ඔලියැන්ඩර් – 24

0
852
oleander Flower

” වෙන කෙනෙක් එක්ක එන්ගේජ් වෙලා ඉද්දිද සර් ඔයා අර විදිහට මාත් එක්ක හැසිරුණේ ? ආ.. ? වෙන කාටවත් නැති විදිහට මට උදව් කළේ ? වෙන කා එක්කවත් නැති විදිහට මාත් එක්ක කතා කළේ ? කෑවේ බිව්වේ ? එදා planetarium  කා පාක් එකේදී මාව…”

තව දුරටත් කතා කරගත නොහැකි වූ ඈ ඉකි ගසමින් හඬා වැටුණාය. ඇගේ හැඬීම බලා සිටිය නොහැකිව හදවත ශෝකයෙන් බරව යද්දී  ඇගේ අත අල්ලා ගෙන සිටි තම අත අතහැර දැමූ ඔහු එය වහා ඇගේ බඳ වටා යවා තවත් ඈ තමා දෙසට ළං කර ගත්‍තේය. 

” එන්ගේජ් වෙනවා කියන්නේ මැරි කරනවා කියන එක නෙමෙයි . ඒක දෙපැත්තෙම පේරන්ට්ස්ලා එකතු වෙලා ගත්තු තීරණයක් විතරයි. දේවනාරායනලයි , අපියි අතර අවුරුදු ගාණක් තිස්සේ පොලිටික්ස් වගේම බිස්නස් ඩීල්ස් ගොඩක් තියනවා. ඒ හැමදේම මගෙ අතට ගන්න ඕන නිසයි මං එදා ඒ ඩිසිෂන් එකට කැමති උනේ. මට ඔයාව හම්බුණේ මේ මෑතකදිනේ මැණික.  ප්ලීස්.. try to understand ..  මට ඔයාව රවට්ටන්න උවමනාවක් තිබ්බේ නෑ. කොටින්ම මගෙයි ෂෙනාර්‍යාගෙයි අතරෙ මෙහෙම වචනයෙන් ගත්‍තු තීරණයක් තියනවා කියන එක පවා අමතක වෙලා තිබ්බේ. Please .. please ..හොඳ ළමයා වගේ දැන් ඔය අඬන එක නතර කරගන්න. ෂෙනාර්‍යායි මායි අතරේ එහෙම කිසිම සම්බන්ධයක් නෑ. ප්ලීස්…!”

” එතකොට සර්ගෙයි මගෙයි අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද සර් ? ආ..? “

මෙතෙක් වේලා ඉවතට හරවා ගෙන සිටින මුහුණ ඔහු වෙතට හැරවූ ඈ ඔහුගේ දෑස දෙස කෙලින් බලමින් ඇසුවාය.

” මොන සම්බන්ධයකටද සර් ඔයා මාව මෙහෙම තුරුළු කරන් ඉන්නේ ? මොන අයිතියකටද සර් ඔයා එදා මාව කිස් කළේ ? මොන හේතුවක් නිසාද සර් ඔයා දැන් මට මැණික කියලා කිව්වේ ? “

විසල් සුසුමක් හෙළූ ඔහු නැවතත් තොල් පට තද කරමින් ඈ දෙස බැලුවේය. 

” ඔයාට තේරුම් ගන්නම බැරිද ? හැමදේම තේරුම් ගන්න පුලුවන් කමක් තියන ඔයාට මගෙ හිතේ ඔයා ගැන තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න බැරිද ?” 

මෙතෙක් බොහෝ ආයාසයෙන් වචන හැසිරූ ඔහුගේ අවසන් වදන් තුළ මඳ කෝපයක් තැවරී තිබුණේය. 

” හරි.. යං… “

නැවතත් ඇගේ බඳ වටා එතී තිබූ අත ගෙන ඇගේ අතකින් අල්ලා ගත් ඔහු කාමරයේ දොර දෙසට අඩි තබන්නට සැරසුණේය. 

” කො .. කොහෙද ?” 

” function  එකට. යං. හැමෝම ඉස්සරහා මං කියන්නං මගේ හිතේ ඔයා ගැන තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. යං “

” නෑ.. ඕන්නෑ.. එපා.. “

” ඇයි ? දැන් ඔයාට හැමදේම පැහැදිලි කරලා ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරන්න ඕනනේ ? යං..,  මං තේරුම් කරලා දෙන්නං. ඔයාට විතරක් මෙතනට වෙලා තනියම තේරුම් කරනවට වැඩිය එතනට ගිහිල්ලා දන්න කියන හැමෝම ඉස්සරහා මේක කියන එක මට ලේසියි. ඒ නිසා යං. කිසි ප්‍රශ්නයක් නෑ..”

” ඔයා මහා ආත්මාර්ථකාමී මනුස්සයෙක් සර්. ඔයා කොහොමද ඔහොම කරන්නේ ? එතන තියෙන්නේ ඔයාගේ අම්මා කාලයක් තිස්සේ හීන දැකපු දෙයක් සැබෑ කර ගත්තු විදිහ. රටේ ගොඩක් වැදගත් මිනිස්සු , මැති ඇමති වරු ඇවිල්ලා ලස්සනට කිසිම කලබලයක් නැතුව තියන function එක විනාස කරලා දාන්නද ඔයාට ඕනේ ? උත්පලා මැඩම්ට පිස්සු හැදෙයි සර් . ඒ මනුස්සයා අද දවස වෙනකන් කොච්චර හීන දැක්කද කියලා මං දන්නවා. අද දවස වෙනකන් කොච්චර බලාපොරොත්තු තියන් හිටියද කියලා මං දන්නවා. ඒ හැමදේම විනාස කරලා දාන්නද සර්ට ඕනේ ?  සර්ගේ පවුලේ අය ඊට පස්සේ රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද ? සර්ව කසාද බඳින්න ඉන්නේ කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අර ගෑනු ළමයා ලෝකෙට මූණ දෙන්නේ කොහොමද සර් ? ඒ ළමයගේ පවුලේ අය ලෝකෙට මූණ දෙන්නේ කොහොමද ? “

” ආහ්… !  දැන් … දැන් මට මොකද්ද ඔයා කරන්න කියන්නේ ? “

එවර ඔහුගේ හඬෙහි පෙරටත් වඩා කෝපයක් තැවරී තිබුණේය.

” මෙතනින් යන්න සර්. , මට මගේ පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න.  ප්ලීස්…”

තවත් තත්පර කිහිපයක් ඉවත බලා ගෙන දෑස තද කරගෙන උන් සියත්‍ර යළිත් සඳැස්විගේ බඳ වටා අතක් යවා ඈ තම තුරුළට ඇද ගත්තේය. 

ඉන්පසු වහා ඇගේ නිකටෙන් අල්ලා තම උවන දෙසට ඇගේ මුහුණ හරවා ගත්තේය. 

” සඳැස්වි …! මේ අහනවා.. , මට ඔයාව ඕනේ . මං මහා selfish මිනිහෙක් වෙන්නැති . මං හිතන්නේ මං ගැනම විතරක් වෙන්නැති. එත් .. මට ඔයාව ඕනේ. ඔයාට ඒක තේරෙන්නෑ කියලා බොරු විතරක් කියන්න ලෑස්ති වෙන්න එපා. “

තත්පර දෙක තුනක් ඔහුගේ මුහුණ දෙස බලා සිටි තරුණිය දෑතම ඔහුගේ පපුවට තබා ඔහුගෙන් මිදී පසෙකට වූවාය. 

” ඒත්.. මට ඔයාව එපා සර්.. “

” හේයි.. හේයි … මේ අහනවා…”

” නෑ.. නෑ.. සර් නෑ… තව මුකුත් එපා. ප්ලීස් මෙතනින් යන්න. මට ඔයත් එක්ක කතා කරන්න ඕන්නෑ. ප්ලීස්.. මෙතනින් යන්න. “

” Is that your final decision? “

කෝපය සහ බිඳ වැටීම උතුරා හැලෙන දෑසින් ඈ දෙස බලා ඔහු අවසන් වරටත් විමසුවේය .

” yes…!” 

තමා අසලින් මෑත් වූ තරුණිය වෙතට තවත් අඩියක් තබා ලං වූ ඔහු තවත් මොහොතක් ඈ දෙස බලා සිටියේය. 

” okay , ඒක නං ඔයාගේ final decision එක. හරි. මං යන්නං . හැබැයි ආයේ මාව හොයන්න එපා. මොනම විදිහකින්වත් මට කතා කරන්න ට්‍රයි කරන්නත් එපා. මාව අමතකම කරලා දානවා. ආයේ මගේ මූණ බලන්න හිතන්නවත් එපා…!” 

එසේ පැවසූ ඔහු වේගයෙන් කුඩා කාමරයේ දොර විවර කරගෙන පිටව ගිය අතර ඈ නැවතත් හිඳ සිටි පුටුව මතටම කඩා වැටුණාය . 

***************************************

” උඹ කොහෙද ?”

” ශාන්ති විහාර් එක ලඟ “

” ඉක්මනට වරෙං . මං ගෙදරින් බත් එකක් ගෙනවා. “

” හ්ම්ම්..”

හදවත පතුළෙන් නැඟී එන වේදනාව දරා ගැනීම පහසු නැත. කුඩා ජීවන ගමන තුළ නොයෙක් ආකාරයේ ප්‍රශ්න, ගැටළු වලට මේ වන තුරුත් තමා නිහඬවම මුහුණ දුන්නද , දරා ගනිමින් සිටියද ඒ සියල්ලටම වඩා අද සිත දැවෙන ආකාරය දරා ගත නොහැකිය. වෙනදාට ඔහුගේ රුව මතකයට නැඟෙන සැණින් මුව පුරා නැඟ එන සිනා මල් අහුර වෙනුවට අද දෑසට උනන්නේ උණු කඳුළුය. වේගයෙන් ඇසි පිය සලා දෑසට උනන කඳුළු ආයාසයෙන් දරා ගත් ඈ විශ්ව විද්‍යාලය දෙසට ඉක්මන් අඩි තැබුවාය .

” සඳැස්වි ..! සඳැස්වි…!” 

පසුපසින් ඇසුණු හඬ ගෑමට ඈ වහා පසුපස හැරී බැලුවද තමා වෙත දිව එනා තරුණයා ඇය මින් පෙර දැක නොතිබුණාය. හදවත තුළ යම් තිගැස්මක් ඇති කළද එය වහා සඟවා ගත් ඈ දෑස බිමට බර කරමින් යළි ආපසු හැරුණාය. 

” සඳැස්වි..! හායි ..!” 

දිව ආ තරුණයා ඇගේ පසෙකින් ඈ සමීපයෙන්ම ඇවිද එන්නට පටන් ගත්තද ඔහු දෙස හිස ඔසවා නොබැලූ කුඩා තරුණිය බිමට බර කර ගත් මුහුණින්ම ගමන ඉක්මන් කළාය. 

” ඔයාව මීට් වෙන්න මං ටික දවසක් ඉඳන්ම බල බල හිටියේ..”

ප්‍රති පිළිතුරු නොලැබුණද ඔහු තනිවම කතාව ආරම්භ කළේය. 

” මං ශාන්.. “

අනුමානය නිවැරදි වූයේය. එසේ නම් පෙර දිනක මිතුරා පැවසුවේ මොහු පිළිබඳව විය යුතුය. ඈ නිහඬවම තවත් ගමන ඉක්මන් කළාය.

” පොඩ්ඩක් ඉන්න , මොකෝ හදිස්සි. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. “

ඇගේ ගමනේ වේගය ඉව වැටුණු ඔහු වහා ඉදිරියට පැන ඇගේ අතක් තදින් අල්ලා ගත්තේය. මහා මාර්ගය දෙපස විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම තවත් බොහෝ පිරිසක් වූ අතර එහා මෙහා යන මෝටර් රථද මාර්ගයේ බහුල වූයේය. සිත රිදී ඇති තරම දන්නේ තමා පමණක්ය. එයද දරා ගත නොහැකිව තිබෙන මොහොතේ අනවශ්‍ය ලෙස ළං වීමට උත්සාහ දරනා නන්නාඳුන තරුණයා පිළිබඳව ඇගේ හදවතෙහි තව තවත් කෝපය උතුරා හැළුණි. 

හැකි උපරිම වෙර යොදා ඔහුගේ අත ගසා දැමූ ඈ ඒ වේගයෙන්ම ඔහු වෙත දබරැඟිල්ල දිගු කළාය.

” අල්ලන්න එන්න එපා…!” 

එය විධානයක්ය. මින් පෙර කිසිදු දිනක කිසිවෙකු මත හෝ පතුරවා නැති තරමේ විසල් විධානයක්ය. විශ්ව විද්‍යාල භූමිය තුළ අහිංසකියක ලෙස නම් දරා සිටි ඇගේ ක්ෂණික හැසිරීමත් , රත් වූ දෑසින් , ගිනියම් මුහුණත් දුටු තරුණයා මඳකට සසැලී ගියද ඔහු එය නොපෙන්වා ඈ දෙස බලා වේගයෙන් හුස්ම හෙළුවාය. 

” තමුසේ එහෙමද ?” 

” ඔව් , එහෙම තමා . ඇයි මොකෝ ?” 

” අපි පස්සේ බලාගමු “

ඔහු එසේ පවසා වේගයෙන් ඈ පසු කර ගිය අතර තව දුරටත් ඔහු වෙත බැල්මක් හෝ නෙහෙළූ ඈ ඉක්මන් අඩි තබා විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here