දාන මාන කටයුතු තිබෙන දිනවල නිවස කෙතරම් සන්තෝසයෙන් කාර්‍යබහුලද යන්න මිහිකට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.
එදවස වාර්ශිකව දෙන දාන මාන කටයුතු වලදීත්, අවුරුදු කාල වලදීත් සියලුම නෑ හිත මිත්‍රාදීන් එකතු වී වැඩ රාජකාරි ඉටු කරන දින එනතුරු ඇඟිලි ගණන් කල ළමා කාලයකටද, පසුව නෑ සොයුරන් සොයුරියන් සමග කල් ගෙවන්නට බලා හුන් යොවුන් වියකටද මිහික හිමිකම් කියයි.
සිනා කතා බහ මැද, විහිලි තහලු, ඕපදූම, රහස් කියවිලි මැද වේලාව ගෙවී නොයන බව මිහික හොඳින්ම දනී.
දාන මාන වැඩවලට පැමිණී අයවලුන් හට කුස පුරවා ගැනීම සඳහා එළිමහනේ මැටි කුස්සියේ ජොසෙ අම්මා අතින් හැදෙන හොඳින් කිරි දැමූ අල කරියත්, තෙල් දැමූ කෙහෙල් මුව සහ කරවල බැදුමේ රස මේ දැන් දැන් දිවඟට දැනෙන්නාක් මෙනි.
ගෙයි පිටුපස ආලින්දයේ පඩිපෙළ උඩට වී පිඟාන අත්ල මත තබාගෙන අම්මාගේත්, අත්තම්මාගේත්, තාත්තාගේත් මහප්පාගේත් විහිලු කතා වලට සිනාසෙමින්ද, ලොකු අම්මාගේ ඇණුම් බැණුම් වලට රහසෙන් සිනාසෙමින්ද ගෙවූ කාලය තමන්ට මතකයකි.
එය ජීවිතයේ පළමු වරට චරිත්‍රාට එය අද අත්විඳින්නට හැකි බව දැනහිඳිමම සතුටට කරුණකි.
පාතරටින් වලව් පැලැන්තියක නොවා කෙල්ලක විවාපත් කර ගැනීම දෑලබණ්ඩාර පරම්පරාවේ මෙන්ම පානබොක්ක පරම්පරාවේ බොහෝ අයටද හිත අමනාප ඇති කරගන්නට හේතුවක් විය.
චරිත්‍රා හමුවන අවස්තාවල මුහුණ නොදී මග හැර යාමට සමහර නෑයන් එය හේතුවක් කරගත්තා වුවද අද චරිත්‍රා හිඳින්නේ අම්මාගෙ සෙවනැල්ල වැටෙන මායිමේය.
එය ඇයගේ හිත රිදෙන අන්දමේ යමක් වේය යන බිය මිහිකගේ සිතින් එළවා දැමීමට හේතුවකි.
අනෙක් අතට චරිත්‍රා යනු බිය නැති ගැහැණියකි.
තැනට සුදුසු ලෙස ඉන්නට හිඳින්නට දන්න ගැහැණියකි.
එබැවින් ඇයගේ සිත රිදේ යැයි හෝ ඇය කාගේ හෝ සිත රිදෙන්නට යමක් කියනු ඇතැයි යන්න ගැන තැවෙන්නට හේතුවක් නොමැත.
උදෑසන වැඩ රාජකාරි අහවර කර ආ පසු චරිත්‍රාට අමතන්නට සිතා ගත් මිහික ඈත රටක තනිවම හිඳිමින් මේ මොහොතේ තම මහ ගෙදර ප්‍රීතියෙන්, කෙලි කවට සිනහවෙන් ඇලලී ගොස් ඇති අයුරු මෙනෙහි කරමින් දැවෙන සිත සනසාගන්නට මෙන් සීතල වතුර විසුරුවන ශවරය යට නිරුවතින් දෑස වසා ගත්තේය.
පවුලක ඇති උණුහුමත්, තම නිවසක ඇති අගයත් දැනෙන්නට නම් ඕනැම අයෙක් නිවසිනුත්, පවුලෙනුත් තම මව්බිමෙනුත් ඈත්ව වාසය කළ යුතුම වේ.
සිතූ මොහොතක යන්නට බැරි දුරල හිඳින කල කෙතරම් සැප සම්පත් මධ්‍යයේ වුවද, නිවසේ දර ලිපේ ලිසෙන උණුසුම් සුදු බතකත්, කරවල හොද්දක සහ ගෝවා මැල්ලුමක රස දිව්‍ය බොජුන් මෙන් මෙනෙහි වේ.
එකී සරල ආහාරය සමග බැඳී තිබෙන මවකගේ නොඑසේනම් පවුලේ සාමාජියකන්ගේ උණුසුම සහ ආදරය, තම හුරුපුරුදු වට පිටාව සමග බැඳුණු සිතුවිලි නිසාවෙනි.
ජීවිතය ඉතින් එසේමය.
ළඟ රැඳී තිබෙන දේවල වටිනාකම දැනෙන්න එකී දේ එක්කෝ තමන්ගෙන් ඈත්ව යා යුතුය නොඑසේනම් සදහටම තම අත්ලෙන් ගිලිහී යා යුතුමය.
ශවරයෙන් පිටතට අවුත් තුවායෙන් ඇඟ පිසිමින් කාමරය දෙසට ඇවිද යන අතර වාරයේ මුහුණු පොත පිරික්සන්නට මිහික සිතුවේ වැඩ කරන අතරතුර දුරකතනය අතට ගැනීමට ඉඩක් හෝ අවසරයක් නොලැබෙන නිසාවෙනි.
ලංකාවේ මෙන් නොව මෙරට රැකියා ස්තාන සහ ඒවායේ ඇති නීති රීති රෙගුලාසි බොහෝ සෙයින් වෙනස් ය.
ලක්ෂ දහය පහලව මසකට සෙවීම වාසනාවක් මෙන් ලංකාවේ වෙසෙන බොහෝ අය දකිද්දී එකී වාසනාවන් අත්පත් කරගනු පිණිස කෙතරම් දේ කැපකරන්නට වනවාද යන්න ගැන ඔවුන් කිසිවක් නොදනී.
දෙයක් ලබාගන්නට නම් දහසක් දේ කැපකරන්නට සිදුවන බව මිහික මේ අවුරුදු තිස් ගණනකට හොඳින්ම තේරුම් ගෙන තිබේ.
මුහුණු පොතේ තිබෙන විවිධ මීම්ස් කියවීම මිහිකගේ ඇති පරම සැපතයි.
මනුෂ්‍ය ජීවිතයේ සියුම් සිදුවීම් අලලා, එක් ජායාරූපයකින් හෝ වචන පෙළකින් එතරම් “ආතල් එකක්” මවන්නට හැකිවීම ගැන මිහිකට ඇත්තේ පුදුමයකි.
කුඩා අවදියේ සිටම ගණිතය සහ විද්‍යාව යන විශයකන් කෙරේ මහත් සේ නැඹුරුතාවයක් දැක් වූ මිහිකට කලාත්මක දේ පිළිබඳව ඇත්තේ අල්ප හැකියාවකි.
කොටින්ම කිවහොත් කෙතරම් හොඳ කැමරාවක් සහිත දුරකතනයක් තිබුනද නිවැරදිව කැමරාව ෆෝකස් කරමින්, සුන්දර ජායාරූප ගන්නට නොහැකි තරමටම තමන්ගේ කලාත්මක හැකියාවන් අල්ප බව මිහික දනී.
දෛවයේ සරදමකට මෙන් යාන්තම් ගී ගැයීමේ හැකියාවක් තිබුනද එකී හැකියාව වර්ධනය කරවා ගන්නට මහන්සි වන්නට තරම්වත් උනන්දුවක් තිබුණේ මිහිකට නම් නොවේ.
ඒ අතින් බලන කල චරිත්‍රා සරස්වතියයි.
ලියන්නට, කියන්නට, මහන්නට, ගොතන්නට, උයන්නට, පිහන්නට උපන් හපන් කම් දක්වන චරිත්‍රා තමා වැනි අල්ප කලාත්මක හැකියාවන් ඇත්තෙකු හා බැඳෙන්නට තීරණය කිරීමම පුදුම සහගත කරුණකි.
මේ දිනවල මුහුණු පොත කළඹවමින් තිබෙන්නේ වසර ගණනාවකට පෙර අත්ලාන්තික් සාගර පත්ල බලා ගිය ටයිටැනික් නැව බලන්නට ගිය ටයිටන් නම් සබ්මර්සිබලයේ අතුරුදන් වීමේ කතාවයි.
තවමත් එය ගිලිහී ගොසින් ගත වී ඇත්තේ පැය කිහිපයක් විතරක් බවද, එහි තිබෙන ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ තවත් පැය දහසයකට පමණක් බව කියවෙන සටහන්ද, සබ්මර්සිබලයට සිදු වී ඇත්තේ කුමක්දැයි කියවෙන උපකල්පන සහිත ලිපිද සමාජ මාධ්‍ය කලඹවමින් සෑම මොහොතකම පාහේ පිට වේ.
විද්‍යාව හා දෛවය යන කාරණා ද්විත්වයම සම්බන්ද සිදුවීමක් හේතුවෙන් ඒ පිළිබඳව මිහිකගේ තිබෙන උනන්දුවද ඉතා ඉහලය.
ඇතෙමෙකුට අනුව මෙකී සිදුවීම දෛවයේ සරදමක් නොඑසේනම් කරුමයක් විය හැකි නමුත් විද්‍යාව පිළිබඳ එදා පටන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට අනුව මෙය තවත් එක් දුර්වල, විද්‍යාත්මක නිමැවුමකි.
සියල්ලම දෛවය නිසාවෙන් සිදු වී යැයි සලකා අතැර දැමීම මෙවන් විපත් තව තවත් සිදුවන්නට හේතුවක් බැවින් සැමවිටම එහි යතාර්තයම කතා කිරීම වඩා වටින බව ඔවුන්ගේ අදහසයි.
මිතුරු ලැයිස්තුවේ බොහොම දෙනා මේ පිළිබඳව ලිය වී තිබෙන ලිපි ශෙයාර් කරගෙන තිබෙන බැවින් එකම ලිපිය සෑම විනාඩි කිහිපයකට වරක්ම දෑස් ඉදිරියට පැමිණීම වළක්වාලිය නොහැක.
ඉතින් කඩිනමින් මුහුණ පොතේ එන ලිපි සහ ජායාරූප ස්වයිප් කර පහලට යෑම වඩා පහසුය.
මනාව පිරිසිදු කර, එමතින් තම ප්‍රතිබිම්බය පැහැදිළිව දැකිය ලෙස පිරිසිඳුව තබාගෙන සිටින දුරකතන මුහුනත මත වේගයෙන් ගමන් කරමින් තිබූ අතැඟිලි නතර විය.
ඒ දකින්නට බලාපොරොත්තු නොවූ යමක් දකින්නට වූ නිසාවෙනි.
“ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල” යන වදන් පෙල සහිතව, ප්‍රසිද්ද මීම් පේජයක පල වී තිබුන පින්තූරයේ හිඳින්නී තමන් හොඳින් අඳුනයි.
රෝස සහ සුදු පැහැ ටයි ඩයි ගවුම හැඳ, ඈතින් පෙනෙන කඳු පන්තිය දෙසට හැරී, එනමුත් සිනා මුසු මුහුණ මෙපසට හරවා සොඳුරුතම සිනහවක් මුව අග රඳවා ගනිමින් තමාගේ ජායාරූප ගන්නා කඩවසම් තරුණයා දෙස බලා හිඳින්නිය චරිත්‍රාය.
තරුණයා කවුරුන්දැයි තමා නොදනී.
ඇය කිසිදු විටක තමා වෙත එපමණ සුන්දර සිනහවක් තිළිණ කර නොමැති බව මිහිකට හොඳින්ම මතකය.
චරිත්‍රා…
ඔබට මෙතරම්ම නිදහසක් ලැබුණේ මා එතරම්ම ඔබට ආදරය කල නිසාවෙන්ම නොවේද?
“අනේ මන්දා ඉතින් ඔහොම ෆෝන් එකේම එල්ලිල ඉඳල හරියනවද තමන්ගෙ මනුස්සයගෙ ගෙදර දාන මාන කටයුත්තක් තියෙද්දි?”
කිසිදු වෙනසක් මුහුණින් නොපෙන්වා හිඳින්නට තරම් චරිත්‍රාට පුලුවන් වූයේ ඇණුම් පද ඇරඹෙන්නට හේතුව වුනේ තම වරදක් බව දන්න නිසාම නොවේ.
අනෙක් අන්තයේ සිට ළහිරු එවන සරාගී, ප්‍රේමණීය වදන් ලොකු අම්මාගේ කටුක, කර්කශ වදන්වලට වඩා මිහිරිතම නිසා වෙනි.
ආය මුණ ගැසුනු විටක මුලු ඇඟම සිපගන්නවා යැයි පවසන ළහිරු එපස සිට පවසයි.
ජීවිතයේ පළමු වරට සරාගයක උණුහුම විදින යුවතියක සිත තුල ඇති විය යුතු අන්දමේ කොමලයක් චරිත්‍රාට දැනේ.
එකී සබකෝලයට, රෝම කූප කෙලින් වන හැඟීම් වල හේතුව කුමක්දැයි චරිත්‍රා තවමත් නිසියාකාරව නොදන්නවා නමුදු මේ ආදරය බව ඇඟේ හැඟීමයි.
එවන් වූ මිහිරිතම වචන හරඹයක යෙදී සිටින මොහොතක ලොකු අම්මාගේ මුවින් නිකුත් වූ වදන් කණට කටු අනින්නා සේය.
එහෙත් සියල්ලටම කළින් මේ තම විවාහක සැමියාගේ නිවස වුවද තම හිතුමනාපයට අනුව කටින් වචන එලියට දමන්නට නොහැකි පිට තැනක් බව චරිත්‍රාට හොඳින් මතකය.
ඉතින් මද සිනහවක් මුවින් පිටතට විසි කර බිම බලා හිඳීම නුවණට හුරු ය.
“අනේ ඒ දරුවට මහන්සි ඇති අක්කෙ. අනික ලේසි පාසු දුරක් ය කොළඹ ඉඳල එන්ට එපාය”
“ඒ වුණාට මේව පිට තැන් නෙවිනෙ. මනුස්සය රට හිටියට මොකෝ තමන්ගෙ මනුස්සයගෙ මහ ගෙදර ආවම ඒ ගෙදර ඔක්කොම උයන පිහන රාජකාරි හෙම බලන්ට ඕන නේද? වැදගත් තැන්වල එහෙමනෙ වෙන්නෙ”
“මේ සතිය පුරාම කන්තෝරුවල මහන්සි වෙන ළමයින්ට ආය මේ දාන වලට එන්ටය කියල ආරාධනා කරල තව වැඩ ගන්න පුලුවන් ද?”
“තමන්ගෙ අයට කවද්ද නංගියෙ ගෙදර දොරේ වැඩවලට අපි ආරාධනා කරේ”
කියාගෙන ලොකු අම්මා වාඩිවෙලා උන්නු බංකුවෙන් නැගිට්ටෙ හරියට කතාව ඉවර කරන්න මෙනි..
ඕනම ප්‍රශ්නයක් වවාගෙන කන්න බලාගෙන ඉන්න මිහිකගෙ ලොකු අම්ම වගේ කෙනෙක් තමන්ම පටන් ගත්ත කතාවට නැවතීමේ තිතක් තිබීම චරිත්‍රාට මහ පුදුමයක් වුණත් ඒ පස්සෙ මහ ලොකුවට හිතන්න ගියේ නැත්තෙ බීප් සද්දයක් එක්ක මතුවෙච්ච ළහිරුගෙ මැසේජ් එක නිසා.
“ඔයා කවදද කලම්බො එන්නෙ? ශැල් අයි කම් ටු පික් යූ අප්?”
“ඒකට දෙන්න ඕන උත්තරයක් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් මට තිබුනෙ නෑ. ඒක හරියට බලාපොරොත්තුවෙන් ඉඳපු ප්‍රශ්නයක් වගේ”
චරිත්‍රා පවසන්නේ තම සිතටයි.
කරන්නෙ වරදක් බවත්, ඒ වරදින් පීඩා විඳින්නෙ තමන්ට කිසිම වරදක් නොකරපු අහිංසකයෙකු බවත් චරිත්‍රා හොඳාකාරවම දනී.
පවුල් දෙකක නෑයන් මැද අතපැන් වක්කර ඇරඹූ පවුල් දිවියකින් ලද මිහිරට වඩා මේ රහස්‍ය සරාගයෙන් ලද මිහිර ඉස්තරම් ය.
ජීවිතේ තමන්ට සතුට අත්විඳින්න ලැබෙන ඉඩකඩ හරිම අවමය.
“ඒ සතුට නිදහස අත්විඳින්න ලැබෙන පලවෙනි තප්පරේම විඳින්න පුලුවන් උපරිමේටම විඳින්න ඕන” යැයි හිතන්නියකි චරිත්‍රා.
එබැවින් තමන් මේ කරන්නේ නිවැරදි දෙයක්ද යන්න සිතීමට පවා කාලය වෙන් කිරීම චරිත්‍රාට අනුව අපරාධයකි.
“අනික රටවල් දෙකක වෙන්වෙලා ජීවත්වන, කෝල් එකකින් විතරක් එකිනෙකා එක්ක අදහස් හුවමාරු කරගන්න ඕනම ගෑණියෙකුයි මිනිහෙකුයි අතින් මේ වගේ වැරදි වෙන්න පුලුවන්”
චරිත්‍රා තමන් සාදාරණීකරණය කරන්නට යොදාගත්තේ එවදන් ය.
ළහිරු යනු කලාතුරකින් ගැහැණියකට මුණ ගැහෙන අන්දමේ පිරිමියෙකි.
තම සැබෑ තතු ළහිරුගෙන් සඟවා තබාගන්නට චරිත්‍රාට අවශ්‍ය වූයෙ කෙදිනක හෝ අවකාශ ලැබුණෝතින් මිහික අතැර ළහිරු ළඟට යෑමේ සිතුවිල්ලක් හිත කෙලවරක තිබූ නිසාවෙනි.
මිහික ගැනවත් නොහිතුව තරමට තමන්ට ළහිරුව මතක් වෙන්නෙත්, ළහිරු ගැන හිතෙන්නෙත් කොහොමත් තමන්ගෙ ලඟ තියෙන දේවල් වලට වඩා තමන්ට ලබාගන්න අපහසු දේවල් වලට වඩාත් ආදරය කිරීමේ සාමාන්‍ය පෘතග්ජන මනුසත්කම නිසාද?
නොඑසේනම් සසර පුරාවටම පතාගෙන ආ බැඳීමක් නිසාවෙන්ද යන්න චරිත්‍රා නොදනී.
විසි දහස පන්නමින් උන් මුහුණු පොතේ ෆොලෝවර් බේස් එකෙන් මේ පැනයට විසඳුම් සොයන්නට බැරිය.
ඉතින් මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා යැයි නන්දා මාලිනියන් කියූ දේ ඇත්තකි.
ඉඳගෙන් හුන් බංකුවෙන් නැගිට ඉහළ මාලයේ තම කාමරයට යන්නට පය එසවූ චරිත්‍රා උන්නේ දුරකතනයට මුහුණ ඔබා ළහිරු එවන ප්‍රේමණීය වදන් වලට සිනහවෙමිනි.
ඇය දෙස වපරැසින් බලා හිඳින මිහිකගේ ලොකු අම්මාව චරිත්‍රාට නොපෙනුන එක ඉතින් සාදාරණය.
අනිත් අතට ඒ බව දුටුවත් ගණන් නොගන්නා තරමට මිහිකගෙන් සහ මේ වටපිටාවෙන් චරිත්‍රා දැන් ඈතය.
නෑයන්ගේ දෑස්වල රැඳී තිබුන”මේකි මේ මෙච්චර ෆෝන් එකට එබිල මොනවද කරන්නෙ” යන කුහුල චරිත්‍රා නොදුටුවමුත් මුලුතැන්ගෙයි සිට තේ කෝප්ප බන්දේසියක් රැගෙන ආ ස්වර්ණා නුදුටුවා නොවේ.
එනමුත් තම එකම පුතුගේ ආදරණීය බිරින්දෑ විසින් කිසිවිටක පුතුගේ සිත රිදවන අන්දමේ යමක් කරනු ඇතැයි නොසිතන අන්දමේ ආදරණීය සහ විශ්වසනීය සිතුවිලි වලින් පිරුණු ස්වර්ණා පානබොක්ක දෑලබණ්ඩාර මහත්මිය තේ කෝප්ප සහිත බන්දේසිය නෑයන් අසුන්ගෙන හිඳින කලුවර ලී සෙටිය අසලට ගෙන යමින්, ලී කනප්පුව මත තේ කෝප්ප තියමින් “දූ එන්න තේ බොන්න යැයි” චරිත්‍රාට අඬ ගැසුවේද ආදරයෙනි.
දානයට සකසා ඉතුරු වූ කැවිලි පෙවිලි ද, චරිත්‍රා කොලඹ සිට එනවිට රැගෙන ආ බටර් බුටික් වෙතින් මිල දී ගත් පයිනැපල් ගැටෝ කැබලිද සහිත බන්දේසිය ඔසවා ගෙන ආවේ නයනතාරා ය.
මිහිකව හිමි නොවුණත්, ස්වර්ණාට තම මවකට මෙන් ආලය කරන, මේ නිවසේ අනාගත හිමිකාරිය වන්නට තමාට කවදාක හෝ ඉඩක් ලැබේ යැයි සිතෙන් බලාපොරොත්තු වන නයනතාරා සෙව්මිණී මඩුගල්ලය.
තමා හදවතින්ම ආලය කල මිහිකව හිමිකරගත් චරිත්‍රා සමග එහෙමකට හිතවත්කමක්වත් අහිතවත්කමක්වත් නැති නයනතාරා ය.
තේක්ක ලී පඩිපෙල දිගේ පහලට බසිමින් වලලුකර තෙක් දිගු සාය ලෙලවමින් එක් අතකින් තම අක්බඹරු කෙහෙ රැලි අතර ඇඟිලි තුඩු යවමින් බසින චරිත්‍රා සිතේ මේ හමුව පිළිබඳ කුතුහලයක් නොතිබුනා නොවේ.
“මම කිසිම වෙලාවක නෙගටිව් දේවල් හිතන පතන මිනිස්සු ලඟ ඉන්නෙ නැහැ. මොකද ඒක මට මහ අපහසුවක්.
මගේ තියෙන පොසිටිව් තෝට්ස් වලට බාදාවක්.
නිදහසේ හුස්ම ගන්න, නිදහසේ ඔලුව උස්සල වටපිටාව බලන්න තියෙන බාදාවක්.
ඒ නිසා තමන්ගෙ සිතුවිලි පිරිසිඳු නම් හැමතිස්සෙම පිරිසිඳු සිතුවිලි පිරිච්ච හිත් තියෙන මිනිස්සු ඉන්න වටපිටාවක ඉන්න සූදානම් වෙන්න.
මොකද අපේ සිතේ තියෙන සිතුවිලි අපි නොහිත වුනත් තව කෙනෙක් තුලට ආරෝපනය වෙන්න පුලුවන්.
ඔයාගේ යහපත් සිතුවිලි වෙන කෙනෙක් සිතට ආරෝපණය වීම ගැටලුවක් නොවුනට වෙන කෙනෙකුගෙ නෙගටිව් සිතුවිලි ඔයා තුලට ආරෝපණය වීම මෙතෙක් කල් ඔයා කරුණාව, දයාව කියන දිය පොවමින් උස් මහත් කරන්න වෙර දරපු සංයමය, නිස්කාන්සුව කියන මහ ගස විනාශ වෙන්න මූලික හේතුවක් වෙන්න පුලුවන්”
කෙදිනක හෝ තමන් විසින්ම ලියන ලදුව මුහුණු පොත පුරා සංසරණය වූ එකී ලිපිය චරිත්‍රාට මෙනෙහි වූයේ අහම්බෙනි.
ඉතින් මේ නෙගටිව් මිනිසුන් පිරුණු හමුවකි.
එනමුත් විනාස වන්නට තරම් යහපත් සිතුවිලි ඇත්තියක් නොවේ නේද මම?