනසා ඇගෙන් ඉවත් වූවා ය. මේ වාගේ තැනක නංගී තනි කර යන්නට බැරි බියක් දරුණු ලෙස මට වද දුන්න ද අපට තව දුරටත් වාට්ටුව තුළ රැඳී සිටිය නො හැකි වූයේ ය. මා අම්මා සමග පිටතට එන විට ම නංගී අසීමිත වේදනාවකින් කෑ ගසන්නට වූවා ය. අම්මා නිහඬ ව කඳුළු සැළුවා ය. කඳුළු වියළා දමන අවිනිශ්චිත බියක් මා තුළ විය.
“අපි තව ටිකක් බලමු අම්මෙ. මෙහෙම නංගිව දාල යන්නෙ කොහොමද…”
“ඒත් අපිට ඉන්න දෙන්නෑ බබා. තවත් මෙතන හිටියොත් සෙකියුරිටි එකෙන් අපිව එළවයි”
තවත් විලාප දීම් කිහිපයකට පසු කාර්ය මණ්ඩලය නංගි ගේ යහන වට කොට ගත්හ. ඇය ව ට්‍රොලියක දමා ගන්නවා අප දුටුවේ කොරිඩෝරයට මත්තෙන් ඈත සිට ය.
“ලේබර් රූම් ගෙනියනව ඇති”
අම්මා මිමිණුවා ය. නංගී රැගත් ට්‍රොලිය නො පෙනී යන තුරු අපි බලා සිටියෙමු. ඇගේ වේදනාවේ විලාපයන් ඈතට පවා ඇසිණ. මා සිටියේ කඩා වැටෙන්නට ආසන්න බර වූ වැහි වලාකුළක් වාගේ, උහුලා ගත නො හැකි සීමාවක ය.
දුරකතනය හැඬවුණේ විහාර ගේ නමිනි. මේ වෙලාව ඔහු ට මැදියම් රැය නොවී ද, මගේ නින්දට වෙනදා නම් ඔහු බාධා කරන්නේ නැත. මම වහ වහා දුරකතනය සවනට ගතිමි.
“අනේ විහාර…නංගිට අමාරුයි විහාර…එයාට හොඳටම අමාරුයි”
“කලබල වෙන්න එපා ශික්ෂා. මට නිකමට හිතිලයි මේ වෙලාවෙ ගත්තෙ. දැන් මොකද වෙන්නෙ…නංගිව හොස්පිට්ල් ඇඩ්මිට් කළාද…”
“ඔව්. දැන් ලේබර් රූම් ගෙනිච්ච”
“එහෙනං මුකුත් ප්‍රශ්නයක් නෑනෙ ශික්ෂා. හැම දේම හොඳට වෙයි. ඔයා හොඳටම බය වෙලානෙ..ම්…ඔයා කලබල වුණාම අම්මයි නංගියිත් බය වෙනවනෙ…ඒක සාමාන්‍ය දෙයක්. තේරුණාද…දැන් කූල් ඩවුන් වෙන්න”
අප නැවත ගෙදරට යන තුරු ම විහාර දුරකතනය ඔස්සේ මා හා සම්බන්ධ ව සිටියේ ය. ඒ වෙලාවේ හැටියට එය මහත් වූ සැනසිල්ලක් දැනවී ය. නමුත් නංගී පිළිබඳ කුමක්දැයි නිශ්චිත නැති බියක් මහ බරක් සේ දිගට ම පපුව මත පැටවී ගෙන තිබිණ.