මතක දිගහැරුම 85 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ පස්වන දිගහැරුම ,

අපගේ නවාතැන ඉදි කරන කාලයේ අප බුත්තල ප්‍රදේශයට යාමට කැමැත්තක් දැක්වූවද එම ප්‍රදේශයට යාමට අප තුළ වූයේ තරමක බියකි.එම කාල වකවානුව යුද්ධය තදින්ම පැවති කාලයක් විය.බුත්තල මාර්ගයේ එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් නිතර සිදු වූ නිසා එම මාර්ගයේ ගමන් කිරීම අවදානම් සහගත බව අපට හැඟී තිබුනි.අපගේ නවාතැනෙහි එක් ස්ථානයක වහල හෙවිලි කිරීම සඳහා ඉලුක් යෙදීමට හෂාන්ට උවමනා වූයේය.නමුත් ඒවා මිලදී ගැනීම සඳහා බුත්තලට යා යුතු විය.බොහෝ දෙනා පැවසුවේ එහි යාම අවදානම් සහගත නිසා එම වහලය පොල් අතුවලින් සෙවිලි කරන ලෙසයි.නමුත් හෂාන් එයට එකඟ නොවූ නිසා තවත් අයකු පැවසූ පරිදි බුත්තල ප්‍රදේශයේ එක් ස්ථානයකින් ඉලුක් මිලදී ගැනීමට අප සූදානම් වූ අතර ගමනට මා ද එක් වූයේ හෂාන් ව තනිවම යැවීමට මා තුළ කැමැත්තක් නොවූ නිසාය.ඒ අනුව ඉලුක් කපා විකිණීමට තිබෙන නිවසක් සොයා මා හෂාන් සමග ගියෙමි.අප දෙදෙනා ආපසු පැමිණියේ මිටි බැඳ තිබූ ඉලුක් තොගයක්ම රැගෙනය.අප දෙදෙනා ගිය එම ප්‍රදේශය ආසන්නයේ බස් රථයක් බිම් බෝම්බයකට හසු වූ බව අපට දැනගන්නට ලැබුණේ පසුදින උදෑසන ය.පෙර දිනයේ හෂාන් සහ මම එම ප්‍රදේශයට ගියේ බෝම්බය පිපිරවූයේ වෙලාවට ආසන්න වේලාවක නිසා එම ආරංචියෙන් මා තරමක් තැති ගත්තෙමි.

එළිමහන් ස්ථානයක මේස යොදා අපට ආහාර ගැනීම සඳහා ස්ථානයක් ද, මුලුතැන්ගෙයක්ද අප ඉදි කළෙමු.අපගේ දෙමවුපියන්ට සහ සේවය කරන අයට ද නවාතැන් ගැනීම සඳහා තවත් කුටි තුනක් ඉදි කිරීම අපගේ ඊළඟ පියවර විය.ඒ වගේම තවත් ශාලාවක් වැනි කොටසක අදත් සූදානම් කළ අප ඒවාට මදුරුදැල් සහ විදුලි පංකාද යොදා ස්වාභාවික සුළඟ සහ වාතාශ්‍රයද හොඳින් ලැබෙන ලෙස සකස් කලෙමු.අදටත් එම ස්ථානය එලෙසම තිබෙන අතර අපගේ දරුවන් එහි ගිය විට නින්දට යන්නේ එම ස්ථානයේ ය.

කෙසේ හෝ එම කටයුතු සිදු කෙරෙන අතරතුර හෂාන් සහ මම වරින්වර කොළඹ පැමිණෙමින් සහ නැවත කතරගම යමින් ඒ කටයුතු සියල්ලම කළමනාකරණය කරගෙන සිදු කළෙමු.අපගේ දරුවන් වැඩි වශයෙන් ජීවත් වූයේ කොළඹ බැවින්, කතරගම ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙන අතර හෂාන් සහ මම නිතර නිතර කොළඹ පැමිණියෙමු.කෙසේ හෝ ඒ අතරතුර කාලයේ දී මා අධික ලෙස අසනීප වන්නට විය.වරින් වර අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමක් මා හට සිදුවූ අතර එය සිදුවන්නේ සිදුවන්නේ කුමක් නිසා දැයි සොයා බැලීමට වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් ද සිදු කිරීමට සිදු විය.ලංකාවේ හොඳම රෝහලක හොඳම නාරි හා ප්‍රසව ප්‍රසව වෛද්‍යවරයෙක් ලවා විවිධ පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ ගණනාවක් සිදු කළත් එම අසාමාන්‍ය තත්වය කුමක්දැයි හරි ආකාරයෙන් දැන ගැනීමට නොහැකි විය.වෛද්‍යවරුන් උපදෙස් දුන්නේ හොඳ ආහාරපාන ගෙන සාමාන්‍ය පරිදි සිටින ලෙසයි.මාසික ඔසප් වීමෙහි යම් වෙනසක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසුවත් යම් එහි අසාමාන්‍ය තත්ත්වයක් ඇති බව මට දැනෙමින් තිබුණි.කෙසේ හෝ මාසයක පමණ කාලයක් පුරාවටම මා වරින් වර අසනීප වූ අතර එහෙම අවසාන කාලයේදී වෛද්‍යවරයා මට උපදෙස් දී තිබුණේ කොළඹින් පිට නොයන ලෙසත් හදිසි අවස්ථාවක රෝහල්ගත වීමට සිදුවිය හැකි නිසා කොළඹ හෝ ඒ ආසන්නයේ සිටින ලෙසයි.

එක් දිනක හවස් කාලයේ මට වෛද්‍යවරයා මුණගැසීමට නියමිතව තිබුණි. එදිනම හෂාන් පුහුණුවීම් සඳහා යාමට සූදානම් වූ බැවින් පුහුණු වීම් වලින් පසුව වෛද්‍යවරයා වෙත යාමට අප සැලසුම් කළෙමු. තරග පිටිය ආසන්නයේ තිබෙන බංකුවක අසුන් ගෙන මා හෂාන් පුහුණුවීම් කරන දෙස බලා සිටියෙමි.එවිට මා සමග කතා කතාබහ කිරීමට තිලාන් සමරවීර මල්ලි පැමිණියේය.ඔහු දෙස බලමින් කතා කිරීමට මා උත්සාහ කරන විට මා හට කලන්තය ගතියක් දැනුණි.මගේ යම් වෙනසක් දුටු තිලාන් මල්ලි ඒ පිළිබඳව මගෙන් විමසුවේය.මට ඒ මොහොතේ දැනෙමින් තිබුණු අපහසුව පිළිබඳ මා ඔහුට පැවසූ විට ඔහු තරග පිටියට දිවගොස් හෂාන් ව කැටුව ආවේ ය.කලබලයට පත්වූ හෂාන් දිවවිත් වහාම මා රෝහලට රැගෙන යාමට කටයුතු කළේය.

අප රෝහලට යන විටම අහම්බයකින් මෙන් මා මුණගැසීමට නියමිතව සිටි වෛද්‍යවරයා අප ඉදිරියට පැමිණියේය.මා අපහාසයෙන් සිටින බවද වෛද්‍යවරයා මා සිටින තත්ත්වය වටහා ගෙන ඉක්මනින් වෛද්‍ය කාමරය වෙත පැමිණෙන ලෙස අතින් සංඥා කළේය .ඉන්පසු ඔහු වහාම ස්කෑන් පරීක්ෂණයක් සහ තවත් පරීක්ෂණයක් සිදු කළේය.ඒ මොහොතේදී සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වූයේ මා ගැබ්ගෙන ඇති බවයි.ඉන්පසුව ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ වෛද්‍යවරයා පුදුමයෙන් පුදුමයට පත් වූයේය.මින් පෙර ස්කෑන් පරීක්ෂණ කිහිපයක්ම සිදු කළත් ඔහුගේ අවධානය යොමු නොවූ කාරණාවක් සිදු වී තිබුණි.මා ගැබ්ගෙන සිටි නමුත් කලලය වැඩෙමින් තිබුණේ මගේ ගර්භාෂයෙන් පිටත නාළයකය.නාලය අවහිර කරමින් කලලය තරමක් වැඩී තිබූ නිසා එය පුපුරා යාමට ආසන්නයේදී මේ ආකාරයට මා හට කලන්තය සහ අනෙකුත් අපහසුතා ඇති වී තිබුණි.එම නිසා ඉතා ඉක්මනින් මා හට සැත්කමක් සිදු කළ යුතු බව වෛද්‍යවරයා අවසානයේදී නිගමනය කළේය

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles