මුතු බෙලි හදවත – 28 වන කොටස

සේනක ගේ ඇස් වල වූයේ ගිජු ලිහිණි බැල්මකි. මේ මොහොත අපතේ නො  හැර  ගන්නා ලෙස ඔහු ගේ පලපුරුදු සල්ලාල හිත ඔහු ට ඉඟි කළේ ය. ආදිත්‍යා බලා සිටියේ දෙකෙන් එකක් වුණාවේ වැනි බැලුමකිනි. කුමක් සිදු වෙන්නට ගියත් අවශ්‍ය ප්‍රතිචාරය දක්වන්නට ඇය හිතට අනුබල දෙමින් සිටියා ය.

“ඔයා අදනං හරිම ලස්සනයි කෙල්ලෙ”

ආදිත්‍යා දත් මිටි කෑවා ය. ප්‍රේමයත් කාමයත් අතරේ වන පැහැදිලි වෙනස ඇය ප්‍රායෝගික ව උගෙනිමින් හිඳින්නේ දැන් ය. තාත්තා හා පුතා දෙදෙනා ම එක ම අච්චුවේ සල්ලාලයන් ය. දුමාල් ගේ ඇස් ආදිත්‍යා ගේ හිතේ ඇඳී මැකී ගියේ ය.

“ඇයි දැන් තාත්ත රූම් එකට ආවෙ…”

ඇය බෝ ඉවසීමෙන් කතා කළා ය. මේ සිය විවාහක පුරුෂයා ගේ පියා ය යන ගෞරවය තබා ගෙන හැසිරෙන්නට තව දුරටත් ඇය උත්සාහ කළා ය.

“ආදි…රත්තරනේ..ඔයා මාව පිස්සු වට්ටනවනෙ”

ඔහු ඇගේ නග්න උරහිස මත අත තබන්නට ඔන්න මෙන්න වූයේ ය. පිහිය තියෙන්නේ මෙට්ටය යට ය. ඒ තරම් කල් ගන්නට විදිහක් නැත. ඈ දවටා ගෙන සිටින්නේ තෙත සළුව ය. ඒ හැටි සටන් කරන්නට විදිහක් ද නැත. ඈ සතු වූ එක ම ආයුධයෙන් ඕ ප්‍රයෝජන ගත්තා ය. සුරත දැඩි කොට එල්ල කළ තද කම්මුල් පහර සේනක බලාපොරොත්තු නොවූ ලෙස ඔහු ගේ කන් අඩි රත් කළේ ය.

“පාහරය”

ඇය කෑ ගැසුවා ය.

“අන්තිම තප්පරේ වෙනකල් මං ඉවසුව. උඹ මගෙ කසාද මිනිහගෙ තාත්ත නේද කියල..හැබැයි තව දුරටත් මට ඒ ගෞරවේ ගැන හිතන්න ඕන නැ”

“චණ්ඩි රැඩිණක් වෙලානෙ ඔයා..අනේ බං කෙල්ලේ…”

“අත තියන්නෙපා. අත තිබ්බොත් මං මරණව උඹව. උඹව කෑලි කෑලි කපල හිරේ යනව මං…එච්චරයි…”

සේනක සිනහවක් නගා ගත්තේ ය. මේ වෙත්දී ආදිත්‍යා සිටියේ සේනක ගෙන් පසු පසට ගොස් ඇඳට හේත්තු වී ය.

“එන්නෙපා ළඟට…මරන එක මරනව උඹව”

ආදිත්‍යා ගේ හිතට පුදුම ශක්තියක් අරෝපණය වී තිබිණි. මින් මතුවට කුමක් සිද්ධ වනු ඇත්ද කියා සිතන්නට ඇය ට උවමනා වූයේ නැත. සේනක  ඇය වෙනුවෙන් එක උණ්ඩයක් වියදම් කරනවා පමණක් වනු ඇත.

“එන්නෙපා ළඟට”

කියා කෑ ගසමින් ම ඇය මෙට්ටය යටට අත දමා පිහිය ඇද්දා ය. සඳසීලී කාමරය වෙත එමින් සිටියේ ඒ මොහොතේ ම ය.

“හප්පේ…ඔය සුදු අතින් පිහි කැති අල්ලන්න හොඳද මැණිකේ…අත තුවාල වෙයි. කෝ ඕක පැත්තකට දාන්න”

“මොකද්ද ආ මේ වෙන්නෙ…”

සේනක අත දිගු කර පිහිය ගන්නට හැදුවා පමණකි. සඳසීලී ගේ කෑ ගැසීම පිටුපසින් ඇසිණ. සේනක ඉද්ද ගැසුවා සේ හිට ගත්තේ ය.

පිහිය අතින් ගත්, සළුවක් ගත දවටා ගත් ආදිත්‍යා ගේ මුහුණේ වන්නේ වියරු වැටුණ ස්වරූපයකි. සේනක ගේ පිළිකුල් සහගත වදන් සඳසීලී ගේ කනට ම ඇසුණේ ය. දැන් ඇය ට කාගෙන් වත් සිදු වූ දේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. ඈ එසේ විමසා සිටියේ මෙතැන ඇය සිටින බව දැනුම් දෙන්නට පමණකි.

සඳසීලී වේගවත් ගමනින් කාමරය ඇතුළට ම ආවා ය. සිය සැමියා ගේ මුහුණ දෙස ගිනි පිටවන දෑසින් බැලුවා ය.

“දැන් මොනාද තමුන්ට කියන්න තියෙන්නෙ…විකුම් ආවද කියල දැනගන්න මේ රූම් එකට ආවයි කියලද…ආ…”

සඳසීලී ආවේගශීලී ව විමසුවා ය. සේනක ඒ වෙලාවේ ඔහු තුළ දිය වී වැගිරෙමින් තිබූ බලය රඳවා ගැනීමේ අසීරු වෑයමක් දැරුවේ ය.

“යකෝ මේක මාර කතාවක්නෙ. මේ ගෙදර මට කොතන යන්න බැරිද…මේක මගෙ ගේ. මං හදපු ගේ. මේ ගෑනු හිතන්නෙ අපි ගෑනු දැකල නෑ කියලනෙ යකෝ”

“ගෑනු…”

සඳසීලී දත් මිටි කමින් සේනක ගේ මූණට එබුණා ය. මේ කලබලය ඇරඹෙත්දී හඬන්නට ගත් මින්දුල නො නවත්වා හඬමින් සිටියේ ය. නමුත් ඔහු ගේ හැඬිල්ල ගැන බලන්නට කිසිවෙකු උනන්දු වූයේ නැත.

“මෙහෙ තමුන්ට එක ගෑනියි ඉන්නෙ. මතක නැතුව ඇති දැං. අර ඉස්සර කොළ කෑල්ලක අත්සන් කරල හෙම අරං ආවෙ”

“අම්ම මං වොශ් රූම් එකේ ඉඳල එනකොට..”

ආදිත්‍යා ගේ හඬ බිඳී ගියේ ය. ඇය මින්දුල තුරුලු කර ගනිමින් යහන මත හිඳ ගත්තා ය. දැන් දැන් ඇගේ සිරුරේ පණ බින්දුවක්වත් නැති වී ගෙන යන සෙයක් ඇය ට දැනිණ.

“මං ආවෙ මේ පොඩි එකා මෙතන තනියම ඉන්නව දැකල. විකාර..”

කියමින් සේනක ඉක්මන් ගමනින් එතැනින් යන්නට ගියේ ය. ආදිත්‍යා අත් දෙකේ මූණ ඔබා ගෙන හඬන්නට පටන් ගත්තා ය. ඇයට ඈ ගැන ම දැනෙන්නට වූයේ කේන්තියකි. දත් තිස් දෙක මැද්දේ දිව තියා ගෙන ඉන්නවා වාගේ බියෙන් සැකෙන් තව දුරටත් මේ ගෙදර කුමට හිඳින්නෙම් දැයි ඇගේ හිත ඇගෙන් ම ප්‍රශ්න කළේ ය.

“මං ඔයාට කිව්ව ආදි…කාමරේ ඉන්නකොට දොර වහං ඉන්න කියල…කොටිය කෙළ හලන්නෙ මොකටද කියල දන්න නිසයි මං ඔයාට එහෙම කිව්වෙ. අපිට මේ පිරිමි හදන්න බෑ දරුවො. ඒක නිසා අපි ගැන අපිට බලාගන්න වෙනව. ජීවිතේ මෙච්චර කාලෙක අත්දැකීම් වලින් මං ඉගෙන ගත්ත පාඩම ඒක”

ආදිත්‍යා එවෙලේ සිතේ උපන් හැඟීමකට නතු ව වහ වහා අල්මාරිය හැර ඇඳුමක් ගත්තා ය. යළි නාන කාමරයට වැදී එය හැඳ ගෙන ආවා ය. මින්දුල ගේ ත් ඇගේ ත් ඇඳුම් කෑලි කිහිපයක් බෑග් එකකට ඔබා ගත්තා ය. සඳසීලී මුණුපුරා සනසවමින් ලේලිය දෙස බලා උන්නේ තිගැස්මෙනි. ඇයට යම් කිසිවක් දැනෙමින් තිබිණි. නමුත් එසේ වන එක නතර කර ගත නො හැකි බවක් ද දැනෙමින් තිබිණ.

“ගෙදර මිසක් වෙන කොහෙවත් යන්න එපා ආදිත්‍යා”

නැන්දම්මා ඉතා දුර්වල හඬකින් ලේලිය අමතා ප්‍රකාශ කළා ය. ආදිත්‍යා ජංගම දුරකතනය ගෙන දුමාල් ට පණිවිඩයක් තැබුවා ය.

“මං මේ ගෙදරින් යන්න යනව”

ඔහු සිටියේ කුමකින් කුමක් වෙන්නට යනවා දැයි බලා ගෙන නො ඉවසිල්ලෙනි. සිදු වන්නේ කුමක් දැයි පැහැදිලි ව නෑසුණ මුත්, අපැහැදිලි උස් හඬින් කෙරෙන කතා බහ අනුව යමක් සිදු වෙන බව ඔහු අනුමාන කළේ ය  දුමාල් කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. සඳැල්ලට ගියේ ය. යළි කාමරයට ආවේ ය. නමුත් කිසිත් නිරවුල් වූයේ නැත. ආදිත්‍යා එක්ක හැන්දෑවේ ඔහු ඇවිදින්නට ගිය ගමන ගැන විකුම් ට ආරංචි වී වත්දැයි ඔහු දෙගිඩියාවේ සිටියේ ය. වෙන දේකට මූණ දෙන්නට ඔහු සූදානම් ය. නමුත් ආදිත්‍යා හෝ මින්දුල තනිව දුක් විඳිනා එක බලා සිටිය නො හැකි ය.

ආදිත්‍යා ගේ පණිවිඩය පැමිණියේ දුමාල් නො සන්සුන් සක්මනේ යෙදෙමින් සිටියදී ය. ඔහු වහා සඳැල්ලෙන් එබී බැලුවේ ය. බෑග් එකක් එල්ලා ගත් ආදිත්‍යා දරුවා ඔක්කේ ගසා ගෙන ගේට්ටුවෙන් පිට වෙමින් සිටියා ය.

දුමාල් වහා රිය ට නැගී පැමිණියේ ය. එතකොටත් ආදිත්‍යා මග ඇවිද යමින් සිටියා ය. රිය නැවතෙත්දී ඇය ඊට ගොඩ වූයේ ඔහු ගේ ආරාධනයකින් තොරව ම ය. ආදිත්‍යා ඉකි ගසා හඬන්නට පටන් ගත්තා ය. සුරතින් ස්ටියරින් වීලය හසුරුවන ගමන් දුමාල් වමතින් ආදිත්‍යා ගේ හිස පිරිමදිමින් ඈ සනසනා උත්සාහයක් ගත්තේ ය.

“මොකද වුණේ ආදිත්‍යා…”

ඔහු ට ඕනා නිවී සැනසිල්ලේ මුල සිට අගට ම සිදු වූ දේ ගැන ඇගෙන් දැන ගන්නට ය. නමුත් මේ ඉසව්වේ රිය නවතාගෙන කතා කිරීම නුවණට හුරු නැති බව දුමාල් ට ඉවෙන් වාගේ දැනිණ.

“විකුම් මොනා හරි දැනගෙන ද…”

ඇය නැතැයි කියන්නට හිස සැළුවා ය.

“එහෙනං…”

“අර මිනිහ…”

ආදිත්‍යා ට කතා කර ගත නො හැකි තරමට ඉකි ගැසුණේ ය. වෙන දෙයන් වුණාවේයි සිතා ගත් දුමාල් මග අයිනට කොට රිය නතර කර ආදිත්‍යා ගේ හිස සිය උර මඬල මත්තෙහි හොවා ගත්තේ ය.

“මොන මිනිහද…විකුම්ද…ඉකිං මොකද වුණේ…”

“සේනක”

“මිනිස්ටර්…ඉතිං…”

“ඒ මිනිහ මට කරදර කරන්න හැදුව දුමාල්”

ඔහු දැඩි ව ඇගේ හිස වැළඳ ගත්තේ ය. දුමාල් ගේ දෙතොල් පට සිහින් ව වෙව්ලමින් තිබිණි. ආදිත්‍යා ට නො දැනුණා ට ඔහු ගේ දෑත් වල පවා වෙව්ළුමක් වූයේ ය.

“ආදිත්‍යා…ඔයාට මුකුත්…”

මගෙ ඇඟට අත තිබ්බනං මං ඒකව මරණව දුමාල්. මරණ එක මරණව. මං ඒකට ලෑස්ති පිට හිටියෙ”

“ඒ කියන්නෙ මීට කලිනුත්…”

“ඔව්. මට දැනිල තිබුණෙ මිනිහා එන්නෙ මොකටද කියල.මං පිහියක් මෙට්‍රස් එක යට තියං හිටියෙ. හොඳ වෙලාවට ඒ වෙලාවෙ විකුම් ගෙ අම්ම රූම් එකට ආව. පුතා අඬන සද්දෙට වෙන්නැති එයා එන්න ඇත්තෙ. මට තවත් ඒ අපායෙ ඉන්න බෑ දුමාල්”

“ඔයා දොට්ට බැහැපු එක හොඳයි”

ඔහු ඇගේ හිස පිරිමදිමින් ටික වෙලාවක් සිටියේ ය. යළි රිය පණ ගන්වා ගත්තේ ය. දුමාල් තුළ අමුතු එඩිතර බවක් ලියලමින් තිබිණි. ඉක්මනින් හුස්ම ගත්තත් ඔහු ට සැනසුමක් දැනෙමින් තිබිණි.

“ඔයා එතනිං එළියට ආවට පස්සෙ මට වුණත් තීරණයක් ගන්න පුළුවන්”

දුමාල් ඒ වචන ටික කීවේ තීරණාත්මකව ය. ස්ථිර සාරව ය. ආදිත්‍යා කඳුළු අතරින් ඒ මුහුණ දෙස බලා ගෙන සිටියා ය.

“ඔයා මේකට මැදිහත් වෙන්න හදන්න එපා දුමාල්”

ඔහු වේගයෙන් රියෙහි තිරිංග තද කළේ ය. ආදිත්‍යා තදින් මින්දුල අල්ලා නො ගන්නට ඔහු විසි වනන්ටත් තිබිණි.

“එහෙනං වෙන කවුරු හරි ඉන්නවද මැදිහත් වෙන්න…”

ඔහු ගේ ඇස් වල ගින්දර තිබිණ. ආදිත්‍යා ට බිම බැලිණ. පිටුපස රියදුරා නලා හඬවන්නට වූයෙන් දුමාල් යළි රිය පෙර ට ගත්තේ ය.

ආදිත්‍යා ගේ ඇස් තුනී කඳුළු පටලයකින් වැසී යන්නට ගත වූයේ මොහොතකි. ඊළඟ නිමේශයේ දුමාල් ඉතා තදින් ඇගේ සුරත අල්ලා ගත්තේ ය. සිරුරේ ඒ පැත්ත පණ නැති ව ගියා සේ ඇය ට දැනිණ.

“මට පුළුවං බලා ගන්න”

එය දැඩි පොරොන්දුවකි. ආදිත්‍යා දිය වෙමින් සිටියා ය. මේ දිය වෙමින් යන්නේ ඈ වටා ආරක්ෂාව පිණිස ඇය ම අටවා ගෙන උන් ආරක්ෂිත කටුව වන්නට පුළුවන. බොහෝ ගැහැනුන් සිය අවංක හැඟීම් සඟවා ගෙන ඉන්නේ මේ කටුව ඇතුළේ ය. ඔවුන් ඒවා එසේ සඟවා නො ගෙන පිටතට පෙනෙන්නට දැනෙන්නට හැරියා නම් ලෝකය කිසි දා ඔවුන් ට සමාව දෙන්නේ නැත. ලෝකය ඔවුන් ව ගල් ගසා මරා දමනු ඇත.

“කා එක ටිකක් නවත්තන්න දුමාල්”

ඒ ආයාචනය හැඬුම්බර වූයේ ය. දුමාල් රියෙහි වේගය අඩු කළේ ය.

“ඇයි…බැහැල යන්නද…”

ඇය නැතැයි හඟවනු වස් හිස සැළුවා ය. ඒ එක ඉඟියක හෝ බොරුවක් නො වන බව දුමාල් දනී. ඔහු තරම් වෙන කවුරුවත් නො දනී. අතීතයේ දී අම්මා ඔහු තුරුලු කර ගෙන හැඬූ දා ක, මින්දුල වාගේ ම ඇගේ උකුලට වී සිටියේ දුමාල් ය. අම්මා ගේ කඳුළු වල ලුණු රස ඔහු ඕනෑ තරම් අනුභව කොට තිබේ!

රිය හෙමිහිට නැවතිණ. රෑ බෝ වී ඇති නිසා මහ මග වැඩිපුර සෙනග හිටියේ නැත.

“එහෙනං…”

“මට අඬන්න ඕනෙ. මට ඔයාව බසා ගෙන අඬන්න ඕනෙ”

ඇය එහෙම කියමින් ඔහු ගේ පපුතුර හිස හොවා ගත්තා ය. දුමාල් මින්දුල ව සිය උකුලට ගත්තේ ය. හඬා හෙම්බත් වූ ආදිත්‍යා එක ඉල්ලීමක් කළා ය.

“මං ආදරේ වෙන්නැති. ඊටත් වඩා ඔයා ආදරේ ඇති. ඒත් මගෙ පවු වලට කර ගහන්න හදන්නෙපා දුමාල්”

 ඔහු ඔවුන් දෙදෙනාව ම දෑතින් වැලඳ ගත්තේ ය. ඊළඟට සුසුමක් හෙළුවේ ය.

“දැං කොහෙ යන්නද මේ එළියට බැස්සෙ…අපි යමුද කාටවත් හොයා ගන්න බැරි දිහාකට…”

ආදිත්‍යා මඳහසකින් දුමාල් වෙතින් මිදුණා ය. ඒ වගේ සිහිනයක් යනු සුළු මොහොතකට වුව දිව්‍යමය සතුටකි

“අපිව අම්මලගෙ දිහාට දාන්න”

දුමාල් මින්දුල ගේ හිස පිරිමැද්දේ ය. මෙතෙක් තැතිගැන්මක උන් දරුවා ඔහු දෙස බැලුවේ ය.

“බූම් පදිනවද…”

දුමාල් ගේ සේ ම ආදිත්‍යා ගේ මුව ද සිනහවකින් විවර විය.

“පුතාට බූම් පදින්න ඕනද..”

“බූම් පදින්න ඕනද…”

මින්දුල ලැජ්ජාශීලීව කියා මූණ හංගා ගත්තේ ය. දුමාල් හඬ නැගෙන සේ හිනැහිණ.

“පදිමු පදිමු. ආ පුතා ඩ්‍රයිව් කරන්නකො එහෙනං..”

දුමාල් මින්දුල ගේ දෑත් ස්ටියරින් වීල් එක මත තැබුවේ ය. ඊළඟට ආදිත්‍යා දෙස බැලුවේ ය. ඇගේ ඇස් වල ප්‍රීතිමත් දීප්තියක් විය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...