නිම් නැති නිම්නය 16

අලාම් එකේ හඬින් ආරාධනා අවදි වන විටත් බිනර වැස්ස සිරි සිරි ගා ඇද හැලෙමින් තිබිණ. ඇය ඒ දුක් ගීතයක් වන් වැසි නද ට කන් දී ගෙන තවත් මොහොතක් ඇස් පියා ගෙන සිටියා ය. නමුත් යළි නින්දකට එළඹෙන්නට එක තත්පයරයක පමාවක් ඇති ය. ඇය වහා යහනෙන් නැගී සිටියා ය. එතකොට ම පපුවේ ඇවිලී ගියේ ගින්දරකි. ඉස්සර නම් ඇය මේ අලාව් නාදයෙන් අවදි වන්නේ කාශ්‍යප ට බත් උයන්නට ය.

නව පාසල් වාරය ඇරඹෙන්නේ පමා වී අවදි වන්නට දී තිබූ නිදහස එතෙකින් අවසන් කරමිනි. ආරාධනා හිස කේ පිළිවෙළ කරමින් නාන කාමරයට වැදුණා ය.

කවරක් කෙසේ සිදු වී ද ජීවිතය නතර වී තියෙන්නේ නැත. එය හෙමි හෙමිහිට තත්පරයෙන් තත්පරය ඉදිරියට ඇදී යයි. ආරාධනා බිඟුනි වෙනුවෙන් උදේ කෑම පිළියෙල කරමින් ම තේ සෑදුවා ය. වෙනදා නම් රාජිකා මැණිකේ අවදි වී විත් තේ සාදයි. නමුත් සුරත බිඳී යාම නිසා දැන් ඇය ට කිසිත් කර ගත නො හැකි ය. පාන් ටෝස්ට් කොට බිඟුනි ගේ කෑම පෙට්ටියට දමා, ඇයට කවා යැවීම පිණිස බතක් සමග ව්‍යාංජන දෙකක් ද පිළියෙල ඕ තේ දැමූ මග් හතර බන්දේසියෙහි තබා ගත්තා ය. එය රැගෙන ගජධීර ලා ගේ කාමරයට යත්දී ම දොර හැරිණ.

“අනේ පුතේ මේ මාසෙම පාන්දර ඇහැරුන්නැති නිසා මට නින්ද ගියානෙ. ඔයා තේත් හදල ගෙනත්…මට ඇහැරවන්න තිබුණනෙ…”

රාජිකා මැණිකේ ඔවුන් දෙදෙනා ගේ තේ දෙක ගත්තේ ය. ආරාධනා කවීශ්වර ගේ තේ එකත් ගෙන ඔහු ගේ කාමරය ළඟට ගියා ය. පෙර දා රාත්‍රියේ ඔහු නින්දට ගියේ, බිඟුනි ව පාසල් ගෙන යාම වෙනුවෙන් උදෙන් ම අවදි කරන්නයි ආරාධනා ට සේ ම රාජිකා මැණිකේ ට ද දැනුම් දී ය.

ආරාධනා කුස්සියේ වැඩ කරන හඬට කවීශ්වර අවදි වී සිටියේ ය. තේ සාදා ගෙන විත් ඇය දොරට ගසන බවත් ඔහු දැන සිටියේ ය. ඉස්සර නම් උදේ තේ එක වෙනුවෙන් කිසිවෙකු ඔහු අවදි කරවූයේ නැත. අවදි වෙන කොයියම් හෝ වෙලාවක රාජිකා මැණිකේ ඔහු ගේ තේ එක ඇළුමිනියම් කෝප්පයකට දමා ගෑස් ලිප මත තබා රත් කොට දුන්නා ය.

“කවීශ්වර…නැගිටල මේ තේ එක ගන්නවද…අනේ නැගිටින්නකො මට දුව ලෑස්ති කරන්නත් ඕනෙ…කවීශ්වර…”

නින්දට වැටුණ විට කවීශ්වර අවදි කළ නො හැකි ය යන්න සැනසුම් පායේ ප්‍රකට අදහසකි. ඒ නිසා මෙහෙම කොයි කරම් වෙලාවක් දොරට ගසන්නට සිදු වනු ඇත්දැයි ආරාධනා තුළ දෙගිඩියාවක් විය. පසු ගිය වාරයේ අවසාන දින දෙක තුනේ නම්, අවදි කරවන්නටත් පෙර ඔහු මුළුතැන්ගෙට ආවේ ය. ඉස්කෝලේ යාම කොහොම වුණත් මේ උදෙන් අවදි වීම නම් වැඩි දවස් කරන්නට ඔහු ට බැරි වනු ඇතැයි ආරාධනා ට සිතෙත්දී ම දොර විවර විය.

“ගුඩ් මෝනිං”

කවීශ්වර අවුල් වූ බූසි කොණ්ඩයකින් ද නිදිමත සිනහවකින් ද ඇය ඉදිරියේ සිටියේ ය.

“හම්මෝ…මං හිතුව නැගිට්ටෝගන්න ලේසි වෙන එකක් නෑ කියල”

එපමණකි. ඔහු තේ එක අතට ගත් සැනෙන් ඇය අතුරුදන් වූවා ය. සඳරු අවදි වී හඬ තලනු ඇසිණ. ආරාධනා ඔහු ළඟට වී කිරි දුන්නේ බිඟුනි ගේ හිස පිරිමදිමින් ඇය අවදි කරවමිනි.

“බිඟු මැණික. නැගිටින්නකො දැන්…මල්ලි නැගිට ගත්තනෙ පුතේ. ඔයා කුක්කු එක බීල වොශ් රූම් යන්නකො”

තමන් ගේ හඬ තුළ අසරණ කමක් තැවරී ගනු දැනී ආරාධනා තිගැස්සුණා ය. ‘ඉස්සර’ කියා වෙන් කොට දැක්විය හැකි යුගයක් ඔවුන් ගේ ජීවිත වෙත උදා වී තියේ. ඒ ඉස්සර ඇයට මේ විදිහට සඳරු ළඟින් නැගිට ගත නො හැකි වී නම් කාශ්‍යප බිඟුට කිරි එක පොවා ඇයව නාන කාමරය වෙත වඩා ගෙන යයි. ඇතැම් අවස්ථාවක ඇගේ පාසල් නිල ඇඳුම් ඇන්දවූයේ ද ඔහු ය.

ජීවිතය කියන්නේ එහෙම දෙයකි. එක එක කාලයට එක එක විදිහට ගලයි. ඒ ගැන කිසිවෙකුට පැමිණිලි කළ නො හැක. එසේ නම් කාලය හරහා ගමන් කරනා ඍතු වලට ද දොස් කිව යුතු වේ. ආරාධනා හිත තද කර ගත්තා ය.

“මල්ලි බබා…දැන් කුක්කු බූවා ඇති නේද…අම්මි අක්කිව ඉස්කෝලෙ යන්න ලෑස්ති කරන්න ඕනනෙ මැණික…”

“බිඟූ” කියා කාමරයට පිටතින් කතා කරනා කවීශ්වර ගේ හඬ නැගුණේ ඒ වෙලාවේ ය. ආරාධනා වහ වහා ගවුම් කර සකසා ගෙන සඳයුරු ව වඩා ගත්තා ය.

“අනේ කවීශ්වර පුතාව පොඩ්ඩක් තියා ගන්න මං බිඟූව ලෑස්ති කරල ගන්නකල්”

එය කලබල ඉල්ලීමකි. රාජිකා මැණිකේ ද එතකොට ම කාමරය වෙත පැමිණෙමින් සිටියා ය.

“මං මේ කොලුපැටිය ළඟට එන්නයි ආවෙ. ඔව්…අම්මිට දැන් වැඩ වැඩි වෙලානෙ…තාත්තම්මවත් බලා ගන්න වෙලානෙ පුතාගෙ අම්මට…”

කවීශ්වර අත උන් සඳයුරු සිය ළදරු බසින් මොනවාද කියමින් දෑතින් රාජිකා මැණිකේ ගේ මුහුණ අල්ලමින් සිනහ වූයේ ය. කවීශ්වර ඒ සිඟිති මුහුණ දෙස බලා සිටියේ ස්නේහයේ ප්‍රතිමූර්තියක් වන් බැල්මකිනි.

කවීශ්වර සමගින් මෝටර් රථයේ පාසල් යා හැකි වූ නිසා බිඟුනි එදා සතුටෙන් සූදානම් වූවා ය. ඇය රියට නැගෙත්දී ආරාධනා ගේ සිතේ කාශ්‍යප ඇඳී මැකී ගියේ ය. 

“අනේ කවීශ්වර ගේට් එකෙන් ඇතුළට යනකල් බලන් ඉඳල එන්න හොඳේ”

රිය කවුළුව ළඟ පහත් වූ ආරාධනා ගේ ස්වරයේ අති මහත් අසරණ කමක් විය. බලාපොරොත්තු නොවූ කඳුළක් ද ඇගේ ඇස් බොඳ කරමින් උනා ආවේ ය. කවීශ්වර වචනයක් හෝ කීවා නොවේ. නමුත් ඒ ඇස් වල විශ්වාස කළ හැකි බැල්මක් තිබිණි. විශ්වාස කළ යුතු බැල්මක් තිබිණි.

බිඟුනි ව සූදානම් කොට යැවූ ඉක්බිති ආරාධනා ගේ හිතට දැනුණේ සැහැල්ලුවකි. ලොකු ම වගකීම බිඟු ගේ පාසල් ගමනයි. කාශ්‍යප ගේ නික්ම යාම මත එක දිනක් හෝ බිඟුනි ගේ පාසල් ගමන ඇන හිටියේ නැති එක ඇයට සැනසිල්ලකි. 

නමුත් ඉතිරි වී ඇති වැඩ කෝටියකි. සඳයුරු ගේ නැපි හා අනිත් ඇඳුම් බේසමක් පුරා දිනපතා එකතු වේ. ඒ මල්පීස් රෙදි වල දුහුළු බව නිසා ඇය රෙදි සෝදන යන්ත්‍රයට දමා ඒවා නො සෝදා, බිළිඳු සබන් ගා අතේ සෝදයි. ඒවා පාට පාටින් පෙළට වැනීම ඇගේ විනෝදාංශයකි. ඊළඟට ගේ අස් පස් කොට අතු ගෑ යුතු ය. සඳයුරු නාවන්නට සෝදවන්නට තිබේ. රාජිකා මැණිකේ ගේ අතට ව්‍යායාම නිසි පරිදි ලබා දිය යුතු ය. ඇයට තනිව හිස පීරා ගැනීමටවත් නො හැකි වීම ආරාධනා ට ලොකු පාඩුවක් වී ද ඒ කිසිත් ගැන නතර වී කම්පා නොවිය යුතු යයි ජීවිතය ඇයට දැන් දැන් උගන්වමින් සිටී. සිදු වූ කිසිවක් සිදු නොවූවා නම් කියා සිතා තේරුමක් නැත. ඒවා සිදු වී අවසන් ය. ඒවා නිසා උරුම වූ ප්‍රතිඵල මත දැන් කළ යුත්ත කළ යුතු ව තිබේ. උදේ වැඩ අතරේ දී තාරා ගෙන් ද කාවින්දි ගෙන් ද අම්මා මධුරි ගෙන් ද ඇමතුමක් අනිවාර්යෙන් ලැබෙන්නේ ය. ආරාධනා දුරකතනය සවනේ රන්දා ගෙන ම වැඩ පල වල නිරත වෙයි. රාජිකා මැණිකේ සඳයුරු ළඟට වී සිටීම ද ඔහු උකුලේ දමා නිදි කරවීම ද කළා ය. සැප්තැම්බරයේ බිනර වැහි වල කෙළවරක් නැත. ආරාධනා රෙදි මිදුලට දමමින් ද වැහි අඳුර ගලත්දී ඒවා යළි ගෙට ගනිමින් ද යුද්ධයක් කළා ය.

වැඩ වැඩි වෙන තරමට ආරාධනා කැමති ය. එතකොට සිදු වූ දේවල් ගැන සිත සිතා ඉන්නට වෙලාවක් වෙන් වන්නේ නැත. නමුත් දහසකුත් එකක් වැඩ අතරේ ද කාශ්‍යප වරින් වර හිතට එබිකම් නො කළා යි කිව නොහැක. එනමුදු මුලදී ට වඩා දැන් ඇයට හිතන්නට හුඟක් දේවල් තිබේ. මුලදී ට වඩා අතීතය පැහැදිලි ලෙස පෙනෙන්නට පටන් ගෙන ද තිබේ. කාශ්‍යප කිසි දා ක ඇයට පෙම් නොකළ බව දැනෙන්නේ දැන් ය. පෙම් නොකළාටත් වඩා ඔහුට ඇය දැනුණේ හෝ නැති තරමි. විවාහයක අවශ්‍යතාවය මත, අත පොවන මානයේ පේන්නට සිටි, පහසුවෙන් අත් පත් කර ගත හැකි සේ දැනුණු, ඔහු ගේ තත්වය තරාතිරමට හෝ පෙනුමට නොගැලපීමක් නැති ගෑනු ළමයෙකු ලෙස ඔහු ඇය තෝරා ගන්නට ඇත. බිඳ වැටුණු ප්‍රේමයක සුන් බුන් හා නටඹුන් අස්සේ ඔහු ගොඩ ඒමට නො හැකි ලෙස ගිලී උන් බවක් හෝ ආරාධනා දැන සිටියේ නැත. ඔහු ගේ ජීවිතය මතු පිට හැම අංශුවක ම පිරිපුන් බවෙහි වර්ණ ගල්වන්නට ඇය හැම මොහොතක ම උත්සුක වූවා ය. නමුත් ඒ ජීවිතයේ ඇතුළත පෙනුම ඇය හරියට නිරීක්ෂණය කොට නැත. එය තමන් ගේ වරදක් දැයි ආරාධනා සිතුවා ය. නමුත් ඊට වඩා යමක් කොහොම නම් ඇය කරන්න ද?

ඇය සිටියේ නිතර ම ඔහු ගේ ජීවිතය පසෙකින් මිස ඒ තුළ නොවන බව දැනෙන්නේ දැන් ය. එහෙම පැත්තකින් ඉන්නවාට වඩා මෙහෙම වෙන් වී යන එක හොඳ ය.

එදා සිතාසි ලැබුණාට පස්සේ කාශ්‍යප තමන්ට දුරකතන ඇමතුමක් දුන් බව පමණකි කවීශ්වර දැනුම් දුන්නේ. කාශ්‍යප ට යළි කතා කරන්නට හෝ ඔහු හමු වන්නට නො යා යුතු යයි කාවින්දි තර්ජනය කළා ය. ඒ නිසා ඒ හමු වීමේ පුවත හකුළා ගන්නට කවීශ්වර ක්ෂණික තීරණයක් ගත්තේ ය. බම්බලපිටිය වෙරළාසන්න පටු මගෙහි රිය නතර කර ගෙන ඉන්නා ගමන් කාශ්‍යප කවීශ්වර ට ඇමතුමක් ගෙන හමු විය හැකි දැයි ඇසුවේ ය. ඒ වෙලාවේ අයියා ගේ හඬෙහි වූ අසරණ බව නිසා ප්‍රතික්ෂේප කරන්නට කවීශ්වර ට හිත හදා ගත හැකි වූයේ නැත. සාප්පුවේ වැඩ සේවකයන්ට පවරා ඔහු මෝටර් රථයෙන් කාශ්‍යප එවූ ලොකේශන් එක වෙත ගියේ ය.

“කාගෙද කා එක..”

කවීශ්වර කාශ්‍යප ගේ රිය ට ඉදිරියෙන් සිය රථය නවතා ඒ වෙත පැමිණි පසු කාශ්‍යප විමසී ය.

“ගත්ත”

කවීශ්වර රියට නැගුණේ නො සැලකිලිමත් ලෙස එහෙම කියමිනි.

“අම්මට ඩොක්ටර් ළඟට යන්නවත් දැන් තමුසෙ නෑනෙ ඉතින්…”

කාශ්‍යප බිම බැලුවේ ය. ඔහු ව මේ ගසා ගෙන විත් තිබෙන්නේ කොහෙත් ම ඔහු අපේක්ෂා කළ වෙරළකට නොවේ. ආරාධනා අතැර සෞභාග්‍යා වෙත ගිය එක මනා සිහියෙන් කළ බව ඇත්ත ය. ඒ ඔහු ට කළ යුතු වූ දෙයකි. ඔහු වෙනුවෙන් කළ යුතු වූ දෙයකි. නමුත් ඉන් අනතුරුව පරිබාහිරය කෙසේ වනු ඇත්දැයි ඔහු සිතා තිබුණේ නැත. මේ විදිහට දරුවන් ගෙන් ඈත් වෙන්නට හෝ දෙමව්පියන්, සහෝදරයන්, කොටින් ම ගෙදරින් ඈත් වීමක් ගැන ඔහු හිතා තිබුණේ නැත.

“ආරාධනා මෙච්චර ඉක්මනට ඩිවෝස් කේස් එක ෆයිල් කරලනෙ…”

එය කෙතරම් තක්කඩි කතාවක් දැයි දැනෙන්නට ගත්තේ කියන්නට ගත්තා ට පසුව ය. 

“වෙන මොනා කරන්නද ඒ ගෑනි…පව්. ගෙදර යන්න ලෑස්ති වුණ වෙලේ ඒ යන්නවත් බැරි වුණා අම්මගෙ අත කැඩුණ නිසා. තමුසෙට නිකමට පව් කියල හිතෙන්නැද්ද ඕයි…”

“තමුසෙ කියන්නෙත් මං හැම දේම බැලන්ස් කරගෙන හිටියනං හරි කියලද…එතකොට ආරාධනා පව් නැද්ද…”

“ළමයි දෙන්න පව් අප්ප…”

“මං ළමයි අත්ඇරල නෑ. අත්අරින්නෙත් නෑ”

“දැනටමත් තමුසෙ ඒක කරල ඉවරයි. පොඩි එකා තාත්ත කවුද කියලවත් දන්නෑ. බිඟූ වෙලාවකට හේතුවක් නැතුව අඬනව. ආරාධනා ගහක් ගලක් වගේ හැම දේම දරා ගෙන හිනා වෙලා ඉන්නව ඕයි. ඒකයි  ඉවසගන්න අමාරු දේ. තමුසෙටනං දැන් සනීපෙට නින්ද යනව ඇතිනෙ. ඩිවෝස් එක ලැබුණහම ඊටත් වැඩිය හොඳට නින්ද යයිනෙ”

“මල්ලි. තමුසෙල කාටවත් මාව තේරෙන්නෑ. මාව තේරුං ගන්න තමුසෙල උත්සාහ කරන්නෙත් නෑ”

රියෙන් බට දෙසොයුරෝ වෙරළබඩ අවන්හලකින් බීර කෑන් දෙකක් ගෙන වෙරළ දෙසට ඇවිද ගියහ. මේ සති කිහිපයට කාශ්‍යප ඇදී ගොස් වියපත් වී වාගේ පෙනෙතැයි ඒ යන ගමන් කවීශ්වර සිතුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles