උදෑසන වැඩ මුරයක් තිබුන බැවින් සවස හතර පහ වන විට නිවසට එන්නට
මිහිකට පුලුවන් වුණි.
වෙනදා මෙන් කඩිනම් ගමනින් නිවස බලා පියනගන්නට නොහැකි වූයේ සිත
තුළ පිරී ඇති බර දෙපා අඩපණ කර තිබූ නිසාවෙනි.
වෙනදාට හමන මද සුලඟ සමග නටනා මේපල් ගස්වල කොල දෙසද, වැඩ
ඇරී නිවෙස් බලා යන සුදු පැහැ සම ඇති සොඳුරු මිනිසුන් දෙස බලමින්ද, මග
දෙපස ඇති කෝපි හල්, අවන්හල් වලින් එළියට පැන නැහැ පුඩු අස්සෙන්
ගොස් ආත්මය උණුසුම් කරන කෝපි සුවඳ, කෑම සුවඳ විඳිමින්ද යන ගමන
අද වෙහෙසකරය.
කාර්‍යාලයේ සිට නිවසට යන තෙක්ම මිහික කල්පනා කලේ චරිත්‍රා ගැන ය. ඒ
සිදු වීම ගැනය.
කෑම ගන්නටවත් නොනැවතී කාමරයටම ගිය මිහික තම කර බෑගය මේසය
මත තබා ඇඳ මත වැටුණේ සපත්තු ගලවන්නටවත් මොහොතක්වත්
නොනැවතී ය.
ජීවිතය අද හරි බර දවසකි.
වතුර උණුවෙන්නට තබා, කබඩයෙන් කප් නූඩ්ල්ස් එකක් ගෙන එහි ආවරණය
කැඩූ මිහික වතුර පැසෙන තුරු මුලුතැන්ගෙයි එක් පසෙකින් නගරය දෙසට
විවෘත වන වීදුරු දොර හැර දැමුවේ සිහිල් සුළඟ විඳගැනීමටත් වඩා ඈතින්
පෙනෙන රන්වන් පැහැ නගරය පසුබිම් කරගත් කෙමෙන් බැස යන හිරුගේ
දර්ශනය නරඹනු පිණිසය.
ජීවිතයේ කෙතරම් දුක් සහගත බැරෑරුම් අවස්තාවක වුවද පරිසරයේ මෙවන්
සුන්දර දසුන් දෙස බවා සිත සනසාගැනීමට ඉඩකඩක් සොබා දහමින් ඇති කර
තිබීම කෙතරම් නම් අපූරුද?
කලිසමේ ඉදිරිපස සාක්කුවේ තිබූ දුරකතනය අතට ගත්තේ ඒ සුන්දර
දර්ශනයේ පින්තූරයක් ගෙන චරිත්‍රාට යවනු පිණිසය.
ඇය ද තමා මෙන්ම එසේත් නැතිනම් තමාටත් වඩා මෙවැනි දසුන් වලට ලොල්
වඩන්නියකි.
මෙහි ජායාරූපයක් ඇය වෙත යැවීම බැරෑරුම් යමක් මියුලස ලෙස අසන්නට
මං පමුණුවනු ඇත.
වට්සැප් වෙත ගිය විට පළමුවෙන් එහි තිබෙන්නේ චරිත්‍රාගේ ගිණුමයි. අම්මා
එන්නේද ඉන්පසුවය.
“රෑට කෝල් එකක් ගන්න පුලුවන් කීයට වගේද?” යන පැනය සමග අමුණා
ඉර බැස යන දර්ශනය සමගින් වට්සැප් පණිවිඩයක් චරිත්‍රාට යැව්වේ සියලුම
සිත් වේදනාවන් බැස යන හිරුගේ මැකී යන රැස් කදම්බයන් තුල
සඟවාලමිනි.
ඇයගෙන් පිළිතුරු පමා වන්නේ කාර්‍යාලීය රාජකාරි සමග කාර්‍යබහුල වී ඇති
නිසාවෙනි.
වතුර උණු වී ඇති බවට කේතලය නද දෙයි.
කප් නූඩ්ල්ස් පැකට්ටුවේ මූඩිය විවර කර උණු වතුර අවශ්‍ය තරමට එයට
එක්කර නැවත වසා තැබුවේ විනාඩි 5ක පමන කාලයක් නූඩ්ල්ස් තැම්බීමට
අවශ්‍ය නිසා වෙනි.
ඩිජිටලීකරණය වී ඇතී ලොවක නිකන්ම විනාඩි 5ක් ගෙවා දැමීම සිරිත
නොවේ.
දුරකතනය අත නුදුරිනි.
ඉතින් වට පිටේ කුමක් සිදුවෙන්නේදැයි දැනගන්නට නම් මුහුණු පොතේ
විනාඩි කිහිපයක් කාලය ගත කිරීම ප්‍රමාණවත් ය.
අසිත, කුඩා පංතිවලදී තමාට එහා පසින් වාඩි වී සිටි, නිතරම ඇඬුම් බර
මුහුණකින් සිටි මිතුරා පළමු වරට තම කුඩා පුතු සමග මුහුණු පොතේ
ජායාරූපයක් පල කර තිබේ.
අනිත් මිතුරන් සේම සුබ පතා කමෙන්ටුවක් එහි පල කර ජායාරූපය දෙස
බලා හිඳි මිහිකට කුඩා කල අසිතගේ මුහුනේ තිබූ ඇඬුම්බර ලක්ෂන වල
සෙවනැල්ලකදු දැකගන්නට නොහැකි බව සිතුණි.
අසිතගේ බිරිඳ මහා සුන්දරත්වයක් ඇති අයෙකු නොවුනද අපිරිමිත සතුටකින්
ගෙ දොර පුරවා හිඳින බව අසිතගේ මුහුන මත නැවතී තිබෙන අයස්කාන්ත
සිනාව පහදයි.
මිහික සොයන්නේද එවන් ජීවිතයකි.
වියදම් කර චරිත්‍රා මෙහි ගෙන්වා ගන්නට තනන්නේද එබැවිනි.
ඈත් වී හිඳ වුවද ප්‍රේම කිරීමාට හැකි නමුත් විවාපත් ජීවිතයක රස මිහිර
විඳගනු පිණිස දෙදෙනාම එක්ව හිඳිය යුතු නොවේද?
ප්‍රේමය වනාහී සිතෙන් බැඳෙන්නකි.
විවාහය වනාහී සිතෙන් මෙන්ම ගතින්ද බැඳෙන්නකි.
ඉහළ වැටුපක් ලැබෙන උසස් රැකියාවක් හොබවන හෙයින් චරිත්‍රා ආ පසු
මෙරටම දිවි ගෙවීම ගැටළුවක් නොවේ.
දරුවන් සිටින කාලයක වුවද ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන, රෝහල් පහසුකම්
ආදියෙන්ද පරිපූර්ණ දියුණු රටක පය ගසා හිඳීම තමන් ලද අධ්‍යාපනයේ හා
තමන් සතු කුසලතා ඔස්සේ අපහසුවක් නොවනු ඇත.
මුහුණු පොතේ එහෙ මෙහෙ යන අතරවාරයේම මදක් හැරුනේ මේසය මත
තැම්බෙන්නට තිබූ නූඩ්ල්ස් බඳුන ලං කරගන්නටයි.
උණු දියරය සමගින් නූඩ්ල්ස් මුසු කරන අතරම, දුරකතනය පැන්ට්‍රි ටොප් එක
මත තබා නූඩ්ල්ස් පැකට්ටුව සමගම එන මිරිස් ද්‍රාවණය එක්කරන්නට විය.
අත ගැස්සුණේ ඇයි දැයි මිහිකට සිතාගන්නට නොහැක.
උදෑසන සිට කුසගින්නේ හිඳ වැඩ අවසන්ව ගෙදර ආ විගස නූඩ්ල්ස්
පැකට්ටුවක් සාදා ගෙන කන්නට සිතුවේ බඩගින්නටත් වඩා සිරුරට දැනෙන
අපහසුතාවය මගහරවා ගනු පිණිසය
උණු දියරය සමග නූඩ්ල්ස් බිමද පැන්ට්‍රි ටොපය මතය විසිරී තිබේ.
පෙරලුනු ප්ලාස්ටික් නූඩ්ල්ස් බඳුන වරක් දෙවරක් දෙපසට රෝල් වී නතර විය.
මිරිස් ද්‍රාවනය සහිත කුඩා පැකට්ටුව තවම අත මත රැඳී ඇති නමුත්
කෙලවරින් කපා දමා ඇති හෙයින් එම ද්‍රාවණය බිදෙන් බිඳ ඇඟිලි දිගේ බිම
විසිරී ඇති නුඩ්ල්ස් මතට එක් වේ.
“ජීවිතේ කියන්නෙම මහ අරුම පුදුම දෙයක්. අපි හිතපු දේවල් කවදාවත්ම
නොලැබෙන, නොහිතපු දේවල් නොහිතපු වෙලාවල් වල ලැබෙන මහ අරුම
පුදුම ඇල්ගොරිතම් එකක් තියෙන දෙයක්. සමහර වෙලාවට අපි ලැබේවි
ලැබේවි කියල මහ ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල් වලින්
ලැබෙන්නෙ නැති තරමෙ සතුටක් අපි බලාපොරොත්තු නොවිච්ච වෙලාවක,
බලාපොරොත්තු නොවුන විදියට ලැබෙන දේකින් අත්වෙන්න පුලුවන්. එහෙම
වෙලාවක් අපි ඒ සතුට හදවතින්ම විඳ දරාගන්න එක වැරදිද? මම අහන්නෙ
ඒක පවක්ද?”
වඩාත් සිතට වද දුන්නේ චරිත්‍රා ලියූ වදන් නොවී එහි ප්‍රධාන කමෙන්ටුවක්
ලෙස උඩින්ම දක්නට ලැබූනු නයනතාරා නංගිගේ කමෙන්ටුවයි.
“බලාපොරොත්තු වුන දේකින් දුකක් ලැබෙද්දි බලාපොරොත්තු නොවුන විදියට
තමන්ට ලැබෙන සතුටක් හදවතින්ම අත්විඳින එකේ කිසිම වරදක් නෑ. ඒත් ඒ
සතුට අත්විඳින්න කළින් අපි දෙතුන් වතාවක් හිතන්න ඕන මට
බලාපොරොත්තු නොවුන විදියට ලැබුන සතුට තව කෙනෙක්ට බලාපොරොත්තු
නොවුන විදියකට ලැබෙන හෝ ලැබෙන්න ඉඩ තියෙන වේදනාවක් වෙන්න
පුලුවන්ද කියල. ඒක එහෙම නම් තව කෙනෙක්ට වේදනාවක් දීලා තමන්
කොයිතරම් සතුටු වුණත් ඒ සතුටට වටිනාකමක්වත්, අනාගතයක්වත් නෑ”
තමන් නොදන්නා යමක් නයනතාරා දන්නා වග එම කමෙන්ටුවෙන් පැහැදිලි
නොවන්නේද?
චරිත්‍රා සහ අර ජායාරූපයේ උන් මිනිසා පිළිබඳව කුමක් හෝ දෙයක්
නයනතාරා දන්නවා විය හැක.
තමා චරිත්‍රා හා බැඳෙන්නට පෙරත් නයනතාරා සහ ලොකු නැන්දා තමා ගැන
බලාපොරොත්තු තබා ගෙන උන් වග මිහිකට නොරහසකි.
අදටත් ලොකු අම්මා චරිත්‍රා කෙරේ අකමැත්තක් පල කරද කුඩා කල සිට
දන්නා නයනතාරා නංගී කිසි විටක තමන්ට නොලැබුන එනමුත් තමන්
බොහෝ සේ පෙම් කරන දෙයක් වෙනුවෙන් වුව අනෙකෙකුව නිරපරාදේ
වැරදිකරුවකු නොකරන බව මිහික හොඳාකාරවම දනී.
චරිත්‍රා සමග තමා බැදුණු පසුව වුව නයනතරා තමන්ට පෙම් කිරීම නවතා
නොමැති වග තමන් තනිව හිඳින මොහොතක කෙලිදෙලෙන් දොඩමලු වන්නට
එන ඇයගේ හැසිරීමෙන් මිහිකට තේරුම් ගොස් තිබූ අවස්තා බොහෝය.
එවන් අවස්තාවලදී කිසිදු අනුබලයක් නොදුන් නමුත් “පව් අහිංසක කෙල්ල
යැයි” හැඟීම් සිතෙන් මකාලන්නට මිහිකට නොහැකි වූයේ තමන් අසලදී
කෙලිදෙලෙන් දොඩමලු වන්නිය චරිත්‍රාව මග හැර යන බව දැනගත් විටය.
එවන් ඇය අද මෙසේ චරිත්‍රා ව්‍යංග්‍යාර්තයෙන් යමක් කියන්නට තැත් කල
පෝස්ටුවකට ව්‍යංග්‍යාර්තයෙන්ම පිළිතුරක් ලබා දී ඇත්තේ කිසිසේත්ම ඇයගේ
පළිගනු පිණිස නොවන බව මිහික නොදන්නවා නොවේ.
එනමුත් මේ නයනතාරා ගෙන් අසන්නට හැකි පණිවිඩයක් නොවේ.
තම විවාහක බිරිඳ ගැන නෑ සොයුරියකගෙන් වුව ඇසීම විවාපත් බිරිඳට
කරන්නා වූ අගෞරවයක් නොවේද?
එහෙත් මේ මකුළු දැලෙන් මිදෙන්නට නම් කිසිවෙකුගෙන්, විශ්වාස කල හැකි
කිසිවෙකුගෙන් හෝ මේ පිළිබඳව ඇසීම කළ යුතුම වේ.
ඉර බැස ගොසිනි. විදුලි පහන් නොදැල්වූ නිවස අන්දකාරයේය.
එහෙත් සිත එයටත් වඩා අන්දකාර නොවේද?