නිම් නැති නිම්නය 13

චමල් සේනාසිංහ විසින් සිය දියණිය ආරාධනා වෙනුවෙන් දික්කසාද නඩු පැවරීම නීතීඥවරයෙකු වෙත භාර දෙන ලද්දේ ගජධීර පවුලේ අය සමග ද කතා බහ කිරීමෙන් පස්සේ ය. 

“ඒක මගෙ තීරණේ. තව දුරටත් මට එයා එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තුවක්වත් ඕනකමක්වත් නෑ”

ආරාධනා එසේ කීවේ හිස කෙළින් තියා ගෙන ය. ඒ වෙලාවේ ඇගේ ඇස් වල වේදනාවක් සමග පොර බදනා දීප්තියක් විය. දෙතොල් මත්තේ මඳ සිනහවක් විය. ඒ වගේ සිනහ වෙන්නට වැරදිකාර ගැහැනියකට කිසි සේත් හැකි වන්නේ නැත. ඇගේ ඇස් වලින් ප්‍රකාශ වූයේ නිවැරදි ගැහැනියක ගේ ආත්ම අභිමානය පිළිබඳ කතාවකි.

“මීට වැඩිය විසඳුමක් නෑ කියල ගජධීරලට වුණත් තේරෙනව ඇතිනෙ..”

චමල් එසේ කීවේ පවුල් දෙක අතර වන හිතෛශීවන්ත කම දෙදරා යාම ගැන පසුතැවීමකින් වාගේ ය.

“ආරාධනා කාශ්‍යප ට සමාව දීල ආයෙත් පවුල සමාදාන කර ගන්නවනං ඒකට ඉඩක් තියලයි අපිත් මෙච්චර දවස් බලං හිටියෙ. හැබැයි කාශ්‍යප එන බවක් පේන්නත් නැති එකේ…”

“නෑ නෑ චමල්. අපේ කිසිම අමනාපයක්වත් විරෝධයක්වත් නෑ. අපි දන්නව තමන්ගෙ දුවෙක්ට මෙහෙම දෙයක් වෙද්දි දෙමව්පියන්ට මෙහෙම වුණත් ඉවසන්න බෑ කියල. ඒත් වේදනාවක් දැනෙනව. අපේ එකා යන්න ගියාම නොදැනුණ වේදනාවක්…දුව දරුවො දෙන්නත් අරං මෙහෙං යන දවස ලං වෙනව කියල හිතෙද්දි…පපුවට දැනෙනව…”

“අනේ තාත්…තෙ…”

ආරාධනා ගජධීර වෙත විත් ඔහු ගේ බඳ වටා දෑත ම යවමින් උරහිසෙහි හිස තියා ගත්තා ය.

“මං කිව්වනෙ. ඩිවෝස් වෙන්නෙ කාශ්‍යපගෙන් විතරයි. නැතුව මේ පවුලෙන් නෙවෙයි. ඩිවෝස් එක ඉල්ලන්නෙත්…බැඳීමක් තියනකල් හිත රිදෙන දේවල් වැඩි නිසයි. ඒ බැඳීම් නීත්‍යානුකූලව වුණත් ලිහල දැම්මහම හිතට සැහැල්ලුයි. අයිතියක් කියල දෙයක් නෑනෙ එතකොට. අපිට රිදෙන්නෙත් අපි වෛර කරන්න පෙළඹෙන්නෙත් කොහෙන් හරි කොනකින් අපිට අයිතියක් තියනව කියල දැනෙද්දි. දැන් මට ඕනෙ සැනසිල්ලෙ මගෙ ගමන යන්න. කාශ්‍යපට ඕන කරල තියෙන්නෙත් ඩිවෝස් එකනෙ තාත්තෙ. ළමයගෙ නඩත්තු දෙන්නත් නඩුව දාන්න කියලනෙ එයා කියල තිබුණෙ. ඉතින් අපි එයා බලාපොරොත්තු වෙන නිදහස දෙමු. හැබැයි මං උසාවියෙදි වුණත් කියනව. එයාගෙන් කියල තඹ දොයිතුවක්වත් මගෙ ළමයින්ට එපා. මං මගෙ ළමයි දෙන්න හදා ගෙන පෙන්නන්නං එයාට”

දුකෙන් පදම් වූ විට හිතක් ගලක් සේ වෙයි. ගජධීර සිය ලේලිය ගේ හිස පිරිමැද්දේ ය. 

“මංවත් මගෙ දරුවො දෙන්නවත් මේ පවුලෙන් ඈත් වෙන්නෑ. ඒක අපි ජීවත් වෙනකල් තියන බැඳීමක්”

රාජිකා මැණිකේ රහසේ කඳුළු පිස ගත්ත ද නාසය උඩට අදිත්දී ඇය හඬන බව කාටත් තේරිණි. ආරාධනා ගජධීර වෙතින් මිදී රාජිකා මැණිකේ වෙතට ගියා ය.

“ඔය ඉතිං…අම්ම අඬන්න එපා. මාත් අඬන්නෑනෙ. මේ බලන්න මං හොඳට ඉන්නෙ. අම්මට හොඳටම හොඳ වෙනකල් මං මෙහෙන් යන්නෙත් නෑ. ඉතිං බොරුවට අඬන්නැතුව ඉන්න. මං ගියත් මෙහෙ නෑවිත් ඉන්නෙ නෑනෙ අනේ. ඕගොල්ලොත් අපිව බලන්න නිතරම එනවනෙ. ඉතිං අඬන්න දෙයක් නෑනෙ”

කවීශ්වර අසුනෙන් නැගිට බරාඳයේ පඩිය වෙත ගියේ ය. දික්කසාදයක් කියන්නේ මේ සා බර හැඟීමකැයි මීට පෙර ඔහු ට දැනී තිබුණේ නැත. පවුල් අර්බුධ සහිත මිතුරන්ට ඔහු නිතර ම කීවේ “එකට ඉන්න බැරිනං ඩිවෝස් වෙයල්ල බං” කියා ය. විවාහයක් තුළට පිවිසිය හැකි හා ඉන් පිට ව යා හැකි දොරවල් දෙකක් වන්නේ අවශ්‍යතාවයන් මත භාවිතා කරන්නට යයි ඔහු විශ්වාස කළේ ය. නො ගැලපීම් දරා ගෙන ජීවිතය විඳවමින් එක වහලක් යට සිටිනවාට වඩා වෙන් ව යාම හැම අතින් ම හොඳ බව මේ මොහොතේත් ඔහු විශ්වාස කරයි. මෙතන තියන ගැටළුව එවන් නො ගැලපීමක් හෝ ආරවුලක් හෝ අර්බුධයක් හෝ නොමැතිව කාශ්‍යප පවුල අතැර යාම හා දැන් ඒ විවාහය දික්කසාදයකින් කෙළවර වන්නට යාම ය. මෙතන තියන ලොකු ම සිත් වේදනාව ආරාධනා පවුල කෙරේ බැඳුණු ප්‍රමාණය වැඩි වීම ය. ඇයත් සම්ප්‍රදායික ලේලියක වී නැන්දම්මා හා මාමණ්ඩිය සමග ද නෑනා සමග ද දබර කර ගත් ගැහැනියක වී නම් කිසිවෙකුට ඇය අතැර දමන්නට බැරි කමක් නො දැනෙනු ඇත. සැබවින් දැන් සැනසුම් පාය කියන්නේ ආරාධනා ට ය. ඇය නොමැති සැනසුම් පායක ඇති සැනසුම කුමක් ද? ජීවය කුමක් ද? ඇය නික්ම ගියාට පස්සේ ඔවුන් නැති දුකෙන් අම්මා ආතුර වන බව කවීශ්වර ඉඳුරා දනී. එනයින් ඇය ඉතා ඉක්මනින් ලෙඩ ඇඳට වැටෙන්නට බැරි නැත. හිත හයිය කර ගෙන සිටියා ට තාත්තා වුව මේ වියෝව මත ඔත්පල විය නො හැකි යයි සිතිය නො හැකි ය. කාශ්‍යප නික්ම ගියේ ආරාධනා හා දරු දෙදෙනා පමණකුදු නොව ඔහු ගේ දෙමව්පියන් පවා අඳුරේ හෙළා ය.

“අනිත් එක අම්මෙ…මං කිසි කෙනෙකුට සාප කරන්න කැමති ගෑනියෙක් නෙවෙයි. මෙතනදි ඩිවෝස් එක මං ම ඉල්ලල පැත්තකට වෙන්නෙ මගෙ වැරැද්දක් තිබිල නෙවෙයි කියල මේ ගෙදර හැමෝම දන්නවනෙ. හැබැයි වැරැද්දක් නොකරපු ගෑනියෙක්ට චෝදනා කරපු පිරිමියෙක් ගැන සොබා දහම කවදම හරි බලා ගන්නව කියල මට විශ්වාසයි. කාශ්‍යප ට ඕනෙ ඩිවෝස් එකනෙ..හරි අපි ඒකත් දෙමුකො”

ඒ අනුව දික්කසාද නඩු පැවරීම ගැන යෝජනාව සම්මත වූයේ ය. ආරාධනා හිතේ නැති සතුටක් ප්‍රකට කරමින් සිටියා ය. ඇය ගෙදර සියලු කටයුතු ඇගේ දෑතින් සිදු කළා ය. නැන්දම්මාටත්, මාමණ්ඩියටත්, කාශ්‍යප ගේ සොහොයුරා වශයෙන් කවීශ්වර ටත් වෙනසක් නැතිව සැලකුවා ය. ජීවිතය කියන්නේ කෙටි ගමනකි. එහි අවසානය කවදා කෙලෙස වේවි දැයි කිව නො හැක. දික්කසාදයක් කියන්නේ ද එක්තරා ගමනාන්තයකි. මතක ගොඩක් ද අලුතෙන් ඇති වූ නෑ සබඳකම් ගොඩක් ද වසර කිහිපයක අතීතයක් ද කර පින්නා ගෙන නතර විය යුතු වේ. එතැනින් හැරී වෙනත් ගමනක් යා යුතු ව තියේ. නමුත් ගෙන යන්නට ඇති මතකයන් සහනශීලී වෙන එක පහසුවකි. සමහර මතක කටුක ශෝකයන් ඇති කළ ද, යහපත් ව සාමූහික ජීවිතයක් ගත කළ බවට පළුදු නැති මතක අතීත බර හෑල්ලු කරවනු ඇත.

මේ දවස් ටිකේ උපරිම වශයෙන් ආදරය බෙදා හදා ගන්නට ආරාධනා තීරණය කළා ය. ඇය වෙනදාටත් වඩා නැදි මයිලනුවන්ට ආදරයෙන් සැලකුවා ය. හැම මොහොතක ම සිනහවක් දෙතොලග ගවසා ගෙන සිටියා ය. හිත ශක්තිමත් කර ගනිමින් ද ධෛර්යය වඩමින් ද සිටියා ය. තාරා ගේ මැදිහත් වීම මත ජීව විද්‍යාව පුණරීක්ෂණ පන්තියක් සඳහා ළමයින් කිහිප දෙනෙකු සොයා ගත හැකි විය. ඒ පන්තිය වෙනුවෙන් සතියකට දිනක් ඇය මහ ගෙදර ගියා ය. පන්තිය පැවැත්වුණේ එහි ය. එය ඇරඹීමත් සමග ඇගේ ආත්ම ශක්තිය තවත් දැඩි විය. මේ ජීවිතය පහසුවෙන් අත් නො හරිමී යන අධිෂ්ඨානයෙන් ඇය දෝරෙ ගලමින් සිටියා ය.

දරුවන් දෙදෙනා කෙරේ ඇගේ ආදර බැඳීම ද පෙර කිසි දාකට වැඩියෙන් වැඩි වර්ධනය වී තිබිණ. දැන් ඔවුනට තාත්තා කෙනෙකු ගේ ආදරය ලැබෙන්නේ නැත. අම්මාත් තාත්තාත් දෙදෙනා ම ලෙස ආරාධනා ආදරය දෙගුණ කළ යුතු වූවා ය. සිඳී නො යනා මහා සාගරය බඳු ස්නේහ උල්පතක් ඇගේ මව්වත් හද තුළ විය. විශේෂයෙන් ම පිය සෙනෙහස හැඳින ගැනීමේ වරම් පවා අහිමි කර ගත් සඳයුරු වෙනුවෙන් ආදර වැස්සක් වෙන්නට ඇය උත්සාහ දරනා හැටි කවීශ්වර බලා සිටියේ සංවේගයෙනි. එවන් විටෙක, නිවැරදි යයි ඔහු ට දැනෙනා විදිහට යමක් කරන්නට ඔහු උත්සාහ කළේ ය. ආරාධනා කාමරයේ නොමැති අවස්ථාවක සඳයුරු අවදි වී ඒ බව ඉඟි කළෝතින් වෙනදා වාගේ “ආරාධනා මේ ළමය ඇහැරිලා” යි  කෑ නො ගසා ගොස් සඳයුරු දෑතින් ගත්තේ ය. ඔහු නො හඬවා, අම්මා එන තුරු සනසා තබා ගන්නට හැකි වෙර දැමුවේ ය. දරුවන් ට කියනා හුරතල් නැලවිලි බස් ගැන කිසිදු පුහුණුවක් නැති වී ද ඔහු ට අනන්‍ය ලෙස එය කළේ ය.

“පොඩි බබාල නිදාගෙන නැගිට්ටහම අඬන්නෙ නෑ. ඇඳෙන් බැහැල කුස්සියට ගිහින් අම්මි මං නැගිට්ට කියල කියන්න පුරුදු වෙන්න ඕනෙ දැන්. බෑ බෑ කියල බෑ. දැන් ඔයා ලොකු කොල්ලෙක්නෙ අනේ”

එහෙම නැලවිලි බසක් ඇසෙන මානයක හිටියොත් ආරාධනා සිනහ වෙයි. 

“හැබැයි සඳයුරු අඬන්නැතුව කවීශ්වර ගෙ මූණ දිහාම බලන් ඉන්නව මොනාද මේ කියන්නෙ කියල. එයාට අමුතු ඇති එහෙම කතා කරනකොට”

“කොහොමහරි කොල්ල මං අතේ නැලවිල ඉන්නවනෙ”

එතකොට ඔහු ආඩම්බරයෙන් කියයි.

මල්ලී ව හුරතල් කරනු දකින ඇතැම් අවස්ථාවක බිඟුනිට ද බාප්පා සමග සෙල්ලම් කරන්නට ඕනෑ වේ. 

“අනේ බිඟූ බාප්ප දැන් ශොප් එකට යන්න ඕනනෙ”

කියා දවසක් ඔහු ඇගේ ඉල්ලීමක් ප්‍රතික්ශේප කොට යතුරු පැදියට නගින්නට ගියේ ය. කවීශ්වර හෙල්මට් එක දමත්දී බිඟුනි මහ හඬින් හඬන්නට පටන් ගත්තා ය. කුමක් සිදු වී දැයි කවීශ්වර ට සිතා ගත හැකි වූයේ නැත. දැරිය ගේ හැඬුම නිසා කලබල වූ ආරාධනා මුළුතැන් ගෙයි සිට ද රාජිකා මැණිකේ කාමරයේ සිට ද බරාඳයට දිව ආහ.

“ඇයි බිඟූ…මොකද වුණේ…”

ආරාධනා වහා දැරිය වෙතට පැන ඇය ළඟ බිම දණ හොවා ගෙන දෑතින් ඇය සිය සිරුරට ලං කොට ගත්තා ය.

“ආ පුතේ…මොකද වුණේ…කියන්නකො ඉතිං…”

“බාප්පි මාත් එක්ක සෙල්ලං කරන්නැතුව යනව”

ආරාධනා නැගිට ගත්තේ දෙතොල් තද කොට ගෙන ය. ඇගේ මුහුණේ සඟවා ගත් සිනහ සලකුණක් විය. 

“පොඩ්ඩක් දරුවත් එක්ක සෙල්ලං කරල යන්නකො පොඩි පුතා. කෙල්ලව අඬවල තියල යන්නෙ”

රාජිකා මැණිකේ කවීශ්වර ට සැර වූවා ය.

“අනේ එහෙම කරන්නෙ කොහොමද අම්මෙ…කවීශ්වර ශොප් එකට යන්නෙපැයි. බාප්පට එහෙම හිතුන හිතුන වෙලාවට නතර වෙලා ඔයත් එක්ක සෙල්ලං කර කර ඉන්න බෑ බිඟු. ඔයා ඒක තේරුං ගන්න. පුතා දැං පොඩි ළමයෙක් නෙවේනෙ නේද…”

ආරාධනා ට ඕනෑ වූයේ ඕනේ කියා හිතෙන දෙයක් ඒ වෙලාවේ ම අත්පත් කර ගැනීමේ හැකියාවක් නොමැති බවට පාඩම දැරියට කියා දීමට ය. නමුත් ඕ තවත් හයියෙන් හඬන්නට වූවා ය.

“මට සෙල්ලං කරන්න තාත්ත කෙනෙකුත් නෑ දැං. බාප්පටත් මාත් එක්ක ටිකක් සෙල්ලං කරන්න බෑ. අම්මිටත් වෙලාවක් නෑ. මට තමයි කවුරුත් නැත්තෙ. පොඩ්ඩක් ඇඬුවත් මල්ලිටනං හැමෝම වට වෙලා ඕන දෙයක් දෙනව”

හඬමින් ඇය කීවේ එහෙම කතාවකි. සිය හදවත දැවී යන සෙයක් ආරාධනා ට දැනිණ.

“අනේ ඇයි පුතේ එහෙම කියන්නෙ… පුළුවන් තරං ඔය දෙන්නට තාත්ති නැති අඩුවක් දැනෙන්නැති වෙන්නනෙ අම්මි හැම දේම කරන්නෙ”

කියමින් ඇය බිඟුනි වෙත පහත් වෙත්දී ම කවීශ්වර ගේ දෑත් දැරිය වෙත යොමු වී ඇය ව වඩා ගැනිණ. බිඟුනි කවීශ්වර ගේ ගෙල සිය සිඟිති දෑතින් බදා ගත්තා ය. ආරාධනා දෙතොල් දසන් අතරේ තද කර ගෙන සිය හැඟීම් හිර කර ගත්තා ය.

“හරි හරි අපි සෙල්ලං කරමු. ඔච්චර කේන්ති ගන්න ඕන නෑනෙ. කලින් කිව්වනං මං සෙල්ලං කරලනෙ යන්නෙ. දැං මොකද්ද ඔයාට කරන්න ඕන සෙල්ලම…ම්…”

රෑ කෑම වෙනුවෙන් ව්‍යාංජනයක් ළිප මත යයි සිහි වූ නිසා ආරාධනා යළි කුස්සියට දිව ගියා ය. කවීශ්වර බිඟුනි සමගින් සෙල්ලම් කළේ ය. තමන් විසින් කොයි තරම් පිරිමහන්නට හැදුව ද තාත්තා නික්ම ගිය අඩුව කටුවක් සේ බිඟුනි ගේ පුංචි හිත මත ඇනී ඇති බව ආරාධනා වටහා ගත්තා ය. ඇයට තියෙන්නේ තවමත් ළපටි වූ සිතකි. ඒ සිත මත පතිත වන සියල්ල, බ්ලොටින් පේපරයකට සේ උරා ගන්නේ ය. ඒ නිසා ම තනිකම, අත් හැර දැමීම, කාංසිය, හුදෙකලාව වාගේ හැඟීම් ඒ හිත මතට වැටෙන්නට ඉඩ නො තැබිය යුතු ය. එසේ වුව හොත් එහි වැඩි ම බලපෑම එන්නේ දැන් නොව මතුවට ඇය වැඩිවිය එළඹෙත්දී බව වටහා ගන්නට බැරි කමක් ආරාධනා ට නැත. දරුවන් දෙදෙනා සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් සියුම් හා කල්පනාකාරී වන්නට ආරාධනා තව දුරටත් හිතට ගත්තා ය. 

අයිතිවාසිකමක හෝ යුතුකමක නොව කුමක් දැයි නමක් නො දන්නා බැඳීමක ඔහු ටික ටික බැඳෙමින් යන බවක් පමණක් කවීශ්වර ට දැනෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles