මම වෙනම මලක් – 30

“ඔයා මාව දාලා යන් නෑ කියල මං දන්නව.බැඳීමක් කියන්නෙ එහෙම දේකටනෙ. ඔයා විකුම් එක්ක කිසිම සතුටකින් ජීවත් වෙලා නෑ කියන දේ මට තේරෙන්නේ ඔයා මං ළඟ සතුටින් ඉන්නකොට. ඔයා වගේ ගෑනු ළමයෙක් මඟ ඇර ගත්තු එකා කොච්චර මෝඩයෙක්ද?

දුලාජ් එහෙම මිමිණුවේ නිමේෂාට වඩාත් ළංව ය. ඔහුගේ ආදරය ප්‍රේමයෙන් දරා ගැනීමට නිමේෂා හිත හදා ගත්තා ය.ආදරය කියන්නේ ආදරයට ය.අසම්මත හෝ සම්මත යැයි බැඳීමක් ආදරයක තිබෙන්නට නුපුළුවන.ඈ එසේ සිතුවා ය.ආදරය පිපී එද්දී ඒ මල් පොහොට්ටුව තැලෙන්නට ඉඩ නොහරින්නට නිමේෂා හිත දැඩි කර ගත්තා ය. අනෙක් කාරණාව විකුම් මෙන් රැකියාවක නිරත වෙන ව්‍යාපාර පරිපාලනය කරන සීතල පාට කොල්ලෙක් ඇයට මේ සතිය පුරා දුලාජ්ගෙන් පෙනුණේ නැත. ඔහු ඇවිලෙනසුළු ගිනි සිළුවකි.

“අද  අපි කොහෙද නතර වෙන්නේ.මං හොටෙල් එකක් බුක් කරන්නම්?”

නිමේෂා ඇසුවේ දුලාජ් පිටත් වෙන්නට සැරසෙද්දී ය.ඔහුට මෙතරම් ඉක්මනකට පිටව යන්නට ඉඩ හරින්නට ඇයට ලෝබකමක් දැනේ. අනෙක් අතට ඇයට උවමනා ඔහුගේ වෙළෙමින් ජීවත් වෙන්නට ය. ආදරය ඉතා ප්‍රබල අවියකි. නමුත් සරාගයේ ප්‍රබලතාවය ඊට වැඩි බව නිමේෂාට වැටහී අවසන් ය.

“මං ඉතිං පුරුදු විදියට බෝඩිමට යනවා. අද ගනේෂයත් නෑ. ඔයත් එනවනම් එන්න”

ඉඩපාඩුකම් අවම ඒ නවාතැනේ ඔහුට ඉන්නට ඉඩ හරින්නට ඇයට සිත් නොවී ය. කොහොමටත් ඇය එවැනි අල්ප ජීවන හැඩතලවලට අකමැති ය. දුලාජ් අහස්‍යා සමඟ ගීතයෙන් පසු සල්ලිකාරයෙකු වන බව ඇය දනියි. ඒ හන්දා මේ කාලයේ ඔහුට ආයෝජනය කරන්නට ඇය සිත එකඟ කරගෙන අවසන් ය. ඇය වැඩ කරන්නේ සැලසුම් සහගතව ය.

“ඒකෙ ඉඩක් නෑනෙ බබා.. එහෙම ඉන්න අමාරුයිනෙ. කිසිම නිවනක් නෑ.”

නිමේෂාගේ ආදර හඬට දුලාජ්ගෙන් ලැබුණේ උස් සිනාවකි.ඔහු හිනැහෙද්දී තමන්ගේ හදවත පිපී එන අන්දම නිමේෂා වින්දේ රහස් සතුටකිනි. සිනාවකට පවා හැඟීම් අවුලවාලන්නට සමත් ප්‍රේමවන්තයෙකු ලෙහෙසියෙන් නොලැබෙන බව ඇය ඉනික්බිතිව සිතුවා ය.

“මීවිත උතුරන එතැන තමයි නිවන..”

සාදයකදී පවා ගාණකට මිම්මකට මත් බිඳක් තොල ගාන විකුම් සම්ප්‍රදායික මිනිසෙකු බව නිමේෂාට හදිසියේ සිතිණ. ඔහු බීමට ඇබ්බැහි වූයේ පසුගිය දවස්වල ය. නිමේෂා නොනවත්වාම හිත කැබලි කර දමද්දී ය. තමන්ගේ ව්‍යාපාර සහ රැකියාවත් මදි පාඩුවට පවුලත් ජීවිතය කරගත් ඔහු තරුණ ජීවිතය විඳින්නට නොදන්නා මිනිසෙකු බව නිමේෂා සිතුවේ අපුලෙනි.ලෙහෙසියෙන් යුවතියක නොලැබෙන වර්ගයේ උපන්දින සහ සංවත්සර තෑගි ද අහේතුක හේතුවලට ලැබෙන මල් කළඹ ද තෑගි දෙමින් තමන්ව රඳවා තබා ගන්නට තැත් දරන ඔහුගේ මුදලෙහි නැති බලයක් දුලාජ්ගේ තුරුණු හැසිරීමෙහි සහ හිනාවේ ඇති බව නිමේෂා සිතුවා ය.

“මං බෝඩිමට යන්නම් බබී..ඔයා ගෙදර යන්න.”

තවත් පෙම්වතියක මුණ ගැසී ඇය කැටුව බෝඩිමට  යන්නට සිතූ දුලාජ් නිමේෂාට සමු දුන්නේ ය.සෙව්වන්දි සදාකාලික ප්‍රේමවන්තිය වීමට උත්සාහ දැරීම ඔහුට කෙසේවත් ඔරොත්තු දෙන කාරණාවක් නොවේ.නමුත් දැන් ඇය ගැළවෙන්නට නොහැකි තරමට ඔහුට බැඳෙමින් සිටී. ඇගේ කෝපය අවුලන්නට සිතමින් ඒ සඳහා හේතුවක් සොයමින් සිටි ඔහුට යූ ටියුබ් තරුවකගෙන් මැසේන්ජර් පණිවිඩයක් ආවේ රාත්‍රියේ මැදියම් යාමයේ ය.

“ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි අනේ. භාවනාවක් වගේ මම හරිම ආසයි. අහස්‍යා අක්කි එක්ක කරන සින්දුව ගොඩක් ෆේමස් වෙන්න කියලා මම විශ් කරනවා.

ඒ ජනප්‍රිය නිරූපිකාවක තරුවක වන නිමේෂාගේ සැබෑ ෆේස්බුක් ගිණුමෙන් ආ පණිවිඩයක් දැයි දුලාජ් කිහිප වතාවක් පරීක්ෂා කළේ ය. ඒ ඇය ය. කොල්ලන්ගේ සිහින කුමරිය වූ ඇය ය. දන්නා තරමට ඇයට අහස්‍යාගේ ඥාති සහෝදරයෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් ද තිබේ. අනෙක් අතට නිමේෂා වැනි කෙල්ලන් නඩත්තුව ද පහසු නොවේ.

“බොහොම ස්තූතියි”

දුලාජ් එපමණක් ලියා යැවූයේ ඈ ඈත අහසක රැදුණු තරුවක් බව දැන සිටි නිසා ය. ඇය අනුන්ගේ අහසක තරුවක් වීම ගැටළුවක් නොවේ. නමුත් ඇය දිනා ගන්නට ඈත වැඩි වග ඔහු සිතී ය. එහෙත් වෙනම අරමුණක එල්බගෙන සිටි නිමේෂා  ඔහු ගයන සමහර ගී ගැන ඔහු හා සංවාද කරන්නට ගත්තා ය. ඇය දන්නා සංගීතයක්වත් පද රචනයක්වත් නැතත් එහෙන් මෙහෙන් අහුලා ගන්නා කතාවලින් ඇය සංවාද ගොඩ නගා ගත්තා ය.

“මං හරිම ආසයි ඔයාගේ අලුත් සෝන්ග් එකේ ඇක්ට් කරන්න. විකුම් මාව  බ්‍රේකප් කරපු නිසා  අහස්‍යා කීයටවත් මාව ඒකට ගන්නෙකක් නෑ..”

ඈ අසද්දී පළමු වෙඩි උණ්ඩය එල්ල කරන මොහොත පැමිණි බව එරන්ද වටහා ගත්තේ ය. ඇයට රූප රචනයට ඉඩ දීම ගැන කැට තබා පොරොන්දු වෙන්නට අසීරු ය. නමුත් ඇයට සමීප වෙන්නට බැරිකමක් නොවේ.

“ඔයත් ඉතින් තනිකරම කවියක්. ඔයාව දාලා ගිය මිනිහා බූරුවෙක් කියලා තමා මට කියන්න තියෙන්නේ”

ඔහු එසේ කී අතර ඈ ඒ වදන් වලට අනුබල දෙන්නට ගත්තා ය. මිත්‍රත්වයේ අවකාශ අවසන්ව යන්නට ගත වූයේ කෙටි දිනකි.නිමේෂාට සරාගයේ විවිධත්වයක් මිස ප්‍රේමයක් නුවුමනා වග එදවස සිතූ මුත් දැන් එය වැරදි වැටහීමක් බව දුලාජ්ට වැටහේ.ඇය දැන් කිසිසේත්ම ඔහුගෙන් මිදෙන්නට නොකැමති ය.

සෑම පෙම්වතියකම මෙන් ඇය ද ඔහුට දැඩිව ආසක්ත වී හමාරය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles