දෑත සුන්දර කරන්නට අලංකාර හෙනා රටා

අලංකාර මරතොණ්‌ඩි රටා නැති නම් මෙහෙන්දි රටා අද වනවිට අපි කා අතරත් ඉතාමත් ජනප්‍රියයි. ඖෂධීය ගුණයෙන් යුත් මෙහෙන්දි ගැන මේ දේවල් ඔබ දන්නවාද?

මිනිස්‌ සිරුරට මරතොණ්‌ඩි රටා සිසිලස ගෙන දෙන නිසාම උෂ්ණ අධික රටවල් වල හෙනා භාවිතය ප්‍රචලිත වී තිබෙනවා. වසර තුන්දහසක්‌ එහාට දිව යන දිගු ඉතිහාසයක්‌ ඇති මෙහෙන්දි සිරුරු පින්තාරු කලාවේ ආරම්භකයෙකු ලෙස සැලකේ.
මෙහෙන්දි මෝස්තර අතරත් විවිධාකාරවූ වෙනස්කම් හා වර්ග දැකිය හැකිවන අතර ඒ අනුව අරාබි මෙහෙන්දි මෝස්තර, ඉන්දියානු මෙහෙන්දි මෝස්තර සහ පකිස්ථානු මෙහෙන්දි මෝස්තර ආදී ලෙස වර්ගීකරණයකට ලක්කළ හැකිවේ.

මෙහෙන්දි මෝස්තර ඉන්දියාව තුළ බහුලව දැකගත හැකි අතර අසල්වැසි රටවල් වන බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින හා ශ්‍රී ලංකාව අතරද එම මෝස්තර කලාව ව්‍යාප්තව ඇත. කාන්තාවන් මෙහෙන්දි මෝස්තර මංගල උත්සව, උත්සව අවස්ථා, ආගමික උත්සව හා සාම්ප්‍රදායික උත්සව වැනි අවස්ථාවන් සදහා විශේෂයෙන් භාවිතා කරනු ලබති.

හෙනා ගසින් ලබා ගන්නා කොළ කුඩු බවට පත්කර ගෙන එයට වතුර යොදා පල්පයක් බවට පත්කර ගැනීමෙන් අනතුරුව එය රටා ඇඳීම සඳහා යොදා ගැනේ. සකස් කරගන්නා පදම අනුව හෙනා එක එක පාටින් දකින්නට පුළුවන්. තැඹිලි,රතු,දුඹුරු,බර්ගන්ඩි වගේම කෝපි පාට ඒ අතරින් ප්‍රධානයි. වර්තමානයේ ඇඳුමට ගැලපෙන අයුරින් රෝස, නිල්, රතු, දම්, සුදු, රන්, රිදී ආදී ලස්සන පාට වර්ගත් තිබෙ නවා. මේවා බොඩි පේන්ටින් ගණයට අයිතියි.

හෙනා නැතිනම් මෙහෙන්දි වල නියම ලස්සන වගේම ගුණාත්මක බව තියෙන්නේ ඒවායේ ස්වාභාවික පාටත් සමඟයි. විවිධාකාරයේ පැහැයන් ගන්න හෙනා වලට රසායනික ද්‍රව්‍ය කලවම් කිරීමක් සිද්ධවෙන නිසා ඒවා සමට ආරක්ෂාකාරී ද යන්න ගැටලුවක්. ස්වභාවික හෙනා ආරක්‍ෂිතයි. මන්ද ස්වභාවික හෙනා ආලේප කරන්නේ සමේ මතුපිට පමණක් නිසා කලක් ගතවෙද්දී එය ස්වභාවිකමහමෙන් ඉවත්වෙලා යන හෙයිනි.

උත්සවයකට යෑමේ දී ඔබේ සුන්දරත්වය වැඩිකර ගැනීමට මෙම හෙනා රටා ඔබටත් උපකාරී වේ දැයි බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles