නිම් නැති නිම්නය 18

ආරාධනා කෑම මේසය සූදානම් කළේ කවීශ්වර බිඟු ට පීසා ගන්න ගියා කී වෙලාවේ ය. වෙනදාට ඇය එසේ කරන්නේ රිය ගෙමිදුලට හැරවෙත්දී කුස්සියට දිව ගොස් ය. කල් ඇතිව මේසයට කෑම යවා තිබුණොත් සීතල වෙන නිසා, මේසයට ඉඳ ගන්න ඔන්න මෙන්න තිබියදී ඇය එසේ කරන්නී ය. කවීශ්වර ට ආපසු සාප්පුවට යන්නට ප්‍රමාද වන නිසා, ඔහු ගෙට ගොඩ වන විට ම කෑම සූදානම් කොට තැබීම ඇගේ හිතට පහසුවකි. බිඟුනි ව පාසලට ගෙන යමින් හා දවල්ට ද ගෙන එමින් ඔහු මේ කරන්නේ ඇයට වචන වලින් ස්තූති කළ නො හැකි මෙහෙයකි. පාසල් සේවා වෑන් රියෙහි එනවාට වඩා බාප්පා ගේ මෝටර් රථයෙන් දවල්ට ගෙදර එන්නට ද කැමති යයි කවීශ්වර ට චාටු බස් කියා බිඟුනි දවල් ට ද ඔහු ගෙන්වා ගන්නී ය.

ආරාධනා බිඟුනිව සෝදා ඇඳුම් මාරු කර ගෙන එන විට ගෙදර අනිත් අය කෑම මේසයට හිඳ ගෙන සිටියහ. ආරාධනා දෙස යටැසින් බැලුවා මිස කිසිවෙකු කතා කළේ නැත. කාශ්‍යප බිඟුනි ව පීසා හලට ගෙන ගියායි දැන ගත් වෙලාවේ ඇය කිසිවක් ම නො කීවා ය. පුපුරා හැලීම හෝ දේශනාව පටන් ගනු ඇත්තේ කෑම මේසයේ දී බව කවුරුත් බලාපොරොත්තු වූහ.

“මොකටද කාශ්‍යපට ඕවට ඉඩ දුන්නෙ..”

කියා මීට ටිකකට පෙර රාජිකා මැණිකේ රහසින් කවීශ්වර ට දොස් කීවා ය. ඒ ආරාධනා ට නෑසෙන සේ, ඇය මේසයට එන්නට පෙර ය. 

ආරාධනා බිඟුනි වෙනුවෙන් බත් පත බෙදා ඇයට කටක් කවා, ඊළඟට රාජිකා මැණිකේ ගේ බත් පතින් කටක් අනා ඇයට කැව්වා ය. ඊළඟ පත් පිඬ ඇනුණේ බිඟුනි ගේ බත් පතෙහි ය. මෙය මාරුවෙන් මාරුවට කිහිප විටක් සිදු විය. මේ විදිහට නිහඬ නොවී ඇය කෑ ගසා බැණ වැදුණා නම් යෙහෙකැයි කවීශ්වර ට සිතිණ. ඇගේ සන්සුන් මුහුණෙන් පෙනෙන්නේ හදවත සයුර සේ රළ නගමින් පවත්නා බවකි.  මේ විදිහට ඒ ගැන කතා නො කර ම නිහඬ වෙන එක  හිතට බරක් සේ දැනුණෙන් කවීශ්වර  නිහඬ බව බින්දේ ය. 

“සොරි ආරාධනා…කාශ්‍යප ඉස්කෝලෙ ළඟට ඇවිත් හිටියෙ මං යනකොටත්. එයා බිඟුට පීසා කන්න යන්න කතා කළාම…කෙල්ලත් ආස වුණා. මට ඉතිං එපා කියන්න බෑනෙ..මට එපා කියන්න අයිතියකුත් නෑනෙ ළමයින්ගෙ තාත්ත…”

“නෑ නෑ කවීශ්වර ඒකට කමක් නෑ. මගෙ හිතේ ඔයා ගැන කිසිම අමනාපයක් නෑ ඒ ගැන…”

කවීශ්වර කියන්නට ගිය දේ සම්පූර්ණ කරන්නට අවස්ථාවක් නොදී ම ආරාධනා මැදින් කතාවට අවතීර්ණ වූවා ය. ඇගේ දෙතොල් මත ඇඳී තිබුණේ අවිහිංසක සිනහවකි. ඒ සිනහව, ඇය ඉස්සර ම බාලිකාවක සන්දියේ දී සැනසුම් පායට ආ ගිය කාලයේ තරම් ම නිකැළැල් යයි හදිසියේ ම කවීශ්වර ට සිහිපත් විය.

“කොහොමත් නඩුවෙන් වුණත් එයාට ළමයි බලන්න දෙයිනෙ. ඒක එයාගෙ අයිතියනං මට ඒක වෙනස් කරන්න ඕනත් නෑ. අනිත් එක මගෙ හිතේ කවුරු ගැනවත් කිසිම තරහක් වෛරයක් නෑ. හැබැයි වෙන මොකක් හරි දෙයක් තියනව. ආයෙ එයා මොන තත්වෙකින් ආවත් මට එපා. ළමයි දෙන්නව හදා ගන්න එක මොන තරං අමාරු දෙයක් වුණත්…මට එයා ඕන නෑ. සල්ලි හම්බ කරන එක මොන තරං මහන්සි වෙන්න ඕන වැඩක් වුණත්…මං මහන්සි වෙලා අපි වෙනුවෙන් සල්ලි හම්බ කරනව. එහෙම බලනකොට මට එයාගෙන් කිසිම දෙයක් එපා. ඒත් මට දැන් දැන් පොඩි බයක් දැනෙනව. එයා මගෙ ළමයිවත් මගෙන් උදුර ගනීද කියල”

ඒ අන්තිම ටිකේ දී ඇගේ හඬ බිඳිණි. එතෙක් ආරාධනා කතා කරගෙන ගියේ හරි ස්ථාවර ස්වරයකිනි. කෑම මේසය මීයට පිම්බා බඳු නිහඬ බවක් දැරුවේ ය. 

“එහෙමනං වෙන්න දෙන්නෑ. ඒව කොහෙද…”

කවීශ්වර ඔහු ට පුරුදු ‘රස්තියාදු තානයෙන්’ කීවේ ය. නමුත් ඇත්තට ම ඔහු ට උවමනා වී තිබුණේ ආරාධනා ගේ හිත සැනසිය හැකි සැනසිලි බසකින් දොඩන්නට ය. එනමුදු අම්මා හා තාත්තා ඉදිරියේ කෙසේවත් එසේ කළ නො හැකි ය. ඊටත් වඩා ආරාධනා ඉදිරියේ එවැන්නකට තරම් එඩිතර කමක් ඔහු ට ඇත්තේ ම නැත.

හඬ බිඳී ගියාට ආරාධනා කඳුළකට ඉඩ දුන්නේ නැත. කෙසේ හෝ ඇස් පිය ගසා ඒ කඳුළු වලාකුළ ඈතකට පා කොට හැරියා ය. එනමුත් හදවතේ වූයේ මහා වැහි වලාකුළක් වාගේ ම බරකි. කඩා වැටීම මිස එවන් වලාවකට, සැහැල්ලුව පිණිස  වෙනත් විකල්පයක් නැත්තේ ය. කඩා නො වැටෙනු පිණිස ආරාධනා හිතින් හැකි වෙර දැමුවා ය. සඳයුරු වෛද්‍යවරයා වෙත ගෙන යන්නට තිබේ. ඔහු ඉක්මනින් සුවපත් කර ගත යුතු ය. බිඳී ගිය විවාහයක් ගැන කම්පා වෙවී සිටිනවාට වඩා ඈ අභියස ඉතිරි වී ඇති ජීවිත දෙකක වගකීම දරා ගත යුතු ය.

“ආරාධනා කීයටද ඩොක්ටර් ළඟට යන්න තියෙන්නෙ…”

යළිත් නික්ම යාමට පෙර කවීශ්වර ඇසුවේ ය.

“මං ටැක්සි එකක් දාගන්නව කවීශ්වර…ඔයාගෙ වැඩ පාඩු වෙනව මේව නිසා”

වේදනාවෙන් පීඩිත හදවතක් දරා ගෙන ඇය සිනහවක් නගා ගත්තා ය. දුරකතන ඇමතුම දෙත්දී ඇය ඇසුවේ ඔහු ට රෝහලට යාමට පැමිණිය හැකි ද කියා ය. දැන් එය අමතකයි වාගේ කතා කරන්නේ සිදු වූ දේ ගැන හිත රිදුණ නිසා බව කවීශ්වර ට දැනිණ.

” තවත් කරදර වෙන්න ඕන නෑ කවීශ්වර. මට ඒක මැනේජ් කර ගන්න පුළුවන්. ඔයා බිඟුනි ව අරං යන එන එකම මට ලොකු දෙයක්”

ආරාධනා එසේ කීවාට පස්සේ ඇගේ අදහසක් වෙනස් කරන්නට යාම පළක් නැති වෙහෙසක් බව දැන් කවීශ්වර දනී. ඇය හැකි තාක් සිය කටයුතු තනිව කර ගැනීමේ උත්සාහයක් දරමින් සිටින්නී ය. මානසික වෙහෙසක් නො දැනෙනු වස් ඈ ළඟින් ඉන්නා එක ඔහු ට වදයක් නොවී ද පෙරැත්ත කොට ඇයට වදයක් වෙන්නට කවීශ්වර බිය ය. මේ තරමින් හෝ ඇයට ලං වෙන්නට ඉඩක් නොදේවිද කියා බය ය. ඔහු කර බා ගෙන යන්නට හැදුවේ ඒක ය.

“කරදරයි කියල කොහොමද…ඒ හැම දේම ආරාධනාට තනියම කර ගන්න බෑනෙ. මොකද ගෙදරින් එද්දි අරං ආපු ළමයි නෙවෙයිනෙ මේ. අපේ එකා වගකීම් වලින් පැනල ගිය එකේ අපි පොඩ්ඩක් උදව් කළහම මොකද…අනික් එක මේ හතිය වගේ තියන කිරිකැටියව හුළං වද්ද වද්ද ත්‍රීවීල් වල අරං යන්න බෑනෙ”

රාජිකා මැණිකේ මැදිහත් වූයේ හොඳ වෙලාවට යයි කවීශ්වර ට සිතිණ. දැන් වෙන වාදයක් වෙන්නේ ඔවුන් දෙදෙනා අතරේ ය. නමුත් ආරාධනා වාද කිරීමකින් තොර ව අම්මා ට අවනත වූවා සේ පෙනිණ.

“මං බෑ කිව්වෙ නෑනෙ ඉතිං”

“පහට කවීශ්වර අපොයින්මන්ට් එක”

“හරි මං හතර වෙනකොට එන්නං”

කියා ගෙන ඔහු යතුරු පැදියේ නැගී ඉගිලුණේ ය. 

සඳයුරු නිතර හැඬුවේ ය. ඔහු වඩා ගෙන ම සිටිත යුතු විය. ශ්වසන මාර්ගය අවහිර නො වෙනු වස් ආරාධනා ඔහු ගේ හිස මඳක් ඔසවා ම තබා ගත්තා ය. දරුවන් අසනීප වෙත්දී අම්මාවරුන් ගේ මනස මුළුමනින් අවුල් වී යන්නේ ය. දැන් ආරාධනා සිටින්නේ කොහොමත් නිරවුල් මනසකින් නොවේ. ඇගේ හිත අධි පීඩන කලාපයක් සේ විය. මහා දුකක් මුළුමනින් ඇය යට කොට ගනිමින් තිබී ද මේ සියල්ල අතරින් නැගී සිටිය යුතු බව ද ඇය දැන සිටියා ය. නමුත් ඇතැම් වෙලාවක සියල්ල ඇගේ පාලනයෙන් තොර විය. ඇය නො දන්නා බලවත් වූ යම් කිසිවක් විසින් ඇයව සිය පාලනය යටතට ගනිමින් සිටියේ ය. ආරාධනා අනිච්ඡානුගව ම ඒ යම් කිසිව සමග සටන් කළා ය. ඇතැම් විට දිනුවා ය. ඇතැම් විට පැරදුණා ය.

රෝහල වෙත යන තෙක් ආරාධනා සිටියේ සඳයුරු පපුවට තුරුලු කොට ගෙන ය. ඒ විශාල කල්පනා සාගරයක් පත්ලේ නිමග්නව ය. ඇය කතා කළේ ම නැති තරමි. වචනයක් දෙකක් කීවා නම් ඒ සඳයුරු ට සැනසිලි බසකි. 

“අපි දැනට නෙබියුලයිස් කරගෙන යමු. රෑ වෙද්දි වැඩි වෙනව වගේ දැනුණොත් ගෙදර තියා ගෙන ඉන්න එපා බබාව හොස්පිටලයිස් කරන්න ඕන. තේරුණා නේද…අම්ම දැනටම බය වෙලා වගේ ඉන්නෙ. බය වෙන්න ඕන නෑ. මේ පළවෙනි බබාද…”

වෛද්‍යවරයා එසේ විමසුවේ කවීශ්වර දෙස බලා ය. ඔහු සඳරු ගේ ළදරු බෑගය එල්ලා ගෙන, නැපියක් අතේ ඇති ව සිටියේ ය.

“දෙවෙනි බබා ඩොක්ටර්”

“එහෙනං ඉතිං තේරෙනවනෙ මේ වගේ කන්ඩිශන් එකකදි රිඇක්ට් කරන්න ඕන කොහොමද කියල. බබාගෙ පපුවෙං සෙම සද්දෙ වගේ ඇහෙනවද එයාට හුස්ම ගන්න අමාරුවක් තියනවද කියල කල්පනාවෙන් ඉන්න. මේ බෙහෙත් ටික හරියට වැටෙද්දි නං අඩු වෙලා යයි. අපි බලමුකො ම්…ප්‍රශ්නයක් වගේ දැනුණොත් තාත්ත මට කෝල් එකක් දෙන්නකො”

කියා වෛද්‍යවරයා ඔහු ගේ ජංගම දුරකතන අංකය බෙහෙත් තුණ්ඩුවේ ම ලියා දුන්නේ ය. ‘තාත්තා’ කියා වෛද්‍යවරයා ඔහු ව හඳුන්වත්දී කවීශ්වර ගේ හෘත් පේශීන් සංකෝචනය වී ලිහිල් වෙනවා වාගේ ඔහු ට දැනිණ. තාත්තා! එය අප්‍රමාණ වාර ගණනක් සිය මුවින් ද ප්‍රකාශ වී ඇති වචනයක් වී ද, තාත්තා කියන වචනය ගැන මේ තරම් ප්‍රබල හැඟීමක් දැනුණ ප්‍රථම වතාව මේ ය. 

“මං ගන්නද…”

වෛද්‍ය කුටියෙන් පිටතට ආ පසු කවීශ්වර ආරාධනා වෙතින් සඳයුරු ඉල්ලා සිටියේ පපුව පිම්බූ ඒ හැඟීමත් එක්ක ය. ආරාධනා වෙහෙස ගතියක් පෙන්වීම නිසා, කවීශ්වර සියතට ගැනීම ඇයට කරනා සහනයක් වනු ඇතැයි ඔහු ට සිතිණ. ඒ සිතුවා සේ ම ආරාධනා වහා ම දරුවා ඔහු වෙත පෑවා ය. කවීශ්වර අත වූ බෑගය පුටු පේළියක හිස් පුටුවක් මතින් තබා සඳයුරු වඩා ගත්තේ ය. මේ තරම් පුංචි දරුවෙකු වඩා ගෙන මෙහෙම තැනක ඔහු ඇවිද යන මුල් අවස්ථාව මේ ය. ඒ වඩා ගැනීමේ නුහුරක් තිබෙන්නට පුළුවන. නමුත් කවීශ්වර ඒ ගැන වද නො වූයේ ය. සඳයුරු වඩා ගෙන ම ඔහු රෝහල් ෆාමසියෙන් බෙහෙත් ටික ද මිල දී ගත්තේ ය.

“බෙහෙත් ටික ඇඟට වැටෙනකොට හරියයි. බය වෙන්න දෙයක් නෑ”

රිය තුළ දී ඔහු එසේ කීවේ ආරාධනා ගේ හිත සනසනු පිණිස ය. ඇය සිටින්නේ අභ්‍යන්තරික කුණාටුවකට හසු වී ගෙන බව ඔහු ට දැනිණ. ඇතැම් විට ඇගේ මව් පියන් සමග සිටියේ වී නම්, සඳයුරු ගේ අසනීප ගතිය නිසා ඇය මෙහෙම කැළඹීමකට ලක් නො වන්නට තිබිණ.

“ඔයාට හිතෙනවද අම්මලගෙ ගෙදර ගියොත් හොඳයි කියල මේ වෙලාවෙ…නැත්තං අද රෑට තාරාට හරි නංගිටහරි අපේ ගෙදර ඇවිත් ඉන්න කියමුද…”

කවීශ්වර එසේ ඇසුවේ, සැමියා ගෙදර හැර ගිය බිරිඳක ලෙස ද, රෝගී සිව් මස් හැවිරිදි හා සය හැවිරිදි දරු දෙදෙනෙකු ගේ මවක ලෙස ද, දකුණු අත බිඳී කිසිත් කර කියා ගත නො හැකිව සිටින නැන්දම්මා කෙනෙකු ගේ ලේලිය ලෙස ද, මුළු සැනසුම් පායේ ම ජීවය බඳු ස්ත්‍රිය ලෙස ද මේ මොහොතේ දී ආරාධනා මානසික අවපාතයකට ලක් විය හැකි බව ඉවෙන් වාගේ දැනුණ නිසා ය. නමුත් ඇය මඳහසකින් හිස දෙපසට සැළුවේ ඕන නෑ යි ඇස් වලින් කියමිනි.

“රෑට උයන්න හදන්න එපා හරිද…තාත්තට කඩේ කෑම ටිකක් කෑවට අජීර්ණ වෙන්නෑ”

කියමින් බොජුන් හලක් ළඟ රිය නවතා ගොස් කවීශ්වර රෑ කෑම මිල දී ගත්තේ ය. එතකොට ආරාධනා ගේ ඔළුවේ තිබෙන ලොකු බරක් නිදහස් වේ!

සඳයුරු ට බෙහෙත් පොවා ගන්නට යුද්ධයක් කළ යුතු විය. ඔහු හුස්ම අල්වා ගෙන හැඬුවේ ය. රාජිකා මැණිකේ ට වුව දරුවා සමග ඔට්ටු විය නො හැකි වූයෙන් ඔහු වඩා ගෙන නලවන්නට සිදු වූයේ කවීශ්වර ට ය. 

“හලි හලි මගෙ සුදු මැණික අඬන්නෑනෙ ඉතිං…පුතාට සනීප වුණාම අපි යනවනෙ අක්කි එක්ක පීට්සා හට්…යනව නේද…ඩොක්ට අංකල් බබාව හොස්පිට්ල් එකේ නතර කර ගනී බේත් බිව්වෙ නැත්තං…ඔන්න අපි දන්නෑ”

සාමාන්‍යයෙන් දරුවන් නලවන ආකාරයේ භාෂිතයක් ඔහු සතු නො වී ද සඳයුරු කවීශ්වර ගේ මුහුණ දෙස ම බලා ගෙන හිඳ යම් පමණකට නැලවුණේ ය. ආරාධනා ට බැරි වූ තැන ඔහු ව උකුළේ දමා ගෙන නැලවිලි ගී කියමින් නිදි කරවූයේ රාජිකා මැණිකේ ය. ඒ කලබලය නිසා කවීශ්වර ට සාප්පුවට යා නො හැකි විය. සියල්ල අවසානයේ ඔහු යන්නට සූදානම් වී මුළුතැන්ගෙය දෙසට ගියේ වතුර වීදුරුවක් බොන්නට ය. නමුත් ඒ දුටු දර්ශනයෙන් මොහොතකට ඔහු පාෂාණිභූත විය. ආරාධනා කුස්සිය මිදුලේ භූමිතෙල් කෑන් එකක් හිසෙහි වත් කර ගනිමින් සිටියා ය. එසේ කොට අවසන කෑන් එක බිමින් තැබූ ඕ ජනේල කණ්ඩියක් මත වූ ගිනි පෙට්ටිය අතට ගත්තා පමණකි. කවීශ්වර ට කෑ ගැසිණි. එය යටි ගිරියෙන් කෑ ගැසීමකි.

“ආරා…ධනා…”

එසැනෙන් ඔහු ඇය වෙතට පැන ගිනි පෙට්ටිය අතින් ඇද ඉවතට විසි කරන්නට සමත් වූයේ ය. ඊළඟ මොහොතේ ආරාධනා කෑ ගසා හැඬුවා ය. හඬමින් ඇය කවීශ්වර ගේ පපුවට බර වූවා ද නැත්නම් ඔහු මුලින් ම ඇය වැළඳ ගත්තා දැයි නිශ්චිත නැත. එක්කෝ ඒ දෙක ම එක වර සිදු විය. කවීශ්වර ගේ පපුතුර ආරාධනා ඉකි බිඳ හඬමින් සිටියා ය. රාජිකා මැණිකේ ද ගජධීර ද තැති ගත් ඇස් වලින් බලා ගෙන සිටියහ. භූමිතෙල් පුසුඹ ද බිම විසි වී ඇති ගිනි කූරු හා කෑන් එක ද භයානක කතාවක් නො කියා කියයි. රාජිකා මැණිකේ අතින් මුව වසා ගෙන හැඬුම හිර කර ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles