හති වැටීම් දහසකුත් එකක් අවසානයේ දහදිය බිංදු එකක් වත් නොවැටුනේ එතරම්ම සීතලකින් කාමරය වැසී තිබුන නිසාවෙන් විය හැක.
ධනුකව හමු වන්නේ කාර්යාලයේ යම් රාජකාරියට අවශ්‍ය පත්තට දැන්වීමක් පළ කරගනු පිණිස දිනය පත්තරයේ මවු ආයතනයට ඇමතූ දිනෙකයි.
එකී ඇමතුමෙන් ඇරඹුණු සංවාදය නිමවුණේ බම්බලපිටියෙ රිලැක්ස් ඔන් හි සීත කළ එනමුත් සැප පහසුකම් අඩු කාමරයක සුදු පැහැ අඳ ඇතිරිලි එලනු ලැබූ සයනයක් මතය. නැවතුනා යැයි සිතූ මුත් ආරම්භයක් නැවතුමක් නොදකින නොඑසේනම් නැවතුමක් ද පැවතුමක්ද නොදන්නා සම්බන්ධයක මූලාරම්භය සනිටුහන් වූයේ එතැනිනි.
“වෙලාවකට මම උඩත්, තව වෙලාවකට මගෙ යටත් කියන දෙවිදියටම ධනුක කැමති වෙච්ච එකම මට සතුටක්. මොකද ධනුක මම කියන දේ අහනව කරනව, මට යටත්වෙලා වගේ ඉන්නව, මම කියන ඕන තැනකට එනව යනව. සමහරවිට ඒ මිනිහ මට වඩා අවුරුදු දෙක තුනක් බාල හන්දද දන්නෙ නෑ ඒත් මට ඒක පුදුම සන්තෝසයක්. ආඩම්බරයක්”.
ඒ වදන් සුපුරුදු පරිදි මුහුණු පොත මත අකුරු කරන්නට චරිත්‍රාට උවමනා නොවේ.
ඒ වචන සිත තුළින් මතුව, සිත තුළම සටහන් ව, එහිම මැකී ගියා වේ.
“මම හැමතිස්සෙම ධනුකව විතරක් නෙවෙයි අනිත් මට ලංවෙච්ච මම ලංවෙච්ච හැමෝමව සංසන්දනය කරේ මිහික එක්ක.
නුවර කුලවත් පරම්පරාවක ඉපදිච්ච, පවුලෙ එකම කොල්ල වෙච්ච මිහික ළඟ උවමනාවටත් වඩා ඒ නුවර වලව් පැලන්තියෙ ආඩම්බරකම තිබ්බා.
ඒ ආඩම්බරකමටම පෑහෙන විදියට උසස් මට්ටමේ ජීවිතයක් ගෙවපු මිහික ඇත යුරෝපීය රටක රස්සාව කරලා සුවපහසු ජීවිතයක් එහෙ ගෙව්වත්, නුවර ඇවිල්ල වතුපිටි ටික බලාගෙන ඉඳියත් ඒ සුවපහසුවට සමානව සුවපහසු ජීවිතයක් මෙහෙදි ගෙවන්නත් මිහිකට පුලුවන් කම තිබුනා.
කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන්ම ලංකාවෙ කර කර හිටපු ජොබ් එකෙන් අයින් වෙලා ඔෆිස් එකෙන්ම ලැබුන ස්කොල් එකකට රට යන්න ලැබුණත් මාව බැන්දට පස්සෙ ලංකාවට ඇවිල්ල ඉඩකඩම් බලා ගෙන නුවර සෙට්ල් වෙන්න මිහිකට ලොකුවටම උවමනාව තිබුණා
“ඔයා දන්නවනෙ මට මේ රස්සාව කරන්න පුලුවන් කොලඹ විතරයි කියල, ඇඩ් ඒජන්සි තියෙනවද අනේ හොඳ කම්පිටිශන් එකක් කරියර් ග්රෝත් එකක් තියෙන නුවර? ඒ නිසා ඔයා ඕනනම් පිටරටම සෙට්ල් වෙන්න ට්‍රයි කරන්න ඒ ඇරෙන්න අනේ මට නම් බෑ කුමාරිහාමි කෙනෙක් වගේ නුවර වලව්වට වෙලා ඉන්න”
එහෙම මුණු මුණු ගෑව මගෙ කන්කෙඳිරියට මිහික එවෙලෙ යටත් වුනේ මම ඇත්තටම ඒ කිව්ව දේ අහලද එහෙම නැත්තම් යුරෝපීය රටක ගෙවන්න පුලුවන් සුඛෝපභෝගී ජීවිතේ කවදහරි දරු මල්ලෙක්ට වුණත් අවැඩක් කරන එකක් නෑ කියල හිතුන නිසාද මන්දා.
ඒ කොහොම වුනත් අනිත් සමහර ප්‍රේම වන්තයො වගේ මාව ආණ්ඩු මට්ටු කරන්න, යටත් කරගෙන ඉන්න මිහික වැඩ කරේ නැතිවුණාට එයාගෙ තිබුන යටත් නොවන ගතිය වෙලාවකට මට දරාගන්න බැරි තරම්.
මම ආස මගෙ දෙපතුල් ලඟ වැඳ වැටිල ඇඟිලි ලෙව කකා ඉන්න මිනිහෙක්ව.
හැබැයි ඒකත් මං මත්තෙම නැහීගෙන මට ආදරේ කරන මිනිහෙක්ව නෙවි, තව ගෑණූ දාහක් එක්ක බුදියගත්තත් මාව ඉස්තරම් කියල හිතන මිනිහෙක්ව.
ආදරේ ගැන මහ බරසාර දේවල්, පොත්වලින් උපුටා ගත්ත ආදරේ ගැන ලියවිච්ච වැකි වගේ දේවල්වලින් මගේ ෆේස්බුක් පිටුව පිරිල තිබුණට හිත ඇතුලෙන් චරිත්‍රා මිහිසුරණි විජේබණ්ඩාර කියන්නෙ ආදරේ ගැන එහෙමකට නොහිතන, ශරීරය සංතෘප්ත කරගන්න ආදරේ ආයුධයක් කරගත්ත මනුස්සයෙක්.
ආදරේ නිසා නොලැබිච්ච මොනතරම් නම් දේවල් එක වතාවක් ඇති කරගත්ත සම්බන්දකම් නිසා හම්බුණාද?
අනික එකම සම්බන්දයක් මත්තෙ සදාකාලිකවම වැටීගෙන ඉන්නවට වඩා වෙනස් වෙන ලෝකෙ වෙනස් වෙනස් දේවල් ට්‍රයි කරල බලන එක වැරදිද?
මට තිබුන සම්බන්දකම් වලින් මම හොඳටම එන්ජෝයි කරේ විදුර එක්ක ගෙවපු කාලේ.
අපේ ඔෆිස් එකේම ප්‍රඩක්ශන් ටීම් එක ලීඩ් කරපු විදුරටයි මටයි අමුතුවෙන් ලංවෙන්න හේතු කාරනා උවමනා උනේ නෑ.
අපිට ලංවෙන්න තිබුන එකම හොඳම හේතුව තමයි ඔෆිස් එකේ වැඩ.
ටික කාලෙකට පස්සෙ විදුර ඇමරිකා ගියාට මොකෝ අදටත් මට මැසේජ් එකක්, ඉදල හිටල කෝල් එකක් දෙන්න අමතක කරන්නෙ නෑ.
අනික මට හම්බුන සම්බන්දකම් ඔක්කොම මට බරක් නැති ඒවා.
මට නිතරම ලංකරගන්න උවමනා උනෙත් ඒ වගේ බරක් කරදරයක් නැති සම්බන්දකම් විතරයි.
මිහික එක්ක යාලු වෙන්න කලිනුත් මට සම්බන්දකම් සෑහෙන ප්‍රමානයක් තිබුනා. මට අදටත් හිතාගන්න බෑ ඇයි එච්චර මිනිස්සුන්ව ආස්රේ කරපු මම මිහිකව කසාද බැඳල එකම තැන නතරවෙන්න තීරණය කරේ කියල”
නිදහස්ව ගෙවෙන නිමේශයන් හිදී තම සිතට කතා කිරීමේ පුරුද්ද ඇරඹුනේ කවදා කොතනකින්දැයි චරිත්‍රා තවමත් නොදනී.
එනමුත් එය එක්තරා විදියක විනෝදයකි. සිත කිසිවිටක තමන්ට විරුද්දව යන්නේ නැත. නොඑසේනම් මෙපමන කලක් එසේ වුවේ නැත.
ඉතින් සිතට සියල්ලම කීම ගැටළුවක් නොවේ.
තමන් තමන්ව නිදොස් කරන මිනිසුන්ට ජීවීතයේ කොපමණ දුර ඉහළට යා හැකිද?
ජීවිතය වනාහි අඩියෙන් අඩිය තබා හෙමි හෙමින් ඉහලට යා යුතු ඉණිමගකි. එක් ඉන්නක් හෝ මග හැරුණොතින් හෝ මග හැර යන්නට තැනුවෝතින් පහලට ඇද වැටී බෙල්ල කැඩී යන්නට හැකි බව සිහි තබා ගත යුතුය බව නොදන්නවා නොවේ.
එනමුත් මෙතෙක් කලක් දුර මග හැර ආ ඉනි නම් බොහෝමය. එනමුත් තමා තවමත් යහතිනි.
සුදු පැහැ ඇතිරිලි එලූ සයනය අවුල් වී ගොසිනි. වසා දමා ඇති ජනේලයෙන් වුව ඈත හඬ නගන මුහුදේ හඬ ඇසෙන්නේ ආරවුලක් ලෙසිනි. ආරවුල ඇත්තේ හිත අස්සේ ය. තව හෝරාවක් වත් මෙලෙසම නිරුවතින් සයනය මත ගිලී දෑස පියා හිඳින්නට හැකිනම් කෙතරම් අපූරුද?
එහෙත් දුරකතනය හඬ දේ.
හදවතක ඉමොජියක් අවසානයේ රැඳුණු “මිහික” ගේ නමයි.
ඈත රටක සිට ඔහු මා අමතන්නට තනන්නෙ හදවත පුරා රැඳුණු ආදරයේ නාමයෙන් බව නොදන්නව නොවන නමුත් ගතත් සිතත් සරාගයෙන් ඔත්පලව ඇත.
එවන් මොහොතක ආදරයේ එක බැල්මකින්වත් එකී ඔත්පල සිත ගත නගා සිටුවාලන්නට අවැසි චරිත්‍රාට නොවේ.
අනෙක දුරකතනයට අමතන්නට තරම් නිහැඬියාවක් අවට නැත.
එක්පසකින් ආරවුලක වැටී හිඳින මුහුදේ නාදයයි, අනෙක් පසින් සරාගී නිමේශයන් කිහිපයක් ගෙවාලීමෙන් අනතුරුව නිදි සුව විඳින ධනුකගේ ගෙරවුම් හඬයි.
ඇකිලුනු ඇඳ ඇතිරිල්ල සහ නිරුවත් සිරුරුයි.
මීටිමක සිටින බව පවසා කෙටි පණිවිඩයක් යැවීම ප්‍රමාණවත් ය.
මෙතනින් නික්ම නැවත බෝඩිමට ගිය පසු ඇඟ පත දොවාගෙන රෑ බෝවී කතා බස් කරන්නට හැක.
නැතිනම් හෙට…
ඈත දුර රටක වසර ගණනාවක් සේවයේ යෙදී සිටි මිහිකට එක් දිනකට දැනෙන තනිකම දරාගන්නට බැරි මහා ගැටලුවක් විය හැකිද?
“මම රට ගියාම ඔයා මට හැමදාම කෝල් කරනවද?”
මිහික කොහොමත් ආදරය ඉදිරියේ බොළඳය.
තමා පොඩ්ඩක් හෝ තරහා වුවෝතින් පිටිපස්සෙන් එල්ලිගෙන මෙන් අවුදින් තමා යාලු කරගන්නා තරමට බොළඳය.
මුල් කාලයේදී මිහික ළඟ තිබූ නුවර ආඩම්බරකම් ආදරයෙන් බැඳීමත් සමග අවසන් වීම සහ ආදරණීය බොළඳකම් බොහෝ අවස්තාවල සිතට වදයක් වූ බව සැබෑවකි.
එහෙත් දැන් කරන්නට දෙයක් නැත.
වායු සමීකරණය කල කාමරය සහිත හෝටලයේ ආහාර ගෙන්වා අනුභව කරන්නට පහසුකම් නැත. අනෙත් අතට තිබුණත් ඔය ලාබ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකක් සමග චිලි පේස්ට් ටිකකි.
මේ හොඳින් බැදුණු බැටර් ෆ්‍රයිඩ් ප්‍රෝන්ස් සමග සීත කල බියර් වීදුරුවක් බිය යුතු මොහොතකි.
නිදියමින් හිඳින ධනුක දෙස බලන අතරම කම්මැලිකමට දුරකතනය ඔබමින් හිඳි චරිත්‍රා ගූගල් කීප් ඇප් එක ඕපන් කරේ සිතට ගලා එන සිතුවිලි අපතේ නොයා ලියා තබනු පිණිසය.
“ආදරය හරියට භාවනාවක් වගේ. ඒ භාවනාවට කමටහන් කරගන්න කෙනා මොන තරම් ළඟක හිටියත්, දුරක හිටියත් අපි එයාව දකින්නෙ ඇස් දෙකෙන් නෙවෙයි හදවතින්.
පොඩ්ඩකට ඇස් දෙක වහගෙන ආදරය ගැන හිතන්න. ඔයාට මුලින්ම මතක් වෙන්නෙ කාවද?
අන්න ඒ පුද්ගලයා ජීවත් වෙන්නෙ ඔයාගෙ හිත ඇතුලෙ. ඕනම හිත කලබල වෙලාවක, දුකෙන් ඉන්න වෙලාවක එයා ගැන හිතල බලන්න.
හිත සැනසෙනව නේද? හිත නිවෙනව නේද? හරියට භාවනාවක් වගේ
ඒ තමයි ආදරේ”