නිම් නැති නිම්නය 09

අස්ථි පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත්කමක් කොට, රාජිකා මැණිකේ ගේ උරහිස ළඟින් බිඳී ගිය අස්ථිය ඇණ යොදා පුරුද්දනු ලැබිණ. ඒ සඳහා මූලික වශයෙන් වියදම් දැරුවේ කවීශ්වර ය. 

කවීශ්වර සතුව ඉතිරි කර ගත් මුදලක් වෙතැයි ගජධීර යුවළ වුව සිතුවේ නැත. ඔහු තුරුණු වියෙහි දී රැකියා කිහිපයක් ම අත්හරිමින් ද මාරු කරමින් ද තැනින් තැනට ගියේ ය. කවීශ්වර සතු වූ දඩබ්බර ගති නිසා ඔහු ට කිසිවෙකු යටතේ සේවය කිරීම පහසු වූයේ නැත. රැකියා ප්‍රධානීන් සමග ඔහු නිතර ම මත ගැටුම් ඇති කර ගත්තේ ය. එසේ කොට සේවය හැර ගියේ ය. ඊළඟට නව රැකියාවක් ලැබෙනා තුරු රස්තියාදු ගසමින් සිටියේ ය. බාල පුතා ගේ චර්යාවන් ගජධීර යුවළට හිසරදයක් ද ලැජ්ජාවක් ද වූ අවස්ථා අප්‍රමාණ ය. 

“මටනං ආයෙ කියන්නෙපා කාටවත් කතා කරල මෙයාට ජොබ් හොයල දෙන්නයි කියල. මටත් මිනිස්සුන්ට මූණ දෙන්න බෑ මෙයා නිසා”

අවසන් වශයෙන් කාශ්‍යප ද අඩි පොළොවේ හැප්පුවේ ය. කාලයක් ම කොල්ලන් සමග රස්තියාදු ගසමින් සිටි කවීශ්වර ට හිස් හැඟීමක් දැනෙන්නට ගති. ඒ විදිහට නිකමෙකු වාගේ කාලය ගත කිරීමෙන් කිසිවක් ලද නො හැකි බවත්, දෙමව්පියන් පවා සලකන්නේ යමක් කමක් ඇති දරුවන්ට බවත් ඔහුට හෙමි හෙමිහිට තේරුම් යමින් තිබිණ. නමුත් සිය කුකුළු කේන්තිය නිසා කිසිවෙකු යටතේ වැඩ කළ නො හැකි බව ද කවීශ්වර දැන සිටියේ ය. තමන් ගේ ම දෙයක් කර ගැනීමේ අවශ්‍යතාවයක් දැනෙන්නට වී ද, රැකියා ගණනාවක නියුතු වීත් ඔහු සතුව ඉතිරි කර ගත් යමක් වූයේ නැත. ඉපයූ සියල්ල මිතුරු සමාගම් ඇසුරේ ද ස්ත්‍රී ඇසුරේ ද දිය වී ගොස් තිබූ බැවිනි. 

“උඹට කඩයක් දාල දෙන්න ඒකවත් කරනවද…”

එක දවසක් ගජධීර සිය බාල පුතුන් විමසූයේ සති ගණනාවක් නිහඬව කල්පනා කිරීමෙන් පස්සේ ය. කවිශ්වර එක වර පිළිතුරක් දුන්නේ නැත. කඩයක් කී විට ඔහු ගේ සිත්හි මැවුණේ තරාදියකින් බඩු කිරනා මුදලාලි කෙනෙකි. පිට ඔපය ගැන වැඩි සැලකිල්ලක් ඇති සෙල්ලක්කාරයෙකු වූ ඔහු ට එවැනි තැනෙක නැවතිය හැකි දැයි සැබවින් ම සිතිය යුතුව තිබිණ.

“කඩයක් කිව්වෙ…සිල්ලර කඩයක්නං බෑ ඉතිං. වෙන මොකක් හරි බිස්නස් එකක්නං…”

“හ්ම්. කල්පනා කරල කියහංකො මොකද්ද කරන්න පුළුවන් බිස්නස් එක කියල. හැබැයි පුතෝ සල්ලි ටිකත් කාබාසිනිය කරල ඒකත් වහල දැම්මොත්නං සුම්ම. උඹගෙ අනාගතේත් වහල දාන්න තමයි වෙන්නෙ. ඒක නිසා හොඳට කල්පනා කරල තීරණය කරපං මොකද්ද උඹට කරන්න පුළුවන් කියල”

සෙල්ලක්කාරයෙකු වී ද මේ වෙත්දී කවීශ්වර ට ජීවිතය කියන්නේ සෙල්ලමකට වඩා බරපතල වූවක් ය යන්න අවබෝධ වී තිබිණ. අතේ සතේ නැතිව ගෙවී ගිය කාලය පුරා, ඇති කල ළඟ උන් බොහෝ මිතුරන් හැලී යන හැටි ඔහු දුටුවේ ය. මේ ජීවිතය වෙනුවෙන් උදා වන අවසාන අවස්ථාව විය හැක. තව කෙතරම් රැකියා වලට ගිය ද ඒ නීති යටතේ වැඩ කරන්නට ඔහු ට නොහැකි බව ද කවීශ්වර දැන සිටියේ ය. දින ගණනාවක් කල්පනා කිරීමෙන් පසු රූපලාවන්‍ය ආලේපන හා වෙනත් අරුමෝසම් කාන්තා අයිතම සහිත ‘ෆැන්සි ශොප්’ එකක් පටන් ගන්නට හෙතෙම තීරණය කළේ ය. 

“ඕව කොරල හරියයිද මිනිහො. ඊට වඩා හොඳයි එළෝළු කඩයක් හරි මාළු ලෑල්ලක් හරි දාගන්නව”

ගජධීර පුත්‍රයා ගේ ඊළඟ පිම්ම ගැන විශ්වාසයක් නැතිව සිය පපුව පිරිමදිමින් කීවේ ය. කවීශ්වර ට යකා ඇවිස්සුණේ ය.

“අනේ මේ. එහෙනං තාත්තම කර ගන්න”

කියමින් ඔහු වහා අසුනෙන් නැගිට ගියේ ය. රාජිකා මැණිකේ සමග ද කාශ්‍යප සමගින් ද ගජධීර තව දුරටත් මේ ගැන සාකච්ඡා කළේ ය.

“පුතාලගෙ තාත්ත කාලයක් තිස්සෙ හදිස්සියකදි ගන්න කියල පොතේ එකතු කර ගත්ත සල්ලි ටිකත් කම්බස් කරල දායිද දන්නෑ. මටනං පොඩී ගැන කිසිම විශ්වාසයක් නෑ ඔන්න”

රාජිකා මැණිකේ නම් ඒ සල්ලි ටික හොල්ලන එක ගැන මනාපයක් පෙන්වූයේ ම නැත. 

“එයාගෙ වියදම හරි හොයා ගන්න බැරි වෙන එකක්නං නෑ”

කාශ්‍යප අඩමාන කතාවක් කීවේ ය.

“එහෙම කියන්න එපා. ෆැන්සි ශොප් වලට මාර බිස්නස් එකක් තියනව. මාත් ඔය ලිප්ස්ටික් එකක් ශැම්පු එකක් එහෙම ගන්න මාසෙකට සැරයක් දෙකක් ටවුන් එකේ ශොප් එකකට යනවනෙ. ඕන වෙලාවක සෙනග. ඒවට මේ කාලෙ ඩිමාන්ඩ් එක වැඩී. පිස්සු නටන්නැතුව කරගෙන ගියොත් මන්නං හිතන්නෙ ඒක හොඳ බිස්නස් එකක් වෙයි. කවීශ්වර ට ගැලපෙන දෙයක් වෙයි”

ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණේ ආරාධනා ට පමණ ය. ආරාධනා ගේ විශ්වාසය නිසා, බැංකු ගිනුමෙන් ඉතිරි කර ගෙන තිබූ මුදල ගෙන කවීශ්වර අතට දීම ගැන ගජධීර තුළ තිබූ බියෙන් හරි අඩක් ක්ෂය වී ගියේ ය. 

දැන් ඒ සාප්පුව ආරම්භ කොට වසර පහක් පමණ ගෙවී තිබේ. කවීශ්වර මුල් වසර තුළ දැඩි කැපවීමකින් එහි කටයුතු කළේ ය. ඔහු ගේ සහායට සිටියේ එක් සේවකයෙකු පමණකි. මුදල් කවුන්ටරය ට ද පාරිභෝගිකයන් ට අවශ්‍ය සේවය සැපයීමට ද දුවමින් ඔහු එහි වැඩි බරක් ඇද්දේ ය. ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නවා යන දැඩි අධිෂ්ඨානය, වෙහෙස ගැන සිතිවිලි පළවා හරින්නට ඇත. අවුරුදු දෙකක් ගත වන විට තාත්තා ගෙන් ව්‍යාපාරය ඇරඹීමට ගත් ණය මුදල පියවා හමාර කොට ඔහු නිදහස ලබා සිටියේ ය.

පොඩි පුතා කොලු රෑන් සමග රස්තියාදුවට නො වැටී පොඩි හෝ මුදලක් ඔහු ගේ අවශ්‍යතා වලට උපයා සපයා ගෙන පිළිවෙලට ජීවත් වීම පමණක් ගජධීර යුවළට ප්‍රමාණවත් විය. කාශ්‍යප ට ඕන වුණේ ද මල්ලී නිසා ලැජ්ජාවක් ඇති නොවන්නට පමණකි. ගජධීර ඔහු ගේ ව්‍යාපාරය ගැන ඇඟිලි ගසන්නට හෝ සොයා බලන්නට ගියේ ද නැත. කවීශ්වර දිනයක්, සතියක්, මාසයක් ගානේ පෙරට වැඩිය මඳ හෝ දියුණුවත් අත් පත් කර ගනිමින් ඔහු ගේ ගමන ඉදිරියට යමින් සිටියේ ය. බැංකු ගිනුම් වල ශේෂයන් ඉහළ ගියේ ය. සාප්පුවට වැඩි වැඩියෙන් බඩු ද සේවකයන් ද බඳවා ගන්නට සිදු විය. නමුත් මහ ගෙදර කිසිවෙකු ඒ කිසිත් දුටුවේ නැත. 

ආණ්ඩුවේ ඉස්පිරිතාලයට ගෙන නො ගොස් ගජධීර බිරිඳ ව පෞද්ගලික රෝහලකට ගෙන ගියේ ඔහු ළඟ ඉතිරි කොට ගෙන ඇති මුදල සිහියේ තබා ගෙන ය. සැත්කම වෙනුවෙන් දරන්නට වූ රෝහල් බිල කවීශ්වර විසින් ගෙවා දැමුවේ ඔහු විශ්මයට පත් කරමිනි.

“මගෙ ළඟ සල්ලි තියනව. කොහොමත් මං ඒ සල්ලි ටික පැත්තකට කරල තිබ්බෙ අම්මට ලෙඩක් දුකක් හැදුණ වෙලාවක ආණ්ඩුවෙ ඉස්පිරිතාල පෝලිමේ තියන්නෑ කියන බලාපොරොත්තුවෙන්මයි”

මුදල් කවුන්ටරය ළඟ දී එසේ කියත්දී ගජධීර ගේ ඇස් බොඳ වී ගියේ ය. 

“හරි හරි තාත්ත ඒක තියා ගන්නකො”

කියමින් කවීශ්වර මුදල් පසුම්බිය කලිසමේ පිටුපස සාක්කුවේ ඔබා ගත්තේ ය.

රාජිකා මැණිකේ ගෙදර ආවේ දින හතරක් පමණ රෝහල් ගත ව සිටීමෙන් පස්සේ ය. ඇගේ තනියට ගජධීර රෝහලේ නතර වෙන්නට හදත්දී මැණිකේ විරුද්ධ වූවා ය.

“පුතාලගෙ තාත්ත මෙහෙ ඉඳල කොහොමද…කොච්චර වුණත් ආරාධනා තනියම පොඩි පුතා එක්ක රෑට ගෙදර තියන එක හරි නෑ”

ඒ කතාවේ ඇත්තක් වන බව ගජධීරට වුව දැනුණේ පස්සේ ය. කවීශ්වර ගැන ඔහු යෞවනයෙකු සන්දියේ පටන් ම පවතින චෝදනා හා කට කතා ඒ තරම් හොඳ නැත. කාශ්‍යප නැති ගෙදර ආරාධනා සමග ඔහු තනිව සිටීම තවත් කරදරයකට මුල පිරීමක් වන්නට ද බැරි නැත. 

“ඉතින් මොකද කරන්නෙ…ආරාධනාට පැටව් දෙන්නත් එක්ක මෙතන ඉන්න කියන්න බෑනෙ මැණිකෙ”

“රෑට පොඩි පුතාව නවත්ත ගන්නං”

“ඉඳීද…”

“ඉන්නැතුව කොහොමද…”

කවීශ්වර ට රෝහලේ නවතින ලෙස දැනුම් දුන්නේ ද රාජිකා මැණිකේ ය. 

“තාත්තව තියා ගෙන බෑනෙ. අපි අර මිනිස්සුන්ට පොරොන්දු වෙලා තියෙන්නෙ ආරාධනාගෙ වගකීම ගන්නව කියල. ඒ නිසා තාත්ත ඉන්න ඕන ගෙදර”

අම්මා නො කියා කියන කතාව කවීශ්වර ට නො දැනුණා නොවේ. ඔහු හිත යටින් සිනහ වූයේ ය. නමුත් අම්මා ගේ හිත නො රිදවා,

“හරි හරි මං ඉන්නං”

කීවේ ය.

දවාලට කාවින්දි අම්මා ළඟ සිටියා ය. තෙමස් බිළිඳෙකු සිටින නිසා ආරාධනා ට රෝහලේ නතර වන්නට කිසිවෙකු ඉඩ දුන්නේ නැත. නැත්නම් ඇය හැදුවේ දරු දෙදෙනා ද සමග දවල් කාලය අම්මා අස ගෙවන්නට ය.

කවීශ්වර රෝහලේ සිට ගෙදර එන්නට පෙර ආරාධනා බතක් උයා මොනවා හෝ ව්‍යංජන දෙකක් තනා තැබුවා ය. කවීශ්වර කෑම ටිකක් කා සාප්පුවට දුවයි. දැන් එහි වැඩ කර ගෙන යන්නට සේවකයන් කිහිප දෙනෙකු සිටින නිසා ද සීසීටීවී කැමරා පද්ධතිය ජංගම දුරකතනයෙන් නිරීක්ෂණය වන නිසා ද නො ගියත් බියක් ඇත්තේ නැත. නමුත් දිනකට පැය කිහිපයක් එහි ගැවසිය යුතු යයි කවීශ්වර විශ්වාස කරයි.

“උදේ පාන්දර උයන්න ඕන නෑ මේ පොඩි උනුත් එක්ක. මං උදේට කන්න කඩෙන් මොනා හරි ගේන්නං”

පළමු දිනයේ කවීශ්වර කෑම මේසය සූදානම් කරන ආරාධනා ට කීවේ ය.

“අනේ ඒ වුණාට ඔයත් නිදි මරල ඇවිත් පාන්පිටි ගිලින්නෙ කොහොමද කවීශ්වර…අනිත් එක තාත්තට උදේට බත් ටිකක් නැතුව හරියන්නෑ”

සිය සොයුරා විසින් අත් හැර දමා ගිය ගැහැනිය තවමත් සිය පවුල වෙනුවෙන් මේ විදිහට කැප වෙන එක කවීශ්වර ට ඇදහිය නො හැකි තරමි. අම්මා නැති ගෙදර ඇය නැති අඩුව කිසිවෙකුට දැනෙන්නට ආරාධනා ඉඩ තැබුවේ නැත. අම්මා අතින් ඉෂ්ට සිද්ධ වන කිසිවක් පැහැර හැරියේ නැත. දැනුණා නම් ඒ අම්මා ගේ කට හඬ නැති පාළුව පමණකි. අත දරුවෙකු ද බලා ගෙන ඇය මුළු ගෙදරක වැඩ කර ගත් සැටි පුදුම ය. ගජධීර දරුවා නලවා ගන්නට දන්නේ නැත. ඔහු ගේ ගොරහැඩි බව නිසා දෝ සඳයුරු මඳ වෙලාවක් ගජධීර අතේ සිට හඬන්නට ගනී. එතකොට ආරාධනා දිවගෙන විත් යළි දරුවා ගනී. එය පිටත සිට බලා සිටියදී ද කවීශ්වර ට පෙනුණේ යුද්ධයක් සේ ය.  

රාජිකා මැණිකේ ගෙදර ගෙන ආවාට පස්සේ ද ඇයට කිසිවක් කර ගත හැකි වූයේ නැත. දකුණු අත ම කැඩී යනවා කියන්නේ එක්තරා විදිහක දෛවයේ සරදමකි. ඇය වෙනුවෙන් සියල්ල දෙපා මුලට කර දිය යුතු විය. වෙනදා ට ආරාධනා දිය නා ගන්නා තුරු වුව සඳයුරු වඩා ගෙන සිටියේ රාජිකා මැණිකේ ය. දැන් ඇයට ඇගේ වැඩක් හෝ කර ගත නො හැකි ය. මුල් දින කිහිපයේ දී කාවින්දි සැනසුම් පායට විත් දිවා කාලය ගත කළා ය. උයන පිහන, අතු පතු ගාන, සඳයුරු බලා ගන්නා වැඩ වලට උදව් වූවා ය. නමුත් ඇගේ දරුවන් දෙදෙනා ද බිඟුනි ද එක් වූ විට ආරාධනා ට තවත් වැඩ වැඩි වේ.

“දැන් රාධා ගියාම එහෙනං අම්ම අපේ ගෙදර යං. අම්මට තනියම මුකුත් කර ගන්න බෑනෙ”

කවීශ්වර ද දවල් කෑමට ඇවිත් සිටි වෙලාවක කාවින්දි ඒ ඇරයුම කළේ ආරාධනා පාසල් නිවාඩුව මැද දී ගෙදර යන්නට සූදානම් වූ බව දැන සිටි නිසාවෙනි. ආරාධනා රාජිකා මැණිකේ ට බත් කවමින් සිටියා ය.

“එතකොට තාත්ත…”

කවීශ්වර ප්‍රශ්න කළේ ය.

“තාත්තටත් යන්න තමයි ඉතිං වෙන්නෙ නේද…පොඩි අයිය කඩෙන් කාල ඉන්න”

“මං ගැන ප්‍රශ්නයක් නෑ. මට ඔය කෝකත් එකයි. මං ගැන හිතන්න ඕන නෑ හොඳ විදිහක් කරන එකයි”

“අනේ ළමයිනේ මං කොහොම වුණත් තාත්ත එහෙම පිට ගිහින් ඉන්න කැමති නෑනෙ”

“එහෙමයි කියල කරන්න දෙයක් නෑනෙ අම්මෙ. අපි වෙලාවෙ හැටියට වැඩ කර ගන්න ඕනනෙ”

“අම්ම සනීප වෙනකල් මං මෙහෙ ඉන්නව කාවි. ඒ ගැන බය වෙන්න එපා. අම්මව මෙහෙම දාල ළමයි දෙන්නත් අරං ගෙදර යන්න කොහොමත් මට හිත හදා ගන්න බෑ”

ආරාධනා එසේ කීවේ ඉතා සන්සුන්ව ය. නමුත් හැම හදවතක් තුළ ඒ හඬ සුළි සුළඟක් සේ කැළඹෙන්නට විය. එක මොහොතකට මුළු කෑම මේසය ම මහා නිශ්ශබ්ධතාවයක් දැරුවේ ය.

“අරාධනාගෙන් අපි එච්චර දේවල් බලාපොරොත්තු වෙන එක හරි වැරදියි”

කෑලි කැපිය හැකි නිහැඬියාව අතරින් එසේ කීවේ කවීශ්වර ය. ඔහු ට ඒ වචන ටික උගුරෙන් පිටතට දමනා එක පහසු වූයේ ද නැත.

“ඔව්…”

කාවින්දි ද මිමිණුවා ය.

“මං පිට කෙනෙක්ද කාවි…ඔයාලගෙ අම්මයි තාත්තයි මට මගෙ අම්මයි තාත්තයි වගේමනෙ. කාශ්‍යප අපිත් එක්ක තිබුණ සම්බන්දෙ අත් ඇරිය කියල…මේ ගෙදරින් මට සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන්ද…ඒක කාශ්‍යපගෙයි මගෙයි බැඳීමට වැඩිය අතීතයක් තියන…ඊට වැඩිය පරණ බැඳීමක්…”

“ඒත්…ඔයාට අසාධාරණයක් වෙනව රාධා…”

“නෑ..”

ආරාධනා ඒ තනි අකුරේ වචනය කියා ගත්තේ උගුර යටින්, පපුව රිදෙත්දී ය. ඒ මුළු කාලය පුරා කවීශ්වර ඇදෙස බලා සිටියේ කම්පිතව ය. ස්ත්‍රිය වනාහි ඔහු ට ආගන්තුක වූවක් නොවේ. ඔහු ගැහැනුන් ඇසුරේ විශේෂඥ පළපුරුද්දක් ඇත්තෙකි. විවිධාකාර ගැහැනුන් ඔහු ට හමු වී තිබේ. නමුත් ආරාධනා කියන්නේ ඒ එක ගැහැනියක්වත් නොවේ!

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles