නිම් නැති නිම්නය 20

හීන් නිළි වැස්සක් වැටෙනා හඬ ඇසෙමින් තිබිණ. ඒ අතරින් ආරාධනා ගේ කාමරය දෙසින් නැන්දම්මා හා ලේලිය රහස් ස්වරයෙන් කතා කරන හඬ ද සිනහ වෙන හඬ ද ඇසුණේ ය. තාත්තා ඇස් පියාන නින්දකට අවතීර්ණ වීමට සූදානම් වනු දැක, කවීශ්වර ජංගම දුරකතනය ද ගෙන කාමරයෙන් පිට වූයේ ය. 

ප්‍රධාන දෙපලු දොර විවර කර ගෙන වැරැන්ඩාවට ගොඩ වෙමින් හෙතෙම කාශ්‍යප ගේ දුරකතන අංකය සෙව්වේ ය. වැස්ස චුරු චුරු ගාමින් වහියි. හාත්පස සීතල ය. කවීශ්වර නම නො දන්නා මල් සුවඳක් හමා ආවේ ය. මිදුලේ ඇට්ටේරියා ගහ තෙතබරිත මනාලියක මෙන් සුදු මල් දරා ගෙන වැස්සට තෙමී බර වී සිටියි. මේ සුවඳ ඒ මල් වල යයි කවීශ්වර ට හදිසියේ සිතිණ. එතකොට ම කාශ්‍යප ‘හෙලෝ’ කීවේ ය.

“තමුසෙට දැං හරි සනීපෙට නින්ද යනව ඇති නේද අලුත් ගෑනිවත් තුරුල් කර ගෙන”

ඒ වෙලාවේ කාශ්‍යප සිටියේ නිදි යහනේ ය. සෞභාග්‍යා දෙස අඩැසින් බැලු හෙතෙම ඇඳෙන් බිමට බැස්සේ ය. 

“හැබැයි අන්න තමුසෙගෙ පරණ ගෑනි ඔළුවෙ ඉඳං බූමිතෙල් හලගෛන හවස ගිනි තියාගන්න ගියා”

“මොකද්ද…”

“මොකද්ද ගාන්නෙ ඇයි ඇහුන්නැද්ද..ඇහුන එක තමයි කිව්වෙ. ආරාධනා ගෙ ජීවිතේ බේරුනෙ අනූ නවයෙන්. උඹ මහ බල්ලෙක් ඕයි. නඩුවෙං ඕන මගුලක් වෙයි. හැබැයි උඹ ආයෙ ආරාධනාගෙවත් ළමයි දෙන්නගෙත් ඇස් දෙක ඉස්සරහටනං එන්න එපා…එහෙම වුණොත් මං උඹව ම ර  ණ එක ම ර ණ ව…”

කවීශ්වර දත් මිටි කෑවේ ය. 

“මල්ලි…ආරාධනා ට මොකද…එයා හොස්පිට්ල් එකේද…”

“ඇයි තමුසෙ එන්නද…පුළුවන්නං මාව මිණී ම රු වෙ කුත් කරහංකො”

කියමින් කවීශ්වර දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. කේන්තියෙන් ම දිගු හුස්මක් හෙලා ආපසු හැරෙත්දී ගජධීර පිටුපස වූයේ ය. කවීශ්වර මොහොතකට කැළඹිණි. ඔහු කාමරයෙන් පිට වූයේ තාත්තා නිදි කියනා අදහසිනි. නමුත් ගජධීර ගේ මුහුණේ වූයේ ඔහු සියල්ල අසා සිටියා වැනි බැල්මකි.

තෙත් බර සුළඟෙන් ද මල් සුවඳින් ද පිරුණු වායු ගෝලයට සුසුමක් අත් හරිමින් ගජධීර කවීශ්වර ගේ පිට මත අතක් තැබුවේ ය. නමුත් බාල පුතා ට කුමක් පවසා ගන්න දැයි ඔහු ට තවමත් සිතා ගත නො හැකි ය. ඔහු ගේ සිත පටලැවිලි සහිත ය. 

“අරූට දෙකක් කියන්නැතුව ඉන්න ඕන නෑ කියල හිතුන තාත්තෙ. ආරාධනා ට මොකක් හරි වුණානං අපි කාටවත් මේ ආත්මෙ සැනසීමක් නැති වෙන්න තිබුණ”

කවීශ්වර කතා කළේ උගුර යටිනි. ඇයි දෝ මන්දා ඔහු ට නාඳුනන රිදුමක් දැනෙමින් තිබිණ. 

“යන යකා යන්නෙ කොරහත් බිඳගෙන පොඩි පුතා. මාස හතරක කිරිකැටියෙකුත් එක්ක දරුවො දෙන්නෙකුයි වරදක් නොකරපු ගෑනියි දාල යන්න පුළුවන් මිනිහෙකුට…ඒ ගෑනි ගිනි තියාගෙන මැරුනයි කියල දුක් වෙන්න හේතුවක් තියෙයි කියල මන්නං හිතන්නෑ. හැබැයි ඌ පපුව යටින් පසුතැවිලි වෙනව. ඒ පසුතැවීම මැරෙන මොහොතෙත් පපුවට වද දිදී තියෙයි…”

ගජධීර සිය නග්න පපුවේ සුදු වෙමින් පැවති රෝම අතරේ අතැඟිලි දිවෙව්වේ ය. මේ සිද්ධ වෙමින් පවත්නා සිදුවීම් දාමයේ කෙළවර කොතනක දැයි තවමත් සිතා ගත නො හැකි ය. ආරාධනා දරු දෙදෙනා සමගින් සැනසුම් පායෙන් නික්ම යනවා කියන්නේ එහි කැණිමඬල ම බිඳී යනවා වාගේ දෙයකි. ඇය යනවා දකින්නට ඔහු ගේ වියපත් හදවතට සවියක් නැති තරමි. එය හුදු ආත්මාර්ථයෙන්, සැනසුම් පාය වෙනුවෙන් වගා කළ සිතිවිල්ලක් නොවේ. තමුන් ගේ අය අහිමි කර ගන්නට මොන හදවතකටවත් දිරියක් ඇත්තේ නැත.

“ඇත්තටම දැන් අපි මොකද්ද කරන්නෙ පොඩ්ඩො…මේ කෙල්ලව මෙහෙ තියා ගෙන…ජීවිතේට කරදරයක් කර ගනීද කියන බය මට තියනව. මෙතන එයාට මතක වැඩියි. ඒක නිසාම අතීතෙ අමතක කරල හිත හදා ගන්න අමාරුත් ඇති. එහෙම බැලුවාම කෙල්ල මෙහෙ තියා ගන්න එක අපි එයාට කරන අසාධාරණයක්. ඒත් පැටවු දෙන්නත් අරගෙන ඒකි යන්න ගිය දවසක…මේක…තව දුරටත් ගෙයක් වෙයිද…”

අන්තිම හරියේ දී ගජධීර ගේ හඬ වෙව්ලා ගියේ ය. කාශ්‍යප නික්ම ගිය පසු මැරුණා කියා හිත හදා ගන්නා බව කී හැඩි දැඩි සිතක් ඇති මිනිසා ට මෙහෙව් සමු ගැනීමක් දරා ගැනීමට තබා සිතා ගැනීමටවත් අසීරු ය.

කවීශ්වර පපුව පත්ලේ තිබූ සුසුමක් මුදා හැරියේ ය. ඇය යා යුතු ය යන්න ඇරඹුමේ දී ඔහු ගේ අදහස විය. නමුත් එසේ නොයා සිටි දින ටිකට පෙර වසර හත අටකට නොතිබූ සමීප වීමක් ඔවුන් අතරේ ඇති විය. කාශ්‍යප හා විවාහ වී සැනසුම් පායට පිය තැබීමෙන් පස්සේ ද ආරාධනා ලොකුවට කවීශ්වර ඇසුරු කරන්නට ගියේ නැත. ඒ යොවුන් වියේ දී හදවත තුළ ඔහු තබා තිබූ සලකුණු නිසාවෙනි. නමුත් සැමියා ගේ බාල සොයුරා වශයෙන් ඔහු වෙනුවෙන් කළ යුතු යමක් වී නම් ඇය දෙගිඩියාවකින් තොර ව එය කළා ය. තේ එක හෝ නැවූ ඇඳුම් ටික හෝ ගෙන කවීශ්වර ගේ කාමරයට නො පැකිළ ගියා ය. නමුත් ඔහු ඉදිරියේ ඇගේ සීමාව, යුවතියක ව මේ ගෙදර හැම තැන ඇවිද ගිය අතීතයේ සේ ම විය. ආරාධනා කවීශ්වර දෙස ද කෙළින් බැලුවා ය. නමුත් ඇයව යට කර ගන්නට කවීශ්වර ට කිසි දා අවස්ථාවක් ලැබී නැත. ඒ ඔහු ළඟ දී ඇය වඩාත් තිරසාර වූ නිසා ය. ඇගේ ඍජු බැල්ම, බැල්මකිනිදු ඇයට වෙනසක් දනවන්නට කවීශ්වර ව පසුබෑවූයේ ය. ඇය, තබා ගත යුතු නියමිත පරතරය කුමක් දැයි දැන සිටියා ය. නමුත් කාශ්‍යප ගේ අභිනිෂ්ක්‍රමණයත් සමග ඔහු වේගයෙන් ඇයට සමීප වන්නට විය. විශේෂයෙන් ම බිඟුනිට හා සඳයුරු ට සමීප වීම තුළ ආරාධනා ට පහසු හැඟීමක් දනවන්නට කවීශ්වර සමත් වූයේ ය. කවදාටත් වඩා ඇය ඔහු ට මිත්‍රශීලී වූවා ය. සහෝදරාත්මක වූවා ය. ඔහු ගේ සහාය අපේක්ෂා කළා ය. කාශ්‍යප සිටියදී කවීශ්වර අරබයා ඇස් වල තියා ගෙන උන් බාධක පවුර තව දුරටත් නො බිඳී පවත්වා ගත යුතු නැතැයි විශ්වාස කරන්නට තරමට ඔහු ඇයට විශ්වාසවන්ත වෙමින් සිටියේ ය. කොටින් ම යොවුන් වියේ පටන් ආරාධනා ගේ සිතේ කවීශ්වර වෙනුවෙන් ඇති වී හෝ ඇති කොට තිබි භීතිය, මේ ටික දවසක දුෂ්කර කාලය විසින් සිඳ බිඳ දමනු ලැබ තිබිණ.

ඒ සියල්ල ඒ විදිහට ම අවබෝධ කර ගන්නට සමත් නො වී ද, දැන් ඇය ඉස්සර සිටි ඇයට වඩා වෙනස් බව කවීශ්වර ගේ හදවත ට දැනේ. ඉතින් ඇය යනවා බලා සිටින්නට බැරි ය. නමුත් යන්නට එපා කියන්නටත් බැරි ය.

“මන්නං දන්නෑ තාත්තෙ. මේ මුකුත් හිතා ගන්න බෑ. කොහොමත් තීරණේ තියෙන්නෙ ආරාධනා අතේනෙ. අපිට තියෙන්නෙ එයා කරන දෙයක් දිහා බලං ඉන්න විතරයි”

“හ්ම්”

“හානේ…මේ දෙන්න එළියෙ”

එක වර ඇසුණ ආරාධනා ගේ හඬින් පිය පුතු දෙදෙන ම හැරී බැලූහ. කාමරයෙන් පිටතට විත්, ආලින්දයෙහි සිටි ඕ දුහුල් නිදන ඇඳුමේ ළැම අතින් මුවහ කර ගෙන සිටියා ය. 

“මං ඒකනෙ අම්මට කිව්වෙ..කතා කරන සද්දයක් ඇහෙනව කියල”

කියමින් යළි කාමරය ඇතුළට ගිය ඕ හවුස් කෝට් එක දමා ගෙන නැවත ද පිටතට ආවා ය.

“මොකෝ දෙන්නට නින්ද යන්නැද්ද…”

කවීශ්වර සේ ම ගජධීර ද ආලින්දය දෙසට පියවරක් දෙකක් තැබුවෝ ය. කවීශ්වර උත්තරයක් දෙන්නට කලබල නොවී සිටියේ තාත්තා ට ඕන දෙයක් කියා ගත්තාවේ යන සිතිවිල්ලෙනි. 

“පුතාලගෙ තාත්ත වෙනදට මේ වෙලාවට ගොරෝනවනෙ අනේ”

රාජිකා මැණිකේ ද යහනෙන් පිබිද ආලින්දය වෙතට කර පෙව්වා ය.

“අම්ම ළඟ නැතුව නින්ද යන්නෑද දන්නෑ තාත්තට”

ආරාධනා පුංචි විහිළුවක් කළා ය. ගජධීර ඊට තරම් නොවන තරමට හඬ නගා සිනහ වූයේ ය.

“අපි දෙන්නත් ඉතිං ඔය පරණ දේවල් මතක් කර කර කියෝ කියෝ හිටියෙ”

රාජිකා මැණිකේ ලේලිය දෙසට ආදර බර බැල්මක් හෙළමින් පුටුවකට බර වූවා ය.

“මං එහෙනං තේ ටිකක් හදල දෙන්නද කවීශ්වර…”

එක තත්පරයකට ඇස් හතරක් එකට පැටළිණ. ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නට කවීශ්වර ට හැකි වූයේ නැත. ආරාධනා පිළිතුරක් බලාපොරොත්තු වූයේ ද නැත. ඇය මුළුතැන්ගෙට ගොස් විදුලි කේතලයේ පේනුව ගැසුවා ය. තේ කොළ ගොට්ටට දමා කෝප්පයකට පිටි සීනි දැමුවා ය. එසේ පිටි සීනි කලවම් කරත්දී ළමා වියේ මතකයක් සිහි වූයේ නිරායාසයෙනි. හැන්දෙන් අතට ගත් පිටි සීනි අහුරක් අත්ල මැද දමා ඕ එය මුවට හලා ගත්තා ය. ඒ වාගේ ප්‍රණීත කිරි රසයක් ලෝකයේ වෙන කිසිදු රස කැවිල්ලකින් වුව විඳිත නො හැකි ය. 

“ආ…මෙන්න මෙයා…හොරෙන් පිටි සීනි කනව අම්මෙ”

ආරාධනා හැරී බලත්දී කවීශ්වර උළුවස්ස මත වූයේ ය. ආරාධනා සිනහ වෙමින් ම දබරැඟිල්ල මුව මත තබා “ෂ්..” ගෑවා ය.

“ඔයාටත් ටිකක් ඕන කියල කිව්වනං ඉවරනෙ. කේලං කියන්නැතුව”

ඇය නෝක්කාඩුවකින් ම හැන්දට පිටි ටිකක් ගෙන ඔහු වෙත ගොස් එය කවීශ්වර ගේ අත්ල මත තැබුවා ය.

“ඔය රහට සම කරන්න පුළුවන් රහක් මගෙ පොඩි කාලෙන් මට වෙන මුනගැහෙන්නෑ අනේ. අදටත් නෑ. කාලයක් මට අමතක වෙලා තිබුණෙ. අද ආයෙත් ඒ රස මතක් වුණා”

ඇගේ ඇස් වල දීප්තියක් විය. ඒ සිනහව මලක් සේ පිපී තිබුණේ ය. පසු ගිය දින වල නගා ගෙන උන් ආයාසකර සිනහව නොව එය අව්‍යාජ හා නිරුත්සාහයික සිනහවකි. කවීශ්වර පිටි සීනි මිශ්‍රණය මුවෙහි ලමින් ඉක්මනින් එතැනින් නික්ම ගියේ ය.

රාජිකා මැණිකේ මුළුතැන්ගෙට ඇවිත් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකක් කැඩුවා ය. ඊළඟට ශීතකරණයෙන් චීස් කැබලි පැකට් එක ගත්තා ය. චීස් සමග ක්‍රීම්ක්‍රැකර් බිස්කට් යනු ආරාධනා ගේ කැමති ම කෑමකි. නමුත් පසු ගිය දින වල අත්‍යවශ්‍ය කෑමක්වත් ඇය කෑවේ සඳයුරු ව මව් කිරෙන් පෝෂණය කිරීමට ඇති නිසාවෙනි. කෑම රුචිය ආරාධනා ව අතැර ගොස් තිබිණ. ඇය තුන් වේල කෑම පිසුවාට සැබවින් ගෙදර කිසිවෙකු ගේ කුස හරියට පිරුණා දැයි සැක සහිත ය.

මැදියම් රැයට ද ආසන්න වෙමින් තිබියදී, හීන් නිලි වැස්සේ සිසිලස විඳිමින් වැරැන්ඩා පුටු වල හිඳ ගෙන ඔවුහු චීස් සහ බිස්කට් කෑවෝ ය. උණු උණුවේ ම බොන්නට ඕනා නිසා ආරාධනා තේ හැදුවේ කෑවාට පස්සේ ය. කාලෙකට පස්සේ ගෙදර ඉදිරි දොරෙන් ම සැනසිල්ල ගෙට එන්න පටන් ගෙන ඇත්තා වාගේ හැඟීමක් ගජධීර ට විය. රාජිකා මැණිකේ ට වූ සැනසිල්ල ආරාධනා ඒ දිය නෑමෙන් පස්සේ අලුත් ම ප්‍රාණියෙකු බවට පත් වී සිටීම ය. සැබවින් ඒ සිය ලේලිය ලෙස සැනසුම් පායෙහි සිටි ආරාධනා නොව ඊටත් කලින් කාවින්දි ගේ මිතුරිය ලෙස සැහැල්ලු හා නිදහස් සිතින් මෙහි ආ ගිය ආරාධනා ය.

තේ බොන ගමන් ඔවුන් කතා කළේ ද ඒ අතීතය ගැන ය. කවීශ්වර ගැන ඒ කාලේ බාලිකාවන් කියූ කතන්දර සිහිපත් කරමින් ආරාධනා සිනහ වූවා ය.

“අනේ මේ මන්නං ඔය කියන තරං වල් කොල්ලෙක් වෙලා හිටියෙ නෑ හරිද…”

කවීශ්වර ගේ කම්මුල් පුපුරු ගැසුවේ ය. ඒ කිසි දාක ඔහු ට දැනී නැති විදිහේ ලැජ්ජාවකි.

“සැරයක් මෙයා අපේ ඉස්කෝලෙ තාප්පෙං ඇතුළට පැනල බිග් මැච් දවස් වල…පුදුමයි බේරිල යන්න පුළුවන් වුණා. කෙල්ලො හැදුවෙ මෙයාව ක්ලාස් රූම් එකක් ඇතුළට දාල ලොකු කර ගන්න”

සිනහ හඬ සැනසුම් පාය සිසාරා ගියේ ය. රාජිකා මැණිකේ ට කියන්නට ද නඩු හබ හුඟක් තිබිණි. පන්ති වල ගෑනු ළමයින්ට කවීශ්වර කියනා නො හොබිනා කතා හා විහිළු ගැන පැමිණිලි, හැමදාමත් ඒ ළමයින් ගේ අම්මලා විසින් ගෙන එන ලදී. ඒ තරම් නරක කාලයක් රාජිකා මැණිකේ ගේ ජීවිතයේ වෙන නො තිබි තරම ය.

“හිචි හිචි ගානව ෆෝන් එක රිං වෙනව ඇහෙන්නෙත් නෑ”

බොරු නොමනාපයකින් කවීශ්වර එසේ කීවේ ආරාධනා ගේ දුරකතනය කාමරය තුළින් හැඬවෙනු ඇසී ය. ආරාධනා ඒ වෙත දිව ගියා ය. එසැනෙන් යළි ආවේ දුරකතනයට පිළිතුරු නොදී ම ය. ආලෝකවත් තිරය කවීශ්වර වෙතට පාමින් “කාශ්‍යප” යයි ඇය පහළ ස්වරයකින් කීවා ය.

“එපා කතා කරන්න ඕකාට”

ගජධීර තදින් කීවේ ය. කවීශ්වර ගේ මුහුණේ විසඳුමක් වූයේ නැත. දුරකතනය අවසන හැඬවී නිසල විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles