නිම් නැති නිම්නය 01

“ඕකා මගෙ පුතෙක් නෙවෙයි. මීට පස්සෙ ඌ අපිට මැරිල. ඔන්න මං නොකිව්වයි කියන්න එපා මැණිකේ…මීට පස්සෙ ඌ අපේ කවුරුවත් නෙවෙයි. මේ ගෙදර එකෙක්වත් ඌගෙ නමවත් කියල තිබුණොත්… එහෙම වුණොත්…එහෙම වුණොත් දෙයියම්ප මං උන්දවත් අපිට තියන නෑකමෙං අයින් කරල දොට්ට දානව මේ ගෙදරින්”

ආරාධනා අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සී ගියා ය. ඇගේ දෙතොල් කට කට ගා වෙව්ලන්නට ගති. උගුර රිදවමින්, එතෙක් හිර වී තිබි ඉකියක් බැහැර විණි. තෙමස් බිළිඳු පුතු මවු කිරෙන් සතපවමින් උන් ඇගේ පුන් පයෝධරය, සිඟිති මුවින් අත්හැරිණි. දරුවා අත පය අඹරමින් හඬන්නට සූදානම් වූයේ ය. නමුත් ඔහු නලවා ගන්නට තරම් සිහියක් ඇයට වූයේ නැත. දරුවා කෑ ගසා හඬන්නට පටන් ගත්තේ ය. යහන මත ඇලයකට වැතිර ගත් ආරාධනා, වැළමිටෙන් නැවූ වමත මත හිස තියා ගත් වන ඔහේ සිටියා ය. ඇය පාෂාණිභූත වී ය. ෆොසිලීකරණය වී ය. සජීවී බවකට කියා වූයේ ඇස් වලින් කඳුළු වැගිරෙන එක පමණකි. ඇය ඇස් පිය සැළුවේ පවා ඉතා හෙමිහිට ය. කඳුළු ගැළුවාට  හ්ම් හඬක්  පිට නො කළා ය. කම්පනය විසින් සියල්ල සිදු වෙන එක නවතා දමා තිබුණා සේ ය. එක අතකට මෙය හැබෑ ලෝකයේ සිදු වන්නක් නොව මායාවක් තුළ සිදු විය හැකි දෙයකි. 

තෙමස් මුණුපුරු සඳයුරු ගේ රෑහි සරක් වන් හැඬීම නිසා ඉක්මන් අඩි තියා කාමරයට ගොඩ වූ රාජිකා මැණිකේ මොහොතකට ගල් වූවා ය. එහෙම දර්ශනයක් කිසි දා ක ඇගේ ඇස් වලට දකින්නට නො ලැබුණා නම් ඕ තොමෝ කැමති ය. ආරාධනා නො පියවූ ගවුම් කරෙන් යුතුව ම, සඳයුරු ට කිරි දුන් ඉරියව්වෙන් එහෙම ම හිඳී. සඳයුරු උඩුකුරුව හඬ තලමින් සිටියේ ය. ආරාධනා සිටියේ එ් හඬ ඇය ට නෑසෙන  සෙයිනි. සැබවින් ම ඇහෙන බවක් නො පෙනේ. ඇසෙනවා නම් ආරාධනා වූ කලී දරුවෙකු ගේ කෙඳිරියකට වුව මේ ලෙස නෑසූ කන් ව සිටිය හැකි ගැහැනියක නොවේ. රාජිකා මැණිකේ වහා පැන මුණුපුරා ව දෝතින්  ගත්තා ය. මේ සියල්ල නො කියා කියන්නේ ගජධීර ගේ ගෝරනාඩුව ආරාධනා ට ඇසී ඇති බවයි.

“කෑ ගහන්න එපා පුතාලගෙ තාත්තෙ. අර දැරිවිට ඇහුණොත් මෙතන මොන ගිනි විජ්ජුම්බරයක්ද..මෙහෙම දෙයක් දරා ගන්න ඒ කෙල්ලට පුළුවන්ද..”

රහසිගත ස්වරයකින් රාජිකා මැණිකේ සිය සැමියා ට තරවටුවක් කළා ය. 

“මේව ඒ ළමයගෙං හංගගෙන ඉන්න පුළුවන්ද මැණිකෙ…”

මොන හස්ති රාජයෙකු වුව බිරිය ගේ බැල්මට කීකරු වන්නේ ය. ගජධීර ද සිය කෝපාග්නියෙන් ‘සැනසුම් පාය’ ඇවිලී යන්නට පෙර ගින්න තමන් තුළ ම හිර කර ගන්නට සේ හඬ පහත් කළේ ය. නමුත් ඒ වන විටත් ඇසිය යුතුව ඇසී ආරාධනා වටහා ගත යුත්ත වටහා ගෙන අවසන් ය. සැබවින් මේ ඇය නො දැන සිටි දෙයක් නොවේ. තහවුරු කර ගන්නට තිබූ දෙයක් පමණකි. නමුත් තවමත් ඇයට  අදහා ගත නො හැකි ය. විශ්වාස කර ගත නො හැකි ය. මුලින් මේ බව කීවේ සිය සැමියා වන කාශ්‍යප ය. නමුත් ආරාධනා විශ්වාස කළේ නැත. ඇය සිතුවේ ඔහු විහිළුවක් කරනවා ඇත කියා ය. මේ වන තුරුත් ඇය බලා සිටියේ සිනහ වෙවී ඔහු ගෙදරට ගොඩ වෙන තුරු ය. ඇවිත් ඇගේ හිස සිඹ පුංචි පුතු හරහට වඩා ගන්නා තුරු ය. එතකොට ඇවිත් ළඟ දැවටෙන දියණිය බිඟුනි ව තුරුලට ගන්නා තුරු ය.

එහෙම නො විය හැකි ද? එහෙම නො වන්නේ කෙලෙස ද? තාත්තා මේ ඇවිත් තහවුරු කොට කීවේ එය මින් මනතට එසේ සිදු නො වෙන බව නොවේ ද? ආරාධනා ගේ සියොළඟ ගිනි ගත්තා සේ විය. මේ දෙතුන් දින තුළ ඇය විසින් ඈ තුළ සිර කොට තබා ගෙන සිටියා වූ සියල් හැඟුම් එක මොහොතක දී බෝම්බයක් සේ පුපුරා ගියේ ය. අත් දෙකෙන් ම හිස කේ ඇද ගත් ඕ යටිගිරියෙන් කෑ ගසා හඬන්නට පටන් ගත්තා ය. මුළු පවුල ම මොහොතකින් කාමරයට දිව ආහ. සඳයුරු කවීශ්වර අතට දුන් රාජිකා මැණිකේ ආරාධනා අස  යහනේ හිඳ ඇගේ හිස සිය පපුවෙහි හොවා ගත්තා ය. 

“අනේ අම්..මෙ…”

ආරාධනා ගේ සුසුමින් රාජිකා මැණිකේ ගේ පපුව පිච්චී ගියේ ය. නමුත් ඇය සනසනු වස් කුමක් කිව යුතු දැයි රාජිකා මැණිකේ නො දැන සිටියා ය. ඇයට වචන සිහි වූයේ නැත. නොහොත් ඇගේ උගුර ගොළු වී තිබිණ. කළ හැකි වූයේ ආරාධනා ගේ හිස පිරිමදිනා එක පමණකි.

“ඔහොම අඬන්න එපා පුතේ. ඔයාට හොඳ නෑ. කිරි දෙන අම්ම කෙනෙක්නෙ ඔයා. දරුවත් බය වෙයි”

අන්තිමට ඇය එහෙම කියා ගත්තා ය. නමුත් සිය හදවත තුළ වන වරදකාර හැඟීමෙන් මිදෙන්නට රාජිකා මැණිකේ ට හැකි වූවා නොවේ.

“එයාට එහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද අම්මෙ…ඕගොල්ලො ඔක්කොම මේ කරන්නෙ විහිළුවක්ද…මේ වගේ විහිළු කරන්න හොඳ නෑ කියල කාශ්‍යප කොහොම වුණත් ඔයා දන්නවනෙ අම්මෙ. සඳයුරුට තාම මාස තුනයිනෙ. මං එයාට කිරි දෙනවනෙ. ඉතින් මාව මෙහෙම බය කරන්න හොඳ නෑ කියල කාශ්‍යපට කියන්නකො අම්මෙ. ඔයාම කියන්නකො තාත්තෙ…එයාට එහෙම කරන්න බෑ නේද…මං එයාට මොන වරදක්ද කළේ…ආදරේ මිසක් මං එයාට වෙන මුකුත් කළේ නෑ කියල ඕගොල්ලො දන්නවනෙ අම්මෙ. මේ අහිංසකො කිරි කැටියො දෙන්න මොන වරදක්ද කළේ…මං ඒගොල්ලොන්ට දැන් මොනාද අම්මෙ කියන්නෙ…තාත්ති කෝ කියල  අහනකොට…එයාට අපි එපා කියල වෙන ගෙදරකට ගිහිං කියල කියන්න මට පුළුවන්ද අම්මෙ…මගෙ අසරණී තව ටිකකින් ඉස්කෝලෙ ඇරිල එයි. උදේ මං එයාට කියල යැව්වෙ ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට තාත්ති ඇවිත් ඉඳී කියල. මං දැං එයාට මොනාද කියන්නෙ…බිඟුවයි මේ කිරිකැටියවයි දායාද ඉල්ල ගන්න කියල මං එයාගෙ පස්සෙන් යවන්න ඕනෙද තාත්තෙ…අපිට මේ මොකද වුණේ…අපේ අහිංසක ලෝකෙ එයා මේ විදිහට කුඩු පට්ටං කරල දැම්මෙ  මොන හිතකින්ද…මේක වෙන්න පුළුවන් දෙයක්ද කියල ඔයාවත් කියන්නකො කවීශ්වර…අනේ කාවින්දි…මං ඔයාගෙ යාළුව…ඉස්කෝලෙ යන කාලෙ ඉඳල යාළුව. ඔයා නේද මට කිව්වෙ ඔයාගෙ අයිය මට ආදරෙයි කියල. පොඩි කාලෙ ඉඳලම මගෙ ගෙදර වගේ දැනුණ මේ ගෙදරට මං ආවෙ කවදාවත් මට මෙහෙම වෙයි කියල හිතල නෙවේනෙ කාවි…දැං මං මොකද කරන්නෙ…මං අපේ ගෙදරට මොනාද කියන්නෙ…මං මගෙ දරුවො දෙන්නට මොනාද කියන්නෙ…ඕගොල්ලොවත් මට කියන්නකො කාවි…මං මොනාද දෙයියනේ කරන්නෙ දැන්…”

ආරාධනා සිය දෑතින් ඇගේ ම පපුවට ගසා ගන්නට වූවා ය. රාජිකා මැණිකේ ට ඇය වලකා ලිය හැකි වූයේ නැත. කාවින්දි සිය අප්‍රාණික දෙපා අද්දා ප්‍රාණ සම මිතුරිය ආරාධනා වෙත ගියේ කඳුළු වැගිරෙත්දී ය.

“මට සමාවෙයං රාධා…මට සමා වෙයං…”

ඇය මිතුරිය ගේ දෑත් අල්ලා ගෙන ඒවායින් ඇගේ පපුවට ගසා ගත්තා ය. ඉනික්බිති ඔවුන් දෙදෙන උනුන් වැළඳ ඉකි ගසා හඬන්නට වන්හ. කවීශ්වර තවත් ඒ දර්ශනය බලා සිටිත නො හැකි ව සඳයුරු පපුවට තුරුලු කොට ගෙන කාමරයෙන් පිටතට ගියේ ය.

“ඌ මගෙ එකෙක් වෙන්න බෑ. කා..ල කණ්ණිය…මං හිතුවෙ ඌ පවුලෙ හොඳම එකා කියල. ගෙදර හැමෝම ගැන වගකීමක් ගන්න ඉන්න එකා කියල. ඒත් අන්තිමට මොකද්ද ඌ මේ කළේ…මේ ගෙදර මරණෙකටවත් ආයෙ ඌට එන්න බෑ මැණිකේ…මගෙ වචනෙ වෙනස් වෙන්න බෑ මං මළත්. කාශ්‍යප කියන්නෙ අපේ පුතෙක් නෙවෙයි”

අන්තිම ටික කියා ගෙන යන විට දැඩි කොට ගෙන උන් කෝපය ලිහිල් වී යනවා සේ ගජධීර ට දැනෙන්නට විය. දරා ගත නො හැකි ලැජ්ජාවක් ද පසු තැවීමක් ද හිස් කමක් ද සිය වියපත් හදවත වෙලා ගන්නා සැටි ඔහු ට දැනෙන්නට ගති. ඔහු ජීවත් වූයේ නමට ම ගැලපෙන හස්ති රාජයෙකු සේ ය. පුතුන් දෙදෙනෙකු ට හා දියණියකට පියා වී ඔවුන් හදා වඩා ගත්තේ හදවත ආඩම්බරයෙන් පුම්බා ගනිමිනි. පවුලේ ආඩම්බරය ලෙස ඔහු කවදත් සැලකුවේ කාශ්‍යප ය. කුඩා සා වියේ පටන් ඔහු කීකරු යහපත් ළමයෙකු වූයේ ය. කවීශ්වර වාගේ දඩබ්බරකම් කොට කිසි දා ක පාසලෙන් චෝදනා නො ගෙනාවේ ය. අධ්‍යාපන කටයුතු වල ද නිසි ලෙස යෙදී, ගණකාධිකාරීවරයෙකු ලෙස සමාජයේ වැදගත් යයි සම්මත ඉහළ රැකියාවක නිරත වූයේ ය. රටට ලෝකයට පේන්නට මගුල් කා ආරාධනා ව ගෙදරට කැන්දා ගෙන ආවේ ය. එය වූ කලී ලස්සන පුංචි අහිංසක කැදැල්ලකි. ඔවුන් මහ ගෙදරින් පිටමං ව යනවාට ගජධීර සේ ම රාජිකා මැණිකේ ද කැමති වූයේ නැත. කාවින්දි ගේ විවාහයෙන් පසු ගැහැනු දැරියක නැතිව පාළු වී ගිය ‘සැනසුම් පාය’ මැදුරට ආරාධනා දොළොස් මහේ පහනක් වූවා ය. ඇය ගජධීර යුවළට ලේලියක නොව දුවක වූවා ය.

“තාත්තටයි අම්මටයි ඉතිං ඉස්සර ඉඳං ම මට වඩා රාධානෙ හොඳ”

කාවින්දි එහෙම කීවේ විහිළුවට ය. ආදරයට ය. ඇගෙන් හිස් වූ සැනසුම් පායේ සැනසුම සිය හොඳ ම මිතුරිය විසින් සියතට ගන්නා එක කාවින්දි ට සැනසුමක් ම වූයේ ය. ඇය පති කුළයට නික්ම ගිය දවසේ තාත්තා හදවත් වේදනාවකින් රෝහල් ගත වූ වෙලාවේ කාවින්දි උමතු නොවූවා විතර ය. නමුත් ආරාධනා ආදරයේ පිරිත් පැන් ඉස සැනසුම් පාය නිවා සනසන්නට සමත් වූවා ය. මේ වෙලාවේ ගජධීර ට දැනෙන්නා වූ සංවේගය, සංතාපය හෝ සංකාව සිය ලේලියට අත් වූ ඉරණම ට අදාල වූවක් නොවේ. සිය දියණියට සිදු වූවකට අදාල වූවකි. ආරාධනා වූ කලී ඔහු ගේ දුව ය. ලේලිය කියනා වචනය සැනසුම් පායට අදාල වූවක් නොවේ. 

“උඹලට මුකුත් වෙන්නෑ දරුවනේ…මේ තාත්ත ඉන්නකල්…මං..මං..”

ගජධීර සිය පපුව අල්වා ගත්තේ ය..

“පුතාලගෙ තාත්තෙ…”

රාජිකා මැණිකේ කෑ ගසාගෙන විත් සිය සැමියා ව අසුන් ගත කරවූවා ය. ඔහු ගේ කමිස සාක්කුවේ නො වරදින ‘දිව යට දමනා පෙති’ ඩප්පියෙන් එකක් අත වෙව්ලත්දී ගෙන එය ඔහු ගේ දිව යටින් තැබුවා ය. 

“මං ඒකනෙ කියන්නෙ කලබල වෙන්න එපා කියල. කලබල වෙලා කොරොස් කටෙත් අත දාගන්න බෑ. අපි හෙමිහිට මේ ප්‍රශ්නෙ විසඳගන්න බලමු පුතාලගෙ තාත්තෙ. පොඩ්ඩක් ඔයා සන්සුන් වෙලා ඉන්නකො දෙයියො. ඔයානෙ අපි ඔක්කෝටම තියන හයිය. ගෙදර වගකීම් අරං හයියට හිටපු එකා අපිව මෙහෙම අසරණ කරපු එකේ…ඔයත් ලෙඩ වුණොත් අපිට කවුද ඉන්නෙ…අපිට කාගෙ පිහිටක්ද…පොඩ්ඩක් හිතන්නකො ඒක…”

රාජිකා මැණිකේ ගේ හඬ බිඳී ගෙන ගිය ද හැඬුම් බර නො වන්නට ඕ තොමෝ වග බලා ගත්තා ය. මේ වෙලාවේ ගෙදර සියල්ලන් හැඟුම්බර වී බැරි ය. හිස කෙළින් තියා ගෙන තීරණ ගන්නට කෙනෙකු සිටිත යුතු ය. මේ මොහොතේ ආරාධනා ගෙන් වෙනදා සේ එවැන්නක් බලාපොරොත්තු විය නො හැකි ය.

සඳයුරු කාවින්දි අතට දුන් කවීශ්වර මූණ පුම්බා ගෙන එතැනින් ඉවත්ව සිය කාමරයට වැදුණේ ය. අම්මා ගේ වචන ඔහු ගේ පපුවේ පිහි තුඩු සේ වැදිණ. අම්මා හා තාත්තා කවදාවත් ඔහු විශ්වාස නො කළ බව කවීශ්වර දනී. ඔහු කාශ්‍යප වාගේ උපාසක බළලෙකු නොවී සෙල්ලක්කාරයෙකු වූ බව ඇත්ත ය. නමුත් පවුලේ වගකීමක් දරන්නට කවදාවත් ඔහු ට නො හැකිය යනුවෙන් හංවඩු ගසමින් ඔහු අවතක්සේරු කිරීම ගැන කවීශ්වර ගේ හිතේ වන්නේ නො රිස්සුමකි. මේ වෙලාවේ ඒ නො රිස්සුම කෝපයක් සෙයින් නැගී සිටියේ ය. ඔහු නිහඬව කාමරයට වැදුණේ කෝපය පිට කරන්නට මේ නිසි වෙලාව නොවන හෙයිනි.

තාත්තා වෙනුවෙන් සන්සුන් වන්නට ආරාධනා ඉක්මන් වූවා ය. ඇය එහෙම තැනැත්තියකි. තමන් අමතක කොට ඕනෑ ම මොහොතක අනුන් වෙනුවෙන් පේ විය හැකි අසමසම හදවතක් ඇත්තියකි. සැනසුම් පායට ඕ දේවතාවක වූවා ය. ගෙදර ලොකු පුතා ගේ පතිණිය වී මේ මැදුරට ආවාට, කාශ්‍යප ට බාල වූ දෙදෙනාට ම වඩා ඇය වයසින් බාල වූවා ය. කාවින්දි සමග ඈ එක ම පන්තියකට වැටුණේ ජනවාරි මාසයෙහි උපන් වාසිය නිමිති කොට ගෙන ය. නමුත් සැනසුම් පායේ සියලු සාමාජිකයන් ආරාධනා ගේ අදහස් නො විමසා යමක් කළේ නැත. ඇය මුළු ගෙදරට ම අම්මා වී සිටියා ය. ඇය නො දැන යමක් සිදු වී නම් ඒ කවීශ්වර ගේ ගෑනු හුටපටයකි. ඒ හැරෙන්නට කාශ්‍යප වෙනත්  සබඳකමක පැටලීම ය.

“අපි වෙන් වෙමු ආරාධනා”

ඉතා අසීරුවෙන් තෙපරබා මීට දෙතුන් දිනකට පෙර රාත්‍රියේ කාශ්‍යප එහෙම කියත්දී ආරාධනා සිතුවේ ම ඒ ඔහු ගේ විහිළුවක් කියා ය.

“මට මේ විදිහට ඔයාව රවට්ටන්න බෑ. මට සහ ගහයි ආරාධනා. ඒක නිසා අපි වෙන් වෙමු. මට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ ඒක”

ඒ වෙලාවේ කාශ්‍යප ගේ දෙතොල් වෙව්ලනු ආරාධනා හොඳට ම දුටුවා ය. ඔහු සිටියේ අතිශය අසරණ තත්වයක ය. ඇය හරි අමාරුවෙන් දෙතොල් මත්තෙහි සිනහවක් ඇඳ ගත්තා ය. නමුත් සිනහ වෙන්න ද හඬන්න ද යන පැනය ඈ අභියස විය.

“ඔයා ඔය බොරු නේද කාශ්‍යප කියන්නෙ…මොනාද අනේ මේ විහිළු…”

අර ව්‍යාජ සිනහව අතරින් ම ඇය කියා ගත්තා ය. නමුත් ඇගේ තොල් වෙව්ළුවේ ය. කම්මුල් රිදුණේ ය.

“මං වෙන කෙනෙකුට ආදරෙයි ආරාධනා. එයා මගෙ පළවෙනි ආදරේ. අයිති කර ගන්න බැරුව නරක විදිහට මගෙන් අත් ඇරිල ගිය ආදරේ. ආයෙත් මට එයාව නැති කර ගන්න බෑ. ප්ලීස්…මාව තේරුං ගන්න බලන්න”

ඒ වෙලාවේ ආරාධනා ට හැඬුණේ නැත. ඇස් ගිනියම් ව තිබුණත් එක කඳුළක් හෝ වැටුණේ නැත. එදායින් පසු දෙදිනක් ම ඔහු ගෙදර නාවේ ය. ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට තිබිණ. පළමු දින ආරාධනා ගජධීරට බොරුවක් කියා කල් ගත්තා ය. යම් හෙයකින් කාශ්‍යප ආවොත් ගෙදර ඇත්තන්ගෙන් ඒ කතාව රහසක් සේ තබා ගන්නට ඕ බලාපොරොත්තු වූවා ය. නමුත් ඇත්ත කියන්නට සිදු වූයේ දෙවන දින ද ඔහු නො එත්දී ය. ඉනික්බිති ගජධීර කාශ්‍යප ගේ කාර්යාලය වෙත ගියේ ය. ඔහු කාශ්‍යප සිය පුතු තනතුරෙන් නෙරපා හරින්නට තීරණය කළේ ඒ හමු වීමෙන් ඉක්බිතිව ය.

💗💗

නිම් නැති නිම්නය මෙතෙක් මා අතින් නො ලියවුණ කතා තේමාවකි. මේ වස්තු බීජය ටික කලක් තිස්සේ වරින් වර කෞමදී මවෙත ඉදිරිපත් කළත් එය යට ගියේ විවාහය තුළ දී වැරදි වලට සමාවක් මගේ හිතේ නැති නිසා විය හැක. නමුත් අවසන මේ කතාව ලියන්නට ගතිමි. 

නිම් නැති නිම්නය අද සිට ඔබේ හැන්දෑ වරු හා වෙළෙනු ඇත. ඔබ හඬවනු ඇත. යළි හිත සවිමත් කරවනු ඇත.  ආරාධනා මා කැමති ස්ත්‍රිය ලෙස ගොඩනැගෙනු ඇත. 

ඉතින් කතාව ගැන ඕනෑ ම අදහසක් ඉදිරිපත් කරන්නට ඔබට පුළුවන. මම ඒ අදහස් දැන ගන්නට කැමැත්තෙන් හිඳිමි. ඔබ නිම් නැති නිම්නය කියවන්නට කැමති නම් ඒ බව ‘ලයික්’ බොත්තමෙහි සලකුණු කොට යන ලෙස ද සිහිපත් කරමි.

ආයේ හෙට හමු වෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles