fbpx

සඳක් කළ සක්මන් – 40

නෙරංජලා ගුරුගේ ගේ මුහුණේ වූයේ සන්සුන් කරුණාවන්ත බවකි. නමුත් ඇගේ හිත නො සන්සුන් බව මට දැනෙමින් තිබිණ. ටික කලක් තිස්සේ ළඟින් ම ඇසුරු කරන නිසා මගේ අම්මා තරමට ම මට ඇය ව දැනේ. නියත බියකින් මා වෙව්ලා ගියේ එබැවිනි.

“ඔයා හරිම හොඳ දරුවෙක් පූජා. රත්තරං වටින දරුවෙක්”

ඈ කතාව ආරම්භ කළේ අමුතු තැනකිනි. මගේ ගැස්ම තව දුරටත් උත්සන්න විය. නමුත් මම එවන් බියක් ඇය ට නො පෙන්වා සිටීමේ උත්සාහයක නියැළුණෙමි. 

“ඒත් මට මගෙ දරුවව තව දුරටත් මෙතන තියන්න පුළුවන් කමක් නෑ පූජා”

මා තුළ ම බෝම්බයක් පුපුරා ගියා බඳු විසුණු වීමක් මට දැනිණ. තත්පර ගණනාවකට මුළු ලෝකය ම නතර වූවා සේ දැඩි නිහඬ බවක් මා වටා භ්‍රමණය වන්නට වූයේ ය. ඇය කියන්නට යන්නේ කුමක් දැයි හරියට ම මා දැන සිටියා නොවේ. නමුත් මාරක රෝගයක් දැයි නිශ්චය කර ගනු වස් වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් වූ රෝගියෙකු එහි ප්‍රතිඵල වාර්තාව අපේක්ෂාවෙන් සිටිනා මොහොත වැනි අවිනිශ්චිත ප්‍රකම්පනයක මම තත්පර ගෙවූයෙමි.

“මට ආකාශ් ව විශ්වාසයි පූජා. මගෙ පුතා ඒ තරං පහත් වැඩක් කරන ළමයෙක් නෙවෙයි. එයාට ඔයා වගේ හොඳ ළමයෙක් තෝර ගන්න මට ඕන වුණෙත් ඒකයි. ඒත් දැං මේක සීමාවට ඇවිත් පූජා. ඇත්තටම සීමාවෙන් එහාටත් ගිහිං. ඒනිසා අපි දැං තීරණයක් ගන්න වෙනව. අපේ දරුව වෙනුවෙන්”

දින ගණනකින් පිනි පොදකුදු නො ලද මලක් සේ මම මලානික වී සිටියෙමි. ඈ කියන්නේ පරම සත්‍යය ය. ඇය ට එරෙහි ව එක වචනයක් හෝ කියන්නට තරම් දිරියක් මට නැත්තේ ය. ඒ වෙලාවේ මා දවමින් තිබූ ගින්නට කඳුළු උල්පත් පවා වියළී ගිය සෙයින්, මගේ ඇස් මිලාන ව තිබිණ. කඳුළක් නෙතට කාන්දු වූයේ නැත.

“අපි ඔයාගෙ තාත්තටත් කිව්ව. මං හිතන්නෙ මොනා වුණත් රංජි මේ ප්‍රශ්නෙ තේරුං අරගත්ත. අපි රංජිට කිව්ව ඕනම වෙලාවක ඕනම ටෙස්ට් එකකට පුතා එනව කියල. ඕනනං පොලීසි ගිහිං පැමිණිල්ලක් දාල තියන්න කියලත් කිව්ව”

“අම්…ම..”

මගේ උගුරෙන් කෙඳිරියක් නික්මිණි. නෙරංජලා මගේ හිස අතගෑවා ය.

“අපි වෙන ගෙයක් අරගෙන යනව පූජා. ඕනම මොහොතක මගෙ පුතාට ඔයාව කසාද බන්දවන්න අපි කැමතියි. හැබැයි ඉතිං අර ඔයාගෙ නංගිගෙ දරුව ලැබෙනකං ඒක කරන්න බෑනෙ. කොච්චර වුණත් ඔයාගෙ හිතෙත් දෙගිඩියාවක් ඇතිනෙ. ඔයාගෙ නංගි ඔයා ආදරේ කරන පිරිමියට විරුද්දව එහෙම කතාවක් නිකංම කියයිද කියල…ඔය කොයි සැක සංකාවත් දුරු වෙලා මේ ඇති වෙච්ච නරක තත්වෙ හෙමිහිට පෑදිලා පැහැදිලි වෙන්න අපි කාලෙ ගමු. ඔයාට තේරෙනව නේද මං කියන දේ..”

මම හිස ඉහළටත් පහළටත් සැළුවෙමි. නමුත් ඒ යන්ත්‍රානුසාරයෙන් කළ ක්‍රියාවක් මිස හැඟීමක් ඇතිව කළ දෙයක් නම් නොවේ. 

“මේ ඔයාව ප්‍රතික්ෂේප කිරීමක් කියල හිතන්න එපා පූජා. ඕනම මොහොතක අපේ ගෙදරට අපි ඔයාව පිළිගන්නව”

“මට…මට සමා වෙන්න අම්ම…”

මීට ටික දිනකට පෙර කියා ගත යුතු වූ කතාවක් මා කීවේ දැන් ය. සත්තකට ඇගෙන් සමාව ඉල්ලා ප්‍රමාණවත් නැත. ඈ මා වෙනුවෙන් කළේ ලොව කිසිදු ගැහැනියක් තවත් ගැහැනියක වෙනුවෙන් කරනා දේවල් යයි සිතිය නො හැකි ය. අප අතරේ වන ඒ අසම සම බැඳීම බිඳ දමන්නට කෙසේ වතුදු පළුදු කරන්නට හෝ නංගී ගේ ක්‍රියා කලාපය හේතු විය.

“අපි හෙට මෙහෙං යනව පූජා. අයිය උඩ ඇති. ඔයා කතා කරල එන්න”

නෙරංජලා ඒ මට අවස්ථාව දුන්නේ අවසාන වතාවට ආකාශ් ව බැහැ දකින්නද කියා මට නො සිතුණා නොවේ. මා පිය ගැට පෙළ නැංගේ කකුලක් ඔසවා තවත් කකුලක් තබා ගත නො හැකි තරම් වෙහෙසකිනි. මගේ හදවත දෙදරා ගොස් තිබිණි. ඒ බර, මට ම උහුලා දරා ගත නො හැකි තරම් විණි.

ආකාශ් බිත්තියකට හේත්තු වී අත් දෙක පපුවෙහි බැඳ මා දෙස බලා සිටියේ ය. මම ඒ මුහුණ දෙස හොදින් බැලුවෙමි. විභාගය සඳහා ඔහු මාව පාසල වෙත ගෙන ගියේ ය. යළි ගෙන ආවේ ය. නමුත් පසු ගිය දින ගණනාව පුරා ම මා හොඳින් ඔහු දෙස බලා නැතැයි මට පසක් වූයේ මේ මොහොතේ ය. ආකාශ් ගේ කම්මුල් පුරා පිළිවෙලකින් තොර ව රැවුල් කොට වැවී තිබිණ. ඔහු ගේ දෑස් මත වූයේ උමතු පෙනුමකි. ඔහු සිටින්නේ කිසි සේත් හොඳකින් නො වන බව මගේ ඇස් ඉදිරියේ සාක්ෂි සහිත ව ප්‍රකට වෙමින් තිබිණි.

මම ඒ පපුව මත්තේ පරඬල් පතක් සේ කඩා වැටුණෙමි. ආකාශ් සිය දෑතින් මා ළයෙහි දැඩි ව හොවා ගත්තේ ය. කොයි තරම් වෙලාවක් මා එසේ සිටියා දැයි මම නො දනිමි. මා තුළ බුර බුරා නැගෙමින් තිබූ ගින්න නිවී යන තාක් කල් මට එසේ ඉන්නට ඕනා වී තිබිණි.

කෙසේ වෙතත් රිදුම් වැඩි පුර දැනෙන්නට ගත්තේ ගින්න නිවී යත්දී ය. මට ඔහු ගෙන් මිදෙන්නට බැරි බව, පෙර දීටත් වඩා මට ඔහු උවමනා බව යටි හිත විසින් මට ඒත්තු ගන්වමින් තිබුණේ ය. නමුත් අප සිටියේ කිසියම් තීරණාත්මක නැවතුමකට එළඹ ය. හරියට එය ප්‍රපාතයක් සේ ය. එතෙකින් එපිටට ගමනක් තිබිය නො හැකි ය. එතැනින් නැවතී අප වෙන්ව යා යුතු ව තිබේ!

“මං මැරෙයි දෙයියනේ”

මට දැනෙමින් පැවතියා වූ සියල්ල සංක්ෂිප්ත කළ විට කිව හැකි වූ හොඳ ම දේ එයයි.

ආකාශ් තවත් තදින් මා ග්‍රහණය කර ගත්තේ ය.

“මට දුකයි අයියෙ”

“දුක් නොවී ඉන්න. ඔයා මාව විශ්වාස කරන තාක් අපි වෙන් වෙන්න විදිහක් නෑ පූජා. මුළු ලෝකෙම විරුද්ද වුණත්…ඔයා මාව විශ්වාස කරන තාක් කල්…ඔයා මට ආදරේ කරන තාක් කල් අපි වෙන් වෙන්නෙ නෑ”

දැඩි හිතකින් කතා කරන බවක් හඟවන්නට තැත් කළත් ආකාශ් ගේ හඬ වෙව්ලා ගියේ ය.

“එක අතකට මෙහෙම වෙන එක හොඳයි පූජා. මං හිතන්නෙ අපිට ඇස් වහ වැදුණා වැඩියි”

ඔහු ඒ ටික කීවේ සිනහ වීමේ උත්සාහයක් ගනිමිනි. නමුත් අප දෙදෙනා ම සිටියේ හදවත් වලින් හඬමින් බව මම දන්නෙමි.

අල්ලපු වත්තෙ නො හිටියට අපේ  අෆෙයා එක නැති වෙලා යන්න ඒක හේතුවක් වෙන්නෙ නෑනෙ…ම්…මේ වෙලාවෙ මට අම්ම කියන දේ අහන්න වෙනව පූජා. එයා මේ ප්‍රශ්නෙ නිසා හොඳටම ශොක් වෙලා ඉන්නෙ”

“මට තේරෙනව”

“ඔයා වැඩට එනවනෙ…”

“හ්ම්”

“ඉතිං කොහොමත් අපි දවස පුරාම ඉන්නෙ එක තැනනෙ”

“හ්ම්”

“අවුල් වෙන්නැතුව ඉන්න”

“හ්ම්”

“ඒයි…බස්සි වගේ හැම එකටම හ්ම් හ්ම් ගාන්නෙ මොකද…”

එවර ආකාශ් ට ඇත්තට ම සිනහ ගියේ ය. මම හද දුක වසා තියා ඔහු දෙස ආදරයේ දෑසින් බලා ඉන්නට වූයෙමි.

“ඔහොම බලන්න එපා රත්තරං”

ඔහු ලොකු හුස්මකින් පපුව පුරවා ගනිමින් කීවේ ය.

“එතකොට මට හිතෙන්නෙ අපි වෙන් වෙන්න යනව කියල ඔයා හිතනව කියලයි”

“නෑ”

ඇස් වල දුක හංගා මම සිනා සුණෙමි.

ඒ රැය තරම් දිගු හා අවාසනාවන්ත වූ රැයක් මගේ දිවියට ඊට පෙර උදා වී නොමැත. කෙතරම් උත්සාහ කළ ද නින්ද මවෙත කැඳවා ගත හැකි වූයේ නැත. යහනෙහි දෙපැත්ත පෙරළෙමින් ද සුසුම් හෙළමින් ද හෝරා ගණනක් මම දුක් වින්දෙමි. මා පසෙක වැතිර නිදන ගැබිණි නැගණියට බාධා වෙතැයි සිතා මා හැරුණේ පවා ප්‍රවේසමෙනි. නමුත් ඇය කෙතරම් රුදුරු ලෙස මගේ ලෝකය විසුණු කොට දැමුවා ද? 

ආකාශ් ගෙන් දුරකතනය ට කෙටි පණිවිඩයක් ආවේ ය.

“නිදි නෑ නේද ඔයා…”

මම වහා ඊට පිළිතුරු යැව්වෙමි.

“නින්ද යන්නෑ”

“මටත්”

හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර ලැබිණ.

“දුක් නොවී ඉන්න. ඔයාට දුකක් වෙන්න මං වරදක් කරල නෑ”

“මං විශ්වාස කරන්නෑ කියල හිතල වගේ ඒක ඔච්චරම කියන්න එපා. මට ඔයා විශ්වාසයි”

“මට සැනසීමයි පූජා”

“නින්ද යනකල් වික්ටර් රත්නායකගෙ සින්දුවක් කියන්න”

මම වහා ඔහු හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වුණෙමි. ආකාශ් සිනහ වෙන මුදු සරය මට ඇසිණ. නමුත් තත්පර දෙක තුනක නිහැඬියාවකින් පසු ඔහු ගීයක් මුමුණන්නට වූයේ ය.

“සඳකැන් වැටිලා…අඳුරේ එතිලා

ඝණඳුරු රෑ තනිකම නෑ..

සොයා එන්න ඝණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණී…”

ඔහු ගී ගයනවා කැත යයි ආකාශ් මීට පෙර කියා තිබුණත්, එය මට දැනුණේ මගේ සවන ළඟ දිව මතුරක් සේ ය. ඔහු තවත් ගීත කිහිපයක් මුමුණනවා නින්දත් නො නින්දත් අතරේ මට මතක ය. නමුත් ඉන් පසු මට නින්ද ගොස් තිබිණ. යළි පාන්දර යාමයේ මා අවදි වෙත්දී මගේ ජංගම දුරකතනය මගේ අතෙහි විය. මම වහා එය සවනට ගෙන බැලුවෙමි. තවමත් ආකාශ් ගේ දුරකතනයත් එක්ක සම්බන්ධතාවය විය. ආකාශ් සිහින් ව ගොරවන හඬ ද මට ඇසුණේ ය. පපුව ඇතුළේ මහ කන්දක ස්නේහය ගොඩ ගැහෙනවා මට දැනිණ. බෝ වෙලාවක් ඔහු මා නිදි ගන්වන්නට වික්ටර් රත්නායකයන් ගේ ගී ගයමින් හිඳ නින්ද යන්නට ඇත!

අප වැඩට ගිය අතරේ නෙරංජලා හා ආනන්ද ගුරුගේ යුවළ, සේවකයන් කිහිප දෙනෙකු ගේ උදව් ඇතිව බඩු ඇද ගෙන ගොස් තිබේ. හැන්දෑවේ ආකාශ් ගේ ළඟට ම මා ඇරලවා ගියේ ය. ගුරුගේ මැදුර දුටු මගේ හිත හෝස් ගා දැවී ගියේ ය. ඒ පැත්ත පාළු ය. නෙරංජලා ගුරුගේ ආදරයෙන් අත පත ගාමින් ඇති දැඩි කළ මල් පැල අද සිට හුදෙකලා වන්නේ ය. මහත් බලාපොරොත්තු සහගත ව ජීවිතයේ ඉතිරි කාලයේ නිදහසේ ගත කරන්න ට සිතා ඔවුන් වෙහෙසී ඉදි කර ගත් මන්දිරයෙහි විවේක සුවය විඳීමේ අවස්ථාව ඔවුන් ට අහිමි වී යන්නේ ය. ඒ මගේ නංගිගේ දුර දිග නො බැලූ වචනයක් නිසා යි සිතත්දී ඇති වෙන ශෝකය සුළු පටු එකක් නොවේ.

ඒ රාත්‍රියේ අපේ ගෙදර වූයේ ද මහත් පාළු මූසල බවකි. ආච්චම්මා බංකුවක් මත හිඳ බලා ගත් අත බලා ගෙන කල්පනා කළා ය. අම්මා ගේ මූණේ වූයේ තඩිස්සියකි. නංගී නම් මා ගෙදර ගිය වෙලේ සිට ම හිටියේ නිදි ඉරියව්වේ ය.

“දැක්ක නේද ගෙවලුත් අතෑරල ගිය හැටි”

අප දැන් ඉන්නා කාමර දෙකද සම්බන්ධ කර ගෙන දැන් ඉදි වී ඇති අලුත් ගේ කෑල්ලෙහි ජනේල කණ්ඩියක් මතට වී ගුරුගේ මැදුර දෙස බලා සිටියදී මට අම්මා ගේ හඬ ඇසිණ. මම හැරී බැලුවෙමි. මේ මොහොතේත් ඇගේ මුහුණේ වූයේ ආකාශ් කෙරේ අවිශ්වාසයකි.

“නැතුව ඉතිං…කොහොමද ඒ මිනිස්සු මේ වගේ ජරා තැනක ඉන්නෙ…”

මම වචන වලින් අම්මා ගේ මූණට දමා ගැසුවෙමි.

“හැබැයි ඔය මිනිස්සුංගෙන් හොඳ වන්දියක් ගන්න ඕනෙ. ඔයා දැංවත් ඔය ආකාශ්ගෙ කාර් එකේ ගමං නතර කරන්න ලොක්කි”

“මට පිස්සු වට්ටන්නෙ නැතුව මෙතනිං යන්න අම්මෙ. කරුණාකරල මෙතනිං යන්න”

ජනේල කණ්ඩිය මතින් බිමට පැන ගත් මම කෑ ගැසුවෙමි. අම්මා ලොකු කර ගත් දෑසින් යුතු ව තිගැස්සී ගෙන මදෙස බලා සිටියා ය.

ගංගා ෂයිනි මහත්මිය ගෙන එන සඳක් කළ සක්මන් බෝනස් කතාංගය හෙට උදෑසන 10.30ට බලාපොරොත්තු වන්න

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x