ආරාධනා සිටියේ සැනසුම් පායේ මුළුතැන් ගෙය තුළ කුඩා හතරැස් මේසය අස හිඳ ගෙන, රාජිකා මැණිකේ තනා දුන් මාමයිට් කෝප්පය අතින් අල්ලා ගෙන ය. ලුණු හා දෙහි පදමට එක් වූ දිව රස ගන්වන සුවඳ ඉන් පිට වූ සුදු දුමෙහි කැළතී තිබිණ. දෙතුන් දිනකින් ම ආරාධනා ගේ කුස පිරෙන්නට අහරක් නො වැටුණ බව රාජිකා මැණිකේ දැන සිටියා ය. කන්න ය කියා පෙරැත්ත කළාට මේ වාගේ වියෝගයක දී ගැහැනියකට උගුරෙන් පහළට වතුර උගුරක් හෝ යවා ගැනීමට පහසු නැති බව ඇය දනී. සඳයුරු ට මව් කිරි දෙන නිසා වරින් වර ඇයට කිරි කෝප්පයක් හෝ තනා දෙන්නට රාජිකා මැණිකේ උත්සුක වූවා ය. මාමයිට් එකේ රස සුවඳක් වී ද තවමත් ආරාධනා ඉන් උගුරක් හෝ බී තිබුණේ නැත.
“මොන එහෙකටද ළමයි පෙන්නුවෙ…”
කවීශ්වර ගේ ගෝරනාඩුව තවමත් මුළුතැන් ගෙය පුරාත්, සිය සවන් පුරාත් පිළිරැව් දෙන්නා සේ ආරාධනා ට දැනේ. ඒ මොහොත තුළ කවීශ්වර ගේ දෑස් වෙන කිසි දා ක නොවූ විරූ ලෙස කෝප දීප්ත ව තිබිණ. පෙර දා රාත්‍රියේ කාශ්‍යප දරුවන් පෙන්වන ලෙස කළ ඉල්ලීම ගැන කියන්නට ආරාධනා ට ඉස්පාසුවක් ලැබුණේ ඒ වෙලාවේ ය.
කවීශ්වර ගේ කෑ ගැසිල්ලට, දිවා ආහාරය පිළියෙල කරමින් සිටි රාජිකා මැණිකේ රවා බැලුවා ය. කවීශ්වර සිටියේ ගෙයින් මුළුතැන්ගෙට පිවිසෙන උළුවස්ස උඩ ය. ඔහු නො සන්සුන් ලෙස උළුවස්සේ දැව කඳට මිට මොළවා පහරක් ගැසුවේ ය. මුුළුතැන්ගෙයින් කුස්සිය මිදුලට බහිනා උළුවස්ස උඩ හිට ගෙන සිටි ගජධීර මිදුල දෙස බලා ගත්තේ ය. ආරාධනා ඒ පුවත හෙළි කරත්දී ගජධීර ට සිතුණේ ද කවීශ්වර කියූ දේ ම ය.
“මේ පොඩි පුතා. උඹ ලොකු මිනිහ වෙන්න එන්නැතුව හිටපං හොඳේ. අනිත් එක මේ හරී හොඳ මලය පොඩ්ඩ. වැරැද්දක් කරලම නැති මිනිහ. පවුල් ජීවිතේ ගැන මොනා දැනගෙනද ඔය කතා කරන්නෙ. වගකීම් යුතුකම් ගැන දන්න කාශ්‍යපත් මෙහෙම කළානං තමුං දවසක මොනා නොකරයිද කියලයි මං හිතන්නෙ. පවුල් ප්‍රස්න වලට උපදෙස් දෙන්න මොන සුදුසුකමක් ද තමුන්ට තියෙන්නෙ…ඒක නිසා ලොක්ක නොවී ඉන්නව”
රාජිකා මැණිකේ කේන්තියෙන් රැව්වා ය. වෙන දිනෙක කාශ්‍යප සමගින් ඔහු සසඳත්දී නො දැනුණ විදිහේ කේන්තියකින් කවීශ්වර ගිනි ගත්තේ ය.
“අම්මෙ මේ…අම්මලට හැමදාම ලොකු වුණේ එයා. හොඳ වුණේ එයා. මට නිකං රොඩ්ඩකට වගේනෙ සැලකුවෙ. ඒකට මට කමක් නෑ. මට ඔය කාගෙවත් සැලකිලි වලින් ඇති වැඩකුත් නෑ. හැබැයි මං එකක් කියන්නං. අරාධනා…”
ඒ ඇමතීමෙන් ආරාධනා ඔහු දෙස බැලුවේ තිගැස්මකින් වාගේ ය. කවීශ්වර කතා කරත්දී මින් පෙර කිසි දාක ඇය එහෙම බිරාන්තට්ටු වී නැත. ආරාධනා ගේ ඇස් දෙක විසල් වී තිබිණ. කවීශ්වර ඇදෙසට දබර ඇඟිල්ල දිගු කළේ ය.
“මීට පස්සෙ කතා කරල ළමයි පෙන්නන්න කිව්වට පෙන්නල මට අහු වෙන්න එපා. ඌට ඔච්චර ළමයි බලන්න ඕන කමක් තියනවනං…ළමයින්ට එච්චර ආදරේනං ගෙදරට ඇවිත් බලල යන්න කියනව. මොකද පිට රටක ඉන්නව නෙවෙයිනෙ”
“පොඩි පුතා ඉදිමෙන්නෙ නැතුව ඉන්නවද…ළමයි තමයි ඕන අම්ම කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ දුර්වල තැන. මිනිස්සු මොන වැරදි කළත්…තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් විදිහට ඒ අය තමන්ගෙ දරුවන්ට ආදරේ නෑ කියල කියන එක මෝඩ කතාවක්. තිරිසන් සත්තු වුණත් දරුවන්ට ආදරෙයිනෙ. අයියත් එහෙම ඇති. තාත්ත කෙනෙක් විදිහට එයාට තියන අයිතිය උදුර ගන්න අපිට බෑ. එයා කළේ වරදක් තමයි. ඒක කවදාවත් නිවැරදි කරන්න බෑ. මොන හේතුවක් නිසා ඒ තත්වෙට පත් වුණත්…එයා පොඩි උන් දෙන්නට ආදරේ නෑ කියල මටනං කියන්න එපා. මොකද මං එයාගෙ අම්ම. පොඩි පුතා උඹට තාම මේව තේරෙන්නෑ. උඹලත් අපේ වයසට ආපු කාලෙක තේරෙයි”
රාජිකා මැණිකේ හැඳි ගෑ හොද්දෙන් බිඳක් අත්ලට දමා ගත්තේ හඬ බිඳී යත්දී ය.
“බම්බුව තමයි”
කියා ගෙන කවීශ්වර ඉක්මන් ගමනින් එතැනින් පිට ව ගියේ ය. ආරාධනා හෙමිහිට දිග හුස්මක් ගත්තා ය. එතෙක් දොරකඩ සිටගෙන පිටත බලා උන් ගජධීර මුළුතැන්ගේ තුළට බරැති පියවරක් තැබුවේ ය.
“මොනා වුණත් පොඩි එකා කියන්නෙ ඇත්ත තමයි. ළමයින්ට එයාගෙ තියෙන ආදරෙන් අපිට වැඩක් නෑ. ළමයි බලන්න ඕනෙනං මීට පස්සෙ ගෙදරට එන්න කියන්න. ඊට පස්සෙ කරන්න ඕන දේ මං බලා ගන්නං”
ගජධීර ඒ විධානය දුන්නේ ආරාධනා ට වී ද තිගැස්මක් තිබුණේ රාජිකා මැණිකේ ගේ ඇස් වල ය.
“අන්න ළමය ඇහැරිල”
කවීශ්වර යළිත් කුස්සියට කර පෙව්වේ ආමන්ත්‍රණයකින් තොර ව ආරාධනා ට ඒ ආරංචිය දෙමිනි. ඇය වහා අසුනෙන් නැගිට කාමරය වෙතට දිව ගියා ය. සඳයුරු සිය ළපටි අත් පය ආකාශයේ පා කරමින් සුරංගනාවන් ට මොනවා ද කියමින් සිටියේ ය. ඒ බිළිඳු කූජන අතරේ ලස්සන සිනා පොහොට්ටුවක් පිපෙමින් තිබිණ.
“අනේ මගෙ චූටි කුමාරය නැගිට්ටද දෙයියෝ…”
කියා ගෙන ආරාධනා සඳයුරු ළඟ වැතිර ඔහු තුරුලු කර ගත්තා ය. බිළිඳා අම්මා ගේ කිරි සුවඳ ඉව කළේ ය. කවීශ්වර යතුරු පැදිය පණ ගන්වන හඬ ඇසිණි. ආරාධනා බිළිඳු මුවට පයෝධරය ලං කළේ ය. ඔහු දැඩි ඕනෑ කමකින් මව් කිරි උරා බොන්නට විය. නමුත් ඔහු ගේ කුස පිරෙන්නට කිරක් එහි වේ දැයි ඇය දන්නේ නැත. සඳයුරු වෙනුවෙන්, අසීරුවෙන් හෝ දහවලට බත් ටිකක් කන්නෙමැයි ආරාධනා තරව අදිටන් කර ගත්තා ය.
“සිදුහත් කුමාරය රාහුල ඉපදුන දවසෙම රෑ ගෙදර අත්ඇරල ගියා. ඇත්ත. අර ආච්චම්ම කියනව වගේ ළමයට ආදරේ නැතුව නෙවේ. සිදුහත්ටනං පුතේ තිබුණෙ දුකෙන් එතෙර වෙන බලාපොරොත්තුවක්. ගිහි ජීවිතේ ගැන කලකිරීමක්…”
පුංචි කුමාරයාගේ හිස ඇඟිලි තුඩින් පිරිමදිමින් ආරාධනා මිමිණුවා ය.
“ඒත් පුතාගෙ තාත්ත හොයං ගිහිං තියෙන්නෙ ආදරේ. මට දැන් හිතෙනව…මොකක් හරි අඩුපාඩුවක් වෙන්නැති. හිස් කමක් තියෙන්නැති අපිට පෙන්නුවෙ නැති. එක අතකට දොස් කියන්න බෑ එහෙමනං. කියා ගන්න බැරුව එයා අසරණ වෙලා හිටිය වෙන්න ඇති. කමක් නෑ පුතේ. අපි එයාට යන්න අරිමු. යන්න ඕන කෙනෙක් කවදාවත් බලෙන් රඳෝගන්න බෑ. රඳෝගෙන තේරුමකුත් නෑ. මං ඔයාවයි අක්කවයි කොහොම හරි බලා ගන්නං. චුට්ටක් ඉන්න අම්මගෙ හිත ටිකක් නිරවුල් වෙනකල්. තාම අම්ම බොර වෙච්ච වතුරක් වගෙයි. හරියට පැහැදිලි නෑ. කරන්න ඕන මොනාද කියලත් නිරවුල් නෑ. අපි හිමීට හිතල බලමු. තාත්තට වෛර නොකර අපි ඒ අතීතෙ අත් අරින්න බලමු. ම්…මට දුක ඔයා ගැන. තාත්තෙ කියල බහ තෝරන්නත් කලින් ඔයාට තාත්ත නැති වුණා”
සඳයුරු, සිය බෝල ඇස් වලින් අම්මා දෙස ම බලා සිටියේ ය. ඈ කියන්නක් වාචික ව නොතේරුණා වුණත්, මව් කිරි ඉරුවේ මුදු වූ ලාලනයකින් අම්මා දෙස ම බලා ගෙන ය.
කවීශ්වර ගියේ කාශ්‍යප ගේ කාර්යාලය අසලට ය. සෙනසුරාදා නිසාවෙන් ඔහු වරුවෙන් කාර්යාලයෙන් සමු ගන්නා බව කවීශ්වර දනී. කාර්යාලය ඉදිරියේ අවන්හලෙහි යතුරු පැදිය නවතා හෙතෙම ජංගම දුරකතනයෙන් අයියා ට ඇමතුමක් ගත්තේ ය.
“මං ඔෆිස් එක ඉස්සරහ. එනව”
එපමණකි. කාශ්‍යප ගෙන් පිළිතුරක් ලැබෙන්නටත් පෙර ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. අවන්හලට ඇතුළු නොවී කවීශ්වරය යතුරු පැදිය මත පැත්තට හිඳ ගෙන දුරකතනය ට එබී ගෙන සිටියේ ය. කාශ්‍යප ආවේ විනාඩි කිහිපයක් ගත වූ ඉක්බිති ය.
“මොකද්දෝයි ඒ කරපු බ ලු වැඩේ…තමුසෙට දැන් සතුටෙන් ඉන්න පුළුවන්ද…හොඳට නින්ද යනවද…ගෑනි පැත්තකින් තියමු. අර පොඩි එවුන් දෙන්නව අත් ඇරල වෙන ගෑනියෙක් එක්ක පවුල් කන්න පුළුවන්ද ඕයි. උංව මතක් වෙනකොට අපායට යනව වගේ දැනෙන්නැද්ද…ඔය ආතල් එක හැමදාම තියෙයි කියල හිතනවද…තමුසෙ දැං ඉන්නෙ මොකී එක්ක වුණත්…ඒකි හැමදාම ඔය තත්වෙං ඉඳියි කියල හිතනවද…බූරුවෙක් වෙන්න එපා. තමුසෙ මහ ලොකුවට ඒ කාලෙ මට පාට් දැම්මෙ කොහොමද…දැං කෝ ඒ ෆිලෝසොෆි…ගිහිං ආරාධනාගෙ කකුල් දෙක අල්ලල වැඳල හරි සමාව ගන්නව. තාම ඒකි ඉන්නෙ එහෙම දෙයක් කර ගන්න පුළුවන් තත්වෙක…”
මේසයක් වෙත ගොස් බීමක් ඇනවුම් කරන්නටත් පෙර, යතුරු පැදිය ළඟදී ම කවීශ්වර කියවා ගෙන ගියේ ඒ ටික යම් හෙයකින් කියන්නට අමතක වනු ඇතැයි බියෙන් සේ ය. කාශ්‍යප සුසුමක් හෙළුවේ ය.
“ඒක වෙන්නෑ මල්ලි”
“ඒ කියන්නෙ…තමුසෙ දැං මේ ඉන්න පවුල් කඩන බැ ල් ලි ගෙ මැජික් එකෙන් ගැලවී ගන්න බැරුවයි ඉන්නෙ…”
“ආරාධනා එක්ක අවුරුදු ගාණක් එකට ජීවත් වුණත් මං ඉන්න ඇත්තෙ සෞභාග්‍යාගෙන් සම්පූර්ණයෙන් ගැලවිල නෙවෙයි”
“එහෙනං බඳින්නැතුව ඉන්න තිබුණනෙ. තමුසෙ ආරාධනාව බැඳල ළමයි දෙන්නෙකුත් හැදුවනෙ. අපේ ගේ මළ ගෙයක් වගේ අයියෙ. ඒක ආපහු පරණ තත්වෙට ගේන්න පුළුවන් වෙන්නෙ තමුසෙ ආවොත් විතරයි. අර පොඩි උන් දෙන්නව දැක්කහම බඩ දනව ඕයි. ආරාධනා අඬන හැටි දැක්කහම පිස්සු හැදෙනව. ආරාධනාවයි ළමයිනුයි එක්කගෙන යන්න මධුරි ඇන්ටිල ආව. ඒත් අම්මල අඬල හැපිල නවත්ත ගත්තා. අම්මයි තාත්තයි තාම බලන් ඉන්නෙ තමුසෙ එයි කියලයි. හැමදාම ඒගොල්ලන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කළේ තමුසෙනෙ. මේ සැරෙත් ඒක එහෙම කරනව අයියෙ. මේක කරන්න පුළුවන් තමුසෙට විතරනෙ. මං වැඳල කියන්නං. ආයෙ ගෙදර එනව අයියෙ”
මතක ඇති කාලයක ඇසට කඳුළක් ගෙන නැති කවීශ්වර ගේ ඇස් බොඳ වී ගියේ ය. උගුර රිදීමක් ගැන ඒ වගේ අත්දැකීමක් මින් පෙර ඔහු ට නැත. කොටින් ම කිසිවෙකු ඉදිරියේ කිසි ම දෙයක් වෙනුවෙන් බැගෑපත් වීමක් ඔහු ට පුරුදු නැත. තමන් ගේ ප්‍රතිරූප පවා බිඳ වැටෙන්නට දී කවීශ්වර මේ වගේ ගමනක් ආවේ සැනසුම් පායේ සැනසුම වෙනුවෙනි.
කාශ්‍යප කවිශ්වර ගේ උරහිස වටා අතක් දමා ගත්තේ ය.
“මල්ලි. මාව තේරුං ගන්න බලනවකො. පුළුවන් තරං…සමහර වෙලාවට මට බැරි තරං පවා මං දේවල් කැප කළා. ඒ ගෙදර වෙනුවෙන්. පවුල වෙනුවෙන්. ඒත් එහෙම කරන්න බැරි තැනක් ආව. ඇයි මගෙන් විතරක් හැමෝම දේවල් ඉල්ලන්නෙ…ඇයි මං විතරක් කැපකිරීම් කරන්න ඕනයි කියල බලාපොරොත්තු වෙන්නෙ…මටයි කියලත් සතුටු වෙන්න ජීවිතයක් නැද්ද..හැමෝම එකතු වෙලා ඇයි මගෙන් මාවම උදුර ගන්න හදන්නෙ…”
“එහෙනං ළමයි හැදුවෙ මගුලකටද ඕයි…ආරාධනා ගෙදරිං එනකොට ළමයි අරං ආවෙ නෑනෙ”
කවීශ්වර, කාශ්‍යප සිය උරහිස වටා දමා ගෙන සිටි අත ගසා දැමුවේ ය. ඔහු වෙව්ලනවා සේ ඔහු ට ම දැනුණේ ය. ඇත්ත ය. කවදාවත් ඔහු කැපකිරීම් කොට නැත. පවුල වෙනුවෙන් හැමදාමත් දේවල් කළේ අයියා බව කවීශ්වර දනී. පාසල් සමයේ පවා කොල්ලන් සමග අමන වැඩ කොට ඔහු පවුලේ නම්බුවට අවමන් කළේ ය. ඒවායින් ඇති වන කැළැල් තුනී වී ගියේ කාශ්‍යප ගේ ජයග්‍රහණයක් හෝ කැපී පෙනීමක් හින්දා ය. ඇතැම් විට ගුරුවරයෙකු සිය නොහොබිනා කමක් ගැන චෝදනා කරන්නට කාශ්‍යප ව පන්තියට ගෙන්වී ය. එහෙම දවසක ඉවසා ගෙන ගෙදර පැමිණි කාශ්‍යප,
“තමුසෙගෙ තක්කඩි වැඩ වලට මාව ගෙන්නන්න එපා කියල ටීචර්ස්ලට කියනව. කොටින්ම තමුසෙ මගෙ මල්ලි නෙවෙයි කියල කියනව”
කියා කීවේ හිතේ අමාරුවෙනි.
කොළු කමට කළ පොඩි වැරදි පවා ලැජ්ජාවක් කොට සැලකූ කාශ්‍යප, අද සිය බිරිඳ හා දරුවන් අතැර වෙනත් ස්ත්‍රියක වෙත යන්නට තරම් නොහොබිණා වැඩක් කරන්නට ලැජ්ජා නැති එකෙකු වූයේ කෙසේ ද?
“මං ළමයි දෙන්න වෙනුවෙන් කරන්න ඕන යුතුකම් නොකර ඉන්නෙ නෑ. හැම දේම කරනව”
“බම්බුවක් කියනව. සල්ලි ටිකක් දෙන එකටද තාත්ත කෙනෙක් කියල කියන්නෙ…අපිටත් තාත්ත කෙනෙක් හිටිය නේද ඕයි…ඒ තාත්ත අපි වෙනුවෙන් කරපු දේවල් තමුසෙට මතක නැද්ද…සල්ලි ටිකක් දීල ඒ දේවල් කරන්න පුළුවන් කියල හිතනවද…”
“මල්ලි…”
“මං අහන්නෙ මෙච්චරයි. වෙච්ච හැම දේම අමතක කරල තමුසෙ ගෙදර එනවද නැද්ද…”
“මට එන්න විදිහක් නෑ”
දිග හැරුණු කවීශ්වර ගේ සුරත අකුණක් සේ විත් කාශ්‍යප ගේ කම්මුල මත පතිත විය. කාශ්‍යප ගේ කම්මුල පමණකුදු නොව කවීශ්වර ගේ අත්ල ද පුපුරු ගැසුවේ ය. කාශ්‍යප බිම බලා ගත්තේ ය. කවීශ්වර කුලප්පු වූ අශ්වයෙකු සේ හැරී යතුරු පැදිය මතට නැග ගත්තේ ය.
“හරි එහෙනං එහෙම කරල බලමු”
ඔහු පවනට බඳු වේගයෙන් ඉගිල යනයුරු කාශ්‍යප බලා සිටියේ බරපතල වැරදිකාර හැඟීමකින් හැකිළී යමිනි. නමුත් දැන් ඒ වරද නොකර සිටිනට ඔහු ට හැකියාවක් නැත්තේ ය. පාපයෙන් ගැවීමක් නැත්තේ ය.
💜️නිම් නැති නිම්නය වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර උදක් ම බලාපොරොත්තු වෙමි. දිගට ම කතාව සමගින් රැඳෙනවා නම් අමතක නොකර කියවූ බව ලයික් බොත්තම මත සලකුණු කොට යතැයි බලාපොරොත්තුවෙන් සිටිමි.