සුළි සුළඟක සුසුමක් – 8 වන කොටස

0
3009

ළදරු සංකල්ප ගේ ඡායාරූපය දැකීමෙන් පස්සේ, කාලයේ වැලි තලාව අස්සේ හැංගී තිබුණ යම් සිදුවීම්, සිහිනයක දුටු සේයා සේ මගේ මනස තුළ එහෙ මෙහෙ වන්නට වූයේ ය. පාසල් සේවා වෑන් රථයෙහි දී, කුඩා පිරිමි ළමයෙක් මගේ කොණ්ඩයෙන් ඇද ඉවත බලා ගනු යන්තමින් මට සිහ් විය. මම හැරී බලා රවමින් ඔහු ට පහරක් ගසමි. ඔහු ඇස් සිහින් කොට සිනහ වේ. ඒ සංකල්ප ද? දවසක් මගේ රිබන් එකක් ඒ පිරිමි ළමයා ගලවා ගත්තේ ය. මම හඬන්නට වූයෙමි.

“ආ ආ…ඔන්න ගන්න”

එතකොට ඔහු එය මවෙත දිගු කළේ ය.

“මට එපා”

මම ගස්සා අත් දෙක පපුවේ බැඳ ගතිමි.

ඒ ඔහු ද? මේ මතක මාත්‍රයන් මගේ අභ්‍යන්තරයේ කොතැනක නිදන් ගත වී තිබුණා ද කියා මට අනුමානයෙන් හෝ සිතා ගත නො හැකි ය. ඒවා මේ හදිසියේ මගේ සිත වෙත පහල වූයේ කොහි සිට ද කියා හෝ මට සිතා ගත නො හැකි ය.

හැන්දෑ වරුව මා ගත කළේ පෙර අත් භවයකට අයිතියි සේ දැනෙන ඒ මතකයන් සමග ය. ඒවා ට පිළිවෙලක් තිබුණේ නැත. නිශ්චිත හැඩතල තිබුණේ ත් නැත. හරියට සායම් බොඳ ව ගිය සිතුවම් පෙළක් සේ ය.

“සුදු බබා ලස්සනට ඇඳං යන්න ඕන. කාගෙ පාටියක්ද දන්නෑනෙ ඕක”

නීලා ලොකු කමින් කීවා ය. මා මන්දස්මිතයක් නගා ගත්තා පමණකි.

“සුදු බබා ඒ එන කාටවත් දෙවෙනි වෙන්න යන්න ඕන නෑ”

“අනේ නීලා මං කාත් එක්කවත් රූප රාජිනී තරඟෙකට යනව නෙවෙයි. අනිත් එක මං පාටි එකකට යනවත් නෙවෙයි. මං යන්නෙ සංකල්ප සින්දු කියනව කිව්ව නිසා…එ්ව අහන්න”

එවර නීලා මදෙස බැලුවේ මුව ද මඳක් අයා අමුතු සතෙකු දෙස බලනාකාරයෙනි.

“සුදු බේබි ඒ ගමන ඒ ඉලන්දාරියගෙ සින්දු අහන්න යනවද…එහෙනං එදා දුවගෙන ගිහිං සින්දු කියනවයි කියල බැන්නෙ…”

“ඒ ඉතිං මහ රෑ නිසානෙ. ගෙවල් වල මිනිස්සු නිදියන වෙලාවනෙ”

මම නීලා දෙස නො බලන්නට වග බලා ගතිමි.

සංකල්ප ගේ උත්සව ශාලාව කරා යන්නට මා තෝරා ගත්තේ රතු හා කහ පාටින් අක්‍රමවත් ලෙස මල් ද, කොළ පාටින් කොළ ද වැටුණ කළු පැහැති දිග ගවුමකි. අත් නොමැති ව හයිනෙක් විලාසිතාවට අනුව මසන ලද එම ගවුම, ආසාවට මිල දී ගත්තා ට මා හැඳ තිබුණේ එක වරක් පමණකි. මේ වතාවේ කොළඹ ගෙදර ගොස් එත්දී මා ටිකක් වැඩිපුර ඇඳුම් දමා ගෙන ආවේ, දැන් රැකියාවට නො යන නිසා පහසු ඒවා ගෙදරට හෝ අඳිනවා කියා සිතා ගෙන ය.

ලූනා මාත් එක්ක එන්න ම හැදුවාය. වදෙන් පොරෙන් මම ඇය තියා ගියෙමි. තිළිණයක් ලෙස මා ගෙන ගියේ රත්නපුරයට ගොස් හවස ගෙන ආ ඕකීඩ් මල් පොකුරක් පමණකි. උපන් දිනය සංකල්ප ගේ නොවුණෙන් ඔහු ට තෑගි ගෙන යා නො හැකි ය. උපන් දිනය කාගේ දැයි මා නො දන්නා නිසාවෙන් ඔහු ට තෑගි ගෙන යන්නට ද නො හැකි ය. නමුත් මල් පොකුරක් ගෙන යන එක හිස් අතින් යනවාට වඩා හොඳ ය.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

මා ශාලාවට ඇතුළු වෙනකොට ම සංකල්ප මා දැක වහා ම මවෙත ආවේ ය. ඔහු කළු පාට ලිනන් කමිසයක් හා ලා නිල් ඩෙනිම් කලිසමක් හැඳ සිටියේ ය. ඉතාමත් පිළිවෙලැති පෞරුෂයක් ඇති තරුණයෙකු සේ මට ඔහු පෙනිණි.

මා ළඟට ම ආ ඔහු තත්පර කිහිපයක් මගේ මුහුණ මත ම සිය දෑස් නවතා ගෙන බලා සිටියේ ය.

“මොකද අනේ…”

මම සිනහ වෙමින් ඇසුවෙමි.

“ලස්සන”

“මෙන්න වැඩක්. එහෙම කිසිම වෙනසක් නෑ”

“තෑන්ක්ස් ආවට. යං ඇතුළට”

“අනුංගෙ බර්ත් ඩේ පාටි එකකට මෙහෙම එන එක හරිද මන්දා”

“මං හිතුවා එන එකක් නැද්ද කියලත්”

“එන්නැතුව ඉන්න හිතලත්…එනව කිව්වනෙ ඉතිං…”

මම අහිංසක බොරුවක් කීවෙමි. ඔහු ඇරයුම් කළ වෙලේ පටන් හිත නො ඉවසිලිමත් ව තිබි අයුරු ගැන දන්නේ මාත් මගේ හිතත් පමණකි. නමුත් සංකල්ප ගේ ගී හඬට ඒ තරමට ම මා ආශක්ත ව හිඳින බවක් මා ඔහු ට කිව යුතු නැත.

“මේ ඉන්නෙ බර්ත් ඩේ ගර්ල්”

ඔහු යුවතියක සමීපයේ නතර වූවේ ය. ඇය නො තේරුම් බැල්මකින් බැලුවා ය.

“මේ නංගි මේ කිට්ටුවම කෙනෙක්. මල්ෂා. මල්ෂා මේ මගෙ නේබර්…මගෙ නර්සරි ලව් එක…උත්තරා. අවුරුදු විස්සකට පස්සෙ තමයි මේ අපි මීට් වෙලා තියෙන්නෙ”

“අර…කියපු මෝඩ කතාව”

මම සිනහ වෙන දෑසින් ඔහු ට තරවටු කරමින් ම මල්ෂා ට හාදුවක් දුනිමි. මල් පොකුර ඇයට පිළිගැන්විය හැකි වීම පහසුවක් දැනවී ය.

“මෙයා ඔය වගේ ඕන්නැති කතා තමයි කියන්නෙ”

මල්ෂා සංකල්ප ගේ අතකට මෘදු පහරක් ගැසුවා ය.

“අක්කි අර…එෆ් එම් එකේ උත්තරා අක්කි නේද..”

ඒ ගමන් ම ඇය සැක සංකා ඇති සිතින්එසේ ද ඇසුවා ය. මම දෙතොල් තද කොට සිනහවක් පෑවෙමි.

“ඔය දන්නෙ”

එසේ කීවේ සංකල්ප ය. මගේ වෘත්තිය පිළිබඳව ඔහු දැන සිටියා යි එතෙක් මම නො දැන උන්නෙමි. කෙසේ වෙතත් ඒ ගැන අසන්නට තරම් මා උනන්දු වූයේ නැත.

“උත්තරා මගෙ චීෆ් ගෙස්ට්”

ඔහු ආඩම්බරයෙන් මදෙස බලා කීවේ ය.

“බොරු අනේ. මෙයා සින්දු කියනව කියලයි මට එන්න කිව්වෙ”

“අපෝ…අක්කි සින්දු අහල නැති කෙනෙක්යෑ මෙයාගෙ සින්දු අහන්න”

ඇය නෝක්කාඩු දෑසකින් සංකල්ප දෙස බලා, මගේ අතකින් යන්තම් අල්ලා ගෙන ම අමුත්තන් පිරිසක් වෙතට ගියා ය.

“මේ…මට බෑ බර්ත් ඩේ එකට ආපු ගෙස්ට්ල එක්ක ඉන්න හොඳේ. ඔයාල ඉන්න තැනට මං එන්නං”

ඔහු අමුතු ඇස් දෙකකින් මදෙස බැලුවේ ය.

“මොකෝ…”

මම තරමක් තදින් ඇසීමි.

“මට අද සින්දු කියන්න පුළුවන් වෙයිද කියලයි කල්පනා කළේ”

“ඒ මොකද…”

“ඔයා ඔහොම බලං ඉන්නකොට”

“පිස්සුද ආ…”

මම සැර කළෙමි. හඬ නගා හිනැහුණ සංකල්ප මාව ඔහු ගේ සගයන් උන්, ශාලාවට සම්බන්ධ කාමරයක් වන් කොටසකට කැටිව ගියේ ය. මුල දී මාව කෝලමකට ගත් කොල්ලන් හිටියත්, එතැන මට පහසුවක් දැනිණ. ඔහු ගේ සගයෝ කෑමෙන් ද බීමෙන් ද මට සංග්‍රහ කරන්නට උත්සුක වූහ.

එ් රාත්‍රියේ සංකල්ප ගීත කිහිපයක් ම ගැයුවේ ය. ඒ සියල්ල මගේ හදවත පත්ලට ම ගැයෙනවා සේ ය මට දැනුණේ. මා කැමති ම ලැයිස්තුවේ තිබුණ ගීත වලට ම ඔහු ත් කැමති වූයේ කෙසේද කියන ප්‍රශ්නය මට විය. එක අතකට ඒවා බොහෝ දෙනෙකු ගේ හදවත් වල නවාතැන් ගත් ගීත ය. හැම කෙනෙකු ගේ ම වාගේ ජීවිත වල යම් කොටසක් නියෝජනය කරන ගීත ය.

කෙසේ වෙතත් සංකල්ප ඒවා ගයත්දී ගීතයේ මුල් ගායකයා ගයනවාටත් වඩා හැඟීම් දනවන බවක් මට දැනිණ. ඔහු ගේ ගැඹුරු පිරිමි හඬ තුළ තැවරී තිබුණ ආත්මගත ශෝකී බව හා ඒ ගීත වල තනුව ඉතා තදින් බැඳිණි. වෙළිණි. මුහු විණි.

“ඊළඟ සින්දුව කියන්නෙ උත්තරා එක්ක”

සංකල්ප කීවේ ය.

“ශෝක් එකට තියෙයි”

මම උවමනාවටත් වැඩිය සිනාසුණෙමි.

“සීරියස්ලි”

“මාත් කියන්නෙ සීරියස්ලි තමයි. මං සින්දු කියනකොට මා…ර කැතයි”

“මං හිතන්නෑ”

“ඒත් මං දන්නවනෙ”

සංකල්ප සේ ම මිතුරන් ද ඇවිටිලි කළත් මම ඒ යෝජනාව එක හෙළා ප්‍රතික්ෂේප කළෙමි. නමුත් මගේ ඇතුළු හද ඔහුත් සමගින් ගයමින් තිබුණේ ය. විටෙක ඔහු ගේ හඬ තුළ මම උන්මාදයට පත් වෙමින් සිටියෙමි. කොල්ලෙකුට ඒ තරම් හද පසාරු කරමින් ගැයිය හැක්කේ කෙසේ දැයි සිතන්නට මට ඕනා විය. නමුත් මා සෙවූ පිළිතුර ලැබුණා නොවේ.

සාදය නිමාවේ පිරිස විසිර යන කලබලකාරී මොහොතේ දී සංකල්ප මට “යන්න එපා පොඩ්ඩක් ඉන්න” කියා ගෙන කළබලය අතරට වැදිණ. ඒ කොටසේ වූ විසල් වීදුරුවෙන් පිටත දැල්වෙන විදුලි එළි දෙස බලා ගෙන මම සීතලට දෑත් පොරවා ගෙන සිටියෙමි. මල්ෂා ඈත සිට ම අත වනා බායි කීවා ය. මම දෙතොල් තද කර ගත් සිනහවකින් අතැඟිලි සෙලැවීමි.

සංකල්ප කලබලයෙන් ම යළි එන්නට ඒ තරම් වෙලාවක් ගියේ නැත.

“මං හිතුව ගිහිංද කියලත්”

“ඇයි ඉන්න කිව්වෙ…”

“එන්නකො”

ඔහු කොරිඩෝරයක් දිගේ මාව කැටිව ගියේ කාමරයක් ළඟට ය.

“බඩුවක් දෙන්න තියනව. මේ මගෙ රූම් එක. බය නැත්තං විතරක් ඇතුළට එන්න”

“හරි වැඩක්නෙ. මං මොකටද බය වෙන්නෙ”

මම චණ්ඩි කෙල්ලක සේ ඔහු ටත් කලින් කාමරයට ගියෙමි. සාමාන්‍යයෙන් කොල්ලෙකු ගේ කාමරයක දැකිය නොහැකියි කියා සිතත හැකි පිළිවෙලක් එහි විය.

“බය නෑ කිව්වනෙ. මං දොර වහ ගත්තොත් මොකද වෙන්නෙ…”

සංකල්ප ගේ දෙතොලතර අඩ සිනහවක් විය.

“වහල බලමුකො එහෙනං”

එහෙම කීවාට හිත ඇතුළේ ඇත්තට ම දෙගිඩියාවක් විය. කවුද කියා හරියට හැඳින ගන්නටත් පෙර මේ විදිහට පිරිමි ළමයෙකු ගේ කාමරයකට එන එක කෙතරම් නුවණට හුරු දැයි නැවත වතාවක් සිතිය යුතු ය. නමුත් මම දැන් ඒ අවිචාරවත් ක්‍රියාව කොට අවසාන ය.

ඔහු අල්මාරියක් හැරියේ ය. මම ඉවත බලා ගෙන සිටියෙමි. ටික වෙලාවකින් මවෙත ආ සංකල්ප අත මිට මොලවා යමක් මවෙත පෑවේ ය. මම ඒ අත දෙස බැලුවෙමි. ඔහු අතැඟිලි දිග හැරියේ ය. එහි වූයේ රතු පාට රිබන් පටියකි. මගේ සිත අර පෙර අත් භවයක වන් මතක ඡායාවෙහි පැටළිණි. හැන්දෑවේ මට සිහි වූ, පිරිමි ළමයෙකු මගේ රිබන් පටිය ගැලවූ සිදුවීම සිහිනයකින් සේ සිතේ සිත්තම් වෙමින් තිබිණි.

“ඕක මං ගැලෙව්ව කියල ඔයා ඇඬුවා. ආයෙ මං දුන්නහම ගත්තෙත් නෑ”

මගේ උගුරෙහි වියළීමක් ඇති වෙනවා දැනිණ. මා කෙළ බිඳක් ගිල ගත්තේ අසීරුවෙනි. ඔහු එය මේ තරම් කාලයක් රැක ගෙන සිටියා යි මා කෙසේ නම් විශ්වාස කරන්නද? සංසාරය දිගු කරවන බැඳීමක්, කිසිදු සාධාරණ හේතුවක් නැතිව නඩත්තු කරන්නට ඔහු වූ කාරණා කිම? වසර විස්සකටත් වැඩි කාලයක්! ඒ සුළු පටු කාලයක් ද?

“ඉතිං ඕක තියං හිටියෙ මොකටද…”

මම කිසිදු හැඟීමක් නො තැවරූ වියළි බවකින් විමසීමි.

“විසි කරල දාන්නෙ නැතුව…”

“කවදහරි ඔයාට දෙන්න. මේක මට විසි කරල දාන්න බෑ”

“අනේ මට එපා”

මා එසේ කීවේ ඔහු ගෙන් ඇස් හංගා ගෙන ය. ටික වෙලාවක් මදෙස බලා උන් ඔහු එය යළිත් අල්මාරියේ දමා වසා ආවේ ය.

“යං. මං ඔයාව ගෙදරට දාල එන්නං”

“මොකටද…ඔය අල්ලපු වත්තට මට තනියම යන්න පුළුවන්”

“මට එන්නත් පුළුවන්නෙ. පැහෙන්නැතුව යං”

හයිලන්ඩ් ගෙස්ට් ශාලාවෙන් පිටතට එත්දී ශීතල තදින් දැනිණ. අත් නැති ගවුමක් ඇන්දේ මොන පිස්සුවකට දැයි මම මගෙන් ම ප්‍රශ්න කළෙමි. මඳක් උස් වූ ඒ ස්ථානයට අවට ලස්සනට පෙනිණ. මම අත් දෙක පපුවේ බැඳ ගෙන පඩි පෙළ බැස්සෙමි. සංකල්ප දෑත් කලිසම් සාක්කු වල රුවා ගෙන මට සමීප ව පඩි බසිමින් සිටියේ ය.

“පිස්සු. පරණ කුණු ගොඩවල් මොනාට එකතු කරනවද මන්දා. මන්නං කිසි දෙයක් තියා ගන්නෑ. ආසාවෙන් පොත් එකතු කළත් එතන එකතු වෙන්නෙ සංසාරෙට බැඳීමක් තමයි”

එන ගමන් මම නෝක්කාඩු කියවීමි. සංකල්ප කිසිත් කීවේ නැත. මා කියනා ඇනුම් පද අහගෙන වඩාත් හෙමිහිට පිය තැබුවේ ය. රාත්‍රියට පිපෙනා මල් බොහොමයක සුවඳ එක් වී මුහු වීමෙන් සුළඟ තුළ අමුතු සුසුවඳක් තිබිණි. බණින ගමන් ද, ඇවිදින ගමන් ද මම ඒ සුවඳ හෙමි හෙමිහිට පපු කුහරය වෙත උරා ගතිමි.

“ඕන මනුස්සයෙක් ට ළමා කාලයක් තියෙනව. ඉස්කෝල කාලයක් තියනව. තරුණ කාලයක් තියනව. ඒව පහු කරගෙන කාලෙත් එක්ක අපි ඉස්සරහට යනව. අතීතයෙ නතර වෙලා ඉන්නෑනෙ. එහෙම ඉන්න බැරි නිසා තමයි මාත් මේ අප්පච්චි ගැන මතකයෙන් ඈත් වෙන්න මෙහෙට ආවෙ. අමතක කරන්න බැරි වෙයි. ඒත් මතක වලින් විඳවන්න අමාරුයි. බැඳීම් කියන්නෙ සංසාරෙ දික් කරවන දෙයක්. මටනං ඕනෙ ඒ වගේ බැඳීම් වලින් ඈත් වෙන්න. විඳවන්නෙ නැතුව…”

ඔහු ට බණිමින් පටන් ගත්තා ට අන්තිමට මා කියවමින් සිටියේ මගේ විඳවීම ගැන ය.මගේ දුක ගැන ය. මගේ අප්පච්චි ගැන ය.

ලූනා වැරැන්ඩාවේ වැතිර හිඳ පෙර මග ට දිව ආවා ය.

“තෑන්ක් යූ සංකල්ප”

මම නතර වෙමින් කීවෙමි.

“මට සින්දු අහන්න දුන්නට…”

“ඔයා යන්නම යන්නෙ කවදද උත්තරා”

මෙතෙක් ඔහු හිඳ ඇත්තේ මා සිටි තැන නො වන බව ඇසිල්ලකින් මට පසක් විය. ඒ ප්‍රශ්නය ට පිළිතුරු දී ගන්නට මට හැකි වූයේ නැත.

“ඉන්න ඔයාට බෑ කියල මං දන්නව. ඒත් ඔයා හැමදාම ඉන්නවනං කියල මං හිතනව”

“ළමයො. කාලෙත් එක්ක අපි ගහං යමු. නතර වෙන්න නොහිතා ඉමු”

මා සිනහවකින් එසේ කීවේ ඔහු ගේ අතකට ද අත තබා ගෙන ය. එසේ කියා විගස මම ගේ දෙසට ආවෙමි. උගුරේ වේදනාවක් දැනුණේ ය. ඒ මේ රෑ පින්නේ ආ නිසා යි සිතන්නට මට ඕනා විය.

3.8 5 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments