ලේඩි කලම්බු සෙවන් දැන් යාවි දැන් යාවි කියලා බලාගෙන උන්නට කාන්තාව ගෙයින් එළියට බහිද්දි ඇත්තටම හොඳටම හවස් වෙලා. ආකර්ෂා උන්නෙ පරාණ බයෙන් එයැයි යන මගුලක ගිහින් එන්න කලින් තමන්ට කෑම ටික හදාගන්න බැරිවේය කියලා.
ඩෙසර්ට් එකට ගන්න බේක්ඩ් යෝගට් ඩෙසර්ට් එක නම් කලින්ම ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන හන්දා ආච්චි අම්මා දවල්ට කාලා නිදාගෙන ඉන්න වෙලාවෙ කවීන්ගෙ සපෝට් එක අරගෙන හදලා තියන්න පුලුවන් වෙච්ච හන්දා කෙල්ලට හදන්න තිබ්බෙ ඩිනර් එකට ඕන කරන සුප් එකයි මේන් කෝස් එකයි ස්ටාටර්ස් ටිකකුයි තමයි.
“එන්නෙ නැද්ද?” කියලා අහන්න ආකර්ෂා කවීන්ට කෝල් එක ගනිද්දිම වගේ තමයි පික් මී එකක් ඇවිල්ලා ගේට්ටුව ළඟ නවත්තනවත් ඒකෙන් කවීන් එලියට බහිනවත් ආකර්ෂා දැක්කෙ. මලාට තමන්ගෙ වාහනෙන් පිට මෙහා වෙන වාහනේක යන්නෙ නැති හස්ති රාජයා අද මොකද කුලී වාහනේක එන්නෙ කියලා හිතලා බලද්දි ඇත්තටම ආකර්ෂා බය වුණා සුද්දට කරදරයක්වත් වෙලාවත්ද කියලා. කියන්න බෑනෙ, ඇයියනේ අද කාලෙ කොල්ලන්ටද පාරෙ යද්දි කරදර වෙන්නෙ නැත්තෙ.
කෙල්ල පඩිපෙල දිගේ පල්ලෙහට දුවන් ආවේ දේව්දාස් එකේ සාරිය ගිනිගනිද්දි පාරෝ දුවන් ආවා වගේ. එහෙම දුවන් ආව කෙල්ල නතර වුණේ ගෙයි දොරකඩ උසට උසේ හිටගෙන උන්න කවීන්ගෙ අත් දෙක මැද්දෙ.
“කොහෙද ඕයි යන්නෙ?” කියලා කවීන් ඇහුවෙ ඇත්තටම නිකන් මෝටාර් එකක් ගැහුවෙ වගේ කෙල්ල ඇවිත් ඇඟේ හැප්පුණේ ඇයි කියලා හිතාගන්න බැරි වෙච්ච පාර.
“තමුසෙ මොකද පික් මී එකක ආවේ?” කියලා කෙල්ල ටක් ටක් ගාලා කවීන්ගෙන් එහාට වෙලා අහද්දි කවීන් කෙල්ල දිහාවට පොඩ්ඩක් විතර පහත් වුණේ කෙල්ල කිව්ව දේ පොඩ්ඩක් විතර හොඳට අහගන්නත් එක්ක වගේ.
“මං පික් මී එකක නෙවි දඬු මොණරෙන් ආවත් තමුසෙට තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියනවකො” කියන ගමන් මෙච්චර වෙලා බෙල්ල හිරකරගෙන උන්න ටයි එක ගලවන ගමන් කවීන් උඩ තට්ටුවට නගිද්දි ආකර්ෂත් කවීන් පස්සෙන්ම ගියා.
“මට ප්‍රශ්නයක් නෑ. අර මනුස්සකමට ඇහුවනෙ. නමට උනත් මිනිහනෙ. එහෙමෙකේ තමුසෙ මේ එකපාර තමුන්ගෙ දඬු මොණරෙන් එන්නෙ නැතුව කුලී වාහන වල එන්න තියාගත්තම හලෝ හිත පොඩ්ඩක් ගැස්සෙනවනෙ”
“මනුස්සකම? එහෙම එකක් තමුන් අහලවත් තියෙනවද? පුදුමයිනෙ. මං හිතුවෙ මනුස්සකම කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති ගෑනි කියලා”
“මං තමුසෙට කියන්නෝන ඒවනෙ ඕයි තමුසෙ මට කියන්නෙ. මමද මනුස්සකම් දන්නෙ නැති එකා. අපිව අපේ ගෙවල් දොරවල් වලින් එලියට ඇදලා දාන්න හදලා, අන්තිමේ ඒවයින් බේරලා දෙන්නම් කියලා මාව මේ මර උගුලක පැටලෙව්ව තමුන්ද මාත් එක්ක මනුස්සක්ම ගැන කතා කරන්න එන්නෙ?”
“ඒවා ඉතින් තමුන් ගිහින් කියන්න ඕන මට නෙවෙයි තමුන්ගෙ තාත්තට. ඒ මනුස්සය කරපු වැරදි වලට මාව අල්ලලා හරියන්නෙ නෑනෙ” කියලා කවීන් උඩට නැගලා තමන්ගෙ කාමරේ පැත්තට යන්න හැරිලා කියද්දි ආකර්ෂා වැඩිය හිතන්නෙ නැතුව එක තප්පරේකට අත දික්කරලා කවීන්ගෙ අත අල්ලගත්තා. කවීන්ගෙ ඇහැ මුලින්ම ගියේ ආකර්ෂා තමන්ගෙ අත අල්ලගත්ත දිහාවට. ආකර්ෂාගෙ අතෙන් ලිස්සලා ආව මොකක් හරි හීතලක් තමන්ගෙ පපුව උණුහුම් කරනවා කියල තේරුණත් ඒ සිතුවිල්ල උඩ ඊට එහා හිතන්න ආකර්ෂාගෙ ඇස් අස්සෙ තිබිච්ච බැල්ම කවීන්ට ඉඩකඩ හදලා දුන්නෙ නෑ.
“ඇ…ඇයි?” කියලා අහද්දි ජීවිතේ පලවෙනි වතාවට පිට මිනිහෙක් ඉස්සරහා, ඒකත් පොඩි ඇටිකිචි කෙල්ලෙක් ඉස්සරහා තමන්ගෙ කටහඬ වෙව්ලන විත්තිය කවීන්ට නොතේරුනා නෙවෙයි.
“මං ඇත්තටම දන්නෙ නෑ කවීන් අපේ තාත්තයි ඔයාලගෙ බිස්නස් ලෝකෙයි අතරෙ තිබිච්ච සම්බන්ධෙ හරි ප්‍රශ්නෙ හරි මොකද්ද කියන එක. මට මතක, මං දන්නෙ මං පොඩි කාලෙම වගේ අපේ තාත්තගෙ බිස්නස් කඩාකප්පල් උනා, ඊටපස්සෙ අම්මා ලෙඩ වෙලා මැරුණයින් පස්සෙ තාත්තා සෑහෙන්න බීමට ඇබ්බැහි වුණා. අපි සෑහෙන්න අමාරුවෙන් එදා වේල ගැටගහ ගත්තෙත්. මං කතා බහ කරන විදිය දැක්කම, නට නට ඉන්න විදිය දැක්කම කවුරු උනත් හිතන්නෙ මම එහෙම ප්‍රශ්න ලොකුවට හිතන්නෙ නැති ආතල් එකේ ඉන්න ඩයල් එකක් කියලා.
ඒ උනාට අපේ හිත්වල තියෙන ප්‍රශ්න කොච්චරද කියන එක දන්නෙ අපිනෙ. මං මේ වගේ දේකට කැමති උනෙත් ඒ අසරණකම හන්දා කවීන්. නැත්තම් මං හිතන්නෙ නෑ මොලයක් තියෙන ගෑනියෙක් මලාට මේ වගේ ඩීල් එකකට කැමති වෙයි කියලා. මොකද ඒකෙ ලොකු රිස්ක් එකක් තියෙන නිසා.
එහෙමෙකේ මම නොදන්න මොනාහරි දෙයක් ඔයා දන්නවනම් ඔය බිස්නස් ඩීල් එක ගැන ඔයාට පුලුවන්ද මට ඒක කියන්න?” කියලා ආකර්ෂා බෝල ඇස්වල කඳුළු පුරවගෙන අහද්දි ඇත්තටම කවීන්ට තව දුරටත් පුළුවන් වුණේ නෑ ආකර්ෂාට ඈතින් ඉඳගෙන ආකර්ෂා අඬනවා බලන් ඉන්න.
“ඔයා ඒ ගැන හිතන්න එපා” කියලා එවෙලෙ ආකර්ෂාව සනසන්න වගේ කිව්වට කියන තරම් ඒක කරන්න ලේසි නෑ කියන එක කවීන් උනත් දැනගෙන උන්නා.
“හිතන්නෙ නැතුව ඉන්න තිබුණා කවීන් මට කියලා ලොකු පරම්පරාවක් උන්නා නම්. මට ඉන්නෙ තාත්තා විතරයි. තාත්තගෙ බිස්නස් එහෙම කඩා වැටුණයින් පස්සෙයි අම්මගෙ මරණෙන් පස්සෙයි අපිට උන්න හිතවත් කියන මිනිස්සු ඔක්කොම අපෙන් ඈත් උනා. තාත්තගෙ පැත්තෙ මිනිස්සු නම් අපෙන් ඈත්වුනේ තාත්තා නට්ටං උනයින් පස්සෙ වෙච්ච හන්දා මං ඒ ගැන කවදාවත් දුක් උනේ නෑ අඩුම අපි සර්පයා කවුද කියලා හරි අඳුරගත්තනෙ කියලා හිතලා. අම්මගෙ පැත්තෙ නෑයො අපෙන් ඈත්වෙන්න ලොකුම හේතුව උනේ අම්මගෙ මරණෙට තාත්තා හේතුවක් කියලා ඒ මිනිස්සු හිතුව එක. කොහොමහරි ඒකෙන් උනේ තාත්තට මමයි මට තාත්තයි ඉතුරුවෙච්ච එක.
හරිම අඩු පිරිසක් තමයි අපිට අපෙ කියන්න ඉන්නෙ කවීන්. මම ඇත්තටම තාත්තට තඩි බොරුවක් කියලා මේ ගමන ආවෙ. ඔයයි අපෙ තාත්තයි අතරෙ සම්බන්ධයක් තියෙන විත්තිය දැන දැන මම එයාට ඇත්ත කියලා ආව නම් කීයටවත් මට එන්න වෙන්නෙ නැති හන්දා.
ඔයා මට නොකියන, ඔයාලා දන්න සම්පූර්ණ කතාව මට කියනවද? ඇත්තටම කොහොමද අපේ ගෙදර එහෙම ඔයාලට අයිති උනේ කියලා? මං කවදාවත් හිතන්නෙ නැ තාත්තා කවදාවත් මං ගැනවත් අම්මා ගැනවත් නොහිත එහෙම තීරණයක් ගනී කියලා. මට තාම විශ්වාසයක් නෑ ඇයි තාත්තා එහෙම දෙයක් කරේ කියලා. ඔයා එදා අර ඩොකියුමන්ට් එක පෙන්නුවෙ නැත්තම් මං ඇත්තටම කීයටවත් ඒක විශ්වාස කරන්නෙත් නෑ.
එහෙමෙකේ ඔයාට ඇත්තටම පුළුවන්ද මට ඇත්ත කතාව කියන්න?” කියලා කෙල්ල අහද්දි කවීන් උන්නෙ උත්තර දෙනවද නැද්ද කියල හිතාගන්න බැරුව. ආකර්ෂා කියන්නෙ රස්තියාදුකාරයා වගේ කතා කරාට නරක ළමේක් නෙවෙයි කියලා දැන දැනම තම තමන්ගෙ තාත්තලා විසින් ඇතිකරගත්ත බිස්නස් ඩීල් අස්සෙ ආකර්ෂාව මෙහෙම හිරකරලා තියන්න වෙච්ච එක ගැන පොඩි පහේ දුකක් කවීන්ගෙ හිත අස්සෙ නොතිබුණා නෙවෙයි.
ඒත් කවීන් උන්නෙ ඒ කිසිම දෙයක් වචන කරගන්න බැරුව.
“ඔයා ඒවා හිතන්න එපා. මං පොරොන්දු උනා වගේම මේ හැමදේම අවසානෙ ඔයාට ඔයාලගෙ ගේ ආපහු දෙනවා. සතයක්වත් ගන්නෙ නෑ මං. එවෙලෙ ලෝයර්ව එවලා එහෙම දෙයක් කරාට මම අමනුස්සයෙක් නෙවෙයි ආකර්ෂා මිනිස්සුන්ව එහෙම තමන් වැටිලා ඉන්න තැන්වලින් එලියට ඇදලා දාන්න.
අනික ඔයා කිව්වා නේද ඔයාලට කාත් කවුරුවත් නෑ කියලා.
ඔයා හිතන්නෙ මට මගේ කියන්න කට්ටිය ඉන්නවා කියලද?
අපි හැමෝම මේ ලෝකෙ කොහේහරි තැනක තනිවෙලා ඉන්නෙ ආකර්ෂා. එහෙමෙකේ මං වගේම තනිවෙච්ච තව මනුස්සයෙක්ට මං එහෙම අසාධාරණයක් කරන්නෙ නෑ. බිස්නස් වර්ල්ඩ් එකේ මිනිස්සු මං ගැන කියන්නෙ මං යකෙක් වගේ කියලා විත්තිය මම නොදන්නවා නෙවෙයි.
හැබැයි මං අමනුස්සයෙක් නෙවෙයි. කාට එහෙම කරත් මම කවදාවත් ඔයාට එහෙම කරන්නෙ නෑ.
දැන් මට කොහොමත් ඔයාට එහෙම කරන්න බෑ”


