පෙඟුණු මල්පෙති 06

“මොකද කරන්නෙ?”
බීප් ශබ්දයෙන් හැඬවුණු දුරකතනය කහ පැහැ එළියක් නංවන හඬට
මෙතෙක්ල් වේලා ඇඳේ හාන්සි වී කම්මැලිකමට දෑස පියාගෙන සිටි චරිත්‍රා
නැගිටුවාලන්නට සමත් විය.
මිහිකගෙන් ආ පණිවිඩයක් යැයි සිතා කම්මැලිකමෙන්ම දුරකතනය අතට ගත්
මුත් පණිවිඩය ළහිරුගෙනි. හිත තුල දහසක් මල් පුබුදුවන්නට සමත් ළහිරු
ය.
සැමියා දුරු රටක හිඳිද්දී ලංකාවේ සිටින පෙම්වතියන් සහ බිරින්දැවරුන්
පතිවත රැකිය යුතු බවට කියවෙන කතාන්තර බොහෝ ඇතත් ආදරය
හටගන්නේ මෙන්න මේ මොහොතේ යැයි අනාවැකි කියන්නට හැකි කාහටද?
මිහික හමුවන්නට පෙර ළහිරු හමුවුණානම් යැයි සිතුනේ ළහිරු සමග ගෙවී
ගිය පළමු රැයේදීමය. සයනය මත සරාගයේ කටු මල් මෙන්ම හිත තුළ
සන්තුශ්ටියේ සෙව්වන්දිය මල් පුබුදුවන්නට සමත් වන තාරුණ්‍යයක්
උන්මාදයක් හිමි තරුණයා සිත තුළ බොහෝ තැනක දැන් පැතිර ගොස්
අවසානය. හිරු පායන උදෑසන දහසක් මල් පොළොව මත සුපිපෙන ලෙසින්ම
ළහිරු අබියසදී හිත කිසිදිනකවත් නොවූ විරූ අයුරින් පිරී යන්නේ ආදරය නිසා
බව චරිත්‍රාට බොහෝම පැහැදිළි ය.
මිහිකගේ ඇමතුම් දහසකට පසුව එන ළහිරුගේ එකම එක කෙටි පණිවිඩයට
හිත මේතරම් කිති කවන්නට හැකිද එය ආදරය නොවේ නම්?
එනමුත් ඒ ආදරයට කතාවක් සේ දිග හැරෙන්නට හැකිද? මිහික එය පළමු
පද පේළියෙන්ම ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය.
නීත්‍යානුකූල බැඳීමක් හේතුවෙන් ආදරයට අතැඟිලි අගින් ගිලිහෙන්නට දීමට
හැකි ද?
එතෙක් වේලා කොහේ සැඟවී තිබුනාදැයි සිතාගන්නට බැරි තරමේ කුල්මත්
බවක් සහ ප්‍රාණවත් බවක් සමගින් ඇඳෙන් බිමට පිනූ චරිත්‍රා සියලු ප්‍රශ්න

පසෙක තබා කෙටි පණිවිඩ කිහිපයක් ඔස්සේ කතා බස් කරගත් ආකාරයට
ළහිරු හමුවන්නට යන්නට සූදානම් විය.
ඇඳුම් අල්මාරිය හැරගෙන දස අතේ කල්පනා කරමින් සිටින්නී අඳින්නේ
කුමක්දැයි ප්‍රශ්නාර්තයක් සිත තුළ ඇති බැවිනි.
අඳින යමක් සුන්දර විය යුතුය, සරාගී විය යුතුය, සැඳෑවට ගැලපෙන්නක් විය
යුතුය.
Maia වෙතින් මිල දී ගත් කලු පැහැ රැප්-අ-රවුන්ඩ් සායත්, මිමෝසා වෙතින් මිල
දී එමරල්ඩ් ග්‍රීන් පැහැති ශර්ට් බ්ලවුසයත්, කලු පැහැ ඇල්ඩො සෙරෙප්පු
සමගින් මනාව පෑහෙන ඩල් ගෝල්ඩ් රවුම් කරාබු යුගලය, මුදුව සහ කලු
පැහැ අත් බෑගය අගනා බව චරිත්‍රා අවසානයේ තීරණය කළා ය.
සිහිල් දියෙන් ඇඟ පත දොවාගෙන, පිරිසිඳු පැහැදිලි වතල් මත ආලේපන
යාන්තම් තවරා අවසානයේ සම්පූර්ණයෙන්ම සැරසී කණ්ණාඩිය ඉදිරිපිට පෙනී
සිටියේ පෙර තමන් දන්නා තමන් නොවන බව චරිත්‍රාට පැහැදිළිය.
මේ වෙනස්ම අයෙකි. සිත තුළ ඉපිලෙන සන්තුශ්ටිය නිසාවෙන් රෝස පැහැ
වුණු කම්මුල්ද, දිළිසෙන නයනද, සරාගී හෝරාවක් ගෙවන්නට ඉඩකඩ ලැබේ
යැයි බලාපොරොත්තුවෙන් පිරුණු රත් පැහැ දෙතොලද ආලේපන වලින් ලැබුණු
කාන්තියට වඩා වැඩි කාන්තියක් සුන්දරත්වයක් තම වත මත අලවා තිබේ.
දෙතුන් වරක් කණ්ණාඩිය ඉදිරිපිට කැරකෙමින් හිඳ කාමරේ දොර වසා යතුර
අත් බෑගයට දමාගෙන පිටතට විත් පික් මී ඔස්සේ ඇනවුම් කරන ලද කුලී
රියට නැග ගෙනත් චරිත්‍රා කල්පනා කරේ තමන්ගේ රූමත් බව ගැන ය. එකී
රූමත් බවත්, ස්ත්‍රී ලාලිත්‍යයත් ඉදිරියේ පැණි හැලියට වට ඇඹලයන් සේ
පස්සෙන් හඹා ආ නොයෙක් පිරිමින් ගැන ය. එනමුත් ඒ සියලු පිරිමින් ඉදිරියේ
ළහිරු කෙතරම් නම් විරාජමානව හදවතේ වැඩ හිඳින්නේද? මෙතුවක් ඇසුරු
කල කිසිදු පුරුෂයකු ළඟ නොතිබුණු සරාගී බවකුත්, කඩවසම් බවකුත්,
තේජාන්විත මෙන්ම සියුම් ආඩම්බරයකුත් ඇති ළහිරු මෙතරම්ම සිත ඔත්පල
කරන්නට සමත් වන්නට ඇත්තේ එහී ගතිගුණ නිසාවෙන්ම විය හැක.
නුගේගොඩ සිට වන් ගෝල් ෆේස් මෝල් වෙත යනතුරුම සිත තුල සිටියේ
ළහිරු ය.
චරිත්‍රා එසේ වෙනත් පුරුෂයකු හමුවන්නට වන් ගෝල් ෆේස් මෝල් වෙත යන
විටත් මිහික සීටියේ ඈත රටක සීතලෙන් මිරිකෙමින් රැකියාවේ නිරත වෙමින්
ය.
සිත තුළ චරිත්‍රා ගැන මෙන්ම, චරිත්‍රා මෙහි පැමිණි පසු ගෙවන සුන්දර
ජීවිතයක සිතුවිලි වැසි වස්සමින්‍ ය. කුඩා මුතු ඇටයක් බඳු තම මව් රටේ
සිටින තම නීත්‍යානුකූල බිරිඳ තම සුව දුක් ගැන කිසිත් නොවිමසා වෙනත්
අයකුගේ උණුහුමේ වෙලෙන්නට යන බව ගැන කිසිවක් නොදැන ය.

ජීවිතේ ලැබීම් නොලැබීම, පිළිගැනීම් ප්‍රතික්ෂේප කිරීම් රැසක් මැද ගෙවන්නකි.
එනමුත් යමෙකු සිතා මතා රැවටීමේ පාපයෙන් චරිත්‍රාට මිදෙන්නට හැකි වේද?
“ඔබ එක් අයෙකු සමග සිටියදී තවත් අයෙකු පිළිබඳව සිතක් පහළ වේ නම්
කරුණාකර පළවෙනියා අතහැර දෙවනියා තෝරාගන්න. මක්නිසාද යත් ඔබ
පළවෙනියාට සැබෑවටම ආලය කරා නම් දෙවනියකු ගැන ඔබ සිතන්නේ නැති
බැවිනි” යන්න මෙයට පෙර කොහේ හෝ අසා තිබෙන බව චරිත්‍රාට මතාකය.
එනමුත් දෙපාර්ශ්වයේම කැමැත්තෙන් විවා පත් වූ, නුවර ප්‍රදේශයේ උසස් යැයි
සම්මත පවුලකට අයත් මිහික අතාරින්නට මෙන්න, දින කිහිපයකට පෙර හමූ
වූවා වුවද සිත් බිම්කඩ තුල දහසක් මල් පුබුදුවන්නට සමත් උදා ඉරක්බඳු
ළහිරුගේ මෙන්ම එදා මෙදා තුර හමු වූ බොහෝ පිරිමි හිත් හදවතින් හෝ
ජීවිතයෙන් මුලිනුපුටා දමන්නට උවමනාවක් හෝ හැකියාවක් චරිත්‍රාට නැත.
ජීවිතයේ හැම මොහොතක්ම ගෙවිය යුත්තේ තමා කැමති මෙන්ම තමාට
හිමිවිය යුතු දේ කෙසේ හෝ ලබාගන්නට යැයි සිතන චරිත්‍රා ඉන් එහා කිසිවක්
ගැන සිතන්නේ හෝ සිතන්නට වෙහෙසෙන්නේ හෝ නැත.
ජීවිතය නිස්කලංකව ගඟක් සේ ගලායන්නේ නම් කොහේවත් නැති ගල් පර
ගෙනැවිත් එහි හෙලා ඒ නිස්කලංක බවට බාධා කරන්නෙ කුමකටද?
“ඔබේ මල් ගොමුවෙන්
මම පිටව යන්නම්
තනි මලක් වී තනි ගසක යළි පිපෙන්නම්
දෙවනි වරටත් මල් පිපෙන බව
ඔබට පහදන්නම්”

නිස්කලංක සිතුවිලි වලට බාධා කරමින් කුලී රියේ රේඩියෝවෙන් සංගීතය
ඇසේ. පෙම්වතා විසින් රවට්ටනු ලදුව සිත රිදවාගත් යුවතියක් පසුකාලීනව
යළි මලක් මෙන් පිපෙන යුරු ගැන කියවෙන එකී ගීතය ගැන චරිත්‍රාට නම්
ඇත්තේ නොපහන් හැඟීමකි.
ආදරය වනාහී ජීවිතය තුල එක්වරක් පමනක් ඇති විය හැක්කක් නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වන අපට සිතුණු විටක සිතුණු අයෙකුට පෙම් කිරීමේ
අවස්තාව සහ ඉඩකඩ ලැබිය යුතු නොවේද?

ආදරය එක් අයෙකු වෙත පමණක් පුදන්නට හැක්කේ කෙසේද? නීත්‍යානුකූල
ලියවිල්ලකින් බැඳ තබන්නේ කෙසේද?

තමන් ආසා කෑමක් හදාගෙන හෝ මිල දී ගෙන කන්නට ඇති ඉඩකඩ සහ
හැකියාවම සිත යන ඕනෑම අයෙකුට පෙම් කිරීමට, ඔහු හා බැඳීමටත් තිබිය
යුතු නොවේද?
සිතුවිලි කන්ද නැවතුනේ බරාස් යන ශබ්දයෙන් වන් ගෝල් ෆේස් හි පිවිසුම්
දොරටුව ඉදිරිපිට කුලී රිය නතර වූ හඬිනි.
ඉතින් ඇරඹෙන්නට යන්නේ සොඳුරුතම, උණුසුම්ම නිමේෂයන් ය. මිහිකගේ
නෑයන් මෙන්ම මිතුරන් බොහෝ දෙනා සිටින්නේ නුවර බැවින් බියවන්නට
කාරණාවක්ද නැත.
මිහිකගෙන්ද ඇරඹෙන්නට නියමිත සුන්දර නිමේෂයන්ට බාධාවක් නොවන
පිණිස කටයුතු සැලසීම පහසුවක් නොවේ ද?
“මගෙ ඔලුව ටිකක් රිදෙනව. මම පැනඩීන් දෙකක් බිව්ව. මම මෙහෙම
නිදාගන්නවා.හෙට කතාකරමු”
කෙටි පණිවිඩය ලියවෙන්නටත්, මිහික වෙත යන්නටත් ගතවුණේ තප්පර
කිහිපයකටත් අඩු කාලයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles