fbpx

යුතුකම.

“ඔයා දන්නවද..අද ටීච අම්මගෙ ෆෝන් එකෙන් තමයි මට ඉගැන්නුවෙ..”

මිනුලි වැට ගාවට ඇවිත් ආදිත්‍යට එහෙම කිව්වා.ආදිත්‍ය පොල් පිති හරකාගේ අං තට්ටුව හයි කරන ගමන් මිනුලිට ඇහුම්කන් දුන්නා.

“ඉස්කෝලෙ යනව වගේ නෑ අනේ..මට ටීචව අල්ලන්නම හිතුණා.ඒත් බෑනෙ..”

මිනුලි කියන්නේ දුක්මුසු මූණක් මවාගෙන.ආදිත්‍ය මොකුත්ම නොකියා හරකව මිනුලිට දුන්නා.වෙනදා වගේ එකට සෙල්ලම් කරන්න බෑ තමයි.ඒත් ආදිත්‍ය තාමත් මිනුලිට සෙල්ලම් බඩු හදලා දෙනවා.

“ඇයි ආදිත්‍ය ඔයා ඔන්ලයින් ඉස්කෝලේ නොඑන්නේ?”

මිනුලි ඇහුවේ අහන්නම හිටපු ප්‍රශ්නයක්.

“අපේ තාත්තා ගාව තියන ෆෝන් එකේ පුලුවන් කෝල් ගන්න විතරයි..”

ආදිත්‍ය යාළුවට පැහැදිලි කළා.ආයේ කවදානම් ඉස්කෝලේ යන්නද? ඒ අතරේම ආදිත්‍යට හිතුණා.

“සුදූ..මෙහෙ එන්න ළමයො..”

අම්මා කෑගහන සද්දේ ඇහුණු මිනුලි දිව්වේ හරකාවත් අතට අරගෙන.කෝකටත් කියලා එයාව ගේ ඇතුළට නොගෙන එළියේ නවත්තපු එක හොඳට ගියා.අම්මා මිනුලි දැකපු ගමන් කෑගහන්න පටන් ගත්තා.

“අර කොල්ලා එක්ක සෙල්ලමට ගියාද? හදා ගන්නවකො පුලුවන්නම් ලෙඩේ..”

මේ දවස්වල ලෝකේ පුරාම ලෙඩක් පැතිරෙනවා කියලා තුන වසරේ හිටියට මිනුලි දන්නව.තාත්තා ඔෆිස් ඇරිලා ඇවිල්ලා එළියේ ෂවර් එකෙන් නාලා ගෙට ඇවිත් ස්ටීම් කරනකම්ම මිනුලිටත් මල්ලිටත් තාත්තා ගාවට යන්න තහනම්. පහුගිය කාලෙම තාත්තා ඔෆිස් වැඩ කරේ ගෙදර ඉඳලා.

“තාත්තී, ඔයාගේ ඔෆිස් එක තියෙන්නේ ලැප්ටොප් එකේනම් ඇයි ඔයා හැමදාම ඔෆිස් යන්නෙ..”

මිනුලි එහෙම අහපු දවසේ සුදේවට සෑහෙන්න හිනා ගියා.ඒත් ඇත්තටම කීවොත් රස්සාව කියන්නේ ගෙදර ඉඳන් කරන්න පුලුවන් දෙයක් කියලා සුදේවටත් තේරිලා තිබුණේ.

“අර ජයන්තට මේ දවස්වල වැඩ නැතුව ඇති නේද ශලී…”

ආදිත්‍යගේ ගේ පැත්තට ඇහැ දාන ගමන් මිනුලිගේ තාත්තා, සුදේව මිනුලිගේ අම්මා ශලිනිගෙන් ඇහුවේ ලොක්ඩවුන් එක පටන් ගත්තු කාලෙමයි.ජයන්ත මේ දවස් වල ගෙදරම වුණත් ගෙදර ඉඳන් රස්සාවක් කරන්න බැරි බව සුදේව දන්නවා.

“කීයක්වත් ඉතුරු කරගන්නේ නැති අවාසනාවන්ත මිනිස්සු සුදේව.කන්නවත් තියෙනවද දන් නෑ.රට වහලා තියෙද්දී ඒ මනුස්සයා ඔය මොනව හරි කරගන්න එළියට බහින්නෙ කොහොමද?”

ශලිනි ගෙදර වැඩට ඉන්න කුසුමා අතේ වැටෙන් එහා පැත්තට කනබොන මොන මොනවා හරි යැව්වේ මිනුලිගේ පන්තියේම ඉන්න ආදිත්‍ය ගැන ඉපදුණු දුක හින්දාමයි.නැත්නම් ඔහොම දේවල් පුරුදු කරගන්න ශලිනි ඒ තරම් කැමැත්තක් නෑ.

ඒත් ලොක්ඩවුන් ඉවර වෙලා රට ඇරුණට පස්සේ ජයන්තට මොනමොනවා හරි වැඩ කරන්න එළියට බහින්න සිද්ධ වුණා.මිනුලි ආදිත්‍ය එක්ක කතාබහට යනවට ශලිනි බය වැඩිම ඒ නිසා.ජයන්තගෙන් අසනීපේ නෑවිල්ලා ඉන්න ඉඩ තියන බවට කිසිම සහතිකයක් දෙන්න බැරි බව ශලිනි දන්නවා.

“ජයන්ත මොන මොන අස්සවල් වල යනවද අපි දන්නවද කුසුමා.කොහෙන් හරි ඕක බෝ කරගෙන ආවා කියමු..අපි නම් වැක්සීන් කරා.මේ කිරි දරුවන්ට ආවොත්…”

ආදිත්‍ය එක්ක යාළුකම තහනම් කරලා මිනුලිට බනින හැම වතාවකදිම ශලිනි කුසුමා එක්ක එහෙම කියන්නේ හිත හදාගන්න හිතාගෙන.ආදිත්‍ය පව් තමයි.ඒත් වසංගත කාලයක වැඩියෙන්ම හිතෙන්නේ තමන්ගේ දරුවෝ ගැන.

“සුදේව,ඉස්කෝලෙ පටන් ගන්න දවසක්වත් කියන්නේ නෑනෙ.මෙයාට මගේ ෆෝන් එක ඔන්ලයින් ක්ලාස් වලට දුන්නම මට කෝල් එකක්වත් ගන්න විදියක් නෑ..”

ඒ කතාව කවදා හරි මතු වෙන බව සුදේව දැනගෙන හිටියා.මිනුලිගේ ක්ලාස් හින්දා ෆේස්බුක් යන්න නැති එකයි නෙට්ෆ්ලික්ස් ගිහින් කොරියන් සීරිස් බලන්න නැති එකටයි ශලිනි ඉන්නේ හිතේ අමාරුවෙන් කියලා සුදේව නොදන්නවා නෙවෙයි.

“මටත් ඔන්නොහෙ එහෙම ස්කූල් යන්න ඕන නෑ..”

බෝනික්කන්ට මාස්ක් දම දම හිටපු මිනුලි ඔලුව උස්සලා එහෙම කීවේ තාත්තා දිහා බලලා.

“ස්කූල් පටන් ගත්තට පස්සෙ මම ස්කූල් යන්නම් තාත්ති.ආදිත්‍යත් කවදාවත්ම ඔන්ලයින් ස්කූල් ගිහින් නෑ..”

අන්තර්ජාලය හරහා ඕඩර් කරන්න ගිය ටැබ් එක ඇණවුම් කිරීම නවත්තලා සුදේව දූ කියන එක අහන් හිටියා.ජයන්ත අංකල්ගේ ෆෝන් එක කෝල්ස් ගන්න විතරක් පුලුවන් එකක් බවත් ආදිත්‍ය කවදාවත් ඔන්ලයින් ස්කූල් නොයන බවත් මිනුලි කිව්වේ තාත්තාගේ ඔඩොක්කුවට පැනගෙන.හදිසියේ ආව සිතුවිල්ලක් නිසා සුදේව දූට අරන් දෙන්න ගිය ටැබ් ඕඩර් එක කැන්සල් කරා.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“අර අපේ ඔෆිස් එකේ සිතාරාගේ මල්ලි ඉන්නේ.කොල්ලා ෆේස්බුක් එකෙන් චැරිටි සර්විස් එකක් කරනවා.දුප්පත් ළමයින්ට ෆෝන්, ටැබ් අරන් දෙන..මං කෝකටත් ආදිත්‍ය ගැන ඒ මල්ලිට කියන්නම්කො.”

සුදේව එහෙම කියනකොට ශලිනි යන්තම් හිනාවක් දාලා ජනේලෙන් එහා බලාගෙන හිටියා.

“ඒකටනම් කමක් නෑ සුදේව.මෙයත් වැට ගාවට ගිහින් ආදිත්‍යට නෝට් බුක් දික්කරනවා.මං ආයේ ඒවා ගෙට ගන්නේ සැනිටයිසර් කරලා අව්වෙත් තියලා..”

හිතට ආව යෝජනාව ක්‍රියාත්මක කරන බව ශලිනිට කීවොත් දාහක් අඩුපාඩු සිහි කරන බව සුදේව දන්නවා.ඒ නිසා හිතට ආව යෝජනාව හිතේම තියා ගන්න සුදේව හිතුවා.සිතාරාගේ මල්ලි බිල්ලට තිබ්බේ ඒ හින්දාමයි.

“ආදිත්‍ය, මට තාත්ති ටැබ් එකක් එවලා…”

පහුවදා කුරියර් සර්විස් එකෙන් ගෙනත් දුන්නු තෑග්ග හොඳට සනීපාරක්ෂාවට ලක් කරලා අම්මා අතින් ලැබුණට පස්සේ මිනුලි වැට ළඟට ගිහින් ආදිත්‍යට ආරංචිය කිව්වා.දැන් අම්මාට අම්මාගේ ෆෝන් එක තියා ගන්න පුලුවන්.ආදිත්‍ය ඒ ආරංචිය අහගෙන හිටියේ සතුටින්.මිනුලි ඒ විදියට ඉගෙන ගන්න පාඩම් එයාටත් දෙනවනෙ.ටීචව ආයේ කවදා දකින්න ලැබෙයිද කියලා කියන්න බැරි වුණත් පාඩම් හරි ලැබෙන නිසා ආදිත්‍ය දුක අමතක කළා.

ඒත් දුකක් දැනුණේ හවස් වෙනකන් විතරයි.

මිනුලිගේ තාත්තා, සුදේව අංකල් වැට ළඟට කතා කරලා අතට දුන්නු පෙට්ටියේ තියෙන්නේ ටැබ් එකක් කියලා ආදිත්‍යට විශ්වාස කරන්නත් බැරි තරම්.

“කෝ දෙන්නකො.මං ආදිත්‍යට ඕක ඔන්ලයින් ස්කූල් යන විදියටම හදලා දෙන්න..”

සුදේව එහෙම කියලා ආපහු ටැබ් එක අරගෙන ඇප්ස් ඉන්ස්ටෝල් කරනකොට ශලිනිත් එතනට ආවා.

“සිතාරාගේ මල්ලි අදම කන්ටැක් කරා ශලී..කොල්ලා ළඟ තිබ්බ එකක් දුන්නා.”

ශලිනිත් ටැබ් පෙට්ටිය හරවමින් පරීක්ෂා කරා.

“ඔයා අද දූට එව්වෙත් මේ බ්‍රෑන්ඩ් එකම නේද? ඒ මල්ලිලා කරන්නෙ නියම වැඩක් අනේ..”

ෆේස්බුක් හරහා රට හදන තරුණ පරම්පරාව ගැන ආදිත්‍යගෙ අම්මාට ලොකු ඕපාදූපයක් කිව්ව මිනුලිගෙ අම්මා ගෙට ආවේ සෑහෙන වෙලාවකට පස්සේ.

සුදේව මිදුලේ අඹ ගහ යට බංකුවෙන් ඉඳගත්තේ සැනසීමෙන්.ඊටපස්සේ ෆෝන් එකට ක්‍රෙඩිට් කාඩ් එකෙන් එවූ මිල සටහන මකලා දැම්මේ ප්‍රවේසමෙන්.ඒකෙ තිබ්බේ එකම වර්ගයේ ටැබ් දෙකකට ගෙවූ මුදලක විස්තරයක්.ශලිනි ටැබ් එකේ අයිතිය හැමදාම සිතාරාගෙ මල්ලිට දීපුවාවේ!

ආදිත්‍ය දිලිසෙන ඇස්වලින් ස්තූතියි මාමේ කියපු හැටි සුදේවට මැවී පේනවා. අවුරුදු විසි පහකට වඩා ඈත අතීතයකදි ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටවුමේ ඉස්කෝලේ යන්න පොත් ලැයිස්තුව ගන්න බැරුව හිටිය අහිංසක ගමේ කොල්ලෙකුට ඉස්කෝලේ ගුරුවරු දිගු කරපු ආදරණීය දෑත් සුදේවට මතක් වුණේ ඒ මොහොතේ.එදා ඒ ඇස්වල දිලිසීමෙත් අද ආදිත්‍යගෙ ඇස්වල දිලිසීමෙත් වෙනසක් නෑ.

සමහරවිට ආදිත්‍යටත් එහෙම යුතුකමේ චක්‍රය ඉෂ්ට කරන්න දවසක් එයි.සුදේව හිතුවේ සැනසීමෙන්.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x